සම්මත මන්දගාමී කෘතියක් නොවූ විෂම භාග

ජනවාරි 30, 2020

ලලිත්ගේ අභිප්‍රාය වන්නේ වියළි කලාපයේ දුෂ්කර ගැමි දිවියේ යථා තතු මේ යැයි ප්‍රේක්ෂකයාට පහදා දීම ම නොවේ. ඇත්ත වශයෙන්ම මේ අභිප්‍රාය සුලබය. ඒකාකාරය. අවශ්‍ය වන්නේ අන් ආකාරයකින් හෝ විකල්ප පිවිසුමකින් මෙතැන යම් අනන්‍යතාවක් සලකුණු කරලීමයි. අභිනවාරම්භයක් ද උදෙසා වන මෙබඳු සලකුණු කිරීමක් දුලබ, විවිධාකාර හා වරෙක රසාලිප්ත වූ අවස්ථා කරා යොමු කරලීම නිර්මාණකරුවකුගේ සමත්කමකි.

උදා වී ඇත්තේ රමණීය උදෑසනකි. හිරු කෙමෙන් නැග එමින් තිබේ. අහස් කුස දිවා සමයට ලක ලැහැස්ති වන හැඩය. ඈතින් කඳු පෙළකි. මේ වියළි කලාපයේ තැනිතලා භූමියක් විය යුතුය. මුළු තිරයම අරක් ගෙන ඇත්තේ මේ කරුණයි. හාත්පස නිහඬතාව නිස්කලංක ජීවන රටාවක් පිළිබඳ ගෙන එන්නේ අදහස් ගොන්නකි. ඈතින් දිව එන කොලු ගැටයා පරිසරය වඩා සජීවී අදියරක් කරා රැගෙන යන මඟ පැහැදිලිය. ඔහු අත විසල් ප්ලාස්ටික් බඳුනකි.

ලලිත් රත්නායක මෙසේ අරඹන්නේ සුන්දර ගැමි දිවියේ සැටි මේ යැයි හඟවන මාදිලියේ සිනාපටයක් නොවේ. සිනමාපටය ‘විෂම භාග‘ ඊට හාත්පසින්ම වෙනස් තලයක් මත රැඳී සිට පේ‍්‍රක්ෂක සිත් සසල කරන අත්දැකීමක් ඉලක්ක කර ගන්නා බව වටහා ගන්නට ප්‍රේක්ෂකයා ගත කරන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ‘විෂම භාග‘ යනු කවරාකාරයේ සිනමාපටයක් ද යන්න කෙරෙහි යාන්තමින් හෝ දැන කියා ගත් ප්‍රේක්ෂකයකුට වුවද ලලිත් විසින් ඊට සපයනු ලබන ඉඩකඩ හුරු පුරුදු යැයි සලකා බැහැර කිරීම අසීරුය. ඒ ලලිත් සිය කැමරා ශිල්පී පාලිත පෙරේරා මඟින් නිර්මාණය කරන සිනමාපටයට අවශ්‍යම වූ රූප රාමු හේතු කොටගෙනයි. යථෝක්ත දුරස්ථ රූපය හා ඉනික්බිතිව ප්‍රේක්ෂකයා අමතන සමීප රූප සම්මුඛ වන්නේ එකම විටකදීය. මෙහිලා රූප රාමු එකිනෙක ගැටෙන අවස්ථාවකට සිනමාපටය ඇද වැටෙන වගක් නොපෙන්. ලලිත් සූක්ෂමව පියවර ගන්නේ සිනමාපටයේ රූප රචනය ස්වකීය ප්‍රමුඛ අරමුණු කුළු ගන්වන වාහකයක් බවට පත් කර ගන්නටය.

රූප රචනය විෂයෙහි ලලිත් නවකයකුය යන්න හඳුනා ගත හැකි පළමු අවස්ථා හමු වන්නේ රූපවාහිනිය ඔස්සේයි. ප්‍රාසංගික ටෙලි නාට්‍ය ඔස්සේයි. කෙසේ වතුදු රූපවාහිනී ලකුණු බැහැර කරන සිනමාරූපී ලකුණු සනිටුහන් කරන රූප රචනයකට මෙහිදී ලලිත් සූදානම් වන්නේ කැමරා ශිල්පී පාලිතට අමතරව සංස්කාරක තිස්ස සුරේන්ද්‍රගේ සහභාගිත්වය ද තීරණාත්මක ලෙස යොදා ගනිමිනි.

ලලිත්ගේ අභිප්‍රාය වන්නේ වියළි කලාපයේ දුෂ්කර ගැමි දිවියේ යථා තතු මේ යැයි ප්‍රේක්ෂකයාට පහදා දීම ම නොවේ. ඇත්ත වශයෙන්ම මේ අභිප්‍රාය සුලබය. ඒකාකාරය. අවශ්‍ය වන්නේ අන් ආකාරයකින් හෝ විකල්ප පිවිසුමකින් මෙතැන යම් අනන්‍යතාවක් සලකුණු කරලීමයි. අභිනවාරම්භයක් ද උදෙසා වන මෙබඳු සලකුණු කිරීමක් දුලබ, විවිධාකාර හා වරෙක රසාලිප්ත වූ අවස්ථා කරා යොමු කරලීම නිර්මාණකරුවකුගේ සමත්කමකි. ලලිත්ගේ ප්‍රයත්නය නිශ්චය කළ හැක්කේ මෙබඳු පරිවර්තනයකට සුදානම් වීමක් වශයෙනි. තමා හුදෙක් නවක සිනමාකරුවකුම නොවන බවත් ලලිත් එසැණින්ම පවසයි.

ගැමි දිවිය නිරූපණයට ලලිත් විසින් එක් කරනු ලබන සාධක නිරනුමානව ඔහුගේ අභිප්‍රාය කුළුගන්වන බව නිසැකය. දෙපාර්ශ්වය අතර ගොඩ නැඟෙන මේ ඓන්ද්‍රීය සම්බන්ධය සිනමාපටය ද්විත්ව රූපයක් ගැනීම වලකාලයි. නෙඑසේ නම් සිදු විය හැකිව තිබුණේ ලලිත්ගේ අභිප්‍රාය යට කී සාධක විෂයෙහි දියැ වී යාමය.

නිශ්චිත සංකේතයක් සේ ජලය උපයෝගී කොට ගන්නට ලලිත් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. සිනමාපටය පුරාම ජලය හමු වන්නේ එක්තරා ආකාරයක චරිතයක් මෙනි. ලලිත් කල්පනාකාරීව පියවර ගත්තේ සිය අභිප්‍රාය හා ජලය අතර එකඟතාවක් සහතික කර ගන්නටය. ලලිත්ගේ ජල නිරූපණය කෙමෙන් ඉරණමේ හා බලාපොරොත්තුවේ පොදු සංකේතයක් බවට පත් වෙයි. බලාපොරොත්තු සාක්ෂාත් කරගත යුත්තේ ඉරණම ඔස්සේය යන්න ඉන් ගම්‍ය වේ.

කෙසේ නමුදු ලලිත් ජල නිරූපණය අවධාරණය නොකරන්නට ප්‍රවේශම් වෙයි. ජලය නිරූපිත රූප රාමු වරෙක සමීප රූප ලෙසින් ද හඳුනා ගත හැකිය. වරෙක එය ගීතයක් බවට ද පත් වෙයි. එනම් තිරය මත ජලය අදෘශ්‍යමානව ද දැක ගත හැකි වීමය. මේ ගැමි දිවිය හැම අතින්ම ශෝචනීය වූවකි. පානීය ජල හිඟයෙන් පමණක්ම ගැමියෝ පීඩා නොවිඳිති. අන්තරාදායක කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නිසා සිදු වන ජල දූෂණයේ මාරන්තික ප්‍රතිඵලයක් වන වකුගඩු රෝගය ඔවුනට අභියෝග කරන්නේ කලක පටන්ය. පළමු රූප රාමුවේදීම ප්‍රේක්ෂකයා කරා එන දරුවාගේ පියා වකුගඩු රෝගයෙන් මිය ගොස් ඇත. අනතුරුව ඔහුගේ මුත්තණුවන් ද ජීවිතය හැර යන්නේ වකුගඩු රෝගය නිසාවෙනි. කාරුණික තරුණ ගුරුවරියගේ මවට ද වකුගඩු රෝගය වැලඳී ඇති බව කියැවේ. දරුවා විෂ සහිත ජලය නිවසට රැගෙන එයි. මව දරුවන්ගේ පාසල්වල ඇඳුම් සෝදන්නේ විෂ සහිත ජලයෙනි. ඉවුම් පිහුම් කරන්නේ, පානය කරන්නේ විෂ සහිත ජලයයි.

ලලිත් කිසිදු කලබලයකින් තොරව ප්‍රේක්ෂකයාට කියා සිටින්නේ මේ අත්දැකීම් පරයා යා හැකි මං තිබෙන වගය.ඒ අනුව ඔහු පාසල කරා ප්‍රේක්ෂකයා කැඳවයි. ගණිත ගුරුවරයා සැර පරුෂය. එහෙත් ඔහුගේ දැක්ම සිසු දරු දැරියන් මේ ඉරණමෙන් මුදවා ගැනීමය. ඊට සෞන්දර්ය අධ්‍යාපනයෙන් පිටිවහලක් නොලැබේවි යැයි ඔහු කල්පනා කිරීම අතාර්කික නොවේ. අවසන ලලිත් සිනමාපටය ස්ථාන ගත කරන්නේ ගුරු - සිසු භූමිකා පිළිබඳ නිර්දය හා අභියෝගාත්මක කියැවීමකය.

ඉන් සිනමාපටය මතවාදී සංකථනයක් සදහා සූදානම් කෙරේ. ප්‍රමුඛ භූමිකා නිරූපණයට එන දරුවන් දෙදෙනා නිවුන් සොහොයුරන් සේ හඳුන්වා දීම සිනමාකරු ලලිත්ගේ අරමුණට අනගි සහයකි. එක් දරුවකු ගණිතයට දක්ෂය. ගායනයට අදක්ෂය. අනෙක් දරුවා ගණිතයට අදක්ෂය. ගායනයට දක්ෂය. සංගීත ගුරුවරිය ගයන ගීය මේ ගායනයට දක්ෂ දරුවා හරහා ප්‍රේක්ෂකයා සසල කරන්නකි. එයින් කියැවෙන්නේ අලුත් වැස්සක් පිළිබඳ බලාපොරොත්තුවය.

ලලිත් සිය සැබෑ අරමුණ මෙතැනදී සාක්ෂාත් කර ගනියි. එනම් පවත්නා පාසල් අධ්‍යාපන රටාව විසින් සිසු දරු දැරියන් විෂයෙහි යුක්ති සහගත නොවන මැදිහත්වීම් සිදු කරනු ලබන බව වටහා ගැනීමට ප්‍රේෂකයා යොමු කිරීමයි. යථෝක්ත ගණිත ගුරුවරයා දුෂ්ටයකු බවට ම පත් නොකිරීම කෙරෙහි ලලිත් හැම විටම කල්පාකාරී වන අන්දම පෙනේ. ගණිත ගුරුවරයාගේ සුහදශීලී නොවන අදහස් සිසු දරුවන් අන්ද මන්ද කරන සුළුය. ගණිත විෂයට දක්ෂ දරුවන් පවා ඔහුට දුරස්ථව සිටින්නේ බිය නිසාමය. ජැක්සන් ඇන්තනි මේ ගණිත ගුරුවරයාගේ ඇතුළාන්තය හසු කර ගන්නට දරන ප්‍රයත්නය ප්‍රශ්න කරන්නට වුව පුළුවන. නමුත් ඔහුගේ සමත්කම් නිරායාසයෙන්ම මතු වන්නේ සිනමාපටය අහවර වන විටදීයි. ගණිතයට අදක්ෂ දරුවා ගුරුවරයාට දක්වන ප්‍රතිචාරය සූක්ෂ්මය. එය ජීවිතාවබෝධය ලබා දිය හැකි පාඩමක් කරා තල්ලු වීමට ගුරුවරයා පොළඹ වන්නකි. ඉරණම පරදවන්නට සමත් වන්නේ අධ්‍යාපනයේ සම්මත පිළිවෙත් මත පිහිටන සිසු දැරු දැරියන් පමණක්ම නොවන වග තේරුම් ගන්නට දැන් ප්‍රේක්ෂකයන් ද සූදානමය. ගණිත ගුරුවරයාගේ අලුත් පාඩම ‘පරිමාව හා ධාරිතාව ‘ය. මේ ගණිත පාඩමක්ම නොව ජීවිතය කියා දෙන පාඩමක් ද විය හැකිය. අලුත් පාඩම ඥාති සබඳතා පවත් වන්නේ සංගීත ගුරුවරියගේ ‘අලුත් වැස්සක්’ ගීය සමඟිනි.

‘විෂම භාග‘ හි ඒකමිතිය තහවුරු කර ගන්නට ලලිත් සමත් වන ප්‍රමාණය සුළු පටු නොවේ. ධාවන කාලය අවශ්‍ය පමණට සීමා කර ගැනීම ඔහුගේ සේම තිර නාටකයේ අවබෝධය තවදුරටත් ප්‍රකට කරන්නකි. ‘විෂම භාග‘ සම්මත මන්දගාමී රිද්මයකට ආ සිනමාපටයක් සේ හඳුන්වා නොදීමට ද පියවර ගත යුතුය එසේම සමකාලීනව දත හැකි පාසල් පාදක සිනමාපට මාදිලියට ‘විෂම භාග‘ අයත් නොකිරීම විචාර කාර්යයන්ගේ වගකීමකි. ඇත්ත වශයෙන්ම ‘විෂම භාග‘ ඉරණම හා බලාපොරොත්තු පිළිබඳ සංවේදී හා හැඟීම්බර සිනමාපටයක්ය යන්න නිසැකය.

සිය අනගත සිනමා අධ්‍යක්ෂණ කාර්යයන්හි දී ලලිත් ජය ගත යුත්තේ මේ සංවේදී හා හැඟීම්බර ලක්ෂණ විසින් උද්ගත කරනු ලබන්නට ඇති සාවද්‍ය ආකල්ප ආදියයි. එසේම කාලය හා අවකාශය සිනමාපටයක් තුළ ගළපා ගැනීමේ වැදගත්කම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වීම වැදගත්ය.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.