“පුංචි නංගි එයි දැන් තාත්තා අපේ” ගැයූ ග්‍රේටා සහ සෙල්සි සොයුරියෝ

පෙබරවාරි 20, 2020

 දැනට දශක කීපයකට පෙර ගුවන්විදුලියේ පැරණි රසාංග තීරයේ නිතර වාදනය වූ ළමා යුගලයක ඉතිහාසය අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නෙමි.

අක්කා : පුංචි නංගි එයි දැන් තාත්තා අපේ //

නංගි : ඔව් අක්කේ ඇත්තක්මයි කිව්වේ

අර එන්නේ තාත්තා අපේ //

අක්කා : පුංචි නංගි එයි දැන් තාත්තා අපේ

නංගි : ටොෆි - සීනිබෝල - චොකලට් තාත්තා අතේ තිබේ

ආ හා මගේ හොඳ අක්කට චොකලට් තමයි අගේ //

අක්කා : ඇයි පුංචි නංගි කලබල තාත්තා මේ ආව නේ

ඒ සීනීබෝල ඉල්ලගන්න නොකර කරදරේ //

තාත්තා : මාගේ දෝණි අක්කට සහ අයියාට දෙන්න පංගුවක් ගොසින් //

නංගි : අම්ම ගැහුවා තාත්තේ මට //

තාත්තා : කාරී නෑ දූට අම්ම ආදරෙයි //

අක්කා සහ නංගි : ආල පාන තාත්තාට දිගායු සහ සැම සැපක් වේවා //

 

අක්කා (දෙබස ) : ආ ..එන්න ..එන්න නංගි තාත්තට වදින්න

ගාථාව (දෙදෙනාම) : වුද්ධිකාරෝ ආලිංගිත්‍වා - චුම්බිත්‍වා පිය පුත්ථකං

රාජමජ්ජං සුප්පතිට්ඨධ -පිතු පාදං නමා මහං

සාධු ......සාධු ........

පැරණි ගී ප්‍රිය කරන බොහෝදෙනා අතර මතකයෙන් ඈත් නොවන මෙම ළමා ගීතය තැටිගත කෙරුණේ 1941 තරම් ඈත වකවානුවක ය. GE 15079 අංකය යටතේ COLUMBIA  ලේබලයෙන් නිකුත් වන මෙම ග්‍රැමොෆෝන් තැටියේ එක පසෙක මාතෘ වන්දනාත්මක ගීතයක් දැක්වෙන “ආලේ පානා අක්කේ” නම් ගීතයද, අනෙක් පස පිතෘ වන්දනාත්මක ගීතයක් සඳහන් “පුංචි නංගි“ නම් ඉහත දක්වන ලද ගීතය ද ඇතුළත් වෙයි. මෙම ගීත ද්විත්වය ම රචනා කළේ එවකට සිටි සුප්‍රසිද්ධ ගීත රචකයෙකු වූ සී. වීරසේකර මහතා විසිනි. ගීත තනු නිර්මාණය මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. මෙම ගීත යුගලයම ගායනා කළේ සැබෑ ජීවිතයෙද අක්කා- නගෝ වූ ගායිකාවන් දෙපළකි. අක්කා වූයේ, එවකට COLUMBIA  ගීත තැටි සමාගමේ මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ කණ්ඩායමේ සිටි ප්‍රධානතම ගීත තාරකාව වූ, මීගමුවේ ග්‍රේටා ජැනට් ද සිල්වා මෙනෙවිය යි. මෙම ගීත දෙකෙහිම එතුමියගේ සහාය ගායිකාව වූයේ එතුමියගේම සොයුරිය වූ, සෙල්සි ද සිල්වා බාලිකාවයි. “පුංචි නංගි” ගීතයේ පියාට හඬ මුසු කළේ එවකට සිටි ජනප්‍රියම ගායකයෙකු, නාට්‍ය ශිල්පියෙකු, පසු කලෙක චිත්‍රපට නළුවෙකු සහ පසුබිම් ගායකයෙක් වූ (මෙරට කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ගීත තැටි සඳහා ගීත ගායනා කළ) ස්ටැන්ලි මල්ලවාරච්චි මහතා ය.

1939-45 කාලවකවානුවෙහි දී මෙරට බිහිවුණු ග්‍රැමොෆෝන් ගීත තාරකාවන් අතුරින්, අක්කා- නගෝ එනම් එකම පවුලේ සොයුරියෝ ගැයූ ගීත මෙලෙස ග්‍රැමොෆෝන් තැටි සඳහා ඇතුළත් විය. COLUMBIA  සමාගමෙන් මුල්වරට එකම පවුලේ සොයුරියන් සහ සොහොයුරෙකු ඇතුළත් කොට ගීත තැටිගත කළේ 1938 වර්ෂයේදීය. ජස්ටින් පීරිස් මහතා සහ “පීරිස් සොහොයුරියෝ” (“PEIRIS SISTERS”) ලෙස ගීත තැටි ලේබලයන් හි සඳහන් වුණු , ජැස්මින් - චාලට්- චන්ද්‍රා සහ කරුණාවතී යන සිවු සොහොයුරියන් ය. “අපේ ජීවිතය”, “මව් පිය ආදරය”, “මල් නෙළීම”, “කළගෙඩි නැටුම”, “ලක්මවගේ අවවාද”, “පවුල් අවුල් වුණේ” , “මාතා සැරදේ මාතා“, “අභිනව යුවළට ආශිර්වාද”, “ප්‍රේමි ලංකා දේවී”, “ලංකා වර්ණනාවක්” ආදී ලෙස ගීත තැටි ගණනාවක් 1938-40 කාලය තුළ පීරිස් සහෝදරියන් ගේ ගීත ලෙස නිකුත් විය. සිංහල ගීත තැටි ඉතිහාසයේ පළමු “සිවු සොහොයුරියන් (FOUR  SISTERS)” ලෙස සදහන් වන්නේ මෙම පීරිස් සහෝදරියන් ය.

 

අනතුරුව 1940 දී COLUMBIA  තැටි සමාගමෙන් ම හඳුන්වාදෙනු ලබන සොහොයුරියන් දෙදෙනා වන්නේ ග්‍රේටා සහ සෙල්සි ද සිල්වා ය. ඔවුන් දෙදනාගේ පළමු ගීත තැටියේ (GE  15038 අංකය දරණ) අඩංගු වන්නේ කපිරිඤ්ඤා ගීත යුග්මයකි. “දැන් කාලේ ළමිස්සියෝ බයිලා කියනවා- මිරිස් හොද්ද උයන්න බැහැ ලුණු වැඩි වෙනවා” ගීතය තැටියේ එක් පසෙකත්, “මාස ගණන් දුක් විඳ විඳ” යන ගීතය අනෙක් පසත් අඩංගු විය. මෙම ගීත යුග්මයේ ගීත රචනය කාගේ දැයි සඳහනක් නොමැත. එම තැටි ලේබලයේ මුද්‍රණය වූයේ “ ග්‍රේටා ජැනට් ද සිල්වා සහ සොහොයුරිය” ( Miss Greta Janet De Silva & Sister  යනුවෙනි. එහි සෙල්සි ද සිල්වා බාලිකාව ගේ නම සටහන් ව තිබුණේ නැත. මෙම කපිරිඤ්ඤා ගීත ද්විත්වයෙන් ලද ජනප්‍රියතාවය නිසාම මේ සොහොයුරියන් දෙදෙනාගේ තවත් ගීත දෙකක් ද තැටිගත කරන ලදී. ඒ ඉහත සටහන් කළ “පුංචි නංගි“ සහ “ආලේ පානා අක්කේ” යන ගීත යුග්මයයි.

“පුංචි නංගි“ සහ “ආලේ පානා අක්කේ” යන ගීත දෙකටම මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් හින්දුස්ථානි රාගධාරී සංගීතයේ මෙන්ම බටහිර සංගීත අනුභූතීන් ගේ සම්මිශ්‍රණයක් යොදාගත් බව පෙනේ. මෙම ගීත තනු දෙක බොහෝවිට ගවුස් මාස්ටර් ගේ ස්වතන්ත්‍ර තනු නිර්මාණ දෙකක් බවක් පෙනී යයි. “පුංචි නංගි“ ගීතය මූලික වශයෙන් හින්දුස්ථානි ගෞඩ සාරංගා රාගය ඇසුරින් තැනූ ගීත නිර්මාණයක් වන අතර, එම ගීතය කොටස් තුනකින් සකස් කළ බවක් පෙනී යයි. ගීතයේ පළමු කොටස මාත්‍රා හතරෙන් හතරට (common time) සකස් කර ඇති අතර, දෙවන කොටස මාත්‍රා තුනෙන් තුනට (waltz time) සකස් කර ඇත. ගීතයේ තුන්වැනි කොටස තාලයක් නොමැතිව දොහොරා ශෛලීයට සකස් වී අවසානයේදී ගථා ගායන ශෛලීය භාවිත කර ඇත. තාක්ෂණය එතරම් නොදියුණු යුගයක මේ ආකාරයේ සිදුකරන ලද සංගීතම පටිගත කිරීම් ඉතා අභියෝගාත්මක ය. පියෑනෝ ව ගීතය පුරා වාදන කෙරෙන අතර, පියෑනෝවෙන් අතරින් පතර ගීතයේ රසභාවයන් තීව්‍ර කිරීමට හින්දුස්ථානි රාගධාරී සංගීතයෙ එන තානාලංකාර ශෛලීය භාවිත කර ඇත. මීට අමතරව තබ්ලාව, වයලීනය, බටනලාව, ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩ ද යොදා ඇත.

තැටියේ අනෙක් පස ඇති ග්‍රේටා ජැනට් සහ සෙල්සිද සිල්වා සහෝදරියන් විසින් ගයනු ලබන අනෙක් ගීතයේ පදමාලාව මෙසේ ය.

නංගි : ආලේ පානා අක්කේ අම්මා ගැහුවා

අනේ වී තරහා හොඳ අම්මා සැර වුණා //

අක්කෙ වේවැලකින් තලා මගේ කණ මිරිකා බැන්නා //

අපේ අම්මා දැන් නැහැ අහෝ මට ආදරේ //

අක්කා : මගේ පණ වැනි හොඳ පුංචි නංගි සැනසෙන් නාඩා

දෝස මෑණිගේ නැහැ පොඩි නංගි උඹ දඟයි //

නංගි : අක්කේ මා කළ වැරදි මොනවද මේ හැටි ගුටි කන්ටා //

අක්කා : වැරදි නැත්නම් තලයි ද අම්ම නංගිටා //

ඉතින් තුරුලේ නළවාලා හොඳ නංගි වැදු උතුම්

අපේ මවු නොවේදෝ ගෙදර බුදුන් නංගියේ //

සෝක හැර දා හොඳ නංගි මගේ වෙනු වෙනු ප්‍රීති

අම්ම දැන් එයි ඉල්ලා සමා දෙපා වඳීම් //

 

දෙබස : හා...එන්න ..එන්න නංගි වැඳල අම්මගෙන් සමාව ගන්න

දෙදෙනාම (ගාථාව) : දසමාසේ උරේ කත්වා - පෝසේසි වුද්ධි කාරණං

ආයු දීඝං වස්සසතං - මාතු පාදං නමා මහං

සාධු.......සාධු ...

 

ශ්‍රාවකයන් අතර වෙසෙසින් කුඩා දරුවන්ගේ සුචරිත ගුණ වර්ධනය කිරීමෙහි ලා ග්‍රමොෆෝන් ගීතයෙන් ලබා දුන් පිටුබලය මෙවැනි ගීත රචනා වලින් පැහැදිළි වෙයි. මෙම ගීත යුගලය පිළිබඳව 1941 නිකුත් වුණු COLUMBIA  ගීත කැටලොග් පොතෙහි මෙවැනි සඳහනක් දී තිබුණි. “ගීත ගායනයෙහි ඉතා ප්‍රසිද්ධියක් උසුලා සිටින ග්‍රේටා ජැනට් ද සිල්වා තරුණ නෝනා සහ සහෝදරිය විසින් ගායනා කරන ගෙදර බුදුන් ලෙස සලකන මවටද, පියාටද වන්දනය කළ යුතු ආකාරය කියාපාන ගීත දෙකක් අඩංගු මෙවැනි තැටියක් සෑම ගෙදරකම උදේ සවස ශ්‍රවණය කෙරේ නම් එහි විපුල ප්‍රයෝජන කියා නිම කරන්නට නොහැකි බව සුඛාවබෝධ වනු නියතය” යනුවෙනි.

මෙම ගීත ගායනා කළ ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය ගැන වෙසෙසින් ම සඳහන් කළ යුතුය. දැනට අනූ සත් (97) වියෙහි පසුවන එතුමිය මෙරට සිටින ජ්‍යේෂ්ඨතම ගායන ශිල්පිනිය යි. වර්ෂ 1938 දී ඹ්ඒව්ම්ඒ ජ්ධ්ඹ්ර් ඛ්ර්‍ණර්ර්‍ථඒව්ක ඹ්ඊච්. නම් ග්‍රැමොෆොන් ලේබලයට ගීත දෙකක් ගායනා කරමින් ගායනයට පිවිසි එතුමිය, 1939 වසරේ COLUMBIA  සමාගමේ නිත්‍ය ගායිකාවක ලෙස බැඳුණා ය. 1939-1945 වකවානුව තුළ එම සමාගම වෙනුවෙන් එතුමිය විසින් තැටිගත කළ ගීත සංඛ්‍යාව ආසන්න වශයෙන් තිහකට ආසන්නය. මේ ගීත සමුච්චය තුළ , කවි ගායනා, විරිඳු, ගාථා , බයිලා, කපිරිඤ්ඤා, අර්ධ ශාස්ත්‍රීය සහ ශාස්ත්‍රීය ආදී නොයෙක් ශෛලීන්හි ගායනා අන්තර්ගත වෙයි. එඅතුරින් එඩී ජයමාන්න සමගින් ගැයූ කපිරිඤ්ඤා සහ බයිලා ගායනා ද, ස්ටැන්ලි මල්ලවාරච්චි සමගින් සම්පූර්ණ බුද්ධ චරිතය කපිරිඤ්ඤා ලෙස ගැයූ ගායනාවන් ද ඉතා සුවිශේෂී වෙයි. “දුල් සල්වනේ ළකල්”, “මුනි නන්දන සිරිපාද වදිම්”, “මෙමගෙ ජන්ම භූමී”, “නෑයෝ වාසි තැනේ දී”, “සංසාරේහි දෝෂ දැනීලා” ආදිය එතුමියගේ තවත් අතිශය ජනප්‍රිය වූ සුගායනාවන් ය. සහෝදරියන් දෙදෙනක් සහ එක් සහෝදරයෙකුගෙන් යුතු පවුලක, ග්‍රේටා ජැනට් මහත්මිය සමගින් ගායන ලොවට පිවිසෙන්නේ ඇයගේ බාල සොයුරිය වූ සෙල්සි ද සිල්වා ය. මීගමුවේ ආවේමරියා කන්‍යාරාමයේ අධ්‍යාපනය ලැබූ මේ සොහොයුරියන් දෙදෙනා ගෙන් ග්‍රේටා ඉතා ළාබාල වියේදී එනම් යන්තමින් තුදුස් විය සපිරෙද්දී මෙරට සිටි ජනප්‍රියම ගායිකාවක වන්නී ය. ගවුස් මාස්ටර් ගේ COLUMBIA  තැටි සමාගමේ නිත්‍ය ප්‍රධානම ගායිකාව වන්නේ ද ග්‍රේටා ය. සෙල්සිද සිල්වා මහත්මියගේ ගායන දිවියෙහි හමු වන්නේ ඉහත දක්වන ලද ගීත හතර පමණි. එතුමිය වයස සැට එකක් සපිරෙද්දී රුදුරු පිළිකා රෝගයක් නිසා සෙල්සි ද සිල්වා මහත්මිය මෙලොව හැර යන්නේ 1990 දශකයේ ය. එතුමියගේ එකම දියණිය විවාපත් වූයේ මෙරට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි ඩයස් මහතා සමග ය. ග්‍රේටා ජැනට් මහත්මිය සිය ජීවිතයේ සැඳෑසමය ගෙවමින් මීගමුවේ සිය නිවසෙහි විවේකි සුවයෙන් සිටින්නී ය. එතුමියගේ ගායන දිවියෙහි ගුරු දේවයන් බඳු වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් සහ යු.ඩී. පෙරේරා මාස්ටර් එතුමිය අදටත් සිහිපත් කරන්නේ ඉතා බැති සිතිනි.

එවකට ප්‍රධාන තැටි සමාගම් දෙක වූ හිස්මාස්ටර්ස් වොයිස් නොහොත් ඩ්ර්ඍ තැටි සමාගම සහ COLUMBIA  තැටි සමාගම අතර නව ගීත සඳහා පැවතියේ තියුණු තරගයකි. ගායක ගායිකාවන් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරු ද මෙම සමාගම් දෙක යටතේ පස් අවුරුදු ගිවිසුමකට බැඳී සිටියහ. COLUMBIA  සමාගමෙන් ඉදිරිපත් කළ ග්‍රේටා සහ සෙල්සි සොහොයුරියන් වෙනුවට ඩ්ර්ඍ සමාගමෙන් ඉදිරිපත් කළේ ලීලාවතී සහ අනුලාවතී සොහොයුරියන් ය. 1940 වසරේම මෙම සොහොයුරියන් ගේද ගීත දෙකක් නිකුත් වූයේ ඩ්ර්ඍ ලේබලයෙනි. “නඩා මගේ හොඳ නංගි - අලස නොවී අපි යමු පාසලටා” සහ “ලීලකොබෝ - ඩේලිය හා රෝසා“ යන ළමා ගීත දෙක ව් 13030 ඩ්ර්ඍ තැටි අංකය යටතේ ලීලා සහ අනුලා ගේ හඬින් තැටිගත කරන ලදී. එසේම COLUMBIA  සමාගමේ “පීරිස් සහෝදරියන්” වෙනුවට ඩ්ර්ඍ සමාගම විසින් ලීලා, ජුලියානා, මර්සි සහ රොසලින් ගායිකාවන් ද මෙම ගීත තරඟයට ඉදිරපත් කරන ලදී. ඉදිරි සතියකදී ලීලාවතී සහ අනුලාවතී සොහොයුරියන්ගේ ගීත පිළිබඳ දීර්ඝ විස්තරයක් බලාපොරොත්තු වන්න.

මෙරට දැනට සිටින ජ්‍යේෂ්ඨතම ගායන ශිල්පිනිය වන ග්‍රේටා ජැනට් ද සිල්වා මැතිනියටත්, අප අතරින් වියෝ වුණු එතුමියගේ සොයුරිය වූ, අප්‍රකට ගායිකාවක වූ, සෙල්සි ද සිල්වා මහත්මියටත්, මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තුතිය :

ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය හමුවීමට එතුමියගේ ලිපිනය සොයා දුන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවල මහතා, සෙල්සි ද සිල්වා මහත්මියගේ තොරතුරු ලබා දුන් එතුමියගේ මිනිබිරියක වන නදීකා රණසිංහ මහත්මිය, ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක එච්.එම්.ගුණතිලක මහතා. ගීතයන්හි සංගීතමය වටිනාකම පිළිබඳ දැනුම්වත් කළ ලලිතකලාවේදිනි , විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය

  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.