ලතාට පෙම් බැඳි ‘මල් ඇණේ’ තිලංගනී මල්ලිකා මෙන්ඩිස්

පෙබරවාරි 20, 2020

කලාකරුවකුට හෝ කලාකාරියකට රසික ආදරය මහ මෙරක් තරම් වටියි. ඔහු හෝ ඇයගේ වැජඹීම තීරණය වන්නේ එම ළෙංගතුකම නිසාවෙනි. එකී රසික රසිකාවන් අතර පිස්සුවෙන් මෙන් තමන් ප්‍රිය කරන කලාකරුවාට හෝ කලාකාරිණියට ආදරය කරන අය වෙති. එයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. මේ ඔබ වෙත ගෙන එන තැනැත්තිය ද එවන් වූ අයෙකි. ඇය හෙළ ගී රැජන කලාසූරි ලතා වල්පොලට පණ දෙවැනි කොට සමීප වී සිටියි. විමෝදකාමී චරිතයක් වන මේ සොඳුරු රසිකාව කවුද කියා කතාබහ අතරතුරදි ඔබට හඳුන්වා දෙමි. එලෙස කරන්නට සිදු වුණේ මා හඬ අවදි කරන්නට ප්‍රථම ඇය කතාව ආරම්භ කළ නිසාය. ලතා පිළිබඳ අප නොදන්නා රහස් බොහොමයක් ඇය සතුය. ඒවා ද මේ කතාව අතරතුර ඇය හෙළි කරනු ලැබුවාය.

දන්නවද ලතා අක්කා මට හුරතලේට කියන නම?

මම නැහැ කියා කීවෙමි.

මල් ඇණේ . . .

ඇය අත්පුඩියක් ගසමින් අතිශය සැහැල්ලු අන්දමින් සිනාසෙයි.

මං ඉතින් ලතා අක්කට කරන තරමක් කරන්නේ කරදරනෙ. ඒත් මාව ඇයට අතහරින්නම බැහැ. එයා යන යන තැන මමත් යනවා. ඒක නිසයි මට මල් ඇණේ කියලා කියන්නේ. මොරටු ඇණේ කියලත් කියනවා ගම මොරටුවේ නිසා.

ඇගෙන් ප්‍රශ්න ඇසීමට නුවමනාය. හූමිටි තැබීම පමණක් සෑහේ. එතරම්ම ඇය කටකාරියකි. සිනහමුසු කටකාරියකි. ඇය හඳුන්වා දීම මගේ යුතුකම බැවින් තිලංගනී මල්ලිකා මැන්දිස් ලෙසට ඔබට හඳුන්වා දෙමි. ඇය ලතා වල්පොල මිතුරු හවුලේ නිර්මාතෘවරියයි. අද වන විට තිලංගනී ලතාගේ සමීපතම යෙහෙළිය වී අවසන්ය. නැවතත් ඇය මෙලෙස කතා පෙට්ටිය විවර කළාය.

ලතා අක්කගෙ මිතුරු හවුල පටන් ගත්තේ දෙදහස් හතේ නොවැම්බර් එකොළහ. එකොළහයි එකොළහ තමයි ලතා අක්කගෙ බර්ත්ඩේ එක. කෙනෙක් අප අතරින් නික්ම ගියාට පස්සෙ සංවිධාන හදාගෙන උපහාර කෙරුවට වැඩක් නැහැනෙ. එයාට පේනවද, නැහැනෙ. ඒ නිසා මට හිතුණා ලතා ඉන්නකොටම මිතුරු හවුලක් පටන් ගන්න. එතකොට එයා වුණත් දන්නවා මේ මේ රාජකාරි අපි ඇය වෙනුවෙන් කරලා තියෙනවා කියලා. මං ලතාගෙ ලොකුම ලොකු රසිකයෙක්. උපන් දවසෙ ඉඳලම ලතාගෙ සිංදුවලට විතරමයි ආස. අසූ ගණන්වල මට ලතාව හඳුනගන්න ලැබුණා. එදා ඉඳන් අපි යාළුවො.

ලතා ඔබේ ගෙදරත් එනවා නේද?

ඔව්නෙ. අපේ අම්මව බලන්න ලතා එනවා. මගේ පුතාටත් බෙහෙවින් උපකාර කරලා තියෙනවා. මං ලතා අක්කා වෙනුවෙන්ම ගීත පවා හදලා තියෙනවා. ගෙදර ආවම මං ඒව කියනවා.

ලතා වල්පොල හා සබැඳුණු අත්දැකීම් රාශියක් ඔබට ඇති. ඒවා අතරින් අමතකම නොවන්නේ? 

ලතා අක්කට බයිපාස් එකක් කළානෙ. එතකොට මම එයා ළඟම ඉන්න ඕන වුණා. මං ලෙඩ වුණා වගේ මට දැනුණේ. ලතා දැන් ඔපරේෂන් එකට ගන්න හදනවා. මං ළඟට ගිහින් ෆෝන් එකෙන් ෆොටෝ දෙක තුනක් ගත්තා. ලතාට තියෙන ආදරේට එහෙම කළේ. මං ළඟ හිටපු නර්ස්ලා ඇටෙන්ඩන්ස්ලා කලබල වෙලා මාව පොලීසියට අල්ලලා දෙන්න හැදුවනෙ. හොරෙන් ෆොටෝ ගත්ත වරදට එහෙම කරන්න හදල තියෙන්නේ. මේකනෙ මාව එයාලා දන්නේ නැහැනෙ. රටක් වටින කාන්තාවක් ඇඳේ වැතිරිලා ඉන්නවා. මං මෙහෙ ෆොටෝ ගන්නවා. කොහෙද යන පිස්සියක් කියලා එයාලා හිතන්න ඇති. අන්තිමේ ලතා අක්කා කතා කරලා තමයි මාව බේර ගත්තේ. ලතාගේ නිහතමානිකම ගැන සිද්ධියක් මේ වෙලාවෙ මතක් වෙනවා. රැජන මමයි කියලා ලතා අක්කා ලොකු ෂෝ එකක් කළානෙ. මට ඒක බලන්න ආසාවක් ඇති වුණා. හොයලා බලද්දී ටිකට් ඔක්කොම විකිණිලා. යාළුවා වුණත් මං ඒ ෂෝ එක නිකම් බලන්න ආස වුණේ නැහැ. ඒකයි ටිකට් හෙව්වෙ. අන්තිමේ බැරිම තැන මං ලතා අක්කට සිද්ධිය කිව්වා. ‘වරෙන්කො උඹ එදාට‘. උඹ කියන්නේ මට ආදරේට. එයාගෙ හැටි එහෙමනෙ (මල්ලිකා දෑස් විසල් කොට සිනාසෙයි). මං එදා ගියා ෂෝ එක බලන්න. ගිහිල්ලා ලතාට පේන්න හිටියා. මට ළඟට කතා කළා. ‘ඒයි . . . මේ මොකෝ මෙහෙම‘ මගේ කකුලෙ ඉඳලා ඔළුව දිහාට බලපු ලතා එහෙම කිව්වනෙ. මං එදා ගියේ බොහොම සාමාන්‍ය විදිහට. ඒයි කොල්ලො . . . කියා ළඟ හිටපු කෙනෙකුට කතා කළා. ‘මෙන්න මේකිව හොඳට මේකප් කරලා ගනින්. මං ගෙනාව සාරියක් දීපන් ඇඳගන්න . . .’ ලතා මගෙ දිහා බැලුවා. උඹ ලතා වල්පොල සංගමයේ සභාපති නේද . . . ඔය විදිහට ඉන්න එක තත්ත්වෙට හරි නැහැ. මං කියපු විදිහට ලැහැස්ති වෙලා ඉස්සරහම පේළියේ වාඩි වෙලා ඉඳපන්’. මං එදා බොහොම ලස්සනට උජාරුවෙන් ෂෝ එක බැලුවා.

ලතා වල්පොල වැඩිපුරම කන්න කැමැති කෑම වර්ගත් ඔබ දන්නවා ඇති?

අපොයි ඔව්. ලැවරියාවලට තමයි ආස. සීනි තියෙනවා. ඒ නිසා මං වැඩිය කන්න දෙන්නේ නැහැ. ‘උඹ හදන්නෙ නොකාලම මාව මරවන්නද. ඊට වඩා හොඳයි කාලා මැරෙන එක’ කියලා කිය කිය ආස දේවල් කනවා.

ඔබගේ ඔය කලා පිස්සුව නිසා ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක්ද ආවේ. විශේෂයෙන් ඔබේ සැමියාගෙන් එහෙම?

අම්මා, තාත්තා කොහොමත් දැනගෙන හිටියා මට කලා පිස්සුවක් තියෙනවා කියලා. සැමියත් මට බැන්නෙ කරේ නැහැ. මට දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලටත් යුතුකම් ඉෂ්ඨ කළා. විදර්ශනා, ඉතින් ඊට පස්සේ, කෝපි කඩේ වගේ නාට්‍යවලත් මං රඟපෑවනෙ. කිසිම විරෝධයක් පෑවෙ නැහැ කවුරුවත්.

ටෙනිසන් එදිරිසිංහ, නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Buy Renova No Prescription Cialis Viagra Probe Kaufen Cialis Pet Cephalexin 500mg Cap
අග, 03/24/2020 - 15:15
Jankisa (තහවුරු වී නොමැත)
Todo Sobre El Viagra Cialis Super P Force Us cialis daily Order Propecia Online Uk
අග, 03/24/2020 - 15:40

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.