ලංකා TV අන්දරය

මංසලකුණක් වූ අඹ යහළුවෝ
පෙබරවාරි 13, 2020

ජාතික රූපවාහිනියේ ළමා ඒකකය විසින් ළමා මනසට ගෝචර වැඩසටහන් රාශියක් නිර්මාණය කරමින් මහා ජාතික කර්තව්‍යයකට ඒ අයුරින් පේවී සිටි කාල වකවනුවක එහි කූටප්‍රාප්තිය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය නිර්මාණය වීම තුළින් සිදු වූයේ යන්න ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ. කෘතහස්ත ලේඛක ටී. බී. ඉලංගරත්නයන් විසින් රචනා කරන ලද නවකතා බොහොමයක් පාදක කරගෙන සිනමා කෘති කිහිපයක් ඒ වන විට නිර්මාණය වී තිබුණ ද ඔහුගේ නවකතාවක් පළමුවරට රූපවාහිනී මාධ්‍යය තුළින් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යය නිර්මාණය වීමෙන් පසුවය. එහි සියලුම ගෞරවය අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ නිර්මාණකරු සුදත් දේවප්‍රියට හිමි විය යුතු වේ. නවකතාවේ අන්තර්ගත සිද්ධි දාමයන් පාදක කරගෙන අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ තිර රචනය සුදත් විසින්ම ලියූ අතර ඔහු මුලපිරූ අභියෝගය ජයග්‍රහණය කරවීම සඳහා අධ්‍යාපන අංශයේ ප්‍රධානී ඉන්ද්‍රාණි හේරත් ගුණරත්න මහත්මියගේ සහ ළමා ඒකකයේ ප්‍රධානී ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ ආශිර්වාදය සහ සහයෝගය ඔහුට නොමඳව හිමි විය.

ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් මාව පත්කර ගැනීමට සුදත්ට දැඩි අවශ්‍යතාවයක් තිබුණ ද, ඒ වන විට මා ටයි මහතා යටතේ රාජකාරී කටයුතුවල නියැළුණු හේතුවෙන් එයට අවසර නොලැබිණි. එසේ වුව ද තිර නාටකයේ ලිවීමේ සිට ටෙලි නාට්‍යයේ පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා නොනිල වශයෙන් ඔහුට සහයෝගය දැක් වූ අතර, විශේෂයෙන්ම කතාවේ චරිතයන්ට සුදුසු නළු නිළියන් තෝරා ගැනීමේදී ඔහු සමඟ කරන ලද සංවාද, විසංවාද ටෙලි නාට්‍යයේ සාර්ථකත්වයට මහත් පිටිවහලක් විය. ප්‍රධාන ළමා චරිත දෙක සඳහා සම්මුඛ පරික්ෂණයක් පවත්වා තෝරා ගැනීමෙන් අනතුරුව අප හමුවේ තිබූ ප්‍රධාන අභියෝගය වූයේ කතාවේ ප්‍රධාන චරිත පාත්‍රයන් වූ බණ්ඩාර, බණ්ඩාර මැණිකේ සහ ගල් බණ්ඩා යන චරිතයන් සඳහා සුදුසු නළු නිළියන් තෝරා ගැනීම වේ. එහිදී බණ්ඩාරගේ චරිතය සඳහා ටෝනි රණසිංහ ද, බණ්ඩාර මැණිකේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් අනුලා කරුණාතිලක, නිලන්ති විජේසිංහ සහ ශෝභනී අමරසිංහ සහ ගල් බණ්ඩාගේ චරිතය සඳහා ගාමිණී හත්තොට්ටුවේගම සහ හේමසිරි ලියනගේ යන නළු නිළියන් පිළිබඳව සොයා බැලීමට දීර්ඝ සාකච්ඡාවකින් පසුව එකඟතාවයට පැමිණියෙමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.