ගංගාවක් සේ ගලා බසිනු මැන

දියමන්ති
පෙබරවාරි 20, 2020

විජේතිලක,ගුණේ හා ධර්මෙ, වසන්ත ඔබේසේකර විසින් මැවූ අමුතු ජීවින් තුන්දෙනෙක්. ඔවුන් හමුවුනේ ඔහුගෙ 'දියමන්ති' චිත්‍රපටයෙන්. මේ මිනිසුන් තිදෙනා තුන් පැත්තකට විහිදුණු චරිත තුනක් වූවද,ඔවුන් එකතු වන්නේ නන්නත්තාර වීම හේතු කොට ගෙනය.

ඔබේසේකර එය ආරම්භයේදීම ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුනි.ගුණේ, අවුරුදු 5ක් හිරේ සිට, අහම්බෙන් ලැබූ නිදහසින්, ඔහු තම මුඩුක්කු නිවසට එන්නේ තම බිරිඳව සොයා ගෙනය. ඔහු බලාපොරොත්තු වුණේ ඔහු ආ විට තක්බීර් වී බලා සිටින බිරියක් නොවේ. ඔහුව ඉමහත් සතුටකින් වැලද ගන්නා දයාබර බිරිඳක්වය. එහෙත් තම බිරිඳ ඔහුව දුටු විට ඇකිලුනේ හොල්මනක් දුටු කලක මෙනි. ඒ සමඟම ඔහුට නිවස තුළින් කුඩා දරුවෙකු හඬන ශබ්දයක් ඇසු⁣ණෙන්, ඒ තුළින් බොහෝ⁣ දේවල් වටහා ගැන්මට ඔහුට හැකිවිය. ඉන්පසු ඔහු සෙව්වෙ මේ ගෑනි සමඟ ජීවත් වෙන මිනිහා කවුදැයි දැනගැන්මටය. නමුත් ඇයට සිටියේ එක මිනිහෙක් නොව.

' ඔහේ හිරේට ගියාට පස්සේ, මට ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් මම මගෙ ළඟ තියෙන වටිනාම දේ වික්කා'

සියල්ල ඔහුට තේරුම් ගන්නට ඒ වචන ටිකම ඇතිය. ඇයට දොස් කීමට කිසිසේත් නොහැක ' තොට වෙරළු අච්චාරු හරි විකුණලා මං එනකල් ජීවත් වෙන්න තිබුණනෙ ' කියා හෝ ඔහුට කීමට සිත්නොදුන්නේ, හිරේට ගිය ඔහු කවදා එළියට ඒදෑයි ඔහුම නොදැන සිටි නිසාය. මේ නිදහස ලැබුවේද හිරේදී යහපත් කල් ක්‍රියාවෙන් කල් ගෙවූ නිසාය. එයද අහම්බයකි. තම බිරිඳට වෛශ්‍යාවක් නොවී වෙන මොනවා හරි දෙයක් කරන්න තිබුණා නේදයි තර්ක කරනවාට වඩා, මෙතැනින් ⁣වෙන්වී නන්නත්තාර ජීවිතේකට හුරු වන එක වඩාත් හොඳයැයි ගුණේට සිතෙන්නට ඇත.

ඔබේසේකර තමා මැවු චරිත තුළට අභාග්‍ය ගෙන ආවේ හරි අමුතුම අන්දමටය. ඔහුට අවශ්‍ය වී තිබුණේ අභාග්‍යසම්පන්න ජීවිත කීපයකට, මැජික් බෝලයක් ලැබී, ඔවුනගේ ජීවිත තුළට වාසනාව ලැබුණු බවක් කීමට විය හැක. ඒසේ වාසනාවක් ලද්දේ නම් එය සිදුවුනේ කොහොමද?

"දියමන්ති" නිර්මාණය කරන විට, වසන්ත ඔබේසේකර, ' වෙස් ගත්තෝ', හා ' වල්මත් වූවෝ' චිත්‍රපට නිර්මාණය කර, තම අනන්‍යතාවය ලාංකීය සිනමාව තුළ තහවරු කර තිබුණි. විශේෂයෙන් ඔහුගේ ⁣'වෙස් ගත්තෝ' ලාංකේය සිනමාවට නැවුම් ලක්ෂණ කීපයක් එකතු කර , ප්‍රේක්ෂක හා විචරකයන්ගේ අවධානයන් දැඩිව දිනාගැන්මට හැකි විය.

'වල්මත්වූවෝ'ද වෙනස් ආකාරයක නිර්මාණයක් විය. 'දියමන්ති' චිත්‍රපටය 'වෙස් ගත්තෝ' ආරෙට ගිය බවක් දැනුණද, එය 'වෙස් ගත්තෝ' තරම් ප්‍රබල නොවීය. 'වෙස් ගත්තෝ' තුළ නොතිබූ සුළු ගුණාත්මක බවක් නම් 'දියමන්ති' තුළ විය. 'දියමන්ති' චිත්‍රපටයද, 'ඩිටෙක්ටිව්' ගණයට අයත් වූවකි. විශාල කුතුහලයක් නොවුනද, මිනීමැරුමක්, හොරකමක්, සැලසුම් සහගත මංකොල්ලකෑමක් එයට ඇතුලත් විය.

විජේතිලක, ගූණේ හා ධර්මෙ අහම්බෙන් හමුවන විට, ප්‍රේක්ෂකයා ඔවුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගෙන තිබුණි. විජේතිලක රැකියා විරහිත උපාධිධාරියෙක් වූ අතර, ධර්මේ පික් පොකට් කාරයෙකි. ගු⁣ණේ සහ ධර්මේ වැටුනේ අයි.ආර්.සී. කාරයන්ගෙ ගනනටය. ගුණේ පමණක් නොව ධර්මෙද හිරේ සිට පැමිණියෙක් බව චිත්‍රපටයේ මැද කොටසේදී ඒත්තු ගැන්වේ. ඔවුන් තිදෙනාම අහම්බෙන් හමුවූ පසු, ඔවුනොවුන් හඳුනා ගෙන, ඔවුනගේ හිතවත් කම තිව්ර කිරීමට ඔබේසේකර හරි අපූරු නිර්මාණයක් එතැනට එකතු කළේය. ඒ අභිරූපණ වොලි බෝල් ගැහීමකි. චිත්‍රපටයේ නිර්මාණශීලි ජවනිකාවක් ලෙස එය හැඳීන්විය හැකිය. ඒ අතරම එතැන, පාලු ගෙදරක තිබූ පිරිමි මළ සිරුරකුත්, එයින් ⁣දියමන්ති මාලයක් පිළිබදව කිසියම්, විස්තරයකුත්, එහී අයිති කරුවන් ගැන විස්තරයක් ඇතුළු ලිපියකුත් මොවුන් තිදෙනාට හමුවිය. එතැනින් පසු මොවුන්ගේ වෑයම වන්නේ එම දියමන්ති මාලය සොරා ගැන්මටය.

චිත්‍රා සපරමාදු කථාවට එකතු වන්නේ මෙතැනදීය. ඇයගේ දෙමාපි⁣යන් මිය ගොස් තිබුණද ඇයව බලා ගත්තේ ඇගේ මහප්පා කෙනෙකු වූ ⁣ලක්ෂපති මැණික් ව්‍යාපාරීක සපරමාදුය. චිත්‍රාගෙ දෙමාපියන් ඇයට වයස 21 පිරෙන විට තෑගි දෙන්නට ලක්ෂ ගාණක් වටිනා දියමන්ති මාලයක් පිටරට බැංකුවක තැන්පත් කර තිබූ අතර, එය ඇයගේ උපන් දිනයදා එම බැංකු නිලධාරින් පැමිණ ඇයට බාර දෙනු ඇත. මේ ගැන සවිස්තරව දැන ගෙන හිටියේ චිත්‍රාගෙ මහප්පා වූ සපරමාදු පමණි. එහෙත් එය ඇත්තෙන්ම එසේ නොවීය. ඒ ගැන, සමාජ ශාලා හිමියෙකු හා සපරමාදුගේ හිතවත් මිතුරෙකු වූ කල්දේරාත්, ඔහුගේ ⁣හෙංචයියෝත්, මේ පාලුගෙදර මිය ගොස් සිටින මිනිසාත් දැන ගෙන සිටියහ. දැං මේ සම්බන්ධව, විජේතිලකත්, ගුණේ හා ධර්මෙත් දන්නෝය.

ඔබේසේකරට යළිත් අවශ්‍ය වී තිබුණේ 'වෙස් ගත්තෝ' මෙන් හොඳ ත්‍රිලිං චිත්‍රපටයක් කිරීමට විය හැකිය. විජේතිලකලට, චිත්‍රාව මුණ ගස්වන්නට හේතුවත් එය විය හැක. එතැන් පටන් අවර ගනයේ සිදුවීම් රාශියක් සිදුවී කථාව විශ්වාසනීය බවින් තොර වූවද,එය චිත්‍රපටය විඳීන්නට බාධාවක් නම් නොවීය.

මේ පාළුගෙදර මරාදැමූ පුද්ගලයා චිත්‍රලා සමඟ කිසියම් සම්බන්ධයක් තිබුණද, එය මුල් හරියේ පැටලුම් සහගත විය. කෙසේ හෝ ⁣මෙය හේතුවක් කරගෙන විජේතිලකලට ,චිත්‍රා හා සම්බන්ධ කම් පැවැත්වීමට හැකි විය. ඒ, මේ මිය ගිය පුද්ගලයාගේ මළ ගෙය දිනයේය. ඇත්තෙන්ම විජෙතිලකලා මෙයට සහභාගි වූයේ, මේ මරා දැමූ පුද්ගලයා කව්ද, මෙම මාලයේ කථාවට සම්බන්ධවන්නේ කොහොමද කියා සොයා ගැන්මටත්, ඔවුන් තිදෙනාට මෙම දියමන්ති මාලය සොරා ගන්නට සුදුසු පරිසරයක් සකස් කරගැන්මටත්ය. චිත්‍රා සමඟ හිතවත් වීමට විජේතිලකට මග පෑදුනේ එම මළගෙදරට චිත්‍රාට සහයෝගය දීමට පැමිණි චිත්‍රා මෙන්ම විජේතිලක සමඟ විශ්ව විද්‍යාලයේ සිටි ජයසිරි නිසාය. චිත්‍රාටද, විශ්වවිද්‍යාල කාලයේ සිටි විජේතිලකව මතක සිටීම ඔවුනට වාසියක් විය. ඔබේසේකර මේ හමුවීම් ගාණට සෙට් කළේ තම කථාව දිගටම ඇදගෙන යාමට අවශ්‍ය නිසා විය හැකිය.

විජේතිලක චිත්‍රාට කියන්නේ තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා මෙවැනි මිනීමැරුම් ගැන සමීක්ෂනයක් කරන බවත්, තමන් මෙතනට පැමිණියේද ඒ නිසා බවත්ය. එලෙසම ඔහු ගුණේ හා විමලේව හඳුන්වා දුන්නේද මේ සම්බන්ධව ඔහුට උපකාර කරන ⁣හිත මිතුරන් දෙදෙනෙක් ලෙසටය. එක්වරම චිත්‍රා කියන්නේ පහළ බංගලාවක් තිබෙන බවත්, ඔවුනට එහි නැවතී මෙම සමික්ෂණය කරන ලෙසටය. මේවා තරමක් විශ්වාසනීයත්වයෙන් තොර වූවද, චිත්‍රපටයේ කථාසාරය කෙසේ හෝ ගලා යා යුතුය. විජේතිලක, ධර්මේ හා ගුණේට පුංචි පිහිනුම් තටාකයක් සමඟම බංගලාවක් ලැබේ. ඒ මදිවාට, චිත්‍රාගෙන් හවසට බොන්නට විස්කිද, බ්‍රැන්ඩිද ලැබේ. ඒවා යථාර්ථවාදීදැයි සිතන්නට හා තර්ක කරන්නට සිතුනද, ඔබේසේකරට අවශ්‍ය වී තිබුණේ තමනට උවමනා 'ප්ලොට්' එකට ඉක්මනට යෑමටය.

විජේතිලකලා සැලසුම් කළේ චිත්‍රාගෙන් මාලය පිළිබදව සියලු විස්තර දැනගෙන හෙමිහිට මාලේ හොරකම් කරගෙන පැන යන්නටය. ඔවුන් මුලින්ම කළේ චිත්‍රා සමඟ කල්දේරාගේ 'ක්ලබ්' එකට ⁣ගොස්, මරාදැමූ මිනිසා පිළිබද හෝඩුවාවක් අල්ලා ගැනීම නියායෙන් මාලයේ වගතුග සොයා ගැන්මටය. ක්ලබ් එක තුළ සංගීතයෙන් පිරී සතුටු සාගරයක් විය.

“ගිගිරි ගීත රාවේ- මලවි හී සැරේ

සබඳ අද කිමදේ - බමන ලෝකෙට

කෑගසා කීවේ

උමතු දෑස රෑ තුන් යාමෙි

යනෙන මේ නුරා අම්බලමේ

හදේ සෝක පීඩා වියැකේ

හැංගෙන්න මායා සිහිනයේ ”

ඒ සංගීත සාගරය ඔස්සේ ඔවුන් තිදෙනා කල්දේරාගේ ක්ලබ් එකේ කාර්යාලයට හොරෙන් ඇතුළු වූයේ මාලය සම්බන්ධව ලිපි ලේඛන තිබේදැයි සොයා දැනගැන්මටය.

මෙය දිගුසැලැස්මකි. එය විජේතිලකලට තේරුම් ගියත්, ඔවුන්ගේ අරමුණද එම හොරුන්ට නොදෙ⁣වනි වූ හෙයින්, ඔවුනට ඔවුන්වම සුද්ධ කිරීමට නොහැක. එහෙත් චිත්‍රා ඔවුන්ට අවංකව සලකන අන්දමට විටෙක ඇයට ද්‍රෝහී වීමට විජේතිලකට සිතුණේ නැත. එම සිතුවිල්ලම ධර්මෙගේ සිතට ආ මුත්, එයට හරහට ගුණේ සිටියේය.

චිත්‍රා, විජේතිලක, ධර්මෙ හා ගුණේ සමඟ අතීශයින්ම සැහැල්ලුවෙන් ,විනෝදයෙන් සිටියේ ,ඔවුන්ගේ යටි අරමුණ හරියට නොදැනය. ඔවුන් හතර දෙනා ගෝල්ෆේස් පිට්ටනියේ පෝනී පිටේ නැග විනෝද වූවද, ඇතැම් විට ඔවුන් තිදෙනාගෙ හෘදසාක්ෂිය වද දෙන්නට ඇත. ඒ චිත්‍රාට ඔවුන් විසින් කරන්නට යන අකටයුත්ත ගැන මතක් වීය.

“යොවුන් වසන්තයේ

දුහුල් වලාකුලේ

දෑත් මුදාගෙන, පාවි යනු මැන ඉඟිල්ලිලා

 

දිලිසෙන කඳුලේ කිරෙන් නැහැවී

සිඟිති ආදර දූපතක තනිවී

ගංගාවක් සේ ගලා බසිනු මැන

නිරන්තරේ සිනාසිසී ”

විජේතිලකලා, තමන්ගේ වැඩ වලට කවදා හෝ කරදරයක් වන බව කල්දෙරාට දැනුණු හෙයින්, ඔහු විජේතිලකලා ගැන සොයන්නට විය. එසේ සොයන අතරේ, ගුණේ සහ ධර්මේ හිරේ සිටි දෙදෙනෙක් බව සොයා ගති. එහෙත් ඊට ප්‍රථම විජේතිලකලා, මේ මාලය හොරකම් කිරීමට කල්දේරා හා ඔහුගේ පුද්ගලීක ලේකම් වරිය වූ ජීන් සෘජුවම හවුල් බව, හොයාගෙන තිබුණි.

වසන්ත ඔබේසේකර, 'දියමන්ති' තුළින් ආදරය යන 'කොමන් ' විෂය අත්හැර දමා තිබුණි. කොහොමත් ඔබේසේකර ආදරය පසු පස දුවනවා අඩුය. ඔහු ⁣ගේ චිත්‍රපටවල ඔහු ගෙනෙන චරිත වලට ආදරය කිරීමට වේලාවක් නැත. ඔවුන් සියල්ලම වෙනත් ප්‍රශ්න වලට හිරවී සිටියහ. එය ඔහුගේ 'වෙස් ගත්තෝ' හා 'වල්මත් වූවෝ' තුලත් පසු කාලෙක ආ 'දඩයම', 'දොරකඩ මාරාව', ' තීර්ථ යාත්‍රා' 'කැඩපතක ඡායා' , 'ආගන්තුකයා' යන චිත්‍රපටවලද තිබුණි.ඒවා තුළ ආදරයට ඉඩක් ලැබුණේම නැත. 'දියමන්ති' තුළද කිසිවෙක් කිසිම තැනක ආදරයක් ගැන කථා කරන්නේ වත් නො එසේ නම් හැඟීමක්වත් දෙන්නේ නැත.

කල්දේරා විසින් චිත්‍රා සහ ඇයගේ මහප්පා වූ සපරමාදුට ගුණේ හා ධර්මෙ හිරේ සිටි අයි.ආර්.සී කාරයන් බව ඔප්පු කර පෙන්වූ පසු ඇය විජේතිලකට බැන වැදී කමිමුලටත් පහරක් ගැසීය. ඔහුද ඇයට එසැනින්ම කම්මුල් පාරක් ගැසීය. ඇය ඔවුන්ට බැන වැද, වහාම බංගලාවෙන් පිට වෙන්නට කීය. එදින රාත්‍රියේ ඔවුන් බංගලාවෙන් පිටවීමට ප්‍රථම කල්දෙරාගේ සහචරයන් පැමිණ ඔවුන්ව බැඳ දමා, දරුණු වධ හිංසා පැමිණවීය. එහෙත් චිත්‍රා පැමිණ ඔවුන්ව බේරා ගත්තා. එතැන් පටන් ඔවුන් තිදෙනා චිත්‍රාගේ මාලය බේරා ගැන්මට ඇයට උදව් කරන්නට විය.

විජය කුමාරණතුංග, දක්ෂ ලෙස තම චරිතය රඟපෑවේ මනා අවබෝධයකිනි. ධර්මසේන පතිරාජගේ 'පාර දිගේ'හී චන්දරේ වැනි චරිතයකි 'දියමන්ති' හී විජය කුමාරණතුංගට හමුවුණු ඒ, විජේතිලක චරිතය. සෝමසිරි දෙහිපිටිය ගුණේ ලෙසත්, විමල් කුමාර ද කොස්තා ධර්මේ ලෙසත් රඟපෑ අතර, මාලනී ෆොන්සේකා, චිත්‍රාගේ භූමිකාවට අපූරු ලෙස අවතීර්ණ වී තිබුණි.

මාලය ලැබීමේ නියමිත දිනය පැමිණීය. එය විදේශිකයෙකු විසින් ගොල්ෆේස් හෝටලයට රැගෙන ආ අතර, චිත්‍රා තම මහප්පා වූ සපරමාදු සමඟ එය ගන්නට ගියාය. චිත්‍රාට මාලය ලැබුණි. චිත්‍රා නොදැන සිටියාට එය ඉමිටේෂන් මාලයකි. නියම මාලය සූක්ෂම ලෙස කල්දෙරා ලබාගත්තේය. කල්දේරා හිතුවේ සියලු දේ නුලට සිදුවුණා කියාය. නමුත් මේ පසු පස විජේතිලකලා පන්නන බව, කල්දෙරා දැන ගන්නා විට, පෙරහැර ගොස්ය. විජේතිලකලා, කල්දේරා හා ඔහුගේ හෙංචයියන්ට ගුටි ඇණ, ඔවුන්ව අඩපණ කර, මාලය තමන් සතු කරගෙන, මේ පිටුපස මෙය කුමන්ත්‍රණය කළේ කව්දැයි ඔවුන්ගෙන් අසා ගති.

නියම මාලය විජේතිලකලා විසින් චිත්‍රාට ⁣ලබා දුන් අතර, මේ කුමන්ත්‍රණය පිටුපසත්, අර පාළු ගෙදර මරා දැමුණු මිනිසා මරා දැමුවේත් චිත්‍රාගේ මහප්පා වූ සපරමාදු බව, විජේතිලකලා ඔප්පු කර පෙන්නුහ. සපරමාදු, කල්දේරා හා ඔහුගේ හෙංචයියන් පොලිසිය විසින් කුදලාගෙන ගියහ. තමාට වූ විශාල අවමානය නිසා චිත්‍රා ඒ නියම දියමන්ති මාලය පළදන්නට කැමති වූයේ නැත. ඇය එය විකුණා විජේතිලක, ගුණේ, හා විමලෙට මුදල් ලබාදුනී. ගු⁣ණේ නැවතත් මුඩුක්කුවට ගොස් තම බිරිඳට කීවේ, වෙනත් තැනකට ගොස් ජීවත් වෙමු කියාය. විමලේ තෑගි බෝග රැගෙන ගමෙි ගියේ තම දෙමාපියන් හා සහෝදරයන්ව බැලීමටය. විජේතිලක හා චිත්‍රා එකතු වන්නට ඇත. ඔබේසේකර, ප්‍රේක්ෂකයන්ට අවසානයේදී දුන්නු ඉඟිය එය විය.

සපරමාදු ලෙස පී.බී.මයිල්ලෑවත්, කල්දේරා ලෙස රෙක්ස් කොඩිප්පිලිත්, ජීන් ලෙස ෆරිනා ලායිත්, ජයසිරි ලෙස පියසේන අහංගමත් රඟපාමින් 'දියමන්ති' චිත්‍රපටය ප්‍රාණවත් කළහ.

මර්සි එදිරිසිංහ,ඩබ්ලියු ජයසිරි, රත්නාවලි කැකුළුවෙල, නීලවතුර විජේවර්ධන, සෙසු චරිත රඟපෑහ.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාවෙන්, ඩී.ආර්.පීරිස්, සංගීතයෙන් හා ලාල් දිසානායක සංස්කරණයෙන් විස්කම් පෑ 'දියමන්ති' චිත්‍රපටය, කථාව හා තිරනාටකය ලියා, අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකරය.

1976 මැයි මස 26 වෙනි දින සිට තිරගත කළ 'දියමන්ති' චිත්‍රපටය වසන්ත ඔබේසේකරගේම නිෂ්පාදනයක් විය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)