ලංකා TV අන්දරය

හසන්තට, කිංස්ලිට මඟ පෙන් වූ රූපවාහිනිය
පෙබරවාරි 6, 2020

ජාතික රූපවාහිනියේ ජාතික ගති ලක්ෂණයන් ප්‍රමුදිත කිරීමේ අරමුණෙන් එය ජනතාවගේ නාළිකාව ලෙසට තවදුරටත් තහවුරු කිරීමේ අභිප්‍රේරිතව, නිර්මාණගත පළමු වැඩසටහන් මාලාව ලෙසට දේශීය රූපවාහිනී ඉතිහාසයේදී අපට මුණ ගැසෙන්නේ ද ළමා අංශයෙන් නිර්මාණය වූ වැඩසටහන් මාලාවකි. ලලිතා සිරිබද්දන විසින් නිර්මාණය කරන ලද ‘මුතුහර’ ළමා වැඩ සටහන ඈත ගම් දනව්වල ජනතාව අදටත් ආදරයෙන් වැලඳ ගත් වැඩ සටහනක් වන්නේ එයින් වෑහෙන ජනහිතකාමිත්වය මෙන්ම අව්‍යාජත්වය හේතුවෙනි. ළමා පරපුරේ දක්ෂතාවන් අද මෙන් මාකට් නොකර, එම දක්ෂතාවයන් නිසි අයුරින් විකසිත කරමින් ජාතික තලයේ ඒවා සුවඳ විහිදුවන්නට ලලිතා විසින් කරන ලද ඓතිහාසික කාර්යභාර්යය අසමසම වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ අද දවසේ දැවැන්තයින් වී සිටින කිංස්ලි රත්නායක සහ හසන්ත හෙට්ටිආරච්චි වැනි සන්නිවේදකයින් ගේ නිවේදක දක්ෂතාවයන් පළමුවරට හඳුනා ගනු ලබන්නේ ද මුතුහර වැඩසටහන මඟිනි. “ජාතික රූපවාහිනිය අපේම නාලිකාව එය රැකීම අප සියළු දෙනගේ යුතුකම” යන අත්‍යුදාර සංකල්පයෙන් ප්‍රේරිතව ස්ථාපනය කරන ලද මුතුහර ළමා සමාජයන් මඟින් කරනු ලබන ප්‍රජා සද්කාර්යයන් කෙදිනකවත් මාකට් වූයේ නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ අද මෙන් බලු පොරයක නිරත වී මාකටින් තියරියම ඔළුවේ දවටාගෙන හැල්මෙ දුවන නාළිකාවන් මතුයම් දවසක තමනට අභියෝගයක් වේය යන ව්‍යාජ, මිසදිටු සංකල්පය පිළිබඳව අබමල් රේණුවක තරම්වත් අවධානයක් යොමු නොකර, තමනට ජාතිය විසින් පවරා දී ඇති ඓතිහාසික කාර්යභාරය සම්බන්ධයෙන් පමණක්ම අවධානය යොමු කර, නිවිහැනහිල්ලේ එය කරගෙන යාම පිණිස ජාතික රූපවාහිනියේ නිර්මාණකරුවන් එහි ආරම්භයේදී සිටම උනන්දුවෙන් කටයුතු කිරීම වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.