35 වසරකට පසුව මිතුරෝ මුණ ගැසෙති

පෙබරවාරි 6, 2020

සුගතපාල ද සිල්වා විසින් “සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක” යන හස්තසාර ග්‍රන්ථය රචනා කරනු ලැබීමෙන් ඉක්බිතිව “සොඳුරු ආඥාදායකයා” යන නාමය අන්වර්ථ නාමයක් ලෙස මේ මහා නාට්‍යවේදියා වෙතම පටබැඳීමට සහෘදයෝ උත්සුක වූහ. මෙය මුල්වරට පළ වූයේ 1988 වර්ෂයේදීය. එය මා මතකයේ රැඳී තිබෙනුයේ මෙහි ප්‍රථම මුද්‍රණයේ කංචුකය (පිටකවරය) මපියාණන් විසින් (ඒ. ඩී. රන්ජිත් කුමාර) නිර්මාණය කරන ලද හෙයිනි.

1995 උසස් පෙළ විභාගය සඳහා (කලා අංශයේ) මා හදාළ එක් විෂයක් වූයේ නාට්‍ය හා රංග කලාවය. එහිදී මේ විෂය සඳහා ප්‍රශ්න පත්‍ර ත්‍රයකට ශිෂ්‍යයන් පිළිතුරු ලිවිය යුතු විය. එනම් පෙරදිග නාට්‍ය කලාව, අපරදිග නාට්‍ය කලාව හා නාට්‍ය නිෂ්පාදනය යන ප්‍රශ්න පත්‍ර ත්‍රිත්වයටය. ඉන් නාට්‍ය නිෂ්පාදනය යන ප්‍රශ්න පත්‍රයට අවැසි පිළිතුරු ලබා ගනු පිණිස මා වඩාත් පරිශීලනය කළේ සුගත්ගේ “සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක” නම් වූ මාහැඟි කෘතිය බැව් පැවසිය යුත්තකි. එය තත් විෂය අරභයා සිංහල භාෂාවෙන් ලියැවුණු පුරෝගාමී ග්‍රන්ථයක් ලෙස ද සම්භාවිතය. එවක කොළඹ ආනන්දයේ මෙකල මෙන් උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂයට ගුරුවරයකු නොසිටි හෙයින් ඒ විෂය හදාරන සිසුන් වන අපට සිදු වූයේ එහි විෂය නිර්දේශය ළඟ තබාගෙන එය අනුව යමින් පොත්පත් පරිශීලනය කිරීමට හා බහුල වශයෙන් නාට්‍ය නැරඹීමටය. 

සුගතපාලයන් රෝගාතුර වූ පසුව පැතිර ගිය එක් ආරංචියක් වූයේ ඔහුගේ ස්මරණ ශක්තිය නැති වී ඇති බවය. ඉන් කම්පාවට පත් වූ මම වහා එතුමාගේ නිවසට ගියෙමි. එය පරීක්ෂා කිරීමට සිතූ මම ඔහු විසින් අතීතයේ මට පවසන ලද කරුණක් ගැන පිළිතුර දැන වුවත් නොදන්නා සේ ප්‍රශ්න කළෙමි.

“සර් දවසක් මට කිව්වා නේද අපේ සුප්‍රසිද්ධ නාට්‍යවේදියකුට යාං හෑලි කොච්චර කීවත් ඒවා තේරෙන්නේ නැහැ කියලා. කවුද සර් ඒ නාට්‍යවේදයා?” සුගතපාලයෝ එකවරම නිවැරදි පිළිතුර මට ලබා දුන්හ. “හෙන්රි ජයසේන”.

ඒ පිළිතුරෙන් මා අපමණ සතුටට පත් වූයේ ඔහුගේ ස්මරණ ශක්තිය රෝගාතුරව ඔත්පළ වීමෙන් ඉක්බිතිව ද සිඳී නොගොස් පැවති බැවිනි. එපමණකුදු නොව ඉක්බිති ඔහු තම පොත් රාක්කයක් වෙත අත දිගු කොට මෙසේ කීවේය. “අර උඩ පොත් රාක්කයේ වමේ සිට තියෙන 5 වැනි පොත මගේ මතකයේ හැටියට විලියම් ආචර්ගේ “ර්ඒඉම්ඉ ර්‍ණඅ ජ්ඒඛ්ඡ්ඉ ඒ ඉඊඋච්ක ධ්ව් ඊඩ්ඡ් ර්‍ථඉකඛ්ඩ්ර්‍ණඹ්ර්‍ණට්ක ර්‍ණජ් ඒඛ්ඊධ්ව්ට්” ඒක මට දෙන්න”

මම එතැනට ගොස් බැලුවෙමි. හරියටම හරිය. සුගත් කී තැන තිබුණේ ඒ පොතය. මම ඔහුට එය රැගෙන දුන්නෙමි. සුගත් එහි අදාළ තැන් සොයා ගත්තේ ද මතකයෙනි. එතුමාගේ මතකය ගැන වෙන පර්යේෂණ කුමටද ?

දිනක් සුගතපාල ඇදුරාණන් සමඟ මා “සිනමා විචාර කලාව“ අරභයා කතාබහ කරමින් සිටියදී එතුමෝ මෙසේ පැවසූහ.

“60 දශකයේ අපට සිටියා ඉතාම විශිෂ්ට ගණයේ සිනමා විචාරකයෙක්. ඒ තමයි රෙජී රණසිංහ. සංස්කෘති සඟරාවේ තමයි ඔහු වඩාත් විචාර ලිව්වේ. චිත්‍රපටයක රූප රාමුවෙන් රූප රාමුවට ඉතාම සියුම් ලෙස විචාරයට ලක් කොට ලිපි ලිවීමට රෙජී ඉතා දක්ෂයි. නමුත් අභාග්‍යයකට පසුකාලීනව ඔහු විචාර ලිවීමෙන් දුරස්ථ වුණා. මෙය සිනමා විචාරයට සිදු වූ බලවත් පාඩුවක්. ඒ කාලයේ රෙජී මගේ ඉතා සමීප මිතුරෙක්. 60 දශකයේ මැද භාගයෙන් ඒ කියන්නේ අවුරුදු 30 කින් විතර ඔහු මට හමු වුණේ නැහැ. තවම ජීවතුන් අතර ඉන්නවද නැත් ද කියලවත් දන්නේ නැහැ”.

මෙය ඇසීමෙන් මම අතිශයින් ප්‍රීති ප්‍රමෝදයට පත් වුණෙමි. ඊට හේතු වූයේ සුගතපාලයන් සේම රෙජී රණසිංහයන් ද මගේ විචාර ශක්තිය දැල්වීමට සදුපදේශ ලබා දුන් ගුරු දෙවියකු වූ නිසාය. රෙජී මහතාගේත් මගේත් සමීප ඇසුර සුගතපාලයෝ දැන නොසිටියහ. අනෙක් අතට මා සතුටු වූයේ රෙජී රණසිංහ මහතා එවක ජීවත්ව සිටි බැවින් මේ පැරැණි මිතුරෝ ඉතා ඉක්මනින්ම එකිනෙකා මුණ ගැස්සීමේ හැකියාව මට තිබූ බැවිනි. සුගත් කී ලෙසින් චිත්‍රපට විචාරයෙන් ඈත් වූ රෙජී පසුකාලීනව ගුරු වෘත්තියට කැප වූයේය. සුගත්, රෙජී දෙදෙනාම විචාරශීලී මාක්ස්වාදීහු වූහ. 80 දශකයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ආචාර්යවරයා වූ රෙජී, ශ්‍රීමතී ලියනගේ අධ්‍යක්ෂණය කළ (කුමරතුඟු මුනිදසුන්ගේ සාහිත්‍ය කෘතිය ඇසුරෙන්) “හත් පණ” ළමා ටෙලි නාට්‍යයේ වික්‍රම සෙනෙවිරත්න සමඟ චරිතයක් ද රඟපෑවේය. කොළඹ නාලන්දාවේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමේ දොරටුව මවෙත විවර කර දුන්නේ රෙජී ගුරුතුමන්ය. ගුරු වෘත්තීයෙන් විශ්‍රාම ලැබූ පසුවත් එතුමෝ තම නිවසේ උපකාරක පන්ති පවත්වා ගෙන ගිය අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් රටට දායාද කළහ. පසුකාලීනව සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළ කිහිපයකම ඔහු විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වූයේය. ඇත්ගාලේ පදංචිව සිටි රෙජී, කොළඹ පැමිණි විට නතර වූයේ අප නිවසේය. ඔහු අප නිවසට පැමිණි සෑම දිනකම තම නිවසේදීම සකස් කොට ගත් කිතුල් පැණි බෝතලයක් රැගෙන ඒමට අමතක කළේ නැත. රෙජී සුරට්ටු පානයෙහි රුසියෙකි. නිතර සැරසුණේ සුදු කමිසයකින් හා සුදු සරමකිනි. කලිසම් ඇන්දේ කලාතුරකිනි. එලෙස ඔහු අප නිවසෙහි නවාතැන් ගත් සෑම අවස්ථාවකදීම ආගිය තොරතුරු කතා කොට මුලින්ම කළේ පුස්තකාලය වෙත පිය නැඟීමය. එහිදී රෙජී නිර්මාණ සාහිත්‍ය, විචාර, ශාස්ත්‍රීය යනාදී විවිධ ග්‍රන්ථ 7, 8 ක් පමණ තෝරා ගැනීමෙන් පසුව අප නිවසෙහි ගෙමිදුලට පුටුවක් ඔසවා ගෙන ගොස් එහි අසුන් ගනී. ඉක්බිති අර කී පොත් ඔහුගේ අසලින් ගොඩ ගසා තබාගෙන එකින් එක කියවන්නට පටන් ගන්නා අයුරු මට පෙනේ. දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය සඳහා අප ඇරැයුම් කරන තුරු එතුමාගේ වැඩි කාලයක් ගත වනුයේ ඉතා අභිරුචියෙන් මේ පොත් කියවීම සඳහාය. ඒ අතරතුර එතුමෝ එකී පොත්වල අන්තර්ගත ශාස්ත්‍රීය කරුණු අරභයා මා සමඟ සාකච්ඡා කරති. තර්ක, විතර්ක, විසංවාද නඟති. ඔහු ඇසුරෙන් මා ලැබූ දැනුම් සම්භාරය සුළුපටු නැත. දිනක් රෙජී මහතා මෙසේ ඇසුවේය. “සුගත් අසනීපෙන් කියලා ආරංචියි”.

“ඔව් සර්. සර්ව හමුවෙන්න එතුමා ඉතා ආශාවෙන් ඉන්නේ. අවුරුදු 35 කින් විතර පස්සේ හමුවෙලා නැහැ කිව්වා”.

“අනේ ඔව්, නුවන් මාව එක්ක යනවද සුගත්ව බලන්න”

ඒ 2001 වසරේ අග භාගය බව මට මතකය. රෝගාතුරව ඔත්පළ වීමෙන් පසුව පිය ගැට පෙළ නැඟීමට තිබූ ගැටලු නිසා සුගතපාලයෝ රත්මලානේ සොයිසා පුර මහල් නිවසේ පහළ මාලයේ (අද ඔහුගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින) නිවසකට පදිංචියට ගියහ. අප නිවසේ සිට එම නිවසට ඇත්තේ දෙපයින් යා හැකි කෙටි දුරකි. රෙජී මහතාත් මාත් නොයෙක් දේ ගැන කතා කරමින් සුගතපාලයන්ගේ නිවස වෙත පා නැඟුවෙමු. සුගත් හා රෙජී යන මිතුරෝ වසර 35 කට පසුව මුණ ගැසීමේ අපමණ සතුට බුක්ති වින්ඳාහ. මේ බහුශ්‍රැතයන් දෙදෙනාට මැදි වී මම නිහඬව ඔවුන්ගේ ශාස්ත්‍රීය සංවාදයට සවන් දුන්නෙමි. ඉන් මා උකහා ගත් දේ බොහෝය. අසල විහාරස්ථානයකින් ඇසුණු පිරිත් හඬ සුගත් සිටි ඒ කාමරයට හොඳින් ශ්‍රවණය වූ බැවින් රෙජී මෙසේ කීවේය.

“සුගත් තෝර ගෙන තියෙන්නේ හොඳම තැනක්. පිරිත් ඇහෙනවා. කොච්චර හොඳද?”

සුගතපාලයෝ නිහඬවම එය අනුමත කළහ. සුගත් - රෙජී මිතුරන් අවසන් වරට හමු වූයේ එදිනය. සුගත් 2002 වසරේද රෙජී 2004 වසරේද අභාවප්‍රාප්ත වූහ.

සුගත් ජ්‍යෝතිෂය පසුපස හඹා නොගිය ද රාහු කාලය දැඩිව විශ්වාස කළේය. ඔහු තම නිර්මාණ කාර්යයන්ද රාහු කාලයේ ඇරැඹුවේ නැත. සතියේ සඳුදා පාසල් ඇරඹෙන උදේ කාලයේ රාහු කාලය පවතින බැවින් සතියේ දවස්වලින් අඟහරුවාදා පාසල් පටන් ගැනීමට සම්මත කිරීම වඩාත් සුදුසු බව ඔහු වරක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළේය. එතුමෝ පන්සිල් සමාදන් වූහ. දෙවියන් විශ්වාස කළහ. ගමනක් පිටත් වෙද්දී ඉදිරියට හමුවන මිනිසුන්ගෙන් අපට යම් බලපෑමක් වන බව ඔහු විශ්වාස කළේය. පූජ්‍ය රේරුකානේ චන්දිමල නා හිමියෝ එබඳු විශ්වාස ඇති මිනිසුන් ‘කෝතුහල මංගලිකයෝ’ ලෙස හැඳින්වූහ. කාල්මාක්ස් ගැන හෝ ට්‍රොට්ස්කිවාදය හෝ නූතනවාදය ගැන සුගත් ලීවත් ඒ ලිපි ඇරැඹුවේ “නමෝ බුද්ධාය” යන වාක්‍යය ලිවීමෙන් පසුවය. ඔහු මෙරට සම්ප්‍රදාය ගරු කළ විචාරශීලී මාක්ස්වාදියෙකැයි මා පූර්වයෙහි ද සඳහන් කළේ එබැවිනි. ඔහු සතර දිග් භාගයෙන් ඕනෑම මතවාදයක් ග්‍රහණය කොට ගත්තේ මෙරට සභ්‍යත්ව විඥානය අනුව කිරා මැන බැලීමෙනි. “සාම්ප්‍රදායික භෞතිකවාදියා” යන හිසින් සුගත් ගැන වරක් අප හිතවත් මාධ්‍යවේද, ප්‍රවීණ ලේඛක ජගත් මාරසිංහයෝ මෙසේ ලියූහ.

“සුගත් අයියට වැඩියෙන්ම කේන්ති යන්නේ ලියොන් ට්‍රොට්ස්කිට විරුද්ධව කවුරුන් හෝ වචනයක් කිවහොත්ය. මිනිසකුට සංකීර්ණ මිනිසකු වීම පහසුය. එහෙත් සරල මිනිසකු වීම අපහසුය. සුගත් අයියා සරල සාම්ප්‍රදායික මිනිසෙකි. ඔහු ලාංකේය බුද්ධිමය සමාජයේ විද්වතකු වනුයේ ඒ නිසාය. ඔහු සැබෑවටම මිනිසෙකි. ඔහුගේ කලා කෘති මුල් කරගෙන සම්ප්‍රදායට පිටුපාන මිනිසුන් ගැන අනාගත පරම්පරාව නැවත සිතා බැලිය යුතුය. එසේ නොවූවහොත් එය රටේ ඛේදවාචකයක් බව ස්ථිරය. ඔහු කිසිම දෙයක් එකතු කළේ ද නැත. කිසිම කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කේවත් නැත. ඔහු කීවේ අප මිනිසුන් ඇසුරු කළ යුත්තේ අඩුපාඩු අමතක කොට බවය. ප්‍රංශ නව රැල්ලට, ඉන්ග්මාර් බර්ග්මාන්ට, සත්‍යජිත් රේට ඔහු ඉතා ඇලුම් කළේය. සුගත් නාගරිකත්වයට, නූතනත්වයට ඉතා කැමැතිය. ගාමිණි, ජෝ, විජය, මාලිනී, ස්වර්ණා යන නළු නිළියන්, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක යන සිනමාකරුවන් ඔහු වඩාත් අගය කළේය. විජය සුගත්ගේ සමීප මිතුරෙක් වූයේය. තම නාට්‍ය පුහුණුවීම්වලදී පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීමට ඔහු විරුද්ධය”.

වත්මන් බොහෝ නාට්‍යකරුවන්ගේ (අල්පයක් හැර) නාට්‍ය දෙස බලද්දී සුගතපාල ද සිල්වා තවමත් ඔත්පළ වී ඇතැයි හැඟේ. ඊට හේතුව ඔවුන් සුගත් නැවත කියවීමට, එතුමාගේ දැක්ම ඔස්සේ ආභාසයක් ලැබීමට අසමත් වීමය. සුගත්ගේ ප්‍රයුංජන කාර්ය සාධනය, වේදිකාවේ හැඩතල, හඬ පාලනය සකස් විය යුතු අයුරු වැනි නොයෙක් අංග පිළිබඳ වෙසරද ඥානයෙන් අංශු මාත්‍රයක් හෝ මේ බොහෝ තරුණ නාට්‍යවේදීන් අවශෝෂණය කොට ගෙන නොතිබීමය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ස්ටැනිස්ලව්ස්කි, විලියම් ශේක්ස්පියර් වැනි ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන් මෙකලද ඔත්පළ වී නැත. ඔවුන්ගේ අනුප්‍රාණය අනුප්‍රාප්තික නාට්‍යවේදීන්ගේ නිර්මාණ ඔස්සේ අද්‍යතන නාට්‍යවේදීන් විෂයෙහි ද මැනවින් බලපෑම මීට හේතුවය. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ඩබ්ලිව්. බී. මකුලොලුව වැනි ස්වාධීන චින්තනයකින් හෙබි විශිෂ්ටයන් මෙන් සුගතපාලයන්ට ද ගුරු කුලයක් නොතිබිණ. එහෙයින් මේ උසස් කලාකරුවන්ගේ මෙහෙවර පරම්පරාගතව ස්ථාපිත වූයේ මඳ වශයෙනි. සුගත්ගේ නාට්‍ය ප්‍රයුංජනය, නවකතා, ගුවන් විදුලි නාට්‍ය (හඬ නළු) අරභයා ගැඹුරු කියැවීමක් මෙකල අත්‍යවශ්‍ය වී තිබේ. වරක් ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි, සුගත් ජීවත්ව සිටි සමයේදී පළ කළ කියුමක් මේය.

“මරා වගේම කායිකව ඔත්පළ වී සිටිද්දීත් එතුමා ඇඳේ ඉඳන් කුරුටු ගානවා. එතුමා ඉතා සරලව ලියන කියන බොහෝ දේ තුළ ඉතා දාර්ශනික ගැඹුරක් දක්නට ලැබෙනවා. අනෙක් අතට බෙ‍්‍රෂ්ට් වඩාත් හොඳින් අවබෝධ කොට ගත් නාට්‍යවේදියා ඔහුයි. බෙ‍්‍රෂ්ට්ගේ කෘති ඔස්සේ එතුමා නිර්භයව අනුප්‍රාණය ලැබුවා. සුගතපාලයන්ගේ දරිද්‍රතාවට ලැජ්ජා විය යුත්තේ එතුමා නොවෙයි. අප ඇතුළු රට. සුගතපාලයන් කිසි දිනක කාලිදාස, භරතමුනි ආදීන්ගේ දෘෂ්ටියෙන් සිතුවේ නැහැ.

සෙරෙප්පු කබල් දෙකකින් ගිය, ප්ලේන් ටී එකෙන් ඔබ්බට නොගිය, දහදිය අද්දර විසූ එතුමා 1977 මෙරටට ආකස්මිකව ප්‍රාදූර්භූත වූ ආර්ථිකය ඔස්සේ බිහි කළ වෙළඳපොළ ඉලක්ක කොට ගත් වාණිජවාදී කලා පිළිවෙත අපේක්ෂා කළේ නැහැ. මෙවැනි වකවානුවක් තුළ එතුමා හුදෙකලා වීම පුදුමයක් නෙවෙයි.” 

ජැක්සන්ගේ යථෝක්ත කියුම සමඟ මා හට සිහිපත් වූයේ “මරාසාද්” නාට්‍යයෙහි මරාගේ මුවට සුගත් නංවන දෙබස් ඛණ්ඩයකි.

“වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි.”

සුගතපාල ද සිල්වා ගුරු දේවයාණන් 1995 ජූලි 26 වැනිදා මගේ සමරු පොතෙහි තැබූ සටහන ගලේ කෙටූ අකුරක් පරිදදෙන් මා හදවතෙහි තැන්පත් වී තිබේ. දෙසවනෙහි නිබඳව දෝංකර දේ.

“මිනිහෙක් වුණොත් කියවන්න යමක් ලියන්න නැත්නම් ලියන්න යමක් කරන්න”

සමරු පොතේ සුගත් තැබූ සටහන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.