මැක්බ්‍රයිඩ් වාර්තාවේ අනාවැකිය සැබෑ වේ

පෙබරවාරි 20, 2020

අබේවර්ධන බාලසූරියගේ “නන්දන වින්දන”ට පසුව ස්වාධීන රූපවාහිනී නාළිකාව ද එකී ආකෘතිය හා අන්තර්ගතයට බොහෝ දුරට සාම්‍යය වූ ජනප්‍රිය සංගීත වැඩසටහනක් ආරම්භ කළේ්ය. 

එය “මධු රසාංග” ලෙස 1983 නොවැම්බර් 16 වැනිදා ඇරැඹිණි. ඉන් ඉහත ගුවන් විදුලියේ “මධු රසාංග“ නමින් සංගීත වැඩසටහනක් ප්‍රචාරය වූ අතර එහි “නන්දන වින්දන” මෙන්ම සුභාවිත හා පොදු ජන දෙමඟෙහිම ගීත ඇතුළත් විය. ගුවන් විදුලියෙන් රූපවාහිනියට පැමිණි බලධාරියකු වූ තේවිස් ගුරුගේ මහතා “මධු රසාංග” නමින් සංගීත වැඩසටහනක් ස්වාධීන රූපවාහිනී නාළිකාවෙහිත් ආරම්භ කිරීමට ක්‍රියා කළේය. එය ස්වාධීන රූපවාහිනී නාළිකාවෙහි විකාශය වූ ප්‍රථම සිංහල සංගීත වැඩසටහන විය. ඉන් පෙර මේ නාළිකාවෙහි දක්නා ලැබුණේ ලියොන් බෙලට් හා ජීන් ෆෙරර් විසින් පූරක දායකත්වය ලබා දෙන ලද “ඕපඪඨඩබ චදඤ ඕපඥඥලඥ” නමැති ඉංග්‍රීසි ගීත වැඩසටහන පමණි. ආරියසිරි විතානගේ සහ ඉඳුනිල් දිසානායක යන ප්‍රවීණ පූරක යුවළ “මධු රසාංග” මෙහෙය වූහ. 1983 සිට 2001 වසරේ අවසන් භාගය දක්වා වසර 18 ක කාලයක් මේ ජනප්‍රිය වැඩසටහන විකාශය කෙරිණ. එවක එච්. ආර්. ජෝතිපාලයන් කිසියම් මතභේදයක් හේතුකොට “නන්දන වින්දන” වැඩසටහනට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමේ සෘජු ප්‍රතිපත්තියක සිටියේය. එහෙත් “මධු රසාංග” උදෙසා ඔහුගේ ගීත ගණනාවක්ම රූප රචනයට නැඟිණ. තේවිස් ගුරුගේ සහ පී. එල්. ඒ. සෝමපාල ඈ බලධාරීහු එහිලා මූලික වූහ. එසේ නොවන්නට ජෝතිපාලයන්ගේ කිසිදු ගීතයක රූප රචනාවක් රූපවාහිනී මාධ්‍යයෙන් මතු පරපුරට දැක ගැනීමට ලැබෙන්නේ නැත. 80 දශකයේ මැද රූපවාහිනී ගීත රචනා කලාව තව පියවරක් ඉදිරියට තැබුවේය. ඒ සුනිල් සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ “හද බැඳි ගී” වැඩසටහනෙනි. ගායන ශිල්පියා හෝ ශිල්පිනිය චිත්‍රාගාරයෙන් මුදවා එළිමහනේ සුන්දර දර්ශන තලවලට රැගෙන ගොස් රූපවාහිනී ගීත රූප රචනය ඇරඹුණේ මේ වැඩසටහනෙන් යැයි මම සිතමි. එහිදී ද සුභාවිත, පොදු ජන දෙමඟෙහිම ගීත සඳහා එක ලෙස අවස්ථාව ලැබිණ. 1986 ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ චන්දන ෆොන්සේකාගේ “ගීතයක රාවය” ද පුරෝගාමී සංගීත වැඩසටහනකි. ඉක්බිතිව 80 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ අවසන් භාගය දක්වා කාලයේ රූපවාහිනී ගීත රූප රචනා කලාව ප්‍රශස්ත, කලාත්මක, සෞන්දර්යාත්මක, සම්මානනීය තලයකට ඔසවා තැබූ අධ්‍යක්ෂවරු ජාතික රූපවාහිනී නාළිකාවෙහි කැපී පෙනුණාහ. රවීන්ද්‍ර මුණසිංහ අධ්‍යක්ෂණය කළ “මමෝහාරී”, “නඳුන් උයන” යන සංගීත වැඩසටහන් මෙහිදී සිහියට නැඟේ. සුභාවිත හා පොදු ජන දෙමඟ නියෝජනය කළ අලුත් ගීත කලාත්මක, සෞන්දර්යාත්මක රූප රචනා ඔස්සේ සහෘදයාට හඳුන්වාදීමට අගනා කාර්යභාරයක් එකී සංගීත වැඩසටහන් ද්වය ඔස්සේ ඉටු විය. ගීතවල අරුත් විකෘති නොකොට, රස නුසුන්ව ඒවා රූප රචනයට නඟා අදාළ ගීතයට, ගායන ශිල්පියාට, ශිල්පිනියට සාධාරණයක් ඉටු කිරීමට රවීන්ද්‍ර මුණසිංහ සමත් වූයේය. එහිදී ඇවැසි තැන්වල ස්ත්‍රී ලාලිත්‍යය, අනුරාගීත්වය කලාත්මක සංයමයෙන්, ස්වයං වාරණයෙන්, ගීතයේ තේමාවට ඖචිත්‍යපූර්කව ඉදිරිපත් කිරීමට ද ඔහු උත්සුක වූ හෙයින් මේවා මඟින් ප්‍රේක්ෂක සහෘද මනස් හි අසභ්‍ය, ජුගුප්සාජනක හැඟීම් ජනිත කළේ නැත. ජාතික රූපවාහිනියේ රන්ජන් ගුරුසිංහගේ විචිත්‍ර කැමරාකරණයෙන් ඊට ලැබුණු ආලෝකය සුළුපටු නැත. එසේම හේම නලින් කරුණාරත්න අධ්‍යක්ෂණය කළ “ආනන්ද රාත්‍රී” උපාලි ආරියසිරි අධ්‍යක්ෂණය කළ “මියුරුසර වසන්තය” සෙනේෂ්් දිසානායක බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “යාත්‍රා”, එරින් විජේකෝන් අධ්‍යක්ෂණය කළ “සඳමඬල,” විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ “ගී 7” වැනි සංගීත වැඩසටහන් ඔස්සේ පැරැණි සුභාවිත හා පොදු ජන ගී විචිත්‍ර වූ රූප රචනයට නැඟීමට සමගාමීව මේ දෙමඟට ප්‍රවිෂ්ටවීමට අපේක්ෂාවෙන් සිටි තරුණ පරපුරේ නැවුම් ගී හඳුන්වා දුන්නේය. මොවුහු සෞන්දර්යාත්මක රූපවාහිනි ගීත රූප රචනයේ ස්වර්ණමය අවධියට දායක වූහ. එහෙත් 90 දශකයේ මැද භාගයේ පූර්ව සූදානමකින්, පූර්ව අධ්‍යයනයකින් විනිර්මුක්තව ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය පෞද්ගලික අංශය වෙත විවෘත කෙරිණ. එතෙක් පැවැති සංවෘත සුබසාධනවාදී අර්ථ ක්‍රමය 1977 දී එකවර උඩු යටිකුරු කරමින් විවෘත අර්ථ ක්‍රමය මෙරටට පිවිසියේ ද 1979 දී එකවර වර්ණ රූපවාහිනිය පැමිණියේ ද කිසිදු පෙර සූදානමකින් තොරවය. 90 දශකයේ මැද ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය පෞද්ගලික අංශය වෙත ද විවෘත වූයේ එපරිද්දෙන්මය. පෞද්ගලික අංශය වෙත ද එකී මාධ්‍ය විවෘත කිරීමේ කිසිදු වරදක් නැත. ඉන් සිදු වූ සාධනීය ඵල අප අගය කළ යුතුය. එහෙත් එදා සිදු වූ දෝෂය නම් නිශ්චිත ආචාර ධර්ම පද්ධතියකට, ප්‍රමිතිකරණයට යටත් නොකොට මේ විවෘත කිරීම සිදු කිරීමය. එහි අනිවාර්ය ඵලය කුමක්ද? කිසිදු ප්‍රමිතියකින් තොර ඉවක් බවක් නැති, මහජන වගකීම වෙනුවට හුදෙක් ලාභය, වෙළෙඳ ඉලක්ක පසුපස හඹා යන අවර ගණයේ ඕලාරික වැඩසටහන් පෞද්ගලික අංශයේ බොහොමයක් නාළිකා ඔස්සේ කලඑළි බැසීමය. රජයේ වේවා පෞද්ගලික වේවා කිසිදු ජන මාධ්‍යයකට මහජන වගකීමන් බැහැර විය නොහැකිය. 1980 දී “ර්ඒව්ක ඍර්‍ණධ්ඛ්ඡ්ඉ ර්‍ණව්ඡ් එර්‍ණඅඹ්ච්” මැයෙන් එළිදුටු 1977 යුනෙස්කෝව පත් කළ ෂෝන් මැක්බ්‍රයිඩ් වාර්තාවෙන් අවධාරණය කළ අනාවැකිය වූයේ නව මාධ්‍ය හරහා එළිදැක්වෙන වැඩසටහන් ඔස්සේ තුන්වැනි ලෝකයේ රටවල සංස්කෘතික අනන්‍යතාවට හානි සිදු විය හැකි බවය. එනම් ව්‍යංග්‍යාර්ථයෙන් ඔවුන් අපට අනතුරු ඇඟ වූයේ විවෘත අර්ථ ක්‍රමය, නව මාධ්‍ය හරහා අත්වැල් බැඳ ගන්නා ඊනියා ජනප්‍රිය සංස්කෘතිය ඉදිරියේදී එතෙක් මෙරට සංස්කෘතියට, සභ්‍යත්ව විඥානයට එකඟව ගමන් ගත් විදග්ධ හා පොදු ජන කලාවන් අතරට පැමිණ ඒවා යටපත් කිරීමට වෙර දරන බවය. මෑත කාලයේ මෙරට සාහිත්‍යලෝලීන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සුප්‍රකට ලතින් ඇමරිකානු සාහිත්‍යවේදී ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් ද එකී මැක්බ්‍රයිඩ් කොමිෂන් සභාවේ සාමාජිකයකු වූයේය. 1980 දී පළ වූ මේ අනාවැකිය අරභයා ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය මෙහෙය වූ පුරෝගාමී බලධාරීන් වටහාගෙන සිටි බවට කිසිදු සැකයක් නැත. ජාතික රූපවාහිනියේ පළමු සභාපති එම්. ජේ. පෙරේරා මහතා මැනවින් සකස් කොට දුන් ආචාර ධර්ම පද්ධතිය මීට දෙස් දේ. එතැන් සිට මේ දක්වා ගත වූ කාලය පුරා එකී නාළිකා ඉඳහිට විවිධ කාල වකවානුවල පීලි පනින්න ගිය අවස්ථා අතර එම්. ජේ. මහතා ගොඩනැඟූ ප්‍රමිතිය රැක ගැනීමට වෙර දැරූ අයුරු ද දක්නට ලැබිණ. මේ නිසා රජයේ මාධ්‍යවලින් අර කී ඊනියා ජනප්‍රිය සංස්කෘතියට හිස එසවීමේ අවකාශය මඳ විය. එහෙත් මැක්බ්‍රයිඩ් කොමිසමේ අනාවැකිය සැබෑ වූයේ 90 දශකයේ මැද සිට ඉවක් බවක් නැතිව, ප්‍රමිතිකරණයකින් තොරව මාධ්‍ය විවෘත කිරීම් නිසාවෙනි. මෙහි ප්‍රමුඛව කැපී පෙනුණු හානිදායක ඵල මෙලෙස පිඬු කොට දැක්විය හැකිය. 

1. අප බිහි කළ මව හා සමාන මවු බස විකෘති කිරීම.

2. ඥානනය වෙනුවට ඕලාරික, ග්‍රාම්‍ය සිහින ලෝකවල ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා අතරමං කිරීම.

3. ආගමික සංස්ථාවන්ට, පවුල් සංස්ථාවේ මනා සබඳතාවලට (දෙමාපිය - දූදරු, ගුරු - සිසු, අඹුසැමි යනාදී) පහර ගැසීම.

4. රටේ ජීවනාලිය වූ තරුණ හා ළමා පරපුරේ රසඥතාව, දැනුම මොට කිරීම.

5. අපගේ ප්‍රස්තුතයට අදාළව මවිසින් පූර්වයෙහි විග්‍රහ කරන ලද එතෙක් පැවති සුභාවිත හා පොදු ජන ගීත ධාරා යටපත් කොට සංකර, ඝෝෂාකාරී, කර්ණ කටුක, ග්‍රාම්‍ය, දුර්ගීත ඔසවා තැබීමට ප්‍රයත්න දැරීම. 

6. ස්ත්‍රී සිරුර, ලිංගිකත්වය ස්වයංවාරණ තුළ හිඳ සෞන්දර්යාත්මක ශික්ෂණයකින් නිරූපණය කිරීම වෙනුවට ස්ත්‍රී නිරුවත කාමය කුප්පන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම.

7. ළමා, තරුණ හා මතු පරපුර කළ යුත්තේ එක්කෝ පැරැණි ගීත යළිත් ඇසීමෙන් පමණක් සෑහීමට පත් වීමය. නොඑසේ නම් දුර්ගීත ගැයීමට පිවිසීමය. එසේත් නැතිනම් අන්‍ය ශිල්පීන්ගේ ගී ගයා ව්‍යාජ තරු කිරුළු පැලඳීමය. මේ පසුබිම ඔස්සේ ඔවුන්ට ස්ව අනන්‍යතාව විදහාපාමින් සුභාවිත හෝ පොදු ජන ගී ගයා ඉහළ ආස්ථානයට පැමිණීමට කිසිදු ඉඩක් නොමැති වීම. දුෂ්කරතා මැද සුභාවිත හෝ පොදු ජන ගී ගැයූ ගායක ගායිකාවන්ට ඒ නිර්මාණ හමස් පෙට්ටිවල තැබීමට සිදු විය. ඒවාට නිසි ප්‍රචාරය, දිරි ගැන්වීම නොලැබිණ.

ඉතිරි කොටස ලබන සතියේ

Add new comment