අනන්ත විශ්වයේ

සත්‍යග්‍රහණය
පෙබරවාරි 27, 2020

‘සත්‍යය’ පුවත් පතේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ ජනතාවට සත්‍යය ප්‍රකාශ කිරීම විය හැකිය. එලෙසම ජනතාවට, සත්‍යය දැනගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතියක් ඇත. ‘සත්‍යය’ පුවත් පතේ අයිතිකරු වූ රණතුංගටද, එම උවමනාව තිබුණද, ඔහු නිතරම අඩියක්, දෙකක් පස්සට ගන්නේ, ⁣පවතින රජයක් සමඟ හැප්පීමේදී ලැබෙන ආනිශංසය හොදාකාරවම දන්නා හෙයිනි. එහෙත් එහී කර්තෘ වූ දිසානායකට අවශ්‍ය, ඇත්ත ඇති සැටියෙන්ම කියන්නටය.

එයට උප කර්තෘ වූ අසෝක හා එහී නිත්‍ය කැමරා ශිල්පී නිහාල් ද, කතෘ දිසානායකගෙ අරමුණ ඉටුකරදීමට දිවි හිමියෙන් බැඳී සිටියහ. එහෙත් පුවත්පතේ අයිතිකරු රණතුංග නම් මඩේ හිටවූ ඉන්නක් මෙනී. ඔහු රජයේ 'මීඩියා' ඇමතිගේ ගෝරනාඩුවේදී, තම වලිගය පිටුපස ගසා ගන්නා අතර, කතෘ දිසානායක ඇතුළු 'මීඩියා' කාර්ය මණ්ඩලය ඉදිරියේදී නැවතත් අර පිටු පස ගසා ගත් වලිගය ගලවා ගනී.

නිහාල් තරමක් රැඩිකල් ගණයේ පුවත්පත් කැමරා ශිල්පියෙකි. මොන අස්සක, මුල්ලක හෝ රිංගාගෙන, පොලීසි හමුදාවල ඇස්වසා, පුවත් පතේ හෙඩිමට අවශ්‍ය කරන ඡායාරූප ටික අරගනී. එසේ ගන්නා අවස්ථාවල, නිහාල්ව බලධාරින්ට අසුවී අම්බානෙකට ගුටිකාපූ අවස්ථාද නැත්තේ නොවේ. එසේ ගුටිකා හෝ සොයා ගන්නා නිවැරදි තොරතුරු නිසාය 'සත්‍යය' පුවත් පත, මේ සා මහජනයා අතර ශීඝ්‍රයෙන් ජනප්‍රිය වන්නට හේතු වී ඇත්තේ.

රජයන් විසින් ජනමාධ්‍යට කරන බලපෑම් අළලා නිර්මාණය වූ 'සත්‍යග්‍රහණය' චිත්‍රපටය, ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් නිර්මාණයක් ලෙස ගණනය කළ හැක. එකල පුවත් පත් මාධ්‍ය නැගී සිටි කාලයයි. සිංහල චැනල් දෙකක්, ඉංග්‍රීසි චැනලයක් හා දමිළ චැනලයක් පමණක් තිබූ ගුවන් විදුලියද අබිබවා එදා පුවත්පත් කරණය අතීශයින්ම ප්‍රබලව නැගී සිටියේය. ගුවන් විදුලියෙන් මූලික දෑ කීවද ජනතාවට, ඕනෑම දෙයක තොරතුරු සවිස්තරව දැන ගැන්මට හැකිවූයේ මේ පුවත් පත් මගින් පමණී.

සමාජ ස්ථරයත්, පන්ති අරගලයන් හා ප්‍රවෘත්ති දැනගැනීමේ පරම ජනතා අයිතියට රජයන් විසින් කරනු ලබන අකුල් හෙලීම් සහ බලධාරින්ගේ පාලනයන් විද්‍යාමානවූ 'සත්‍යග්‍රහණය' චිත්‍රපටය නිර්මාණය කළේ තවත් දක්ෂ ජනමාධ්‍ය වේදියෙකි.

බර්නාඩ් වර්ණසිරි දිග්මාදුගොඩ ,මේ 'සත්‍යග්‍රහණය' චිත්‍රපටය නිර්මාණය කළ ජනමාධ්‍ය වේදියාගේ නමය. ඉංග්‍රීසි ගුරුවරයෙකුව සිටි, මොහු එවකට තමන්ට මසකට ලැබුණු රු150 මාසික වේතනය අත්හැර, මසකට රු 75ක් ලැබෙන පුවත් පත් රැකියාවට පැමිණියේ ජනමාධ්‍යට තිබෙන දැඩි කැමැත්තටය. ඔහු මුලින්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණියේ සෝදුපත් බලන්නෙකු ලෙසය. ඒ 'දවස' පුවත් පතටය. ඉංග්‍රිසි හා සිංහල භාෂා ද්විත්වයම දක්ෂ ලෙස හැසුරවීමට හැකි වූ ඔහු කෙටි කලෙකින් උප කර්තෘ ධූරය තෙක් පැමිණියේ ,'සන්', 'වීක් එන්ඩ් සන්' හා 'සවස' පුවත් පත් වල වැඩ කරමින්ය. ශ්‍රී ලංකාවේ පළමු පුවත් සඟරාව වූ 'දෙසතිය' හී සංස්කාරකයා වූ ඔහු එවකට, ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇරයුමක් පරිදී 'පෙර මඟ' දේශපාලනීක සඟරාවෙ සංස්කාරක විය.

ඔහු සිනමාවට පැමිණියේද සඟරාවක් හරහාය. ඒ 'පරසතු' සිනමා සඟරාව සංස්කරණය කරමිනි. ඉන්පසු ඔහු ජර්මනියට ගොස් සන්නිවේදනය හා සිනමාව හදාරන්නට විය. ලංකාවට පැමිණ ඔහු මුලින්ම සම්බන්ධවූ චිත්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'ගෝඩ් කිං'ය. එහී ඔහු පළමු සහය අධ්‍යක්ෂක විය. ඉන් පසු ඔහු මනික් සන්ද්‍රසාගරට එක්වී 'ද රැම්පේජ්', 'කළු දිය දහර', 'සීතා දේවී' 'කොළඹ සන්නිය' යන චිත්‍රපටවල ප්‍රධාන සහය අධ්‍යක්ෂක විය.බර්නාඩ් වර්ණසිරි දිග්මාදුගොඩ යන දිඟු නම වෙනුවට ,ඔහු දිග්මාදුගොඩ වචනෙන් 'ඩී' අරගෙන, බර්නාඩ් හී 'බී' රැගෙන වර්ණසිරි එසේම තබා ඩී.බී.වර්ණසිරි යන නම බ්‍රැන්ඩඩ් කළේය.

ප්‍රධාන චරිතය මෙය යැයි නිශ්චිතවම කිව නොහැකි 'සත්‍යග්‍රහණය' චිත්‍රපටය තුළ නිහාල්, දිසානායක, හා අසෝක අතර කථාව දෝලනය බව පෙනුණද, ජනමාධ්‍ය ඇමති ද සත්‍යග්‍රහණය තුළ කැපී පෙනෙන චරිතයක් විය. වර්ණසිරිට ජනමාධ්‍ය තුළ සිටින පන්දම්කරුවන්,

මැරයන් මෙන්ම සුපිරිසිදු මිනිසුන් ගැනද කීමට උවමනා කමක් තිබූ බවක් පෙනුණද, එකල පුවත් පත් කලාව තුල රජ කල ආත්මාර්ථකාමීත්වය මෙන්ම බලලෝභී බව අර සුපිරිසිදු මිනිසුන්ව යට කරමින් මතුවන්නට විය.

වර්ණසිරි,තම නිර්මාණය ඉදිරිපත් කිරීමේ ලා පෙන්වූ නිර්භීත කම හා සත්‍යවාදී බව නම් පැසසුමට ලක් කළ යුතුමය. වර්ණසිරි, තම ප්‍රථම සිනමා නිර්මාණයට අවංක වූයේත්,නිර්භය වූයෙත්, ඇතැම් විට ඔහු,ලෙස්ටර් ජේම්ස් හා මණික් සන්ද්‍රසාගරගෙ දැවැන්ත චිත්‍රපටවලට සම්බන්ධ වී ලද අත්දැකීම් නිසා වන්නට ඇත. චන්ද්‍රරත්නම් අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි චිත්‍රපටය වූ 'ටාසන් ද ඒප් මෑන්' හී පළමු සහය අධ්‍යක්ෂක මෙන්ම, එම චිත්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධීකරණයට සහය වූ වර්ණසිරි, තම මුල් චිත්‍රපටය වූ 'සත්‍යග්‍රහණය' නිර්මාණයෙදී , බොහෝ සත්‍ය එළිදරව් කිරීමට ගත් අභියෝගය, සුළු පටු නොවේ. චිත්‍රපටය දේශපාලනීක වූ සේම, වර්ණසිරි කුමක් හෝ එක් පක්ෂයකට,වැඩි බරක් දුන්නාදෝ කියන පක්ෂග්‍රාහී හැඟීමක් ඒමද වැළැක්විය නොහැකිය.

වර්ණසිරි, පුවත් පත් කලාව, හා දේශපාලනය පමණක් නොව,ආදරයද තම චිත්‍රපටය තුළින් පෙන්වන්නට උත්සහ කළේය. ඒ නිහාල් හා රමණී තුළිනි. රමණී බැලු බැල්මට මධ්‍යම පාන්තීක තරුණියෙක් වූවද, ඔවුන් මුළු පවුලම ඕස්ට්‍රේලියාවෙ පදිංචියට යෑමට ලක ලෑස්ති වේ. රමණී,ඒ වන විටත් ටෙලිපෝන් ඔපරේටර් කෙනෙක් ලෙස රැකියාවක් කරමින් සිටියාය. ඇය ඕස්ට්‍රේලියාවට යාමට අකමැති වෙන්නෙ ඇයට නිහාල් සමඟ විවාහ වීමට තිබූ උවමනාව නිසාය. ඇයගේ මව කෙතරම් පෙරැත්ත කළත් ඇය නොවේ තම තීරණය වෙනස් කළේ. ඒ ඇය නිහාල්ට තිබුණු අවංකවම ආදරය නිසාද?

“අනන්ත විශ්වයේ සරා 
නවාතැනක් සොයා ඇදී 
පවන් රොදක් සෙ පාවෙලා 
සිතේ රැඳෙන් සෝ සුසුම් මැදින් ”

'කවද හරි දුවට තේරෙයි දුව ගත්ත තීරණය වැරදියි කියලා.... අන්න එදාට ඔයා පසුතැවිලි වෙයි' රමණිගෙ මව ඕස්ට්‍රෙිලියාවට යෑමට ප්‍රථම ඇයට කියූ දේ පසු කාලෙක යථාර්තයක්ම විය.

නිහාල්ට රැකියාව අහිමිවූයේ රමණිව විවාහ කරගෙන මධුසමයට ගිය දිනයේය. ඒ 'සත්‍යය ' පුවත්පත තාවකාලිකව නතර කර පසුවය. එතැන් පටන් නිහාල් රැකියාවන් සොයා, උප ඇමතිවරුන්, ඇමතිවරුන් පසු පස ගියද, ඔහුගේ රැඩිකල් බව නිසා, කිසිවෙක් ඔහුට රැකියාවක් දුන්නේ නැත. එහෙයින් සුළුකාලයක් ඔහුට යැපෙන්නට සිදුවූයේ රමණී උපයන මුදලිනි.

'සත්‍යය' පත්තරය වැසීමට මුල් වූ හේතුව පුවත් පත් ආයතනය තුළ වෘත්තිය සමිතියක් පිහිටවීමට යෑම නිසාය. මෙය පිහිටවීමේ පුරෝගාමියා වූයේ අසෝකය. වෘත්තිය සමිතිය ගැන ජනමාධ්‍යය ඇමතිටද ආරංචි විය. ඇමතිතුමත්, පුවත් පත් සමාගමේ අයිතිකරු වූ රණතුංගත් එකතුවී අසෝකට සත්‍යය පුවත් පතේ කර්තෘ ලෙස උසස් වීමක් ලබා දුන් අතර, දිසානායකව ප්‍රධාන විධායකයා ලෙස උසස් කෙරීය. මෙම ඇම නිසා වෘත්තීය සමිතිය නැවතුණි. තම නව තනතුර නිසා අසෝකට, නිහාල්ව නැවත,රැකියාවට ගැනීමට හැකි විය.

වර්ණසිරි, එවකට නවරජයේ අහුමුළු වලට එඹෙමින් එහී දූෂිත පැති තම නිර්මාණය හරහා නිර්භයව ඉදිරිපත් කළේය. එකල නිතරම කවි කියමින්, බුලත් විට කමින්, සිංහල ආර්ය ඇඳුම අඳීමින් ඇමතිකම් කෙරූ ඇමැත්තෙක් එම රජයේ සිටියේය. ඔහු ඔහුගේ කාර්යාලයට එන හැම කෙනෙකුටම කථා කළේ කවි වලිනි. මේ ඇමති, මැදිවියද එළැඹුනු ගමක සිට ආ තැනැත්තෙකි. ඔහු ජනප්‍රිය වී තිබුණේ කාන්තාවන්ට, රෙස්ට් හවුස් කාමරවලට කැඳවා, පත්වීම් දෙන්නෙක් ලෙසටය. වර්ණසිරි මෙම චරිතය ඒ අයුරින්ම 'සත්‍යග්‍රහණය' චිත්‍රපටයට ඇතුළත් කළ අතර, එම චරිතය රඟපෑමට බාර දුන්නේ මහානළු ගාමිණී ෆොන්සේකාටය.

එලෙසම මෙහි ආ ජනමාධ්‍ය ඇමති, තරමක් දූෂිත, සැර පරුෂ එමෙන්ම ශෘංගාරාත්මක පුද්ගලයෙකි. ඔහු තම පුද්ගලීක ලේකම් හැටියට තබා ගන්නේ සුකුමාල සුන්දර ළාබාල යෞවනියන්ය. ඔහු නිතරම කාර්යාලයේ දොර වසාගෙන මෙම පුද්ගලීක ලේකම් වරිය සමඟ කම්සැප විඳීයි. මෙය ඔහුගේ කුඩාම සේවකයා සිට ලොකු සේවකයා දක්වා දැනගෙන සිටියහ. මෙම චරිතයද, වර්ණසිරි භාර දුන්නේ ගාමිණී ෆොන්සේකාටය. මේ හෙයින් මහානළු ගාමිණී ෆොන්සේකා මෙහී ප්‍රබල චරිත දෙකක්ම නිරුපණය කළද, ඔහු ඒ චරිත යුගලම රඟපෑවේ 'ගරු' රඟපෑමක් ලෙසය.

රමණීට,දරුවෙක් ලැබෙන්නට ආසන්න විය. දරුප්‍රසුතියේදී ඇය බිහි කළේ මළදරුවෙකි. එයින් පසු ඇයට නිහාල් සමඟ ජීවත් වීම පල රහිත බව වැටහුණි. ඔහුගේ රැකියාවද දීර්ඝ ලෙස පවතී යැයි, ඇයට විශ්වාසයක් නැති විය.

ඇයට ඇයගේ මව කී දෙය සිහි විය.'නිහාල්ව බැඳගත්තොත් ඔයාට පසුතැවිලි වෙන්න සිදුවෙයි'. එය එසේම විය. ඇය තීරණයක් ගතී. ඒ නිහාල්ව අතහැර දමා, ඕස්ට්‍රේලියාවට ගොස් අලුත් සුන්දර ජීවිතයක් පටන් ගැනීමය. ඇය ඒ අනුව ක්‍රියා ක⁣ළාය.

රජයට විරුද්ධව සාමකාමි ලෙස සත්‍යග්‍රහණයක් කිරීමට, විරුද්ධ පක්ෂ සංවිධාන එකතු විය. එය විහාරමහදේවී උද්‍යානයේදී, සියලු ආගමීකයන් එකතු වී කිරීමට ලෑස්ති විය. රජයද, එයට ඉඩ දුන්නද,අනිත් පැත්තෙන් ත්‍රිවිධ හමුදාවත් ,මැර බලයත් යොදා එය දරුණු අන්දමට හෝ මැඩ පැවත් වීමට රහසින් සංවිධානය වී තිබුණි. එවැනි ඉවක් 'සත්‍යය' පත්තරයට දැනුණු අතර, දිසානායක හා අසෝක, නිහාල්ව එතැනට යෙදෙවන්නට සැලසුම් කළේ යම් හෙයකින් එවන් දෙයක් වූවහොත් එය වහාම ඡායාරූප ගත කර තම 'සත්‍යය' පුවත් පතේ හෙඩිමට දැමීමටය.

සත්‍යග්‍රහණය පටන් ගැන්මට ටික වේලාවකට පෙර නිහාල් හමුදා භටයන්ගේ දෑස් වසා ඔවුන් අතරින්ම රිංගා ගොස්, යම් කලබගෑනියක් වුවහොත් ඒවා නිසිලෙස ඡායාරූප ගත කිරීමට අවශ්‍ය තැන ලෑස්ති කර ගති. ඒ ගසක අත්තක හැංගීය.

රජයට අවශ්‍ය වී තිබුණේ කලබලයක් ඇති කර,එය සත්‍යග්‍රහණය කරන අය අතර කලබලයක් වූ බවක් පෙන්වා, එය මර්දනය කළ තැනට පත්වූ බවක් පෙන්වීමටය. එහෙත් රජය ප්‍රචාරණය දී තිබුණේ, සත්‍යග්‍රහණය පවත්තන්නට, සාමකාමි පරිසරයක් සකස් කර දෙන බවය. රජයේ ⁣දෙබඩි පිළිවත මහ ජනතාවට පෙන්වා දීමට 'සත්‍යය' පත්තරය ලෑස්ති විය.

සත්‍යග්‍රහණය පටන් ගෙන ටික වේලාවකට පසු රජයේ මර්දන කණ්ඩායම විසින් කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ලකළේ සත්‍යග්‍රහණය කරන අය, විසින් කලබලකාරීව හැසිරෙන බවක් මවා පාමිනි. එහෙත් මේ සියල්ලම ගසක සැඟවී සිටි නිහාල් විසින් ඡායාරූප ගත කළේය. එසැනින්ම නිහාල් වහාම දුව ගියේ පන්තර කන්තෝරුවටය. දිසානායක හා අසෝක හෙඩිම ලෑස්ති ක⁣ළහ. ඒ, සාමකාමි සත්‍යග්‍රහණයට රජයෙන් අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල බව කීමටය. ඒවා ඔප්පු කිරීමට නිහාල් විසින් ගත් ඡායාරූප සියල්ලම පුවත් පතට එකතු කළහ. දැන් පත්තරය මුද්‍රණය වේ.

මෙම සිදුවීම 'සත්‍යය' පත්තරය විසින් රජ⁣යට අවාසි අන්දමට පළ කරන බවක් ජනමාධ්‍ය ඇමතිට ආරංචි විය. ඔහු වහාම එහී අයිතිකරු රණතුංගට දන්වා දොස් පවරමින්, ඇමති විසින්ම තම මැරයන් සමඟ 'සත්‍යය' පත්තර කන්තෝරුවට ගොස් දිසානායක, අසෝක, රණතුංග හා 'සත්‍යය ' පත්තරයේ කාර්ය මණ්ඩලය ඉදිරියේම, තම බලය හා මැර බලය යොදවමින් මුද්‍රණය කරමින් තිබෙන සියලුම පත්තර විනාශ කර දැමීය. එය දුටු ප්‍රධාන විධායක කර්තෘ දිසානායකට හදවත් රෝගයක් සෑදී එතැනම ඇද වැටුණි. ජන බලය යටවී දේශපාලන මැර බලය රජ විය. සත්‍යග්‍රහණය චිත්‍රපටය නිම වූයේ මෙම සිදුවීම් කුමන රජයක් පැමිණියද දිගින් දිගටම සිදුවන බව ඉඟි කරමිනි.

ඉහත තැනක සඳහන් වූ ලෙස ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිත දෙකක් ගරු රඟපෑමක් ලෙස ප්‍රබලව රඟපෑ අතර, රණතුංග ලෙස ශේෂා පළිහක්කාර, නිහාල් ලෙස රිචඩ් ඩී. සොයිසා, අසෝක ලෙස ටෝනි රණසිංහ, දිසානායක ලෙස ජේ.එච්.ජයවර්ධන, රමණී ලෙස වීණා ජයකොඩි ,උප ඇමති ලෙස සොමී රත්නායක, අන් ප්‍රධාන චරිත රඟපෑහ.

යූ.ආරියවිමල්,සේනක පෙරේරා, කමල් අද්දරආරච්වි, විශාකා සිරවර්ධන, රමණී බර්තොලමියුස්, ලකී වික්‍රමණායක, දෙනවක හාමිනේ, විල්සන් ගුණරත්න, ප්‍රියංකර පෙරේරා,තිස්ස උඩංගමුව,ටී.එම් සංඝදාස, කාන්ති ෆොන්සේකා, රංජිත් සුරංඟ, මොරින් චාරුනි,රෝයි ජයවර්ධන, සෙල්ලයූර් සෙල්වරාජන්,මාපා ගුණරත්න, නිහාල් ජයවර්ධන සෙසු චරිත රඟපෑ අතර,අනෝජා වීරසිංහ, සහ අසෝක පීරිස් ගරු චරිත දෙකක් රඟපෑහ.

සෝමපාල රත්නායක, සංගීතයෙන්, වී. වාමදේවන් කැමරාවෙන්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු සංස්කරණයෙන්,පූර්ණ වූ 'සත්‍යග්‍රහණය' විනාඩි 25 ක දර්ශන කපා, තිරගත වූ හෙයින්, එහී හරය නිසි ලෙස වටහා ගැන්මට,එය විශාල බාධාවක් විය. කථාව, දෙබස්,තිරනාටකය,සම නිශ්පාදනය, ඩී.බී.වර්ණසිරිගේ වූ අතර, 1987 මාර්තු 13 වන දින තිරගත කිරීම ආරම්භ කළ "සත්‍යග්‍රහණය " චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශේෂා පළිහක්කාර විසිනි

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)