පමා වුණොත් මල පරවෙයි

දහසක් සිතුවිලි
ජනවාරි 30, 2020

ලලිත්, කරුණාසේන ජයලත්ගේ සුගත් මෙන් කේඩැරි ⁣පෙම්වතෙක් නොවුණද ඔහුට, ඔහු තුළ ඇති හීනමානය ඔහුව කේඩැරි පෙම්වතෙක් කළේය.

'කෙල්ලො කැමති ටිකක් කඩිසර කෙළිලොල්, කොල්ලො එක්ක විසේකාරව ඉන්න. ළංව චිත්‍රපට බලන්න, විනෝද ගමන් එක්ක යන කොල්ලන්ට මිසක්, උඹ වගේ නෝන්ජල් පෙම්වතෙකුට නෙමෙයි'

සනී ලලිත්ට හැම විටම තේරුම් කර දෙන්නට උත්සහ කළේ එයයි. ලලිත්ගෙත්, සාගරගෙත් වෙනස හොඳහැටි පෙනුණේ ලලිත්ගේ හිත මිත්‍ර සනීටය. එය නිලන්තිටද දැනෙන්නට ඇත. ඇය එය පැහැදිලිවම දුටුවේ එදා 'පාටි' එක දවසේ එතන සිටි අය ලලිත්ට ගීතයක් ගැයීමට ආරධනා කල පසුවය.

ලලිත් ගීතයක් ගැයීමට අදිමදි කළේය. ඇත්තෙන්ම ලලිත් එසේ අදි මදි කළ එක සාධාරණය. ඔහු ගීතය නොගැයුවා නම් අවම වශයෙන් ඔහුගේ ජාමෙ බේරා ගැන්මට හෝ පුළුවන් වන්නට ඉඩ තිබුණි. ඔහු පළමුවරට අහිංසක ජෝකර් කෙනෙක් වූයේ එතනදීය. තරුණ තරුණියන්ගෙන් පිරී තිබූ සම්භාෂනයේදි ඔහු ගොරහැඩි හඬින් මන්දගාමි ගීතයක් ගැයීම හරියට පාටිය, මළ ගෙයක් කළා වැන්නය. නිලන්තිගෙ ආකර්ෂණය තමා වෙත හරවා ගෙන 'හීරෝ' වෙන්න ගිය ලලිත් 'මෙගා' විදියට ඇන ගත්තෙ එතනදීය.

සින්දුව 'ෆේල්' වීම ඉවසා ගත හැකිය. එහෙත් එතන සිටි සාගර ඇතුළු තරුණ තරුණියෝ වේග රිද්ම ගීතයක් ගයා පාටිය ගොඩ දැමීම උඩ, නිලන්ති හා අනෙක් අයගේ ප්‍රශංසාව කෙළින්ම දිනාගත්තේ සාගරය.

“ සතුට විලයි, සැපත මලයි 
නෙළුවොත් මල අතින් එකයි 
පමා වුණොත් මල පරවෙයි 
පමා වුණොත් මල පරවෙයි 
ඉරට යටින්, සඳට යටින් 
කාලය පැන යනවා 
කාලය පැන යනවා”

ලලිත්, පිරිස ඉදිරියේ 'නොකවුට්' වූයේ නොදන්න මළදාන කරන්න යෑම නිසාය. පිරිස ඉදිරියේ කෙසේ වෙතත් නිලන්ති ඉදිරියේ 'චාටර්' වීම නම් ලලිත්ට කෙලෙසකවත් ඉවසන්නට බැරිය. ලලිත් යනු කිසිම ටැලන්ට් එකක් නැති මිනිසෙක් යැයි සියල්ලෝම දැනගත්තේ එදාය.

ගෝනදූවහඳුනගේ ඩොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර පෙරේරා නොහොත් ජී.ඩී.එල්.එල්. පෙරේරා, (ඔහු ප්‍රසිද්ධ කළේ ජී.ඩී.එල්. පෙරේරා නමිනි) හැටේ දශකයේ අගභාගයේ තරුණ තරුණියන්ගේ 'ලිවින් පැටන්' එක එලෙස චිත්‍රපටයට නැගුයේ ඔහුගේ 'දහසක් සිතුවිලි චිත්‍රපටය තුළිනි. ජී.ඩී.එල්, ගේ මුල් චිත්‍රපට 3 න නිර්මාණය වූයේ 1965, 1967 ,සහ 1969 ය තුළය. 'දහසක් සිතුවිලි අයත් වූයේ 1967 වර්ෂය තුළදී වුවද එය ප්‍රදර්ශනය වූයේ 1968දීය. මෙම චිත්‍රපට වූ 'සාමා', 'දහසක් සිතුවිලි' හා 'රෝමියෝ ජුලියට් කථාවක්' ඉදිරිපත් වූයේ ශානර 3 කටය.

'සාමා' මුලින්ම නාට්‍යයක් වී, පසුව චිත්‍රපටයකට නැගුණු අතර, එහී ලාංකේය ගැමි ජීවීතය තුළ තිබූ සිදුවීම් කීපයක් හරහා ගෙතුණු ප්‍රබන්ධයක් විය. 'දහසක් සිතුවිලි' තුලින් ඔහු නාගරීකව ජීවත් වන චරිත කීපයක් ගෙන එයට එවකට තරුණ්‍ය හරහා තමනට අවශ්‍ය වූ දේ ඉදිරිපත් කරන්නට උත්සහා ක⁣ළේය. එහෙත් බැලූ බැල්මට, ඔහු මැවූ ලලිත්, සාගර, නිලන්ති වැන්නන් ගමෙන් නගරයට සංක්‍රමණය වූවන්ය. එය මනාව දැනුණේ ඔවුන් රැකියාව කිරීම පිණිස බෝඩිං වල නැවති සිටින නිසාය.

ලලිත්, යනු හැටේ දශකයේ බොළද නවකථාවල සිටින ප්‍රේමවන්තයෙකි. ⁣'ගොළු හදවතේ' සුගත් ගේ ගණයට අයත් වූවෙකි. පොඩ්ඩක් අප්සෙට් වුණොත් දුවන් බාර් වලටය. සිගරට් උරන්නෙ තොග ගනන්ය. මේ හැටේ දශකයේ ප්‍රේමවන්තයන්ය.

ජී.ඩී.එල්ට දහසක් සිතුවිලි වලින් මහ ලොකු දෙයක් කීමට අවශ්‍ය වී තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වී තිබුයේ සීරියස් පෙම්වතෙකුත්, විනෝදකාමි යෞවනයෙකුත් අතරට මැදිවුණු අහිංසක එහෙත් විනෝදයට කැමති තරුණියකගේ පුවතක් කීමටය. ඇත්තටම ඔවුන් ප්‍රේම කළාද කියාවත් ජී.ඩී.එල්. හරියටම පෙන්වන්නේ නැත. එහෙත් එතැන ප්‍රේමයක් තිබුණි. ඒ ප්‍රේමය ගැඹුරටම තිබුණේ නම් ලලිත් ළඟය.

නිලන්ති ලලිත්ගේ කාර්යාලයට යතුරු ලියන්නියක් ලෙස පත්වී එයි. ලලිත්ට නිලන්තිව ආකර්ෂණය වන්නට වෙයි. ඔහු කාර්යාලය අවුරුදු කුමාරි තරඟයට ඇයව ඉදිරිපත් කිරීමට සෑහෙන වෙහෙසක් දරයි. කෙසේ හෝ ඇය එම තරඟයට ඉදිරිපත් වන අතර එයින් ඇය ජය ලබයි.

සාගර යනු, ලලිත්ගේ කාර්යාලයෙ රාජකාරි කරන, කෙළිලොල්, කඩවසම් එමෙන්ම ආකර්ෂණීය තරුණයෙකි. නිලන්ති ඔහුව ඇසුරු කරන්නේ හිතවත් මිතුරෙකු ලෙසය.

ලලිත් හරිම 'සීරියස්' පෙම්වතෙකි. ඔහු නිලන්තිට ආදරය කරන්නට ගියේ ඉතාමත් ආත්මර්ථකාමිවය. එමෙන්ම ඔහු නිලන්ති දෙස නිතරම බලන්නේද සැකයෙනි. ජී.ඩී. එල්. එය තිව්ර කළේ , දිනක් ලලිත් තම මිතුරා සනී සමඟ බස් රථයේ යන විට කව්ළුව තුළින් නිලන්ති වගේ තරුණියක්, තරුණයෙක් සමඟ චිත්‍රපට ශාලාවක් දෙසට ඇදෙනු දකින්නට විය. ලලිත් වහා බසයෙන් බැස, එම චිත්‍රපටශාලාව තුළට ගියේ චිත්‍රපටය බලන නිලන්තිව අල්ලා ගැනීමටය. එහෙත් චිත්‍රපට ශාලාවේදීය ඔහුට වැටහුණේ ඒ නිලන්තී නොව, නිලන්තීගේ හැඩ රුව තිබෙන වෙන කෙනෙක් බව.

ලලිත්ගේ,හා නිලන්තිගේ ජීවිත වෙනස්වූයේ කාර්යාලයේ අය විනෝද ගමනක් යෑමට සැලසුම් කිරීමෙනි. නිලන්ති එයට අනිවාරයෙන්ම සහභාගී වීමට ලලිත්ට ඇරයුම් ක⁣ළාය. ලලිත්ද ඉතාමත් සතුටින් එම ගමන යෑමට ලක ලෑස්ති විය. එහෙත් ඒ දිනම ලලිත්ගේ එකම නංගීව බැලීමට මණමාලයෙක්ගේ පැමිණීම,යොදාගෙන තිබුණි.එය තම මව විසින් සැලසුම් කර තිබුණේ, ලලිත්ගේ සැලසුම් නොදැනය. පියා හෝ වෙන කිසිදු සහෝදර සහෝදරියෙක් නැති මෙම පවුලේ මූලිකයා ලෙස සිටියේ ලලිත්ය. එහෙයින් තම නැගණියගේ මේ විශේෂිත අවස්ථාවේ ලලිත් නිවසේ සිටිය යුතු අතර, නිලන්තිලා විසින් තම කාර්යාලයෙ සංවිධානය කරන විනෝද චාරිකාවටද ලලිත් සහභාගි විය යුතුමය. ඔහු එයට එන බව නිලන්තිට පොරොන්දු වී ඇත. මොනවා නැතත් ඒ පොරොන්දුව කඩ කිරීමට නොහැකිය.

ජී.ඩී.එල්. එම සිදුවීම් පෙළ හරි අපූරුවට පෙල ගස්වා තිබුණි. ලලිත්, නිවැසියන්ට කීවේ කාර්යාලයේ අත්‍යාවශ්‍ය වැඩක් නිසා යායුතුම බවය. එහෙත් මව කියන්නේ නංගිගේ විවාහය ඊට වඩා අත්‍යාවශ්‍ය බවය. නංගි කියනුයේ ලලිත්ගේ අත්‍යාවශ්‍ය ගමන යන්නට කියාය. නිලන්ති කියනුයේ කෙසේ හෝ ලලිත්ට මේ විනෝද ගමනට එක්⁣වන ලෙසය. එහෙත් අවසානයේ ලලිත්ට අකමැත්තෙන් හෝ නංගීගේ මනමාලයා නංගීව බැලීමට එන කාර්ය වෙනුවෙන් නිවසේ නැවතීමට සිදුවිය.

සියල්ල වෙනස් වීමට පටන් ගත්තේ එතැන් සිටය. ලලිත්ගේ ඉඩැස නිලන්ති පිරවූයේ සාගර මගිනි. ඇය සාගරට ඇරයුම් කළාය. ඇත්තෙන්ම ඇය ඔහුට ඇරයුම් කළේ හිතවත් මිතුරකු ලෙසටය. වැරදී වැටහීම ඇති කර ගත්තේ නම් ලලිත්ය. එය තව තවත් පුළුල් වූයේ නිලන්ති සාගර සමඟ එම විනෝද චාරිකාවේදි , මුහුදු වෙරළේදී නාන ගමන් ගත් ඡායාරූප කීපයක් දැකීමෙනි.

ලලිත් ගේ හීනමානය බලවත් වූයේ සාගරගේ කඩවසම් බව, කෙළිලොල් බව හා ආකර්ෂණීය බව නිසාය. තමනටත් වඩා තරුණ්‍යයේ එළිපත්තෙ සිටින සාගර හා සසඳන විට ,තමා මොකෙක්දැයි ලලිත්ටම සිතෙන්නට විය. නිලන්ති තමාට වඩා සාගරට ඇලුම් කරනු ඇතැයි යන සිතුවිල්ල ලලිත්ගේ සිතට වද දෙන්නට විය. අන් අතකට දෙදෙනා මුහුදේ නාන ඡායාරූප කීපයකුත් ලලිත් දැක ඇත. ලලිත් ඉන් එහාටත් සිතන්නට විය. ඔහු තම මනසින් තව තවත් දුරට යනවිට සාගර, නිලන්තිව සිප ගන්නවා පවා දුටුවේය. මේවා මනෝමය විකාර යැයි ඔහුට සිතුනේම නැත.

ලලිත්ට, සාගරගෙන් මෙය දැන ගැනීමට උවමනා විය. ඔහු සාගරව කීප වතාවක් හමුවීමට උත්සහා කළද, කුමක් හෝ හේතුවක් මත සාගරට ලලිත්ට හමුවීමට නොහැකි විය. එයද ලලිත්ගේ සැකයට හේතු විය. අවසානයේදී සිදු වූයේ ලලිත් හා සාගර බහින් බස් වීමකි.ලලිත් ඉන් ඔබ්බට ගොස් සාගරගේ මුහුණට පහරක් එල්ල කළේය.

ඇත්ත වශයෙන්ම සාගරත්, නිලන්තිත් ඇසුරු කළේ යහළුවන් දෙදෙනෙක් ලෙස වුවද ලලිත් එය එලෙසයයි පිළිගන්නට කැමති වූයේම නැත. ලලිත්ගෙ සැකය එතරම් බලවත් විය

ලලිත් නිලන්තිව හමුවී මේ ගැන ඇසුවත් නිලන්තීටද කියන්නට තිබුණේ සාගර කී දෙයමය. ඒ ඇය සාගරව ඇසුරු කරනුයේ යහළුවෙක් ලෙස කියාය. ඇත්ත කථාවත් එය වූවද ලලිත් නොවේ එය පිළිගත්තේ. ජි.ඩී.එල්. මේ හීනමානය හරහාය තම වෘත්තාන්තය ගොඩ නැගුවේ.

සැකය කොතරමි ලලිත්ගේ හිතට වද දුන්නාද කිවහොත් ඔහු සියල්ලම අත් හැර වෙනත් පරිසරයකට ගොස් ජීවත් වන්නට සිතුවේය. ඔහු ඒ බව නිලන්තිට ලිපියක් මගින් දන්වා, දුම්රියපොළට ගියේය. ඒ අතර නිලන්ති ඔහු සොයා දුම්රියපොළට පැමිණියද, ඒ සැණින්ම ඔහු දුම්රියට නැග්ගේය . එහෙයින් මොවුන් දෙදෙනාව යළි මුණ ගැසුනේ නැත.

ජී.ඩී.එල්. මෙකී සුළු සිදුවීම් පෙළ මහා සිදුවීමක් සේ හුවාදක්වමින් සිනමාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහා ගෙන තිබුණි. ආදරය, සැකය, වෛරය, පසුතැවීම, පරාජය, තනිකම, මේ සියල්ල ඕනෑම කෙනෙකුට සිදුවන සිද්ධාන්තයන්ය. මේවා හැම කෙනාගේම අත් දැකීම්ය. අනික් අතට මේවා හැටේ දශකයට පමනක් සීමා වූවන් නොව, හැම කාල වකවානුවන් තුළම සිදුවන දේවල්ය. එහෙයින් ලලිත්ගෙ ආදරය, සැකය, වෛරය, ප්‍රේක්ෂකයන්ට දැනෙන්ට විය. එය ලලිත්ගේ අසාධාරණ සිතුවිල්ලක් වූවද, ප්‍රේක්ෂකයාට ලලිත් ගැන අනුකම්පාවක් සිතුණි. එසේ අනුකම්පාවක් ලැබෙන අයුරිනි ජී.ඩී.එල්. තම ප්‍රධාන චරිතය නිර්මාණය කළේ. අවසානයේදී බලන විට, නිලන්ති අතින්වත්, සාගර අතින්වත් ලලිත්ට වැරැද්දක් සිදුවී තිබුණේ නැත. වැරැද්ද කරගෙන තිබෙන්නේ ලලිත්මය. ඒ සැකය හරහාය.

ජී.ඩී.එල් ගේ 'දහසක් සිතුවිලි' තුල, විශිෂ්ට කාර්මීක හරඹයක් තිබුණි. ඩී.බී.නිහාල්සිංහගේ කැමරාකරණය එයින් ප්‍රමුඛත්වයක් ගෙන තිබු අතර,

එස්.එම්.නසීර්ගේ සංස්කරණය හා ජයතිස්ස අලහකෝන්ගේ සංගීතය ද සුවිශේෂිත විය.

1969 වසරේ හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේ 'දහසක් සිතුවිලි' චිත්‍රපටයයි. ඉතාමත් සුළු 'ප්ලොට්' එකක් ගෙන එය සිනමාත්මකව ඉදිරිපත් කිරීම හේතුවෙන් එම සම්මානය ලබන්නට ඇත. එලෙසම එය සිත්තමක් සේ , හදවතට කිදා බැස, හදවත තුළ රැඳවෙන්නට නිර්මාණය කෙරූ ජී.ඩී.එල්.පෙරේරාට 'දහසක් සිතුවිලි' වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂකට හිමි 'සරසවිය' සමිමානය එම වසරේ ලැබූ අතර, එස්.එම්.නසීර්ට හොඳම සංස්කරණය වෙනුවෙන් සරසවිය සම්මානය හිමි වුනි.

හෙන්රි ජයසේන ලලිත්ගෙ චරිතය නිරූපණය ක⁣⁣ළේය. හෙන්රි සිනමා නළුවෙකුට වඩා ප්‍රචලිත වී සිටියේ නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසටය. එහෙත් ගම්පෙරළියේ පියල්ගේ චරිතය ,හෙන්රි ජයසේනව දක්ෂ සිනමා නළුවෙකු බවට පත් ක⁣ළේය. 'සුහද සොහොයුරෝ', ' සීගිරි කාශ්‍යප' වැනි චිත්‍රපටවලද රඟපෑ හෙන්රි, ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ මේ 'දහසක් සිතුවිලි' චිත්‍රපටයෙනි. තරු ගුණයක් නොතිබුණු හෙන්රි වැන්නෙකුට ප්‍රධාන චරිතයක් දීම එක්තරා අතකට විශාල අභියෝගයකි. ජී.ඩී.එල්. කොහොමත් තම චිත්‍රපට තුළින් මෙම අභියෝගය භාර ගනී. ෂෙල්ටන් සිල්වා වැනි නළුවෙකු ප්‍රධාන චරිතයකට යොදවා 'සාමා' චිත්‍රපටය කෙරූ ජී.ඩී.එල්. ඩග්ලස් රණසිංහ වැනි නවක නළුවෙකු යොදවා 'රෝමියෝ ජුලියට් කථාවක්' කළේය. හෙන්රි ජයසේනටද ඔහු දුන්නේ මෙවන් අභියෝගයකි. එවකට නවක නිළියක් වූ නිලන්ති විජේසිංහට ප්‍රධාන චරිතයක් ලැබුනේද මෙම චිත්‍රපටය තුළිනි. ඇය ජනප්‍රිය හා දක්ෂ නිළියන්ගේ මාවතකට වැටුණේද මේ හරහාය. ධම්ම වන්නිආරචිචි නම් නවක කඩවසම් තරුණ නළුවෙකු සාගරගේ චරිතයට පණ පෙවූ අතර, සනී ලෙස විශිෂ්ට චරිතයක් ජෝ අබේවික්‍රම විසින් රඟපෑවේය. මාලනී ෆොන්සේකා ලලිත්ගේ නැඟනිය ලෙස සුළු චරිතයක් රඟපෑ අතර, ඩී.ආර්.නානායක්කාර, ටෝනි රණසිංහ, සුමනා අමරසිංහ, හා එල්සන් දිවිතුරුගම ගරු චරිතයන් කළහ.

පී.බී.මයිල්ලෑව, දෙනවක හාමිනේ, බුද්ධි වික්‍රම ජී.ඩී.එල්ගේ හැම චිත්‍රපටයකම රඟපෑහ. 'දහසක් සිතුවිලි' චිත්‍රපටයටද එසේ විය. චන්ද්‍රා කළුආරච්චි, චම්පා ලියනගේ, සෙසු චරිත රඟ දැක්විය.

'දහසක් සිතුවිලි' ලංකා කලාපෙළ වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරාම නිෂ්පාදනය කළේය. එය තිරගත කිරීම ආරම්භ කළේ 1968 සැප්තැම්බර් 20 වෙනිදා සිටය.

“මළ ඊයෙට ඇයි හඬන්නේ 
කුමටද හෙට ගැන හිතන්නේ 
කඳුළයි, ඉකියයි ඇයි පිළිගන්නේ 
සිනහව ආවම කොතනද ඉන්නේ 
මල්කෙමියේ රස පෙරෙන්නේ 
ජීවියේ රස තියෙන්නෙ”

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.