ග්‍රේෂන් නොගැයූ ගීයක් මරියෝ හඬින් ගෙන එන චමින්ද පෙරේරා

පෙබරවාරි 6, 2020

1970 දශකයේ අගභාගයේදී යොවුන්විය සපිරුණ තරුණයෙකු සිනමා රසකාමියෙකු ලෙස චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට පිඹුරු පත් සැකසුවේය. මේ අවදිය වනවිට මෙරට සිනමාවේ රසික පිරිස ගේ ආදරය දිනාගත් සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ විජය ධර්ම ශ්‍රී ඔහු සිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගත්තේය. විජය ධර්ම ශ්‍රී ඒ වනවිට ‘ දුහුළු මලක් වැනි චිත්‍රපට නිර්මාණය කොට ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් මෙරට ස්ථාවරත්වයක් දිනා ගත්තෙකු වූයේය.සිනමාවට පෙම් බැඳී මේ තරුණයාට තම කුලුඳුල් නිෂ්පාදන කාර්ය හරහා අලුත් යමක් කිරීමේ උත්සාහයෙන් යුක්ත වූවෙක් විය. ඔහුට අවශ්‍ය වූයේ තම චිත්‍රපටය ඔස්සේ මෙරට සිනමා ක්ෂේත්‍රයට නව නළු පෞරුෂයක් හඳුන්වාඳීමටයි. එදා ඔහුගේ මේ ප්‍රයත්නය දෙස බොහෝ දෙනෙක් විචාරශීලිව බැලුවද ,තම උත්සාහය කිසිසේත්ම අත්හරින්ට ඔහු නොකැමැති වූයේය. ඒ නොකැමැත්ත නිසාම මෙරට සිනමාවට අග්‍රගණ්‍ය නළු පෞරුෂයක් හිමි වූයේය.

මේ නිෂ්පාදකවරයා චමින්ද පෙරේරාය. ඔහු මෙරට සිනමාවට හඳුන්වා දුන් නළු පෞරුෂය වූයේ සනත් ගුණතිලකය.වසර ගණනාවක් තිස්සේ ඔහු පදිංචිව සිටින්නේ කැනඩාවේය. එහෙත් වසරකට වරක් හෝ මව්බිමට පැමිණ කලා කටයුත්තක නියැළෙන්නට ඔහු අමතක නොකරන්නේ පෙරදින කලාවට බැඳී ස්නේහය ඔහු තුළ තවමත් එලෙසම තිබෙන නිසාවෙනි. පසු ගිය දිනවල ඔහු ලංකාවේ රූඳී සිටියේ තවත් අලුත් වැඩ කටයුත්තක් නිමිත්තෙනි.

‘‘ මේ පාර ලංකාවට ආවම මට හිතුණා අලුත් ගීත දෙකක් කරන්න. මගේ කලා ජීවිතේ වැඩිපුර ප්‍රමාණයක් මම වැය කලේ ගීත නිෂ්පාදකයෙකු වශයෙන් කටයුතු කරන්න. අදටත් මගේ හිත ඒ පැත්තට වැඩියෙන් නැඹුරු වෙනවා. මීට බොහෝ කාලයකට ඉස්සර මම ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද ගේ ගීත වගයත් තැටිගත කළා. නමුත් ඒ ගීත මට එළියට දා ගන්න ලැබුණේ නෑ. කාලයක් තිස්සේ ඔය ගීත මගේ ළඟ තිබුණා. ඒ විතරක් නොවෙයි එච්. ආර් ජෝතිපාලයන්ගේ ගීත පවා මම ගාව තියෙනවා නිදහස් නොකරපු ගීත. මට හිතුණා මේ පාර ග්‍රේෂන් ග් ගීත දෙක අලුතින් කරන්න.මේ අදහසත් මගේ හිතට ආවේ අහම්බයකින්. මොකද මම ලංකාවට ආවට පස්සේ සනත් ගුණතිලකත් එක්ක සෝමාවතියේ ගියා. ඒ ගිහින් එන ගමන් සනත් මට කිව්වා එයාගේ නවතම චිත්‍රපටයේ ගීත පටිගත කිරීම කළ සුනෙත් කැළුම් පොඩ්ඩක් හමුවෙලා යමු කියලා . ඒ ගියාම සුනෙක් කැළුම්හඳුනා ගත්තට පස්සේ තමයි මට හිතුණේ මේ ගීත දෙක කරලම ගියොත් හොඳයි කියලා.‘‘

සඳපානේ - රන්තරු මල්යායේ 
පවනේ රුඳුනේ ඇයගේ ගී රාවේ..... 
යොවුන් වියේ සුවඳ ගෙනා පාසැල් කාලේ 
නිමාවුනා ප්‍රේමේ මල් මැලවීලා 
හමුවේදෝ සංසාරයේ ඈ යලි 
ළංවී රහසේ මුමුනා පෙම් කතාවන්

එවකට මේ ගීතය ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා විසින් රචනාකර තිබුණි. සංගීතවත්කොට ගායනා කර ඇත්තේ ග්‍රෙෂන් ආනන්ද විසිනි. චමින්ද ගේ නිෂ්පාදනයක් ලෙසින් නව සංගීත සංයෝජනය සුනෙත් කැළුම් විසින් කර ග්‍රෙෂන් ගේ පුත් මරියෝ ආනන්ද විසින් දැන් නැවතත් එය ගායානාකොට ඇත. පසුගිය දිනක ගීතය ශ්‍රවණය කිරීමට ලැබීමෙන් මම මහත් ආනන්දයක් වින්දෙමි. ඒ තරමට ආකර්ෂණියව මරියෝ විසින් එය ගායනා කොට තිබිණ. අහම්බයකින් හෝ මේ ගීතය ග්‍රේෂන් ගේ හඩින් කරළියට නොපැමිණ තිබුණේ එය මරියෝ වෙනුවෙන්ම සිය පියා විසින් ඉතිරි කරන ලද තිළිණයක් පරිද්දෙනි. මේ ගීතයත් සමඟ තවත් ගීතයක් චමින්ද මෙවර පටිගත කලේය.ලෝකයේ කොයි කෙළවරක සිටියද කලාකරුවාට කලාව අත්හළ නොහැකිය. චමින්දටද එසේමය. ඔහු මීට වසර කීපයකට පෙර තිරගතවූ සනත් ගුණතිලක අධ්‍යෂණය කළ ‘‘සිනහව අතරින්‘‘ චිත්‍රපටයේ කතාව ලියුවේය.

‘‘මම ලංකාවෙන් ඈත්වුණා කියලා කලාව අතහැරියේ නෑ. මම කැනඩාවේ ඉන්න ගමන් තමයි ‘සිනහව අතරින් ‘කතාව ලියුවේ. මම ඒක ලිව්වේ එහෙ කරන්න බලාපොරොත්තුවෙන්. ඒකනේ ඒකට සුදු චරිතයක් එකතු කළේ. නමුත් ඒක සුනිල් ටී දැක්කට පස්සේ මගෙන් ඉල්ලුවා. කොහෙ හරි කමක්නෑ නිර්මාණය එලි දකින්නනේ ඕන. එ නිසා මම දුන්නා.ඇත්තටම හුඟ දෙනෙක් ඒ චිත්‍රපටයේ කතාවට ප්‍රසංශා කළා. මට මතකයි දවසක් සනත් කිවුවා මේ චිත්‍රපටය මහාචාර්ය කාලෝ ෆොන්සේකා තුන් සැරයක් නැරඹුවා කියලා.මම දැන් තවත් චිත්‍රපට කතාවක් ලියලා තියෙනවා. ඉස්සරහදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තනිකඩ මවක් වටා ගෙතුණු කතාවක්. ඇත්තටම කැනඩාවේත් හරියට තනි මවුවරු ඉන්නවා. මේ අයගේ ජීවිත වටා හරිම හැඟීම් බර කතා තියෙනවා. මට ඕන මේ චිත්‍රපටය අලංකාරව කරන්න. මම අදටත් චිත්‍රපටයක් විඳීන්නේ බොලිවුඩ් සිනමාව තුළ . ඒක මගේ ඇඟට හරියට දැනෙනවා.දැන් ඉස්සර අපේ චිත්‍රපට ගත්තමත් අපි හරියට ඒවා වින්දානේ. ලස්සන සින්දු කීපයක්ම තිබුණා. මම තවමත් ආස ඒ වගේ සිනමාවකට. මේ කතාව මම හිතන් ඉන්නේ ඒ වගේ චිත්‍රපටයක් කරන්න .ගීත කියන්නේ සංගීතය කියන්නේ සිනමාවේ ප්‍රධාන කොටසක්. මට දැනෙනවා සිංහල සිනමාවෙන් මේ ප්‍රධාන කොටස ටිකෙන් ටික ඉවත් වුණා කියලා.‘ 

චමින්ද චිත්‍රපට නිෂ්පාදකයෙකුට වඩා කැමැත්තකින් හා ආකර්ෂණීය අන්දමින් සංගීත නිෂ්පාදකවරයෙකු වශයෙන් ඉදිරියට ගියේය. එකල බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගී නිර්මාණ නිෂ්පාදනය වූයේ චමින්ද අතිනි. දැන් ඔහුට නැවතත් මේ ගී නිර්මාණ කෙරෙහි උනන්දුවක් ඇතිවී ඇත්තේය. ඒ අනුව ඔහු ඉදිරියටත් නව සංගීත සංයෝජනයෙන් නව හඩවල් වලින් නැවතත් ගීත නිර්මානකරණයේ යෙදෙනු ඇත.

චමින්ද පෙරේරා නිෂ්පාදනය කළේ එක චිත්‍රපටයකි. ඒ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කල ‘‘ ‘සිටුකුමරියෝ‘ ය. එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කලද ඔහු ඉතිහාස ගතවන්නේ මෙරට සිනමාවට අපූරු නළුවෙකු හඳුන්වාදීම නිසාය.

‘‘ ඇත්තටම ‘සිටු කුමරියෝ‘ කරනකොට මට ඕන වුණේ ඒකට අලුත් නළුවෙක්ව ගේන්න. මම විජය ධර්ම ශ්‍රි ට මේ බව කිව්වම ‘‘ ඔයාට පිස්සුද? කියලා ඇහුවා. ඇත්තටම ඔහුගේ ඒකට කැමැත්තක් තිබුණේම නෑ. ඒ කාලේ වෙනකොට ගාමිණී , විජය , රවීන්ද්‍ර වැනි ආකර්ශණීය මෙන්ම හරිම ජනප්‍රිය නළුවන් හිටියා. නමුත් මට ඕන වුණේම අලුත් එක්කෙනෙක් ගේන්න. මම කලේ දිනමිණ පුවත්පතේ දැන්වීමක් දැම්මා අලුත් චිත්‍රපටයකට නළුවෙක් ඕන කියලා. හැබැයි මම දැන්වීමට විජය ධර්ම ශ්‍රී ගේ නම පාවිචිචි කළා. විජේ වත් විශ්වාස කළේ නෑ මේකට කවුරුත් එයි කියලා. නමුත් ඉන්ටර්විව් එක තියන්න අපි සුදර්ශිය ලෑස්ති කළා. මට විශ්වාසයක් තිබුණේ නෑ මේ තෝරා ගැනීම කරන්න විජය ධර්ම ශ්‍රී එයි කියලා . ඒ හින්දා මම මාලිනී ෆොන්සේකාටත් එන්න කිව්වා. මට තවමත් මතකයි මමයි සෝමපාල ලැනරෝලුයි විජය ධර්ම ශ්‍රී එනකම් සුදර්ශියේ ගේට්ටුව ගාව ඉන්නවා. ටික වෙලාවකින් අපි ලඟ කාරෙකක් නැවැත්තුවා. බලනකොට විජය කුමාරතුංග. අපි දෙන්නා දැකලා නැවැත්තුවේ. අපෙන් ඇහුවා මොකද කියලා. අපි කිව්වා අලුත් නළුවෙක් තෝර ගන්න අලුත් චිත්‍රපටයකට කියලා. ඔහු හා හොඳයි හොඳයි කියලා මචං හොඳ කෙනෙක් තෝර ගන්න කියලා ගියා. ඇත්තටම අපේ සම්මුඛ පරීක්ෂණයට ගොඩාක් දෙනෙක් ආවා. නමුත් සනත් දැකපු ගමන්ම මම හිතා ගත්තා මෙයා තමයි සුදුසු කෙනා කියලා. සනත්ට සිනමාවට ගැළපෙන හොඳ පෞරුෂයක් තිබුණා. ‘‘සිටුකුමරියේ නිෂ්පාදනය කරලා ටික දවසක් යනකම් ඒක පෙන්න ගන්න බැරිවුණා ඒකෙන් පස්සේ මට එපා වුණා . ඔය අතරෙදි තමයි මම විවාහ වෙන්නෙත් .ඉතින් ඊට පස්සේ මම තීරණය කලා පිටරට පදිංචියට යන්න. ඇත්තටම එහෙම ගියා කියලා හෝ කලාව මිස් වුණා කියලා හෝ මට කනගාටුවක් නෑ. මම මෙහෙ හිටියා නම් ඔයිට වඩා දේවල් කරයි. නමුත් එහෙම නොවුණා කියලා මට කනගාටුවකුත් නෑ.

කාලයක් පුරාම චමින්ද කැනඩාවේ ශ්‍රිලාකික චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළේය. වසර කිහිපයක් එය පැවැත්වීමට නොහැකි වුවත් ඉදිරියේදී ඔහු නැවතත් එය සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අනුව මෙම වර්ෂයේදී ඔහුම සිනමාවට හඳුන්වාදුන් සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘ගැහැනු ‘ හි ආරම්භක ප්‍රදර්ශනය කැනඩාවේ දී පැවැත්වීමට ඔහු බලාපොරොත්තු වේ.

මවු බිමින් බැහැරව සිටියත් සැමදා අපේ දේ අගයමින් දේශීය කලාවන් කෙරෙහි බැඳී ප්‍රේමයෙන්ම කලාව අතනොහරින ඔහුට අපේ ආදරය සැමදාමත් හිමි විය යුතුමය.

නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Buy Doxycycline Generic Buy Cialis Canada Meds 365 Cialis Amoxicillin Taken For Uvulitis
ඉරි, 03/15/2020 - 15:06

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.