දත ගලවා අතේ තියා, නුඹ නටවයි ඒ ළමයා මංගල තෑග්ග

පෙබරවාරි 13, 2020

ලාංකීය සිනමාවේ නිර්භයව තම මනස තුළ බිහිවන තේමාවන් නිර්මාණ ගත කරන අය අතර, ප්‍රමුඛ පෙළේ සිටි අධ්‍යක්ෂක වරයෙකි එච්.ඩී.ප්‍රේමරත්න. ඔහු එය තම මුල්ම චිත්‍රපටය වූ 'සිකුරු ලියා' තුළින්ම ඔප්පු කළේය. කන්‍යභාවය තේමා කර ගත් 'දෙවෙනි ගමන', දෑවැද්ද මුල් කර ගත් ' පරිත්‍යාග', ලිපියක් ප්‍රබල ගැටලුවක් කෙරූ 'ආදර හසුන' වැනි නිර්මාණ වල අභියෝගය වූයේද මේ කිසිවෙක් අත නොගැසූ තේමාවන් නිසාය.

ප්‍රේමරත්නගෙ හැම චිත්‍රපටයක් තුළින්ම දකින්නට හැකි වෙන්නේ මනා සංවිධානයක්ය. ඔහු ගෙන එන තේමාවන් සරල වූවත්, ප්‍රබල වූවත්, එය ඔහුටම ආවේණික වූ රටාවක් තුළ ගෙන ගියේ ප්‍රේක්ෂකයන්ට එය වින්දනීය කරමිනි. ප්‍රේමරත්නගෙ චිත්‍රපට වලට කල්ලි ගැසුණු ප්‍රේක්ෂකයන් සිටියේ නැත. හැම තරාතිරකම චිත්‍රපට නරඹන්නන් ඔහුගේ චිත්‍රපට රස විඳීන්නට විය. එය ඔහු, ඔහුගේ මුල් චිත්‍රපටය වූ 'සිකුරුලියා' තුළින්ම පටන් ගෙන,'අපේක්ෂා' තුළින් තහවුරු කළේය. එක්තරා ශෛලීක සිනමා කරුවෙක් වූ ප්‍රේමරත්න, 'මැද මාවතේ සිනමාකරුවා' යන 'ටයිටලයෙන්' හඳුන්වන්නට විය.

ප්‍රේමරත්නගේ සිනමා නිර්මාණ තුළ සුවිශේෂිත වූ සිනමා පට කීපයක්ම තිබුණි. 'සිකුරු ලියා'ගෙන් ඇරඹූ ඒ චාරිකාව තුළ චිත්‍රපට 17 ක් පමණ නිර්මාණයකරණය වී තිබුණද ,ඒ තුළින් ඔහු සුවිශේෂිතව සනිටහන් කළ මංසන්ධි කීපයක් විය. 'අපේක්ෂා', 'දෙවෙනි ගමන' ' පාලම යට', 'සෙයිලම' 'විසි දැල' හා 'උඩුසුළඟ' ඒ මං සන්ධි කීපය වූවද, ඔහු නැවතුණු නිර්භයම මංසන්ධිය වූයේ ' මංගල තෑග්ග'ය. ලාංකිය සිනමා ඉතිහාසයේ කිසිවෙක් අත නොගැසූ තේමාවක් හරහාය ඔහුගේ මංගල තෑග්ග පැමිණියේ.

“එක යායේ කකා වැටී 
එකා වගේ එකට හිටී 
එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා 
නාස් ලණුව දමනවාලු- 
කරත්තයක බඳීනවාලු 
අපට හිටිය ළපටි කැකුළු 
නාඹර වස්සා”

නිහාල්, විසින් අමුතුම ආකරයේ මංගල තෑග්ගක්, තම හිතේෂීය මිතුරා වූ චන්දනට දීමට ලෑස්ති ක⁣ළේ , ඔවුනගේ අනෙක් මිතුරන් දෙදෙනාවූ සරත් සහ ශ්‍රී ලාල්ටත් නොදැනීමය. එය 'සර්ප්‍රයිස්' ත්‍යාගයක් විය. ඔහු චන්දනට එම ත්‍යාගය දීමට සැලසූම් කළේ චන්දනගේ විවාහ දිනයට පෙර දින රාත්‍රියේය.

මුලින්ම ඔවුන් හතර දෙනාම මත් පැන් අවන්හලකට ගොස් ප්‍රමාණය නොඉක්මවා මත් පැන් සාදයක් පැවැත්විය. චන්දන, ශ්‍රීලාල් හා සරත් සිතුවේ 'ලාස්ට් බැචුලර්' පාටිය මේ මත් සාදයෙන් නිමයි කියාය. චන්දනටද ඉක්මනට මෙය නිම කර යායුතුව තිබුණේ පසුදින උදේ එකොළහයි ගණනකට, තමා මෙතෙක් කල් ආදරය කළ තිළිණි සමඟ මංගල පොරුවට නැගීමට තිබෙන නිසාය. එහෙත් මේ තිදෙනාම නොදැනුවත්ව නිහාල් ලඟ වෙනස්ම සැලැස්මක් තිබුණි. ඔවුන් ඒ බව නොදැන මත් පැන් අවන්හලේ ඔවුනතර තිබූ සාදය අවසන් කර පාරට බැස පොඩි සිංදුවක් කියා නටමින් ගියේ සිංදුව අවසන් වූ පසු නිවසට යාමට සිතාය.

“ගෙට ආ කළ ටිකිරි ලියා 
නුඹ වෙව්ලූ කඹර ගොයා 
ලිඳට ගියත්, අවසරයක් ගන්නට වේවි 
දත ගලවා අතේ තියා, 
නුඹ නටවයි ඒ ළමයා 
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී”

ප්‍රේමරත්න, තම 'මංගල තෑග්ග' චිත්‍රපටය ආරම්භක ජවනිකාවෙ සිටම උච්චතම රිද්මයකින් පවත්වාගෙන යන්නට විය. මුලින්ම දකින මත්පැන් අවන්හලේ ජවනිකාවේ සිට, පියවරෙන් පියවර ඔහු තම රිද්මය උස් කළේ ප්‍රේක්ෂකයන්ව, රසාලිප්ත මුසු වූ කුතුහලයක් එකතු කරවමිනි.

මංගල සාදයක් බලාපොරොත්තුවූ ප්‍රේක්ෂකයාට සිදුවුයේ ⁣,කුතුහලයෙන් පිරුණු ⁣⁣⁣ ⁣ඛේදවාචකයකට මුහුණ දීමටය. ප්‍රේමරත්න සූක්ෂම අන්දමටය ඒ හරහා ප්‍රේක්ෂකයාව ග්‍රහණය කර ගන්නේ.

සුසී කථාවට එකතු වන්නේ මෙතැනදීය. සුසී ගේ එම එකතුව චිත්‍රපටය උඩුකුරු යටිකුරු කිරීමට හැකි විය. පසු දින විවාහයට එළැඹෙන්නට සිටි චන්දනට, නිහාල් විසින් දෙන්නට යන නියම මංගල තෑග්ග කුමක්දැයි ප්‍රේක්ෂකයන් හරි හැටි දැන ගන්නේ මෙතැනදීය. ප්‍රේක්ෂකයන් පමණක් නොව, එතැන සිටි සරත්,ශ්‍රීලාල් හා චන්දනද දැන ගන්නේ මෙතැනදීය.

මංගල රාත්‍රියට යෑමට ප්‍රථම, පෙර හුරුවක් යැයි කියමින් නිහාල්, චන්දනට තම මංගල තෑග්ග අතහැරියේ සූසී මඟිනි.

මංගල රාත්‍රි⁣යට පෙර රාත්‍රියේ වෛශ්‍යාවකගෙ පහස ලැබීම කෙතරම් යුක්ති සහගතදැයි චන්දන තර්ක කරන්නට ගියේ නැත. නිහාල් සිතුවේ තම හිතේෂියාට, පෙර හුරුවක් දීමටය, එය චන්දනට ඉතාමත් වටිනු ඇතැයි නිහාල්ට සිතුණද, ඔවුන් විසින් චන්දනව සුසී සිටින කාමරය තුලට තල්ලු කරදමා දොර වැසුවද, තමා කිලිටි වී හෙට තිළිණි සමඟ පෝරුවට නොනගින බව නම් ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ඔහූ සුසිට ඇත්තම කථාව වූ පසුදින සිදුවන තම විවාහය ගැන කීවේ, තමනට මෙවන් තාවකාලික වින්දනයක් අනවශ්‍ය බව කීමෙනි. එහෙයින් ඔහු සුසීගෙන් බේරී, නොකැලැල්ව කාමරයෙන් එළියට ආවේය. කථාන්තරය එතැනින් නිම වුනි යැයි සිතුවද,නියම කථාන්තරය පටන් ගත්තේ ඉන් පසුවය.

ප්‍රේමරත්නට හොදම 'ප්ලොට්' එකක් අහුවී තිබුණි. ' ඇත්තටම මෙහෙම සිද්ධ වුණා නම්, කොහොම වෙයිද? ' කියන සිතුවිල්ල ඔහුට එන්නට ඇත. ඔහු ඒ මතින් හරි අපූරුවට, චන්දන, නිහාල්, සරත්, ශ්‍රීලාල්, සුසී, ධර්මෙ, තිළිණි, මේකලා, සමගින් ගමන් කළහ.

නිහාල් කළේ තරුණ කමට, නැත්නම් පොඩි ජොලියකට, අනෙක් යහළුවො දෙදෙනාටත්, එලෙසම විවාහ වීමට සිටි චන්දනටත් වෛශ්‍යාවකගෙ පහස ලබා දීමටය. තරුණ කළ ඒවා ලොකු ප්‍රශ්න නොව. එලෙසම එතැන සිටි එකම විවාහකයා වූ ශ්‍රී ලාල්ටද එය ප්‍රශ්නයක් නොවීය.

නමින් ධර්මෙ වූවාට, මුදල් හොයන්නට ඕනෑම අධර්ම වැඩක් කරන ධර්මේ 'මංගල තෑග්ග' තුළ තවත් ප්‍රබල චරිතයකි. ඔහු වෛශ්‍යාවන් ලබා දෙන තැරැව්කරුවෙකි. නිහාල් , ධර්මෙ සමඟ කිට්ටු ඇසුරක් පවත්වා යන බවත් ,⁣ ඔහු මින් පෙරත් නිහාල්⁣ට වෛශ්‍යාවන් සපයා දී ඇති බවත් ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වෙන්නේ සුසීවද නිහාල්ට සොයා දීමෙනි.

සුසී,සම්ප්‍රදායික ⁣ක්‍රමයෙන් තරමක් මිදුණු වෛශ්‍යාවකි. ඇයට සැමියෙක් සිටීය. දරුවෙක් සිටීය.ඇය චන්දනට හා ශ්‍රී ලාල්ට කියන්නේ තම සැමියාට ජීවත් වීමට ලැබෙන මුදල් ඔවුනට ජීවත් වීමට මදි හෙයින් ,ඇය අර්ධකාලීනව මෙම වෛශ්‍යා වෘත්තියෙ යෙදෙන බවකි. එහෙත් ඇය සරත් ට කියන්නේ තමා තවම විවාහ නොවූ බවය. සුසී දෙබිඩි චරිතයක් බව හැඟෙන්නේ එවිටය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සුසී නොවුණද, ඇය ඉබේටම මුළු චිත්‍රපටයේම ප්‍රධාන චරිතය බවට පත්වෙයි. මුල් ජවනිකා පෙලින් පමණක් සුසී චරිතය ඉස්මතු වූවද, සිනමාපටය පුරාවටම ඇය අදිසිව රඟපායි. ප්‍රේමරත්නගෙ දක්ෂතාවය ඉස්මතු වූ අවස්ථාවකි එය.

ඔබ හෝ ඔබ යහළුවන් කීප දෙනෙක් සමඟ පැය කීපයකට මුදලට ගත් වෛශ්‍යාවක් සමඟ තාවකාලීක සතුටක් ලබන අවස්ථාවෙ හදිසියේම ඇය හෘදයාබාදයකින් මිය ගියහොත්, ඔබ හා ඔබගේ මිතුරන් පත්වන තත්වය කෙලෙස වෙිවිද?. එලෙසම ඔබ පහුවෙනිදා විවාහය සඳහා පෝරුවට නගින්නෙක් නම් එවිට තත්වය කොහොම වේවිද?. ප්‍රේමරත්න ප්‍රේක්ෂකයා මතට ඇද දැම්මෙ එම ප්‍රශ්න වැලය.

නිහාල්, සරත්, ශ්‍රීලාල් හා චන්දන සමඟ සම්බන්ධ වුනු සුසී එසේ සම්බන්ධ වූ අවස්ථාවේ අනේපේක්ෂීතව හෘදාබාධයක් සෑදී මිය යන්නට විය. කුතුහලය ,භීතිය, ත්‍රාසය පටන් ගන්නේ එතැන් සිටය.

මෙතැන් පටන් ඔවුන් හතර දෙනා උත්සහා ගන්නේ මෙයින් බේරීමටය. ප්‍රේමරත්න, එය හසුරුවා තිබුණේ හරියට ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ 'සස්පෙන්ස්' චිත්‍රපටයක් සේය. මොහොතින් මොහොත සිදුවෙන්නේ කුමක්දැයි දැනගැන්මට ඇති කුතුහලය ප්‍රේමරත්න අපූරුවට ඉදිරිපත් කර තිබුණි. පේන තෙක් දුර ඔවුනට විසඳුමක් නම් නොවීය. ප්‍රේක්ෂකයන් ද එක එක ආකාරයේ විසඳුම් සෙවීමට පටන් ගන්නේ ඔය අතරේදීය.

ඉන්පසු චිත්‍රපටය තුළ විටින් විට පෙන්වන්නෙ ඔවුන් මෙයින් බේරීමට උත්සහා කරන සිතුවිලිය. ඒ සිතුවිලි රූපමය ජවනිකාවන්ට හැරේ. ප්‍රේමරත්න ඒවා ඉදිරිපත් කෙරූ ආකාරය නම් අතී විශිෂ්ටය.

එක් අයෙක් පොලීසියට ගොස් ඇත්ත විස්තරය කියන්නට සැරසෙයි. එහෙත් පසුවදා චන්දනගේ විවාහය තිබෙන නිසා පොලිසිය ගාව ගන්නටද බැරිය. එලෙසම පොලිසියට කිව් පසු ,ඒවා පත්තර වලට යයි. ඔවුන් මිනීමැරුමක් නොකෙරුවද, ඇයගේ මරණ පරික්ෂණයෙන් ඇය හෘදාබාදයකින් මිය ගොස් ඇති බව ඔප්පු වන තෙක්, මොවුන්ව සැක පිට රිමාන්ඩ් බාරයට පත්වේ. එවිට මොවුන් වෛශාවක් සමඟ සිටි බවක් අහුවේ. ඒවා පුවත් පත් වලද පළවේ. තමා තම බිරිඳ වූ මේකලාට, කුඩා දරුවාට මුහුණ දෙන්නේ කෙසේද? මේ ශ්‍රී ලාල් සිතු හැටිය. එසේ නම් කෙසේවත් මෙය පොලිසියට කීමට නොහැකිමය. දැං මේ මළසිරුර, මෙම කාමරයේ තැබීමට නොහැක. හේතුව මේ නිහාල් හා සරත් නැවතී සිටින බෝඩිං කාමරයයි. මෙහි අයිතිකාරිය සිවලිංගම් නම් මැදිවයසේ කාන්තාවකි. අනික් අතට, තව ටික වේලාවක් ⁣මෙය තිබ්බහොත්, කුණු ගඳ ගසන බවත් ඔවුනට වැටහිනි. කිරීමට කිසිම දෙයක් නැත. ඔවුන් කළේ මුලින්ම චන්දනට නිවසට යෑමට යෝජනා කිරීමයි. ඒ ඔහු විවාහ වන නිසාය. දෙවනුව ශ්‍රීලාල්ට නිවසට යෑමට ඉඩහැරීමයි. ඒ ඔහු නොමැතිවුවහොත් ඔහුව සොයන්නට ඔහුගේ බිරිඳ පොලීසියට යෑමට ඉඩ ඇති හෙයිනි. අවසානයේ නිහාල් හා සරත්ද, මිනිය කාමරයේම තබා, චන්දනගේ මඟුල් ගෙදරට යෑමට තීරණය කළහ.

“ වාසනා වේවා, වාසනා වේවා 
පින්බර යුවතිය,කුල කුමරිය වී 
මංගල මල් නැකතේ 
පෙම්බර කුමරෙකු,අතිනත ගෙන ඈ 
දීගෙන යන දවසේ 
වාසනා වේවා , වාසනා වේවා”

කෙසේ හෝ චන්දන නැකැත් වෙලාවට තිළිණි සමඟ මංගල පෝරුවට නැග්ගේය. ශ්‍රී ලාල් ද තම බිරිඳ හා දරුවා සමඟ මඟුල් ගෙයට සහභාගි විය. එලෙසම, නිහාල් හා සරත් ටයි කෝට් පැලදගෙනම චන්දනගේ මඟුලට පැමිණීම ගැන චන්දනට මෙන්ම, ශ්‍රීලාල්ටත් පුදුම සිතුණි.

මඟුල් ගෙය නිම විය. චන්දන මධු සමයට ගියේය. ශ්‍රීලාල්, නිහාල් හා සරත් සමඟ එකතු වී මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට පැමිණෙන්නට හැදුවද, නිහාල් සහ සරත් එය වලකා ඔහුව ඔහුගෙ බිරිඳ වූ මේකලා ළඟට යන්නට සැලැස්විය.

මෙම ප්‍රශ්නය නිහාල් සහ සරත් තම අත්වලට ගත්තෙ කෙසේ හෝ මෙය විසඳීමටය. ඔවුන් තීරණය කළේ පැට්‍රල් දමා මුළු ගෙයම ගිනි තියන්නටය. ඔවුන් සිතුවේ සියල්ල අළුවූ පසු මලමිනියත් අළුවී ගොස් ඔවුන්ගේ ප්‍රශ්නය යට යාවි කියාය. එහෙයින් ඔවුන් පැට්‍රල් කෑන් දෙකකුත් ගෙන ත්‍රිරෝදයකින් නිවසට එනවිට, එතැන පොලිසිය වට කර තිබූ අතර සුසී ගේ මිනිය පොලීසිය විසින්ම රැඟෙන රෝහල් රථයට දමමින් සිටියහ. එතැන පොලිසිය සමඟ ධර්මෙ සහ සිවලිංගම් මහත්මියද සිටියහ. සියලු උත්සහායන් ව්‍යවර්ථ වූ බවක් නිහාල්ට හා සරත්ට දැණුනි.

ප්‍රේමරත්න ප්‍රේක්ෂකයන් නොහිතන අවසානයකිනි චිත්‍රපටය නිම කළේ. සියලුම නරඹන්නන් සිතුවේ මොවුන් කෙසේ හෝ බේරේවී කියායි. ප්‍රේමරත්න, චන්දන හා ශ්‍රීලාල්ව බේරා, නිහාල්ව සහ සරත්ව අසු කර දෙමින් චිත්‍රපටය නිමා කළේය.

හතර දෙනෙකු එකම අන්දමට, අතී විශිෂ්ට ලෙස එකම රංගන විලාශයක් පෑවේ 'මංගල තෑග්ග' චිත්‍රපටයේය. ඒ නිහාල් ලෙස රඟපෑ රවින්ද්‍ර රණ්දෙනිය, චන්දන වූ සනත් ගුණතිලක, සරත්වූ ශ්‍රියන්ත මෙන්ඩිස් හා ශ්‍රී ලාල් ලෙස රැඟූ ජයලත් මනෝරත්නය. ඔවුන් කිසිවිටකත් තම රංගනයේ රිද්මය වෙනස් නොකළහ. හතර දෙනාම තම චරිත මැනවින්ම හඳුනා ගත් සූරයන් විය. ඔවුන් එකිනෙකාට නොදෙවැනි විය. ප්‍රේමරත්න තම සංකල්පය කියන්නට තෝරා ගත්තේ එයට උචිතම රංගන ශිල්පීන්ය.

සුසී ලෙස රඟපෑ එවකට නවක නිළියක් වූ සනෝජා බිබිලේ චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් ගත්තේ එසේ මෙසේ අභියෝගයක් නොව. එම චරිතය රඟපෑම නිසා ඇයට වූ හානියද සුළුපටු නොවේ. ඇය කාම නිළියක් ලෙස හංවඩු ගැහෙන්නට විය. ඇත්තෙන්ම ඇය ඉතාමත් දක්ෂ නිළියෙකි. එහෙත් මෙම චරිතය ඇයගේ දිඟු ගමන් මඟට අවහිර විය. ධර්මේ ලෙස සිරිල් වික්‍රමගේ සුපිරිවූ චරිතයකට පණ පෙවීය.

වසන්ති චතුරාණි තිළිණි ලෙසින්ද, මැණිකේ අත්තනායක මේකලා ලෙසින් හා රුබීද මෙල්, සිවලිංගම් මහත්මිය ලෙස කුඩා එහෙත් ඇඟට දැනෙන චරිත කීපයක් රඟ දැක්විය. ධර්මදාස කුරුප්පු, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ජෝ දඹුලුගල, රාජා සුමනපාලා, දෙනවක හාමිනේ,රත්නා සුමනපාල, මියුරි සමරසිංහ, ඇග්නස් සිරිසේන, රමණී සිරිවර්ධන සෙසු චරිත රඟපාමින් 'මංගල තෑග්ග' අනගි චිත්‍රපටයක් කළහ.

එච්.එම්. ජයවර්ධනගේ සංගීතයට සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, හා බන්දුල විජේවීර ගීත ගැයූහ. ඇන්ඩෘ ජයමාන්න කැමරාව මෙහෙය විය. ජයතිස්ස දිල්ලමුණි සංස්කරණ ශිල්පියාය.

එච්.ඩී.ප්‍රේමරත්නගේ චිත්‍රපට අතුරින් 'මංගල තෑග්ග' සුවිශේෂිත චිත්‍රපටයක් ලෙස ගනනය කළ හැක. 1987 මැයි 07 වෙනි දින සිට තිර ගත කිරීම ආරම්භ කෙරූ 'මංගල තෑග්ග' තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින්, එය නිෂ්පාදනය කළේ එච්.ඩී. ප්‍රේමරත්නමය

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Ordinare Cialis Viagra [url=https://buyciallisonline.com/#]cheap cialis generic online[/url] Baisse Prix Kamagra generic cialis from india Discount Isotretinoin Acne
අග, 03/31/2020 - 05:19
Jankisa (තහවුරු වී නොමැත)
Ordinare Cialis Viagra [url=https://buyciallisonline.com/#]cheap cialis generic online[/url] Baisse Prix Kamagra generic cialis from india Discount Isotretinoin Acne
අග, 03/31/2020 - 05:20
Jankisa (තහවුරු වී නොමැත)
Topical Amoxicillin Cialis Vendita Viagra In Contrassegno Cialis Cialis Prices
අග, 03/31/2020 - 06:15

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.