අම්මලා - දුවලා

පෙබරවාරි 13, 2020

 

රෝහිණී ජයකොඩි - වීණා ජයකොඩි

‘අහංකාර ස්ත්‍රී’ (54) චිත්‍රපටයේ කෲර ගැහැනියක (ස්වර්ණා) ලෙස රඟපාමින් සිනමාවට පිවිසි ඇය ‘වනමෝහිනී’ (58) චිත්‍රපටයේ රිචඩ් ඇල්බට් සමඟ රඟපෑ ‘කොළ කඩ කඩ බොරුවට දෙනවා’ ගීතමය ජවනිකාව චිත්‍රපට රසිකයාට කිසිදු දිනක අමතක නොවනු ඇත. ‘හැංගි හොරා’ (68) චිත්‍රපටයේ කතාව, දෙබස් ලියා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ ඇය ඉන් පසු ‘චණ්ඩි සිරියා’ (83) චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළාය.

‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේම වින්සන්ට් වාස් (ජුවාන්) සොරා ගන්නේ රෝහිනී ජයකොඩිගේම දියණියවය. වර්ජිනියා සන්ධ්‍යා පීරිස් නම් වූ එම දරුවා එහි මාස 3 ක පමණ කාලයේ සිට අවුරුදු 1 1/2 දක්වා ළමා නිළියක ලෙස රඟපෑවාය. පසුව ඇය අප්සරා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේ වීණා ජයකොඩි ලෙසය.

-------------

ශ්‍රියාණි අමරසේන - ඉනෝකා අමරසේන

 

1967 දී දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරි බෑනා’ ගේ ‘ගම දුව‘ වූ ඇය ප්‍රථම පුළුල් තිර විත්ති කතා චිත්‍රපටය වූ ඩී. බී. නිහාල්සිංහගේ ‘කෙටි කතාව‘ (67) තුළ ‘රුක්මණී’ වී 1968 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගොලු හදවතේ’ ‘චම්පා’ විය. ‘දෑස නිසා’(75), ‘විරාගය’ (87), ‘කුලගෙය’ (92) වැනි චිත්‍රපට තුළ සුන්දරී, සරෝජනී, එඩ්නා ලෙස අහිංසක ගැහැනියකගේ ප්‍රතිරූපය නංවාලීය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරමින් ‘රිදී තැල්ල’ (81) තිර රචිකාවිය ද වූවාය. ශ්‍රියාණි කුලගෙය චිත්‍රපටය උදෙසා සරසවිය හොඳම නිළිය වූවාය.

ඉනෝකා ද තම මවගේම දියණිය ලෙස ‘ගොලු හදවතින්’ සිනමාවට එක් වූවාය. ‘ගැහැනු ළමයි’ (78), ‘විරාගය’ රඟපෑම් කැපී පෙනුණු අතර ‘වත්සලා අක්කා’ (85) චිත්‍රපටයේ රඟපෑ ‘මේනකා’ගේ චරිතයට වසරේ නැඟී එන නවක නිළිය ලෙස ‘සරසවිය’ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

-------------

ගර්ලි ගුණවර්ධන - සබීතා පෙරේරා

 

‘සෙවන් ආර්ට්ස්’ මුල් ලිපියෙන්ම ගර්ලි ගුණවර්ධනයන්ව හඳුනා ගනිද්දී ‘දුප්පතාගේ දුක’ (56) චිත්‍රපටයට ලතා වල්පොල ගැයූ ‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා’ ගීතයට පෙම්වතා ස්ටැන්ලි පෙරේරා සමඟ ඉදිරිපත් කළ රංගනය නිතැතින්ම මතකයට පිවිසේ. ඇය නෙරංජනා දේවි යටතේ නර්තනය ද අයිලින් සරච්චන්ද්‍රයන් යටතේ නාට්‍ය කලාව ද හදාරා ඇති බව සඳහන්ය. ‘සරදියෙල්’ (54) හි ‘තංගම්මා’ ද ඇය විය.

ඇයගේ දියණිය සබීතාපෙරේරා ළාබාල වියේදීම රංනයට පිවිසියේ ‘හතර කේන්දරේ’ (67), ‘ඉවසන දනා’ (67) වැනි චිත්‍රපට තුළිනි. ඇයගේ නමින්ම තැනුණු ‘සබීතා’ (80) චිත්‍රපටයෙන් නවක තාරකාවක ලෙස ප්‍රධාන නිළි චරිතය රඟපාමින් දොරට වැඩි ඇය සිනමාවේ ජනප්‍රිය නිළියක බවට පත් වූවාය ‘දෙවෙනි ගමන’ (84), ‘විරාගය’ (87), ‘සිසිල ගිනි ගනී’ (92) චිත්‍රපට තුළ දක්ෂ රංගනයක නිරත වූවාය. කලක් පාකිස්තාන සිනමාවට ද සබීතා නැතිවම බැරි නිළියක වූයේ එම රටෙහි ද හොඳම නිළිය ලෙස සම්මාන ලබමිනි.

-------------

චන්ද්‍රා කලුආරච්චි - අමා විජේසේකර

 

1968 දී ජී. ඩී. එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි‘ චිත්‍රපටයෙන් සිනමා නිළියක වීමට පෙර ඇය වේදිකා නාට්‍ය නිළියක වූවාය. ‘බක් මහ අකුණු’ නාට්‍යය ‘බක් මහ දිගේ’ (69) චිත්‍රපටය බවට පත්වෙද්දී මේ නිර්මාණ දෙකේම එකම චරිතයට දායකවීමට සමත් වූවාය. ‘අහසින් වැටුණු මිනිස්සු’, ‘ඉඩම‘ වැනි වේදිකා නාට්‍යවල ප්‍රබල චරිත ඉදිරිපත් කළ ඇය චිත්‍රපට 50 ට වැඩි සංඛ්‍යායක විවිධ වැඩිහිටි චරිත රඟපාමින් ප්‍රේක්ෂක සිත් දිනා ගත්තාය.

නිළි චන්ද්‍රා කලුආරච්චි සහ නළු ගායක ලක්ෂ්මන් විජේසේකරගේ දියණිය අමා ශාක්‍යා ද අල්විස් විජේසේකරය. ටයිටස් තොටවත්තයන්ගේ ‘මනෝ පුබ්බංගමා ධම්මා’ ටෙලි නාට්‍යයෙන් කලා ලොවට පිවිස සුමිත්‍රා පීරිස්ගේ ‘ලොකුª දුව‘ (96) රඟපෑමෙන් සිනමාවට පිවිස ‘සරසවිය’ නැඟී එන නිළිය සම්මානය ද දිනා ගත්තාය.

-------------

තලතා ගුණසේකර - නදීකා ගුණසේකර

එම්. මස්තාන්ගේ ‘අදට වැඩිය හෙට හොඳයි’ (63) චිත්‍රපටයේ ක්‍රිස්ටි ලෙනාඩ්ගේ බිරිඳ ලෙස රඟපාමින් සිනමාවට පිවිස ‘සැපත සොයා’ (65) චිත්‍රපටයේ මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑවාය. තලතා චිත්‍රපට නිෂ්පාදිකාවක, ගීත හා තිර නාටක රචිකාවියක ලෙස දායක වූයේ ‘ඇය ඔබට බාරයි’ (98) චිත්‍රපටයෙනි. විජය සමඟ අනියම් පෙමක වෙලී දුෂ්ට ගැහැනියක ලෙස ‘අභිරහස’ (71) චිත්‍රපටයේ රඟපෑ අයුරු අමතක නැත.

සන්ධ්‍යා දර්ශනී, නදීකා වූයේ පාසැල් ශිෂ්‍යාවක වූ ඇයගේ නම භවිත කිරීමට ‘කාංචනා’ (80) අධ්‍යක්ෂණය කළ එම්. ඒ. සංඝදාස කැමැත්තක් නොදැක් වූ නිසාය. ඇය එහි ප්‍රධාන නිළිය වූවාය. සිය මවගේ මිතුරියක වූ නිළි සන්ධ්‍යා කුමාරි ඇයට ‘නදීකා’ යන නම තබා ඇත්තේ සිංහල සිනමාවට සන්ධ්‍යාලා දෙදෙනකු අවශ්‍ය නැති බව ද පවසමිනි. ආරම්භයේ සිටම ‘බැද්දේගම‘ (81) (හින්නිහාමි) වැනි චිත්‍රපටවල රඟමින් රංගන කුසලතා පළ කළා මෙන්ම ‘චංචල රේඛා’ (81) (දංචූටි) වැනි චරිතවලින් ජනප්‍රියත්වයට පත් වූවාය.

-------------

ගීතාකාන්ති ජයකොඩි - පබෝධා සංදීපනී

ගීතා කාන්ති ජයකොඩි වේදිකාවේ රඟපෑමට පිවිසුණේ 1978 දී ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම‘ට සම්බන්ධ වෙමිනි. පුංචි තිරයට එක් වූයේ ‘රන් දොරටුව‘ ටෙලි නාට්‍යයෙනි. මෙම අංශයන් දෙකෙන්ම සම්මානයට පාත්‍ර වෙද්දී 1982 දී ඩී. බී. නිහාල්සිංහගේ ‘රිදී නිම්නය’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට ද අවතීර්ණ වූවාය. ධර්මසිරි ගමගේ ගේ ‘පූජා’ (86) චිත්‍රපටයේ ‘වසන්ති’ චරිතය එම වසරේ නැඟී එන නිළිය ලෙස ‘සරසවිය’ සම්මානය ලබා ගැනීමට උපකාරී විය.

රශ්මි පබෝධා සංදීපනී මව් උරුමයෙන් කලා ලොවට පිවිසි දියණියක වූවාය. ටයිටස් තොටවත්තයන්ගේ ’ඔෂින්’ වැනි විදේශීය රූපවාහිනී නාට්‍යයන්ට හඬ කැවීමෙන් දායක වූ ඇය මුල්වරට රඟපෑවේ ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයේ ළමා චරිතයකි. ‘හොඳින් නැත්නම් නරකින්’ (90), ‘සඳ යහනට‘ වැනි චිත්‍රපටවලද ළමා චරිත රඟපා ‘බහුභූතයෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවාය. ‘ගින්දරී’ ලෙස ද රසික ප්‍රසාදය දිනා ගත්තාය. පබෝදා බහුභූතයෝ චිත්‍රපටය උදෙසා නැඟී එන නිළිය ලෙස සම්මානය දිනා ගත්තේ මේ සම්මානය දිනාගත් එකම මව හා දුව ලෙස ගෞරවයට පත් වෙමිනි.

-------------

ශ්‍යාමා ආනන්ද - මන්දිරා ආනන්දි පෙරේරා

 

ටෝනි රණසිංහ සහ මාලිනී ෆොන්සේකාගේ නිවුන් දියණියන් ලෙස ‘ප්‍රවේසම් වෙන්න’ (69) චිත්‍රපටයේ ශ්‍යාමා ආනන්දන් රඟපෑ ද්විත්ව චරිත තවමත් ප්‍රේක්ෂකයන්ට මතකය. එය තවත් ඔපමට්ටම් වූයේ ඇගේ පියා අධ්‍යක්ෂණය කළ ‘මගේ නංගි ශ්‍යාමා’ (75), චංඩි ශ්‍යාමා (78), ‘හලෝ ශ්‍යාමා’ (82) වැනි චිත්‍රපටවලද ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලද බැවිනි. ‘ගැහැනු ළමයි’ (78) හි ‘පද්මිණී’ ඇයගේ තරුණ රංගන දිවියේ මංසලකුණකි.

සාලිය පෙරේරා සමඟින් විවාහ වී ඇය ලද දියණිය මන්දිරා ආනන්දි පෙරේරා ද ‘මම බය නෑ ශ්‍යාමා’ (95) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, සොමී රත්නායක වැනි ප්‍රවීණ නළුවන් සමඟය. එහිදී සමිතා මුදුන්කොටුව ගැයූ ‘පුංචි පුංචි මල් වගේ’ ගීතමය ජවනිකාව රඟපෑමෙන් රසික හදවත් දිනා ගත්තාය.

 

මේ වගේ එකට ගෙතෙන හතක් ඔබටත් මතක් වෙනවා නම් විස්තර සහිතව අපට ලියා එවන්න. සෙවන් ආර්ට්ස්, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.