“ඒ දෙන්නම බොරු කියන්නේ නෑ”

ජනවාරි 30, 2020

90 දශකයේ අග භාගයේ දිනක සුගතපාල ඇදුරාණන්ගේ නිවසෙහි එතුමා සමඟ “මරාසාද්” නාට්‍යය අරභයා කතාබහ කරමින් සිටියදී මම මෙසේ විමසීමි.

“එදා සෘජුවම “මරාසාද්” නාට්‍යයට තමන්ගේ අකැමැත්ත පළ කළ විද්වතුන් දෙදෙනෙක් මට සිහිපත් වෙනවා. ඒ බෙනඩික්ට් දොඩම්පෙගම හා ධම්ම ජාගොඩ”.

සුගතපාල සූරීහු මවිසින් දක්වන ලද කරුණ අරභයා නිහඬව මොහොතක් කල්පනා කරමින් සිටියහ. මේ වූ කලී ඔහුගේ බුද්ධිය හඟවන පළල් නළල් තලය වරෙක රැලි ගන්වමින් ද නිමග්න වූ ගැඹුරු කල්පනාවකි.

වචන කිහිපයකින් විසල් අරුතක් පළ කරමින් එතුමෝ ඊට ප්‍රතිචාර දැක්වූහ.

“ඒ දෙන්නම බොරු කියන දෙන්නෙක් නෙවෙයි”

සුගතපාල ද සිල්වා නම් වූ ගැඹුරු, පරිණත ජීවන දැක්මකින් හෙබි මහා කලාකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය වඩාත් මා හට තහවුරු වූයේ එදිනය. “නිර්දය විවේචන” ඉවසා දරා සිටීමේ ශක්තියක් ශ්‍රේෂ්ඨ කලාකරුවකු හට තිබිය යුතුමය. සුගත්ට එය මැනවින් පිහිටා තිබූ බව එදින මට ප්‍රත්‍යක්ෂ විය. ඇතැම් කෘතහස්ත කලාකරුවන් පවා නිර්දය විවේචන හමුවේ සැලෙනු, කැලඹෙනු මා කොතෙකුත් දැක තිබේ. එපමණකුදු නොව “මගේ නිර්මාණ ගැන උන් මොනවද දන්නේ?” යනුවෙන් පෙරළා ප්‍රතිචාර දක්වමින් ඒවා පිටුදැකීමට වෙර දරන අයුරු ද මම දැක ඇත්තෙමි. සුගතපාලයෝ එසේ නොවූහ. ද්වේශ සහගත, කුහක විවේචන හා සහේතුක, ශාස්ත්‍රීය විචාර වෙන් කොට හඳුනා ගැනීමේ ශක්‍යතාව ඔහුට තිබිණි. ශාස්ත්‍රීය පදනමකින් සිදු කෙරුණු සවිචාරවත් විචාර පිළිගැනීමට ඔහු මැළි වූයේ නැත. ස්වකීය නිර්මාණවලද දොස් දැකීමට ඒ ඔස්සේ සුගත් හට හැකියාව ලැබිණ.

මගේ මතකය නිවැරැදි නම් ඒ 1998 වසර විය යුතුය. මම එතුමා හමුවීමට ගල්කිස්ස මහල් නිවාසයේ ඉහළ මාලයේ පිහිටි නිවසට ගියෙමි. ඔහුගේ කාමරයේ මේසය මත තිබුණේ “පාරාදීසය” මැයෙන් පෙර දිනයේ අලුතින්ම එළිදුටු පුවත්පතකි. එහි මුල් පිටපත උත්සවශ්‍රීයෙන් පිළිගන්වා තිබුණේ සුගතපාල ඇදුරාණන් වෙතය. මම ඒ පුවත්පත මඳක් පෙරළා බැලුවෙමි. යුරෝපීය පශ්චාත් නව්‍යවාදී චින්තනයෙන් හා යුරෝපීය ඇතැම් කාම සඟරාවලින් ඉස්මතු වූ සංකල්පවලින් සංකර වූ අන්තර්ගතයක් සහිත ලිපි බහුලව එහි දක්නට ලැබිණි. මේවා බහුතරයක් ලියා තිබුණේ ශික්ෂණයකින් තොර බස් වහරකිනි. මට සිහිපත් වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ජපානයේ පහළ වූ සදාචාර, කුලාචාර බැහැර කළ “තයියෝශෝකු” (රිවිගොත්) නම් වූ තරුණ කැලය. මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ස්වකීය “සිංහල නවකතාව සහ ජපන් කාම කතා සෙවණැල්ල” නම් වූ ග්‍රන්ථයෙහිදී මේ ජපන් තරුණ පිරිසෙහි ගති ස්වභාව, දැක්ම, චර්යාව මැනවින් හෙළි කළහ. 90 දශකයෙන් පසුව මෙරට පහළ වූ එකල ජපානයේ සිටි තයියෝශෝකු තරුණ කැල සිහිපත් කරවන ඇතැම් නිර්මාණකරුවන් සේම ඔවුන්ගේ කෘති ඔසවා තබන ඊටම වෙන් වූ විචාරකයෝ ද මෙකල සිටිති.

මා ඒ පුවත්පත පෙරළා බලනු සුගතපාල සූරීහු බලා සිටියහ. “ඊයේ නේද සර් මේ පත්‍රය එළිදුටුවේ” මම පුවත්පත පසෙක තබා විමසුවෙමි. ඔහු නිහඬවම ගැඹුරු කල්පනාවෙහි නිමග්නව සිටියේය. මම ඒ නිහඬතාව බිඳින්නට වෑයම් නොකළෙමි. ඉක්බිති ඔහුම නිහඬතාව බිඳිමින් මෙසේ කීවේය.

“මම තවමත් කල්පනා කරන්නේ මේ පත්‍රයේ තියෙන ලිපිවල අන්තර්ගතය ගැන නෙවෙයි. මේ පත්‍රය මුලින්ම මට පිළිගැන්වූයේ ඇයි? කියලා. මං පශ්චාත් නූතනවාදියෙක් හෝ ඔවුන්ගේ ගුරුකුල නායකයෙක් නෙවෙයි.

මගේ සාහිත්‍ය කලා ජීවිතයට වැඩියෙන්ම බලපෑව පොත තමයි අර අතන පොත් රාක්කයේ උඩම තියෙන්නේ” ඔහුගේ යොමු කිරීමෙන් මගේ දෙනෙත් ඒ දෙසට යොමු විය. එතැන දක්නා ලැබුණේ ඝන බැම්මකින් එකට තබා වෙළුම් වශයෙන් බැඳ තිබූ මහා පැරැණි පුස්තකයකි. “පන්සිය පනස් ජාතක පොත”.

සැබැවින්ම සුගත් විසින් විරචිත නවකතා බොහොමයක සන්දර්භය විමසීමේදී පන්සිය පනස් ජාතක පොතෙහි අතීත කතාව, වත්මන් කතාව හා සමෝධානයෙන් සපිරුණු සන්දර්භයෙහි ආභාසය දැක්ක හැකිය. මේ හැරුණු විට 80 දශකයේ ඇමරිකානු කෙටි කතා කලාවෙහි පුනරුදය ඔස්සේ ඉස්මතු වූ අල්පවාදයේ (ර්ඪදඪථචතඪඵථ) ආභාසය ද සුගත්ගේ “බිත්ති හතර” නවකතාවේ දක්නා ලැබේ.

දීර්ඝ පරිසර වර්ණනා ආදියෙන් තොරව සෘජුවම සිදුවීමකට හෝ චරිත අතර සංවාදයකට පිවිසීම මෙහි ලක්ෂණයකි. ඔහුගේ නවකතා හෝ නාට්‍ය චිත්‍රපට තිර රචනාවල ස්වරූපයට ඉතා ආසන්න ලකුණු පළට කරනුයේ ද එහෙයිනි.

සුගත් ස්වකීය ජීවිත කාලය පුරාම කරන්නන් වාලේ කිසිදු නාට්‍යයක්, සාහිත්‍ය කෘතියක් බිහි කළේ නැත. “මරාසාද්” ට පසුව වසර 5 ක පමණ කාලයක් ඔහු වේදිකාවෙන් දුරස්ථ වී සිටියේ සහෘදයා ඥානනය කිරීමට සමත් පෙළක් හමු නොවූ බැවිනි. ඉක්බිතිව “සාන්තුවර සෙබළාණෝ” (1991) සුගත් නිර්මාණය කළේය. මෙය ඔහුගේ අවසන් නාට්‍යය බවට පත් විය.

ජේසු නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ ශාන්ත ඉග්නේෂස් ලොයොලා මුනිඳුන්ගේ 500 වැනි ජන්ම සංවත්සරය යෙදී තිබුණේ 1991 ජූලි මාසයටය. ඒ නිමිති කොට ලොව පුරා නාට්‍ය උත්සව, ස්තූති පූජා පැවැත්විණ. මෙරට ජේසු නිකායික පියවරුන්ට ද නාට්‍යයක් අවැසි වූයෙන් තියඩෝර් වර්ණකුලසූරිය සහෝදරතුමාගෙන් සුගත්ට මේ අරභයා ආරාධනාවක් ලැබිණ. “සාන්තුවර සෙබළාණෝ” නාට්‍යය මෙහි ඵලයකි. මේ වූ කලී සුගත්ගේ අවසෙස් නාට්‍ය ශෛලියෙන් හා තේමාවෙන් විනිර්මුක්ත වූ නාට්‍ය නිෂ්පාදනයකි. මෙය කිතුනු පූජනීය උත්සවයක අවශ්‍යතාවක් උදෙසා නිර්මාණය කළ නාට්‍යයක් බැව් සැලකිය යුතුය. එය නිර්මාණය කිරීමට සුගත් මාස කිහිපයක් පුරාම ඉග්නේෂස් ලොයොලා මුනිඳුන් පිළිබඳ පර්යේෂණ කළේය. මෙරට නාට්‍ය කලාව සහ පල්ලිය අතර තිබූ අතීත සබඳතාව ද මෙහිදී ඔහුගේ අධ්‍යයනයට යොමු විය.

1965 දී සුගත් “සමනළයෝ” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මුල පිරුවේය. ම විසින් රචනා කරන ලද 2012 වසරේදී පළ වූ “නිහාල්සිංහ : පුරෝගාමී තෙවැනි ඇස” ග්‍රන්ථයේ ඒ අරභයා (පිටු 247, 248) මෙසේ දැක්වේ.

“1965 නිහාල්සිංහගේ වෘත්තීය ජීවිතයේ අතිශයින් තීරණාත්මක වර්ෂයක් වූ බව ඔබ වටහා ගන්නට ඇත. මෙරට වෘත්තාන්ත චිත්‍රපටයක මුල්වරට කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට ලැබුණේ ද මේ වසරේදීය. “අපේ කට්ටිය” සංවිධානය ඔස්සේ විශිෂ්ට ගණයේ නාට්‍ය රාශියක් තිළිණ කරමින් ලාංකේය නාට්‍ය කලාව නවමඟකට යොමු කළ කෘතහස්ත නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රථම වතාවට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වූයේය. එහි කැමරා අධ්‍යක්ෂවරයා ලෙස බාරදූර කාර්යයක් නිහාල්ට පැවරිණ. ඔහු කාඩිෆ් උලෙළට යෑමට ප්‍රථම “සමනළයෝ” නමැති මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹිණ. සුගතපාලයන්ගේ ඇසුර නිහාල්සිංහට ලැබුණේ “විසිතුර” පුවත්පත ඔස්සේය. ටෝනි රණසිංහ, විජිත මල්ලිකා, ප්‍රේමා ගණේගොඩ, වික්‍රම බෝගොඩ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර යනාදීහු “සමනළයෝ” හී ප්‍රධාන චරිත රැඟූහ. වින්දන චිත්‍රපට හා අපේ කට්ටිය වෙනුවෙන් මෙහි නිෂ්පාදනයට මුල පුරන ලදදේ හේමන්ත වර්ණකුලසූරිය විසිනි.

ප්‍රවෘත්ති චිත්‍රපටකරණය සඳහා නිහාල්ට ඇමරිකාවෙන් ලැබුණු ‘ඩියුපෝන්’ දළ සේයාපට ඔහු “සමනළයෝ” රූගත කරනු පිණිස භාවිත කළේය. මේවා මුද්‍රණය කොට ගත් කල්හි වීදුරු කැබලි මෙන් පැහැදිලිය.

හේමන්ත වර්ණකුලසූරිය පසුපස සිටිමින් තවත් පිරිසක් නිෂ්පාදනයට මුදල් යෙද වූහ. එහෙත් “සමනළයෝ” චිත්‍රපටයේ සැලකිය යුතු ප්‍රමාණයක් රූගත කොට තිබියදී මූල්‍ය අර්බුදයක් හේතු කොට වැඩ අතරමඟ ඇනහිටිණ. විජේසිරිවර්ධන පොළොන්නෝවිට සංගීතවත් කළ සිරිල් බී. පෙරේරා හා ඔගස්ටස් විනයාගරත්නම් ගීත නිබන්ධනය කළ මනහර ගීත 8 ක් මේ චිත්‍රපටය උදෙසා දලුගම සරසවි චිත්‍රාගාරයේදී පටිගත කෙරිණ. “සසර තුරුල්ලේ” (ගායනය - විජේසිරිවර්ධන පොළොන්නෝවිට), “කවුදැයි කවුදැයි” (එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක), “මීය පැණි රසයි” (එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා), “අඳුර හමුවේ” (ලතා වල්පොල), “සැමදාම සෙවුවා” (එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක), “අඩවන් දෙනෙතින්” (ධර්මදාස වල්පොල, ලතා වල්පොල), “නැංගුරම්” ( සුජාතා අත්තනායක), “නටන නැටුම්” (සුජාතා අත්තනායක) යන ගීත (බලන්න - සිංහල චිත්‍රපට ගීතාවලිය 1962 - 1966 - සුනිල් ආරියරත්න - පිටු 500 - 503) මීට ඇතුළත් විය. නිහාල්සිංහ කැමරාව මෙහෙයවා සම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් අතරමඟ ඇනහිටියේ මෙය පමණි. ලාංකික අපේ අභාග්‍යයකට සුගතපාල ද සිල්වා ඉක්බිති චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ප්‍රයත්න දැරුවේ නැත.”

කෙසේ වෙතත් එච්. ආර්. ජෝතිපාල සුගත්ගේ චිත්‍රපටයක් සඳහා ගීත ගැයීම වෙසෙස් සිදුවීමකි.

90 දශකය අග භාගය වන විට සුගතපාල ඇදුරාණෝ රෝගාතුරව දෙපයින් යා නොහැකිව ඔත්පළ වූහ. 1999 වසරේ මගේ කුලුඳුල් ග්‍රන්ථය වූ “අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව“ කොළඹ ආනන්දයේ (මා උගත් විද්‍යාලයේ) කුලරත්න ශාලාවේදී ජනගත කිරීමට මම සූදානම් වූයෙමි. ඒ ආසන්නයේ දිනෙක මම එතුමා හමුවීමට ගියෙමි.

“සර්ට මට පොතක් පිළිගන්වන්න ඕනෑ. ඒත් සර් ඉන්න අපහසුතාව නිසා මට කරදර කරන්න බැහැ”

“නැහැ, නැහැ, මං අනිවාර්යෙන්ම එනවා . . .” සුගතපාලයන් කී කල්හි “මං එක්කන් එන්නං” යැයි එතුමාගේ භාර්යාව ශීලා මහත්මිය පැවසුවාය.

“එහෙනම් මං වාහනයේ ඇවිත් එක්ක යන්නම්” මම කීවෙමි.

එදින මා මඳක් වේලාසනින් කුලරත්න ශාලාවට යා යුතු වූ හෙයින් මගේ මිතුරකු වූ ප්‍රදීප් පත්මපෙරුම (අද ප්‍රකට ඡායාරූප ශිල්පියෙකි) ස්වකීය වෑන් රථයෙන් එතුමාත්, ශීලා මහත්මියත් කැටුව පැමිණීමේ වගකීම භාර ගත්තේය. මගේ තවත් මිතුරකු වූ නිරෝශන තඹවිට ද (අද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස්) මේ ගමනට ඉතා කැමැත්තෙන් එක් වූයේය. එලෙස ආනන්ද විද්‍යාල භූමියට සපැමිණි සුගතපාලයන් පිළිගෙන, වත්තන්කොට ගෙන කුලරත්න ශාලාවට යෑමට මා සැරසෙද්දී එතුමෝ මෙසේ කියමින් මගේ අත්වැල හැර දමා තම බිරියගේ අත තදින් අල්ලා ගත්හ.

“ඔයා ඔය තියෙන වැඩ ටික කරගන්න. මට හෙමින් හෙමින් ශාලාවට එන්න පුළුවන්”.

එහෙත් එලෙස එන්නට කියා එතුමා හැර යෑමට මම කැමැති නොවීමි. එහෙත් ඔහු බලවත් සේ එය අවධාරණය කළ හෙයින් මම ඊට අවනත වුණෙමි. හෙමි හෙමින්, අපහසුතාවෙන් අඩිය තබා මේ පතාක යෝධයා සැලකිය යුතු කාලයක් ගත කරමින් මට වත්තන් කිරීමට ඉඩ නොතබා ගමන් කළ ආකාරය එදා මගේ ග්‍රන්ථ දොරට වැඩීමේ උලෙළට සහභාගි වූ ප්‍රේ්ක්ෂකාගාරයේ සිටි කලාකරුවෝ, සහෘදයෝ විස්මිතව සංවේදීව බලා සිටියහ. එදින මගේ ග්‍රන්ථය එතුමාගේ දෙපා නමැද මම පිරිනැමුවෙමි. ඒ අවස්ථාවේ සුගතපාලයෝ මගේ නළලට තම අත තබා ගෙන මඳ වෙලාවක් හීන් හඬින් කිසියම් දෙයක් මිමිණූහ. එදින එලෙසින් එතුමාගෙන් ලැබුණු ආශීර්වාදය අදත් මතුවටත් මා සමඟ බව දැනේ.

රෝගී තත්ත්වයක සිටියදීත් මගේ කෘතිය එක හුස්මට කියවා එය ඉහළින් අගය කොට විචාරයක් ලියා තැපෑලෙන් මවෙත එවීම මට යෝධ ශක්තියක් විය. එතුමාගේ අත් අකුරෙන් අදත් මේ විචාර ලිපිය මා ළඟ සුරැකිව තිබේ. මගේ කුලුඳුල් ග්‍රන්ථය ගැන ලියූ එකී විචාර ලිපිය එතුමා අවසන් කොට තිබුණේ මෙලෙසිනි. “දියට බැස්සානේ, දැන් ඉතින් පීනන්න. ඔය ආර හොඳයි”.

ඉතිරි කොටස ලබන සතියේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.