සුභාවිත ගී හා පොදු ජන ගී

පෙබරවාරි 13, 2020

පසුගිය දශකයක පමණ කාලයක් පුරා මා නිබඳව ලියූ පුනරුච්චාරණය කළ කියුමක් තිබිණ. එනම් එදා 40 දශකයේ මුල ආනන්ද සමරකෝන් සූරීන්ගෙන් ඇරැඹුණු ලාංකේය සුභාවිත ගීතය 90 දශකයේ මැද කරුණාරත්න දිවුල්ගනේගෙන් අවසන් වූ බවය. මේ කියුමේ ව්‍යාංග්‍යයෙහි ගැබ් වූ සන්නිවේදනාර්ථය ඇතැම්හු සාවද්‍ය අයුරින් අර්ථකථනය කළහ. කරුණාරත්න දිවුල්ගනේ ජනප්‍රියත්වයෙන් මුදුන් පෙත්තට ආ 90 දශකයේ මැද භාගයෙන් පසුව ගත වූ දශක ද්වයකට වැඩි කලක් පුරා සුභාවිත ගී ගැයූ නවක ගායක ගායිකා පරපුරක්, ගේය කාව්‍ය රචක පරපුරක්, සංගීතවේදී පරපුරක් හිටියේම නැද්ද? යැයි මගෙන් වරින්වර විමසූවෝ ඔවුහුය. යථෝක්ත කියුමෙන් මා කුළුගැන් වූ මතවාදය මේ ප්‍රස්තුතයෙන් මම පැහැදිලි කරමි.

40 දශකයේ ආනන්ද සමරකෝන් යුගයේ සිට 90 දශකයේ මැද කරුණාරත්න දිවුල්ගනේ දක්වා මෙරට සුභාවිත ගීතය දශකයෙන් දශකය අනේකවිධ මං පෙත්, ප්‍රවණතා ඔස්සේ වැඩීමට අවැසි ශක්තිය, දිරි ගැන්වීම, ප්‍රචාරය මෙරට මුද්‍රිත වේවා විද්‍යුත් වේවා ජනමාධ්‍යයේ ප්‍රධාන ධාරාවෙන්, යාන්ත්‍රණයෙන්ම ලැබිණ. එනම් ගීතය අරභයා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ක්‍රියාවලියෙහි ප්‍රතිපත්තිය වූයේ සුභාවිත ගීතය ඔසවා තැබීමය. මැනවින්, ප්‍රශස්ත ලෙස නිර්මාණය වූ ගීතය සුභාවිත ගීතයකි. එනම් ගීතයෙහි තුන්තරා අංග වූ ගේය කාව්‍ය රචනය, ස්වර සංරචනය හා සුගායනය කලාත්මක හා සෞන්දර්යාත්මක ස්වරූපයෙන් මැනවින් සුසංයෝගී වූ නිර්මාණ වේ. ඒ අනුව මේ අංගත්‍රයෙන් එකක් හෝ මැනවින් භාවිත නොවුවහොත් එය සුභාවිත ගීතයක් ලෙස සැලකීම උගහටය. වරක් ආචාර්ය දයාරත්න රණතුංගයෝ ස්වකීය “ජීවන අනුභූති” ග්‍රන්ථයේ සුභාවිත ගීතය හඳුන්වනු පිණිස “ඊපභඥ ඉනඩඥපඥ ධට ර්භඵඪජ” යන ඉංග්‍රීසි යෙදුම ව්‍යවහාර කළහ. ලාංකේය සුභාවිත ගීතයේ ආරම්භක සමයේ මෙරට පැවැති ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍යය වූයේ ගුවන් විදුලිය වූ බැව් නොදන්මෝ කවරහුද? මෙරට සුභාවිත ගීත සාහිත්‍යයේ වර්ධනීය ඉතිහාසය සහ ගුවන් විදුලියේ ඉතිහාසය, විකාශනය දෙකක් නොව එකකි.

මවිසින් ලියන ලද 2008 වසරේ පළ කෙරුණු “ගඩ්ඩරිකා ප්‍රවාහය හෙවත් සුකිරි බටිල්ලන්ගේ ලෝකය” ග්‍රන්ථයෙහිදී කලාව මුල් කොට ගත් සංස්කෘතික ධාරා ත්‍රයක් දක්නට ලැබෙන බැව් මම පෙන්වා දුන්නෙමි.

1. විදග්ධ සංස්කෘතිය

2. පොදු ජන සංස්කෘතිය

3. ජනප්‍රිය සංස්කෘතිය

සුභාවිත ගීතය මෙරට පොදු ජන සංස්කෘතිය ඇසුරු කළ බව සැබවි. එහෙත් එය විදග්ධ සංස්කෘතියෙන් සෘජුවම පැන නැඟුණකි. ජන්මයෙන්ම හිමිවන ප්‍රතිභාව (ඊචතඥදබ) නොමැති කිසිවකු හට කලාකරුවකු විය නොහැකිය. එසේම එකී ජන්ම ප්‍රතිභාවට මැ පමණක්ම සීමා වූ කිසිදු කලාකරුවකු හට සුභාවිත ගී මඟෙහි ස්ථාවර විය නොහැකිය. එනම් සුභාවිත ගී මඟෙහි ගේය කාව්‍ය රචකයකු, ස්වර සංරචකයකු හා ගායන ශිල්පියකු ලෙස තම මුද්‍රාව තැබිය හැකි වනුයේ අදාළ ක්ෂේත්‍රයන්හි නියැළී දිගුකාලීන හැදෑරීමෙන් තමන් ලත් බහුශ්‍රැතභාවයෙනි. ශාරංගදේව විසින් විරචිත “සංගීත රත්නාකරය” ග්‍රන්ථයෙහි ප්‍රශස්ත ගේය කාව්‍ය රචකයකු වීමෙහිලා සැපිරිය යුතු සුදුසුකම්, ගුණාංග 27 ක් දක්වා තිබේ.

1. ව්‍යාකරණයෙහි විශාරදත්වය. අවැසි විට, වියරණය බිඳීමටත් රැකීමටත් වෙසරද වීම.

2. වාග් කෝෂයෙහි පෘථුල බව.

3. සඳැස් ප්‍රභේද දැනුම.

4. වාගාලංකාරයෙහි ප්‍රවීණතාව.

5. රසභාව පරිඥානය.

6. විවිධ දේශවල තොරතුරු පිළිබඳ චතුර බව.

7. සකල භාෂා ඥානය (ලංකාවේ නම් සිංහල, දෙමළ, ඉංගිරිසි, පාලි, සකු අනිවාර්යයි).

8. කලා ශාස්ත්‍රයන්හි නිපුණත්වය (සාහිත්‍ය පමණක් නොව සියලු කලාවන්).

9. ගීත, වාදිත, නෘත්‍ය චාතුර්යය.

10. නානාවිධ අවස්ථාවන්හිදි මිනිසුන් තුළ පහළ වන මමෝභාව හා ඒ අනුව ඇතිවන ශාරීරික විපර්යාස පිළිබඳ විශේෂඥ බව.

11. ලය, තාල, කාල ඥානය.

12. ස්වර භේදයන්හි ඥානය.

13. අභිනව කල්පනා නිර්මාණය කිරීමේ ප්‍රතිභාව.

14. පහසුවෙන් ගැයීමේ හැකියාව ඇති කරන අයුරු දැනීම.

15. රාග ඥානය.

16. වාග් පටුත්වය (උචිත තැනට වචන යෙදීමේ හැකියාව).

17. රාගදෝෂ බැහැර කිරීමේ ශක්තිය.

18. උචිත අනුචිත තැන්හි ස්වර යොදන අයුරු දැනීම.

19. ස්වායත්ත, ස්වතන්ත්‍ර රචනා බිහි කිරීමේ හැකියාව.

20. ස්වර රචනාවේ ප්‍රතිභාව.

21. අත්දැකීම්, පළපුරුද්ද, අභ්‍යාසය.

22. ප්‍රබන්ධ කිරීමේ විදග්ධතාව.

23. වහා ගීත නිමවීමේ හැකියාව.

24. විවිධ ගීත භාගයන් අනුකරණය කිරීමේ හැකියාව.

25. මන්ද්‍ර, මධ්‍ය, තාර යන තුන් ගමක ප්‍රයෝගයෙහි ශක්තිය.

26. රංග ආලාප රූප ආලාපවල නිපුණ බව.

27. මේ සියල්ලෙහි සිත එකඟ කර ගැනීමේ ශක්තිය.

ඒවා ඉතා සියුම්ව විශ්ලේෂණය කොට ගත් කල්හි පැහැදිලි වනුයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම වාග්ගේයකාරයකු වීම කෙතරම් දුර්ලභ, භාරදූර කලාත්මක කර්තව්‍යයක් ද කියාය. ගේය කාව්‍ය රචකයකු වීමේ ආශාවෙන් සිතූ සැණින් කඩිමුඩියේ ගීතයක් ලියා එයට සංගීතවේදියකු ලවා තනුවක් නිර්මාණය කොට ගායකයකු ලවා ගායනා කොට එළිදැක්වීමට සිතන තරුණ තරුණියෝ මේ කරුණු 27 අධ්‍යයනය කරත්වා.

සුභාවිත ගී මඟෙහි අමරණීය සංගීතවේදියකු විය හැකි වනුයේ ද පෙර අපර දෙදිග නා නා විධ සංගීත සම්ප්‍රදායන් දිගු කල් සේවනය කොට දේශීය අධ්‍යාත්මයෙන්, සභ්‍යත්ව විඥානයෙන්, ස්ව අනන්‍යතාවයෙන් සරු නිසරු තැන් කිරා මැන බලා සරු දේ පමණක් අවශෝෂණය කොට ගැනීමෙනි. ගායන ශිල්පියකුගේ තතු ද ඊට සාම්‍යය වේ. ස්වර, ලය, තාල, ශ්‍රැති, රාග යනාදී ඥානයෙන් පිරිපුන්වැ සතතාභ්‍යාසයෙන් වාද්‍ය භාණ්ඩයක් සේ සුසර (ඊභදඥ) කොටගත් හඬ පෞරුෂයක් ස්වර ලාවණ්‍යයක්, ස්වර විචලනයෙහි (ඍචපඪචබඪධදඵ) වෙසෙස් සමත් බවක් ඔහුට හෝ ඇයට තිබිය යුතුය. එහෙයින් සුභාවිත ගේය කාව්‍ය රචකයන්, ගාන්ධර්වයන්, ගායන ශිල්පි ශිල්පිනීන් පඳුරකට ගැසූ කල්හි විසි වන්නාක් මෙන් සුලබ නැත. ආනන්ද සමරකෝන්ගෙන් ඇරැඹි සුනිල් සාන්ත හරහා පණ්ඩිත් අමරදේවයන් වෙත සම්ප්‍රාප්ත වූයේ සුභාවිත ගී මඟෙහි රජ කිරුළය. අමරදේවයන්ගේ ඇවෑමෙන් මහාචාර්ය සනත් නන්දසිරි හා ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා මාලිනී මෙහි මුදුන් මුල් බවට පත් වූහ. ඉක්බිතිව නාරද දිසාසේකර, ආචාර්ය දයාරත්න රණතුංග, මර්වින් පෙරේරා, ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ, සෝමතිලක ජයමහ, අබේවර්ධන බාලසූරිය, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස් (මේ ධාරාව නියෝජනය කළ සියලු ශිල්පීන්ගේ නාමාවලියක් මෙහි දක්වා නැති බව සලකන්න) 90 දශකයේ මුල කරුණාරත්න දිවුල්ගනේ දක්වා පැමිණි ගායන ශිල්පීහු පෙර කී මුදුන් මුල්වල සෙවණේ හෝ සමකාලීනව වැඩුණාහ. (සුභාවිත ගී මඟෙහි ගායන ශිල්පිනියන්ගේ ක්‍රමික විකාශනය මේ අනුව සහෘද ඔබට වටහා ගත හැකිය).

සුභාවිත ගී මඟෙහි විකාශනයට සමගාමීව පොදු ජන ගී ධාරාවක් ද හඳුනා ගත හැකිය. අමාවතුරෙන්, කව්සිළුමිණෙන් උපන් පරම්පරාව සුභාවිත ගී මඟට එක්වෙද්දී ජන කවියෙන්, සීගිරි ගීයෙන්, ගුත්තිලයෙන්, ගජමන් නෝනාගෙන් උපන් පරම්පරාව පොදු ජන ගී මඟට පිළිපන් බව සිතීම සහේතුකය. ලාංකේය පොදු ජන ගීත ධාරාව රුක්මණී දේවියගෙන් ආරම්භ වූයේ යැයි මම සිතමි. රුක්මණියට පෙර ඒ ගී මඟෙහි ගමන් කළ ජනප්‍රිය ගායක, ගායිකාවන් නොසිටි බව ඉන් අදහස් නොවේ. එහෙත් එහි යෝධ මුද්‍රාව තැබූ පුරෝගාමී ශිල්පිනිය ඇය බැව් මම හඟිමි. සුභාවිත ගී මඟෙහි ඇරැඹුමට සමරකෝනුන්ගෙන් ඉටු වූ පුරෝගාමී යුග මෙහෙවර පොදු ජන ගී මඟෙහි රුක්මණියගෙන් ඉටු වූ බැව් සිතීම සහේතුකය. ගීතය හුදු සෞන්දර්යයෙන් ඔබ්බට ගෙන යමින් ජනතාව සියුම් ලෙස ඥානනය කරන මඟක් කොට ගැනීම සුභාවිත ගී මඟෙහි මුඛ්‍ය අධ්‍යාශය නම්, පොදු ජන ගීතයෙන් ඉටු වූයේ ගීතයෙන් සරල සුගම රසාස්වාදයක් ලබා දෙමින් ජනතාවගේ භාව විශෝධනය (ඇරිස්ටෝටල් කී ලෙසින්) (ඛ්චබඩචපඵඪඵ / ර්‍ථභපඨචබඪධද) සිදු කරන්නා වූ කලා මාධ්‍යයක් කොට ගැනීමය. චිත්‍රා සෝමපාල, ලතා වල්පොල, ජී. එස්. බී. රාණි පෙරේරා, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, හරුන් ලන්ත්‍රා, සී. ටී. ප්‍රනාන්දු, එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා, සිසිර සේනාරත්න, සුජාතා අත්තනායක යන ප්‍රතිභාපූර්ණ ශිල්පීන් හරහා පොදු ජන ගී මඟෙහි විකාශනය සනිටුහන් වෙද්දී එහි යෝධ, අමරණීය බලකණුව වූයේ එච්. ආර්. ජෝතිපාලයන්ය. පොදු ජන ගී මඟ නියෝජනය කළ ශිල්පීන් සුභාවිත ගී මඟ සේවනය නොකළ බව ඉන් අදහස් නොවේ. එහෙත් ඔවුන්ගේ සමස්ත මෙහෙවර වඩාත් ඥාතීත්වය දක්වනුයේ පොදු ජන ඥානනයට වඩා පොදු ජන රුචියට අමතමින් ඔවුන්ට සරල වින්දනයක් ලබාදීම දෙසටය. ජෝතිපාලයන් මුදුන් මුල හී තබා නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, නිහාල් නෙල්සන් හරහා 90 දශකයේ මුල කීර්ති පැස්කුවල්, රූකාන්ත ගුණතිලක, ආත්මා ලියනගේ දක්වා මේ පොදු ජන ගී මඟෙහි විකාශනය හඳුනා ගත හැකිය. (මේ ගී මඟ නියෝජනය කළ සියලු ශිල්පින්ගේ නාම ලේඛනයක් මෙහි ඇතුළත් නොවන අතර ගායන ශිල්පිනියන්ගේ විකාශනය මේ අනුව සහෘද ඔබට සිතා ගැනීම අසීරු නැත).

මවිසින් පූර්වයෙහි ද සඳහන් කරන ලද පරිදි ජාතික ගුවන් විදුලිය ආරම්භයෙහි සිටම සුභාවිත ගීතය ඔසවා තැබීම උදෙසා ඉටු කළ මෙහෙවර අමුල්‍යය. ගුවන් විදුලි බලධාරී එම්. ජේ. පෙරේරා මහතා 50 දශකයේ මුල ස්වදේශීය සේවය සුභාවිත ගී මඟ උදෙසා ද වෙළඳ සේවය පොදු ජන ගී මඟ උදෙසා ද වෙන් කොට දෙමින් මේ දෙමඟෙහිම අගය එක සේ වටහා ගත්තේය. විශේෂයෙන් එම්. ජේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩී. ජී. දයාරත්න යන ත්‍රිත්වය මෙරට ජනමාධ්‍ය ක්‍රියාවලිය ගුවන් විදුලිය ඔස්සේ දේශජ චින්තනයකින් හැඩගැස් වූ සංස්කෘතික නියමුවෝ වූහ. ඩන්ස්ටන් ද සිල්වා, පී එල්. ඒ. සෝමපාල වැනි ගුවන් විදුලියේ ඉහළ නිල හෙබ වූ සංගීතවේදීන්ගේ උපදේශකත්වයෙන් මේ දෙමඟෙහි ඉහළ ප්‍රමිතිය සුරැකිණ. පසුකාලීනව නෙවිල් ජයවීර විශේෂයෙන්ම ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය බිහි කළ (70 දශකයේ) රිජ්වේ තිලකරත්න ඈ ගුවන් විදුලි පාලකයෝ මෙහිලා ප්‍රශංසනීය කාර්ය භාරයක් ඉටු කළහ.

ලංකාවට රූපවාහිනී මාධ්‍යය ප්‍රවිෂ්ට වන විට එහි මුල් භාරකාරිත්ව දැරූ බලධාරීන්ට පින් සිදු වන්නට ජාතික ගුවන් විදුලියෙහි සුරැකුණු උසස් ප්‍රමිතිය ඒ අයුරෙන්ම රූපවාහිනී ගීතය හරහා ද පිළිබිඹු විය. ස්වාධීන රූපවාහිනියේ තේවිස් ගුරුගේ, පී එල්. ඒ. සෝමපාල, ජාතික රූපවාහිනියේ එම්. ජේ. පෙරේරා වැනි ආරම්භක බලධාරීහු එහිලා පුරෝගාමී වූහ. රූපවාහිනී මාධ්‍යයෙහි මනා පරිපාලනයට අවැසි ආචාර ධර්ම පද්ධතිය එම්. ජේ. මහතාගේ උපදේශකත්වයෙන් සැකසිණි. අදත් රූපවාහිනි මාධ්‍යයට ඉතිරිව ඇත්තේ ඔහු සකස් කළ ආචාර ධර්ම පද්ධතිය පමණි. ආරම්භයේ සිට 90 දශකයේ මැද භාගය දක්වා මෙරට ප්‍රධාන රූපවාහිනි නාළිකා ද්වයෙන්ම විකාශය වූ වැඩසටහන් ඔස්සේ සුභාවිත, පොදු ජන දෙමඟෙහි ඉහළ ප්‍රමිතිය සුරක්ෂිත කෙරිණ. අබේවර්ධන බාලසූරියගේ “නන්දන වින්දන” (1982) ජාතික රූපවාහිනියේ විකාශය වූ ගීත රූප රචනා කලාවේ පුරෝගාමී සංගීත වැඩසටහන විය. ඉන් ඉහත ස්වාධීන රූපවාහිනී සේවය සඳහා ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් තම ටෙලි සිනේ ආයතනය මඟින් සංගීත වැඩසටහන් නිර්මාණ කොට තිබුණත් “නන්දන වින්දන” රූපවාහිනී මාධ්‍යය තුළ ගීත රූප රචනය ස්ථාපිත කළ වැඩසටහන සේ හැඳින්වීම යුක්ති යුක්තය. ගායන ශිල්පියා හෝ ශිල්පිනිය මයික්‍රෆෝනයක් ඉදිරියේ වාදක මණ්ඩලය සමඟ සිප්පි කටුවක් වැනි කිසියම් පසුතලයක ගීතය ගයන ආකාරයෙන් ඔබ්බට දිවෙන රූප රචනයක් එහි නොදක්නා ලැබුණ ද අප අද එය අගය කළ යුත්තේ යුගයෙහි හැටියට දාරක සමයේ ආරම්භක පියවරක් වශයෙනි.

 

ඉතිරි කොටස ලබන සතියේ

 

Comments

StepCox (තහවුරු වී නොමැත)
buy accutane online reviews Cialis Priligy Dapoxetine Side Effects Cialis Buy Lasix Online Usa
බදා, 03/11/2020 - 05:49
StepCox (තහවුරු වී නොමැත)
Buy Valtrex Canada can i buy cialis online Purchase Discount Doxycycline Cialis 100 Mg Lasix From Canada
සිකු, 03/20/2020 - 01:44
StepCox (තහවුරු වී නොමැත)
Buy Valtrex Canada can i buy cialis online Purchase Discount Doxycycline Cialis 100 Mg Lasix From Canada
සිකු, 03/20/2020 - 01:47

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.