වෛරස් ගැන හැදුණු චිත්‍රපට 7ක්

පෙබරවාරි 6, 2020

The cassandra

crossing-1976

 

ත්‍රස්තවාදියකු විසින් දුම්රියක් ඇතුළට වෛරස් රෝගකාරකයක් ගෙන එමින් එහි ගමන් ගන්නා මඟින් සමග දුම්රියම විනාශ කරන්නට තැත් දරන මේ කතාව රැගත් චිත්‍රපටය 1979 වසරේ විතර කොළඹ එවකට පැවැති ලිබර්ටි සිනමාහලේ පැල් බැඳගෙන දුවපු චිත්‍රපටයක්. ජෝර්ජ් පෑන් කොස්මැටොස් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සොෆියා ලොරේන්, රිචඩ් හැරිස්. බර්ට් ලැන්කැස්ටර්, අවා ගාඩ්නර්, මාර්ටින් ශීන්, ඕ.ජේ.සිම්ප්සන් වගේ ලෝක පූජිත නළු නිළියන් රැසක් රඟපෑවා. ඒ වගේම මේ චිත්‍රපටය මෙරට ටෙලිවිෂන් නාලිකා රාශියක් කිහිපවරක්ම විකාශය කළා.

 

 

Outbreak-1995

 

සුප්‍රකට ජර්මානු සිනමාකරු වුල්ෆ්ගැන්ග් පීටර්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අවුට්බ්‍රේක් චිත්‍රපටයට පාදක වනුයේ මොටාබා නම් වෛරසයක් හා බැඳුණු පුවතක්. මේ වෛරසය පිළිබඳ පර්යේෂණයක යෙදෙන අතරතුර එයට පර්යේෂණයට ගෙනා වඳුරෙක් හරහා එය පැතිරීමත් සමග සිදුවීම් මාලාවක් මෙයට ඇතුළත්. මෙහි සම්මානනීය නළු ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිතය රඟපෑවා. රෙනෝ රසෝ, මෝගන් ෆ්‍රීමන්, කියුබා ගුඩිංග් ජූනියර්, ඩොනල්ඩ් සදර්ලන්ඩ් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි චරිත නිරුපණය කළා.

 

 

 

 

Resident evil-2002

 

 

වීඩියෝ ක්‍රීඩාවක් අනුසාරයෙන් හැදුණු මේ චිත්‍රපටය පාදක වනුයේ ටී වයිරස් නම් වෛරසයක් සමාජ ගත කරන්නට තැත් කරන්නන් හා එයට එරෙහිව අරගලයක යෙදෙන්නන් වටායි. මේ චිත්‍රපටයේ සුරූපි මිලා ජොවොවිච් සමඟ මිෂෙල් රොඩ්රිගුස් ප්‍රධාන චරිත රඟපෑවා. පෝල් ඩබ්ලිව්.එස්.ඇන්ඩර්සන් මෙහි අධ්‍යක්ෂවරයාය.

 

 

 

12 Monkeys-1995

 

විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර වුණ මේ චිත්‍රපටය ටෙරි ගිලියම් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. 1996 තැනුණු මේ චිත්‍රපටය වසර 2035 දී සිදුවීමක් දක්වාම වර්ධනය වනවා. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස ද ගැනෙණ මෙහි බෲස් විලීස්, මැඩලින් ස්ටෝව්, බ්‍රැඩ් පිට්, ක්‍රිස්ටෝපර් ප්ලමර් වැනි නළු නිළියන් රැසක්ම චරිත නිරූපණය කළා.

 

 

 

Virus-2019

 

මේ චිත්‍රපට හතට අප අවසානයට තෝරා ගත්තේ ගිය වසරේ තැනුණු මලයාලම් චිත්‍රපටයක්. ඒ වගේම එම වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපටයක්. ඒ කේරළය විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට වැලඳෙන වයිරසයක් පිළිබඳ කතාවක්. ඔහුගෙන් 18 දෙනෙකුට වෛරසය බෝවන අතර එයින් 16 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වෙනවා. ආශ්ක් අබු අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කුන්චකෝ බෝබන්, පාර්වතී තිරුවෝති, ආස්ෆ් අලි, රේවතී, ඉන්ද්‍රජිත් සුකුමාරන් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා.

 

 

 

 

Contagion-2011

 

අමෙරිකානු සිනමාවේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස පතළ ස්ටීවන් සෝඩාබර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද කොන්ටැජියන් හැම අතින්ම බැලුවත් විශිෂ්ට චිත්‍රපටයක්. මේරියන් කොටිලර්ඩ්, මුට් ඩිමොන්, ලෝරන්ස් ෆිස්බර්න්, ජූඩ් ලෝ, ග්වෙන්ත් පැල්ත්‍රෝ, කේට් වින්ස්ලට් වගේ සුප්‍රකට නළු නිළියන් රැසක් මෙහි චරිත නිරුපණය කළා. හඳුනා නොගත් වෛරසයක් පැතිර යාමක් හා එයට බලපාන සිදුවීම් මේ චිත්‍රපටයට ඇතුළත්.

 

 

 

Flu-2013

 

දකුණු කොරියානු චිත්‍රපටයක් වන ෆ්ලූ චිත්‍රපටයට පාදක වනුයේ කුරුලු උණ වෛරසය වැළඳී පැය 36 ක් ඇතුළත ලක්ෂ ගණනාවක් ජනතාවට එය බලපාන අන්දම ගැනයි. කිම් සුන්ග් සූ නම් සුප්‍රකට කොරියානු සිනමාකරු විසින් නිර්මාණය කරන ලද මෙය එරට මහත් ආන්දෝලනයට ලක් වූ චිත්‍රපටයක්.