අනුරාගය සහ භීෂණය

බහුබාර්යා
පෙබරවාරි 6, 2020

1987, සැප්තැම්බර් 11 වෙනි දින ඇමරිකාව පුරා, ජේම්ස් ඩියර්ඩන් තිර නාටකය ලියූ, ඒඩ්‍රියන් ලීන් අධ්‍යක්ෂණය කළ කදිම නිර්මාණයක් එළි දැක්වුනා.ඒ 'ෆේටල් ඇට්‍රැක්ෂන් නම් චිත්‍රපටය. මෙහී මයිකල් ඩග්ලස්, ග්ලෙන් ක්ලෝස්, සහ ඈන් අර්චර් ප්‍රධාන චරිතයන් රඟපෑ අතර, ස්ටැන්ලි ආර් ජෙෆේ හා ෂෙරී ලෑන්සින්ග් විසින් නිෂ්පාදනය කළහ.

කථාව ගෙතී යන්නේ 'ඩෑන් ගැල්ලෑග්හර්' නැමති නීතිඥයා වටාය. ඔහුට අහම්බෙන් 'ඇලෙක්ස් ෆොරස්ට්' නමි ප්‍රකාශන සමාගමක කර්තෘ වරියක් මුණ ගැහෙනවා. ඇලෙක්ස් ඉතාමත් රූමත් එමෙන්ම අතීශය සරාගී තරුණියක්. ඩෑන් මුලින්ම ආකර්ෂණය වන්නේ ඇලෙක්ස්ගේ අසාමාන්‍ය සරාගී බවට. ඇයද, මේ කඩවසම් නීතිඥයා ගේ ඇකයේ නැළවෙන්නට අර අදින බවක් හැඟෙනවා. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වෙනවා සුළු වේලාවකට හෝ අනුරාගයේ ඇලී ගැලී සිටින්නට. එසේ ශෘංගාරාත්මක වන ඔවුන්, ඉන් පසු යළිත් ඔවුනොවුනට ආවේනීක ජීවිත වලට අනුගත වෙනවා. ඒ, ඩෑන් තම රූමත් බිරිඳ 'බෙත්' හා ඔවුනගේ කුඩා දරුවා ළඟටත්, ඇලෙක්ස් තම වෘත්තිමය ජීවිතේටත්ය. නැවත ඔවුනගේ සිරුරු වල රස නහර කරදර කරන විට, යළි ඔවුන් රහසින් හමුවී අර ශෘංගාරයේ වෙළෙනවා.

කපිල වෘත්තියෙන් ඉජිනේරුවෙක්. මනා කඩවසම් පෙනුමක් සතු කපිලට නවෝදා නම් ආදරණීය බිරිඳක් සිටිනවා. ඔවුනට තිබූ එකම ප්‍රශ්නය, නවෝදාට දරුවෙක නොපිළිසිදීමයි. මේ හේතුවෙන් ඔවුන් කාගේ හෝ දරුවෙක්ව හදා ගැන්මට තීරණය කරනවා.

මේ අතර, කපිල දිනක්⁣ කොළඹින් බැහැර වැඩ බිමකට ගොස් නැවත එන ගමනේදි මොර සූරන වැස්සක් වහිනවා. කපිල එම වැස්සේම රථය වේගයෙන් හැසිරුවේ ඉක්මනින් ගෙදර ඒමටයි. එහෙත් මගදී එක් පාළු මාවතක විශාල ගසක අත්තක් පාර මැදට වැටී මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා.ඔහු වැස්සෙ තෙමී තෙමී එම විශාල අත්ත අයින් කරන්නට අසාර්ථක උත්සහයක යෙදුණත් එය ව්‍යවර්ත වෙනවා. අවට තිබුනෙත් එකම එක ගෙයයි. ඔහු එහී ගොස් උපකාර ඉල්ලනවා. ඒ නිවසේ සිටියේ රූමත් තරුණියෙකුත්, කන් ඇහෙන් නැති සීයා කෙනෙක් පමණයි. තරුණිය වැස්සේම පැමිණ ඔහුට උපකාර කරන්නට උත්සහා කළද, එයත් ව්‍යවර්ත වෙනවා. කිසිදු විකල්පයක් නොමැතිවූ කපිලට එදින රාත්‍රියේ මෙම නිවසේ නතර වීමට සිදුවෙනවා. ඒ රාත්‍රියේ කපිල තේජා නම් මේ නන්නාදුනන තරුණිය සමඟ අනුරාගයේ වෙළෙනවා.

මෙම සිදුවීමෙන් පසුවත් කපිල විටින් විට පැමිණ තේජා සමඟ කම් සුව විඳීනවා.එහී ප්‍රතිපලයක් ලෙස තේජා ගැබ් ගන්නවා.

ඩෑන් සහ ඇලෙක්ස් මෙන්ම කපිල හා තේජාද පත්වන්නේ එකම සිදුවීමකට. ඔවුන් මේවා මුලින්ම පටන් ගන්නේ එවලේ ඇතිවන ශෘංගාර හැගීම් සමනය කර ගැන්මට යැයි කීවද, මෙම ගැහැනුන් දෙදෙනාගේම සිත්වල තිබුණේ වෙනත් විශාල සැලැස්මවල්ය. ඒවා ඩෑන්ටවත්, කපිලටවත් තේරුණේ නැත. ඔවුන් සිතුවේ මේවා ඒවෙලේට ඇතිවී, පසුව නැතිවී, යලිත් උවමනා වූ විට ඇති කර ගත හැකි දේවල් කියාය. එහෙත් මේ ගැහැනුන් දෙදෙනාම තමුන්, මේ මිනිස්සුන්ට දේට වඩා දහසක් දේවල් බලාපොරොත්තු වී සිටියහ.

ගැහැනුන් විසින් මිනිසුන්ට දෙන දේවල් නිකං දෙන්නේ නැතැයි යන තේමාව තුළ, ජේම්ස් ඩියර්ඩන් තම තිර නාටකය සකස් කර තිබුණු අතර, ඒවා නොලැබුණහොත්,එම ගැහැනු අර මුලින් පෙන්නූ රොමැන්ටික් සුකුමාලත්වය යටපත් කර, යක්ෂනියන්ගේ ස්වරූප වලට පරිවර්ථනය වන බවක් ජේම්ස් ඩියර්ඩන් තම තිරනාටකය තුළින් යළි යළිත් පෙන්වා දුනි. නියාය අනුව ක්‍රියාකරන පිරිමින්ව, කකුල් කෙටියෙන් අල්ලා කූඩු කර ගන්නා හැටි ඒඩ්‍රියන් ලීන් තම 'ෆේට්ල් ඇට්‍රැක්ෂන් ' හී ඇලෙක්ස් තුලින්ද, උදය කාන්ත වර්ණසූරිය ' බහු භාර්යා' හී තේජා හරහාද පෙන්වා දුනී.

 

ඉතාමත් සුළු වෙනස් කම් කීපයක් කරමින් උදය කාන්ත වර්ණසූරිය තම 'බහුභාර්යා' චිත්‍රපටයට තේමා කර ගත්තේ ඒඩ්‍රියන් ලීන් ගේ 'ෆේටල් ඇට්‍රැක්ෂන් 'ය. උදය කොහොමත් ජත්‍යන්තර චිත්‍රපට වල තේමාවන්, හා තිර කථා ගෙන එය ලාංකේය ප්‍රේක්ෂකයන්ට අනුචිතව ⁣නිර්මාණය කෙරෙනුයේ මෙය තනිකරම ලාංකේය චිත්‍රපටයක් ලෙසටමය. ලොව බොහෝ රටවල් වල මෙම ක්‍රමය අත්හදා බලයි. විශේෂයෙන් ඉන්දියාව බොහෝ හොලිවුඩ් චිත්‍රපට කථා ගෙන ඒවා තමන්ගේ කරගෙන ඉදිරිපත් කරයි. උදය කාන්ත 'බෝයිස්' දමිළ චිත්‍රපටයෙන් 'හිරි පොද වැස්ස' නිර්මාණය කළේය. වෑන් ඩෑම් රඟපෑ 'නෝ වෙයාර් ටු රන්' චිත්‍රපටය ඔහු 'යකඩ පිහාටු' නමින් නිර්මාණය කළේය. 'තාල්' හින්දි චිත්‍රපටයට අනුව ඔහු 'ආසයි මං පියාඹන්න' කළේය. 'ෆේටල් ඇට්‍රැක්ෂන් ' ඔහු 'බහු භාර්යා' වලට හැරවීය.

ඩෑන් සහ කපිල අතර තිබුණේ එකම සමාන කම්ය. කපිලට තේජා මුණ ගැහුණු ආකාරයත්, ඩෑන්ට ඇලෙක්ස් මුණ ගැහුණු ආකාරය සිදුවීම් දෙකක් වුවද, එහී පදනම වූයේ අනුරාගයමය. එහෙත් උදය කාන්ත, කපිලව, තේජාට මුණ ගස්වන විට තරමක් සුක්ෂම වී තිබුණි. තේජා මුලින්ම කපිලගෙ ඇඟේ එල්ලුනේ නැත. උදව්වක් ඉල්ලගෙන තේජා ළඟට පැමිණියේ කපිලය. තේජාද වැස්සේ තෙමීගෙන කපිල සමඟ පාරට වැටුණු ගසේ අත්ත අයින් කරන්නට උත්සහා කළේ, කපිලට කෙසේ හෝ නිවසට යාමට මාර්ගය සලසා දීමටය. එහෙයින් කපිලව එදින රාත්‍රියේ තමන් ලඟ තබාගෙන සමයං නැටීමේ උවමනාවක් නම් තේජාට තිබුණේ නැත.

යම් හෙයකින් පාරට වැටුණු අත්ත දෙදෙනාට අයින් කිරීමට හැකි වූවා නමි කපිල සුව පහසු ලෙස තම නිවසට යන අතර,තේජා පුරුද පරිදී නිදියන්නට යයි. එවිට වැරැද්ද නර තිබුණේ පාරට වැටුනු අත්තය.

තේජාට ඇත්තටම උවමනා වී තිබුණේ ශෘංගාරයටත් වඩා මුදල්ය. කපිල යනු ඇයට අහම්බෙන් පෑදුණු ඉල්ලමක් විය. ඇය කලේ කපිලව තම සිරුරෙන් පිනවා ඔහුගෙන් මුදල් ගැරීමය. කපිල තදටම අහුවුනේ තේජා කපිල නිසා ගැබ්බර වීමෙනි. එම ගැබ්බර වීම දෙදෙනාටම ඉල්ලමක් වූ සේම, දෙදෙනාගේ විනාශයද විය. දරුවන් නැතිව, අනාථ මඩම් වලින් දරුවෙකු ගන්නට ගිය, කපිලට, දැං තමාගේම දරුවෙක් හදාගැන්මට හැකී වීම ගැන උද්දාමයට පත් වීමම, තේජාටද ඇතිවුණිද, එසේ ඇයට ඇතිවූයේ දරුවාව ඉත්තෙක් කරගෙන කපිලගෙන් මුදල් ගැරීමටය. ඇය කළේද එයය.

එහෙත් 'ෆේටල් ඇට්‍රැක්ෂන් ' හී ඇලෙක්ස්ට එසේ මුදල් ගැරීමට අවශ්‍ය වූයේ නැත. ඒ ඇය මුදල් අතින්, තත්වය අතින් හා වෘත්තිමය අතින් උසස්ම තැනක සිටි නිසාය. මුලින්ම 'හමුවුනු පසු පමණක් ගෙන යන' ශෘංගාරාත්මක ඇසුරකට පුරුදු වූවද, පසුව ඇයට ඩෑන්ව තම ජීවිතයට එකතු කර ගැනීමේ ආශාවක් ඇතිවිය. ඇයට ඩෑන්ව ඔහුගේ බිරිඳ වූ ⁣'බෙත්ට' දීමට ලෝභ සිතෙන්නට විය. එතැන් සිට ඇය ඔහුව තමාට පමනක් අයිති කරගැන්මේ උත්සහයක නිරත වෙන්නට විය. තේජා හා , ඇලෙක්ස් අතර තිබූ වෙනස එය විය.

තේජාට, කපිල සමඟ ජීවත් වීමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඇයට නාමිකව හෝ සැමියෙක් සිටියේය. ඔහු හිරේ ගොස් පැමිණි අතර, තේජාව එක එක මිනිසුන්ට විකුණා මුදල් ගත්තේය. කපිලගෙන් එක දිගටම මුදල් ගැනීමේ මෙහෙයුම පිටුපස ⁣සිටියේද තේජාගේ සැමියාය.

බහුභාර්යා හී 'නවෝදා'ත්, ෆෙටල් ඇට්‍රැක්ෂන් හී 'බෙත්', අතර බොහෝ සමාන කම් තිබුණි. එලෙසම නවෝදා හා බෙත් මුහුණ දුන්නේ එක සමාන දුක් ගැහැට වලටය. තම අරමුණවල් ඉටු කර ගැන්මට, තේජා හා ඇලේක්ස්, අඩම්තේට්ටම් කළේ නවෝදා හා බෙත්ටය.

උදය කාන්ත තමන් උපුටා ගත් ෆේටල් ඇට්‍රැක්ෂන් කථාව රැගෙන ගියේ එම චිත්‍රපටය ගිය ට්‍රැක් එකේමය. ඔහු තේජා හා ඇලෙක්ස්ගෙ අරමුණු වෙනස් ක⁣ළේය. නමුත් විනාශය එකමය.

කපිල එක ඊතලෙන් කුරුල්ලන් දෙදෙනෙකුටම විඳීන්නට තැත් කළේය. නවෝදාට හොරා තේජා ළඟට රිංගා ඇයට දරුවෙක් උපද්දවා, ඒ දරුවා නවෝදාට ⁣දී ඇයගේ දරුදුක නිවා දමන්නටය කපිල උත්සහ කළේ. එලෙසම කපිල තේජාව අනියම් බිරිඳ ලෙස තබාගන්නට උත්සහා කරන බවක් ද පෙනුණි. එහෙත් ඔහුගේ කාර්යාල සගයෙක් තේජාව දුටු සැනින් මේ 'සතා' යයි කියන තෙක්, කපිල සිතුවෙි තේජා යනු සැමියා විසින් ද්වෙිෂ සහගත ලෙස අත්හැර දැමු, අසරණ ස්ත්‍රියක් ලෙසටය. පසුව සොයා බලන විට මේ සියල්ලම පිටු පස සිට මෙහෙය වන්නේ තේජාගේ සැමියා බව කපිල දැන ගන්නා විට පෙරහැර ගොස් හමාරය.

අවසානයේ ගැටුම තිබුනේ තේජාත්, නවෝදාත් අතරය. එසේම ඇලෙක්ස් හා බෙත් අතරය. තේජා, නවෝදා සමඟ පැටලුනේ දරුවා ගෙන යාමටය. එහෙත් එහී අරමුණ කුමක්දැයි පැහැදිලි නැත. දරුවා කපිලට දී තවත් මුදල් ගැනීමේ හැකියාවක් නොමැති නිසා දරුවාව තවත් කෙනෙකුට විකිනීමට ඇය සිතා සිටියා වන්නට පුළුවන. නොඑසේනම් කපිලගෙන් පළිගැනීමට එසේ කරනවා විය හැක. නමුත් ඇලෙක්ස් නම් තනිකරම බෙත් සමඟ පැටලුනේ ඩෑන්ව තමා සතු කර ගැන්මටය. අවසානයේ තේජා හා ඇලෙක්ස් දෙදෙනාම මිය ගියද, තමන්ගේ මිනිස්සු හොර ගෑනු සමඟ නිදිවැදීම අහුවීම ගැන නම් කපිල හා ඩෑන්ට ජීවිත කාලය පුරාවටම තම ගෑනුන්ට මුහුණ දීමට නොහැකිය. චිත්‍රපටය එසේ නිම වුනත් ඊට පසුව හෝ මෙම ගැහැනුන් දෙදෙනා වූ නවෝදා හා බෙත්ට යටත්ව ජීවත් වීමට කපිලට හා ඩෑන්ට සිදුවීම නම් වැළැක්විය නොහැකිය.

ෆේටල් ඇට්‍රැක්ෂන් හඳුන්වා තිබුනේ 'ත්‍රිලින් සහ සස්පෙන්ස්' චිත්‍රපටයක් ලෙසටය.එය නම් සම්පූර්ණ ඇත්තය. මුළු චිත්‍රපටය පුරාවටම ඒ කුතුහලය, ත්‍රාසය, භීතිය නොඅඩුව තිබුණි. එකී කුතුහලය හා ත්‍රාසය මෙහීදී රැගෙන ආවේ කාන්තා චරිත තුළිනි. රඟපෑම්ද උසස්ම මට්ටමක තිබූ අතර, ඇලෙක්ස් ලෙස රඟපෑ ග්ලෙන් ක්ලෝස් අද්විතීය ලෙස තම චරිත⁣යට අනුගත වී තිබුණි. ඩෑන් ලෙස රඟපෑ මයිකල් ඩග්ලස්ද එයට නොදෙවැනි රංගනයක නියැලුනි.

මෙම රංගනයන් උදෙසා ඇකඩමි සම්මාන උ⁣ලෙළේ සම්මාන සඳහාද නිර්දේශ වී තිබුණි.

උදය කාන්ත වර්ණසූරියද තම 'බහුභාර්යා' චිත්‍රපටයට අර කුතුහලය ,ත්‍රාසය, භීතිය ඒ අයුරින්ම ගෙන ඒමට උත්සහා කර තිබූ අතර, එයට තේජා වූ සංගීතා වීරරත්න, කපිල වූ රන්ජන් රාමනායක හා නවෝදා ලෙස රඟපෑ වසන්ති චතුරාණි ගෙ විශිෂ්ට රඟපෑමි මනා පිටුවහලක් විය. එයිනුත් සංගීතා වීරරත්නගේ රඟපෑම් ප්‍රශංසනීය විය. ඇය චරිතය හොඳහැටි අවබෝධ කර ගෙන තිබූ අතර, ග්ලෙන් ක්ලෝස්ගේ රංගනයට කිට්ටුවෙන්ම සිටින්නට ඇයට හැකි විය.

ෆේටල් ඇට්‍රැක්ෂන් , හා බහු භාර්යා කථාව ගලා ගියේ, ශෘංගාරය හා අනුරාගය අතරිනි. එහෙයින් කථාවට අනුකූලව ශෘංගාරත්මක සිදුවීම් නිතර නිතර ඇතුළත් කිරීමට සිදුවුනි. එය ෆේටල් ඇට්‍රැක්ෂන් හී නම් නොඅඩුව තිබුණි. උදය කාන්ත වර්ණසූරියටද එයින් බැහැරව යාමට නොහැකි විය. එහෙයින් ශෘංගාරය අවශ්‍ය තැන්වලට එකතු කිරීමට උදය කාන්තද පසුබට නොවීය. සංගීතා, රන්ජන් හා වසන්ති තම චරිතයන් නිසි ලෙස අවබෝධ කර ගෙන තිබූ හෙයින් උදයකාන්තට තම බහුභාර්යා චිත්‍රපටයටද එසේ ශෘංගාරත්වය නිසි තැන්වලදී ඇතුලත් කිරීමට හැකි විය.

සූසන් ප්‍රනාන්දු, සුලක්ෂනා මිහිරිපැන්න, ජනක් ප්‍රේමලාල්, ශ්‍රීනාත් මද්දුමගේ , රංජිත් ද සිල්වා සෙසු චරිත රඟපෑවද, ඔවුන් සැමටම රඟපෑමට ලැබී තිබුණේ සුළු කාල පරාසයන්ය.

සංගීතය දිලිප් ගබඩාමුදලිගෙනි. අතුල අධිකාරි හා සමීතා මුදුන්කොටුව තේමා ගීතය ගායනා කළහ. කැමරාව ජයනාත් ගුණවර්ධනගෙනි.

උදයකාන්ත වර්ණසූරිය තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ 'බහුභාර්යා' රංජිත් ජයසූරිය විසින් නිශ්පාදනය ක⁣ළේ යුරේකා ෆිල්ම්ස් වෙනුවෙනි.

'බහුභාර්යා' 1999 ජනවාරි මස 1වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)