“නිල් අහස් තලේ ” නොගැයුණු යටගියාව

පෙබරවාරි 27, 2020

 

නිල් අහස් තලේ අගෙයි නෑ වළාකුළු
ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

 

මල් විසිරිලා වාගෙයි තාරකා සිරි
ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

 

විල් නෙළුම් නිදා වැටෙයි මානෙල් මල් පිපී
ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

 

රැල් සිසිල් සුළං සැපයි මේ රැයේ වැදී
ලස්සනයි පුරාහඳේ රැස් විහිදීලා //

 

බාල- මහලු අප සියලුදෙනා ඉතා හොදින් දන්නා , ඔබ අප කවුරුත් අසා රසවින්දනය කර ඇති “නිල් අහස් තලේ” ගීතය හා සබැඳුණු යටගියාව මෙම ලිපින් ඉදිරිපත් කරන්නෙමි. මෑත අතීතයේ ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ “මහගෙදර“ (1982) සිනමාපටය වෙනුවෙන්, සරත් ප්‍රනාන්දු මහතාගේ සංගීතයට විශාරද නීලා වික්‍රමසිංහ, චිත්‍රා සෝමපාල , මොරිස් විජේසිංහ සහ උපාලි රංජිත් ඇතුළු පිරිස ගායනා කළ මෙම ගීතය වර්තමානයේ අප අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුවද, මෙම ගීතය රචනා වූයේ දශක අටකට පමණ පෙර බවත්, මුල් වරට ග්‍රැමොෆෝන් තැටියකට නැගුණේ 1943 තරම් ඈත වකවානුවක බවත් ඇසුවොත් ඔබ විස්මයට පත් වනු නිසැක ය.

“නිල් අහස් තලේ” ගීතය පළමු වරට රචනා වන්නේ 1938 වසරේදී ය. ඒ එවකට සිටි අතිදක්ෂ ගේයපද රචකයෙකු, සංගීතාචාර්යවරයෙකු , සහ ගායකයෙකු වූ යු. ඩී. පෙරේරා සූරීන් අතිනි. එතුමා මෙම ගීතය රචනා කළේ ග්‍රැමොෆෝන් ගීත වලට සම්බන්ධ වීමට පෙරාතුව ය. එතුමාගේ පුත් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා පවසන අන්දමට මෙම ගීතය ඇතුළත් වූයේ, යු. ඩී. පෙරේරා මහතා විසින් කුඩා දරුවන් වෙනුවෙන් රචිත ගීත සහ ස්වර ප්‍රස්තාර ඇතුළත් “බාලාංශ ගී” නමැති ග්‍රන්ථයට ය. එය එතුමාගේ ගුරු විද්‍යාල අවසන්වසර නිබන්ධය ලෙස 1938 වසරේදී සංග්‍රහ කරන ලද්දකි. හේමන්ත පෙරේරා මහතා සතුව සුරැකිව තබා ඇති ස්වකීය පියාණන් විසින් රචිත මෙම නිබන්ධයෙහි, යු. ඩී. පෙරේරා මහතාගේ අත්අකුරින් සටහන් කරන ලද “නිල් අහස් තලේ” ගීතය අඩංගු පිටුවෙහි සේයාරුවක් මේ සමගින් ඉදිරිපත් කරන්නෙමි. “රාත්‍රියක්“ යන තේමාව යටතේ මෙම ගීතය රචනා කර ඇත. එසේම ගීතයේ ස්වර ප්‍රස්තාරය සහ ගීතය ගැයිය යුතු රාගය සහ තාලය ද අදාළ සංලක්ෂ්‍යයන් ද එහි සඳහන් කර ඇත.

මෙම ගීතය තැටිගත කෙරුණේ LANKA FILM COMPANY LTD.  ( ලංකා ෆිල්ම් කොම්පැනි සමාගම ) නමැති ග්‍රැමොෆෝන් තැටි ලේබලයට ය. මෙම ගීත තැටි ලේබලය පැවතුනේ 1938-44 කාල සීමාවෙහි පමණි. SW අංක ශ්‍රේණියකින් ගීත තැටි නම් කළ මෙම ගීත තැටි ලේබලය නිල් පැහැයෙන් නිකුත් වූ අතර, HMV තැටි සමාගමේ සහ එවකට (මෙන්ම වර්තමානයේ ද) ප්‍රසිද්ධියට පත්ව තිබෙන SIEDLES ඉලෙක්ට්‍රොනික සමාගම සමාගමේ ආධාර ඇතිව මෙම ගීත තැටි ලේබලය නිකුත් වුණි . එබැවින් සෑම ගීත තැටි ලේබලයකම  “SPECIALLY MANUFACTURED FOR SIEDLES CINERADIO LTD.” (SIEDLES CINERADIO සමාගම වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කරන ලදී) යනුවෙන් සටහනක් යෙදුණි . මෙම ගීත තැටි ලේබලයෙන් නිකුත් වුයේ බොහෝ විට නවක ගායක ගායිකාවන් ගේ සහ නවක ගීත රචකයන් ගේ ගීත ය . සුප්‍රසිද්ධ ගායිකා ග්‍රේටා ජැනට් ද සිල්වා පළමුව ගීතයක් ගායනා කළේ ද, මෙම ගීත තැටි ලේබලයට ය. ග්‍රේටා ජැනට් යු.ජි.පි ද සිල්වා, හියුබට් රාජපක්ෂ, සරණගුප්ත අමරසිංහ ආදී ගායක ගායිකාවන්ගේ ගීත මෙම තැටි ලේබලයට තැටිගත කෙරුණි . SW  14 අංකය යටතේ 1943 වර්ෂයේදී තැටිගත කෙරුණු “නිල් අහස් තලේ” ගීතය LANKA FILM COMPANY LTD. තැටි ලේබලයෙන් නිකුත් වුණු “ළමා ගීත ශ්‍රේණියේ” එක ගීතයක් විය. තැටි ලේබලයේ “CHILDERN’S SONG SERIES” යනුවෙන් සටහනක් ද යෙදුණි . ගීතය ගායනා කළේ යූ .ජී.පී ද සිල්වා නම් මහත්මයෙකු විසිනි. ගීතයේ තනුව ද යූ .ඩී. පෙරේරා මහතා විසිනි. සංගීතය සැපයුවේ සරණගුප්ත අමරසිංහ මහතා සහ ඔහුගේ වාද්‍ය මණ්ඩලය විසිනි. සරණගුප්ත අමරසිංහ මහතා එවකට LANKA FILM COMPANY LTD.  තැටි ලේබලයේ ප්‍රධාන ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ද විය. මෙම මුල් ගීතයේ හින්දුස්ථානි තාලයක් වන මාත්‍රා තුනෙන් තුනට යන දාදරා තාලය යොදාගෙන ඇත. බටහිර සංගීතයේ දී එම තාලය “වෝල්ස් බීට්“ ලෙස හදුන්වයි . බටහිර ගීත නාද මාලාවක් ඇසුරු කොට ගීතයේ සංගීතය නිර්මාණය වුවත්, ගායනය රාගධාරී නාද මාලාවක් ඇසුරු කරගෙන එනම් හින්දුස්ථානි මිශ්‍ර බිලාවල් රාගයේ සේයාවන් ඇතැම් ස්ථාන වලදී ඉස්මතු වන අයුරින් මුල් ගායකයා විසින් අතිශය සුගායනීය ලෙස ගායනය කර ඇත. බටහිර වාද්‍ය භාණ්ඩයක් වන ග්‍රෑන්ඩ් පියෑනෝ ව , වයලීනය සහ තබ්ලාව පමණක් මෙම ගීතයේ සංගීතය නිර්මාණය කිරීම සඳහා වාද්‍ය භාණ්ඩ ලෙස භාවිත කර ඇති අතර, මුළු ගීතය පුරාම වයලීනය ඉතා මනරම් ලෙස වාදනය කිරීම විශේෂත්වයකි. ගීතය අඩංගු තැටි ලේබලයේ ගීත රචකයාගේ සංගීත අධ්‍යක්ෂකවරයාගේ නම සදහන් වන්නේ නැත . “THE NIGHT(රාත්‍රිය)” යනුවෙන් පමණක් එහි මුද්‍රණය කර ඇති අතර, ගීතය ගායනාකරන ගායකයාගේ නම “යූ .ජී.පී ද සිල්වා” ලෙස සදහන් වෙයි.

මෙම ගීත තැටියේ අනෙක්පස ඇත්තේද, යූ .ජී.පී ද සිල්වා මහතා විසින් ගායනා කරනු ලබන අතිශය ජනප්‍රිය ගීතයක් වූ ” මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ” ගීතයයි. LANKA FILM COMPANY LTD ලේබලයෙන් නිකුත් වුණු ළමා ගීත ශ්‍රේණියේ එසේ ජනප්‍රිය වූ තවත් ගීත කීපයක් ම ඇත. SW  15 අංකයෙන් නිකුත් වුණු යු. ජි. පි ද සිල්වා මහතා විසින් ම ගායනා කළ “හඳහාමි හැංගි හැංගි එබිලා බලනවා”  (THE LADY MOON)  සහ “රු රසේ අඳීනා ලෙසේ”( මුල් ගායනය -THE DANCE OF THE GODESSES)  එවැනි ගීත කීපයකි. එසේම “පැණි දොඩම්” සහ “හඳහාමි හැංගි හැංගි” ගීත යුගලය රචනා කරන ලද්දේ ද යූ.ජි. පී ද සිල්වා මහතා විසිනි. LANKA FILM COMPANY LTD.  ලේබලයෙන් නිකුත් වූ ඇතැම් ගීත නැවත HMV  ලේබලයෙන් ප්‍රතිනිකුතුවක් ලෙස නිකුත් වුවද, නිල් අහස් තලේ ගීතය එසේ නිකුත් වුයේ නැත. එසේම මෙම ගීත තැටි ලේබලය ජනප්‍රියව පැවතුනේ ද 1944 දක්වා පමණි. මෙකි කරුණු හේතුවෙන් මෙම මුල් ගායනය පිළිබඳ තතු කාලයත් සමගම යටපත් විය.

ගීතය ගායනා කළ යූ .ජී.පී ද සිල්වා මහතා ගැන වෙසෙසින්ම සදහන් කළ යුතුය. උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා හෙවත් යූ .ජී.පී ද සිල්වා මහතා උපත ලද්දේ උණවටුන දළවැල්ලේදී 1906 නොවැම්බර් 10 වැනි දිනය. එතුමා එවකට සංගීතාචර්යවරයෙකු මෙන්ම ගුරුවිද්‍යාල ප්‍රධානචර්යවරයෙකු ද ලෙස කටයුතු කළේ ය. මිහිරිපැන්නේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, ගාල්ලේ බොනවිස්‌ටා පාසලේ හා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් මූලික සහ ද්වීතියක අධ්‍යාපනය ලද මෙතුමා පාසල් සමයේ සිටම සංගීතයට, ගායනයට සහ රංගනය ට කුසලතා දැක්වීය. ගාල්ල මහින්දයේ ඔහු සමඟ එකට උගත් සිසුන් අතර ග්‍රන්ථ කතුවරයකු හා විදුහල්පතිවරයකු වූ මාතර ජස්‌ටින් විජේවර්ධන මහතා හා ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාල මහතාද එක්ව එකල පාසලේ "රාමායණය" නාට්‍යය ද රඟදක්‌වා ඇත. අටළොස් විය සම්පූර්ණවෙත් ම ගුරු වෘත්තියට ඇතුළත් වූ එතුමා 1927 දී ගාල්ල මහින්ද විදුහලේ සේවය කළ කාලයේදී ඔහුගේ ගෝලයන් අතර සංගීත විශාරද ලයනල් එදිරිසිංහයන්ද විය. 1928 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ එතුමා ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඔහු "පොතේගුරා", "සකුන්තලා" යන නාට්‍යයන්ද එහිදී රඟදක්‌වාලීමට මූලික වී කටයුතු කර ඇත. එසේම 1930 දශකයේ ලංකා ගුවන්විදුලියෙහි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද මෙතුමා කටයුතු ඇත. 1938 වසරේ මුදලිඳු අබේසේකරයන් විසින් නිෂ්පාදනය කළ, එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික ජේ.ආර් ජයවර්ධන මහතා විසින් රචිත, ජේ.ආර් ජයවර්ධන එලිනා ජයවර්ධන, ඇතුළු පිරිස චරිත නිරූපණය කළ “සමාජ සේවකයා” ගුවන්විදුලි නාටකයෙහි මෙතුමා ගීත යුගලයක් ගායනා කරමින්, හිගන්නේකුගේ චරිතය නිරූපණය කළ බව 1983 ජනවාරි 12 දින “නවයුගය” පුවත්පතට මෙතුමා විසින්ම සඳහන් කර ඇත. වර්ෂ 1930 දී පමණ සිල්වා මහතා ලංකා ගුරු විදුහලේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණු අතර , ලෝක යුද්ධ සමයේ ගුරු විද්‍යාලය තාවකාලිකව පේරාදෙණියට ගෙන ගිය සමයේ ස්‌වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම කරන ලද්දේ සිල්වා මහතා විසිනි. ඔහුගෙන් ඉංග්‍රීසි උගන්නා ලද ස්‌වාමීන් වහන්සේලා අතර, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමිපාණන් ද වූහ. අති දක්ෂ අධ්‍යාපනඥයෙකු වූ මෙතුමා හට මෙරට ගුරු අභ්‍යාස විද්‍යාල බිහිකිරීමේ කාර්යභාරයද පැවරිණ. 1944 දී මීරිගමද, 1945 බළපිටියේද, 1947 පොල්ගොල්ලේද ගුරු විදුහල් බිහිකිරීමේ පදනම වැටුණේද එතුමාගේ අතිනි. එපමණක්‌ නොව උයන්වත්ත හා කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලහි ප්‍රධානාචාර්ය ධූරය හෙබවූයේ ද මෙතුමා විසිනි (යූ .ජී.පී ද සිල්වා මහතා පිළිබඳව නවයුගය පුවත්පතට 1983 වසරේදී මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ සරසවිය පුවත්පතෙහි හිටපු කර්තෘවරයෙක්වූ ඒ. ඩී. රංජිත් කුමාර මහතාණන් විසිනි).

“නිල් අහස් තලේ“ ගීතය රචනා කළ යු. ඩී . පෙරේරා මහතා සිංහල ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ යුග පුරුෂයෙකු ලෙස හැදින්වුවහොත් මා නිවැරදි ය. වර්ෂ 1902 ජනවාරි 02 දින වීදාගම දී උපත ලද එතුමා හැදී වැඩුණේ පානදුර ප්‍රදේශයේ දී ය. වලානේ මිශ්‍ර බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය ලැබූ එතුමා එවකට ජනප්‍රිය ටවර්හෝල් නාට්‍ය රචකයෙකු ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු වූ බි.ඇල් බෝධිපාල මාස්ටර් ගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුයේ පාසල් අවදියේම ය. මේ අතර ශිෂ්‍ය ගුරු විභාගයෙන් ද ඉහළින් ම සමත් වූ මෙතුමා ගුරුවරයෙකු ලෙස එම විදුහලේම කටයුතු කළේ ය. එතුමාගේ මුල්ම ගුවන්විදුලි ගීත පටිගත කිරීම සිදුකර ඇත්තේ 1922 තරම් ඇත වකවානුවක ය. එසේම 1925-38 කාලයේ සිය ගුරුවරයා වූ, බෝධිපාල මාස්ටර් සමගින් එවකට ජනප්‍රිය වූ, PARLOPHON , ODEON  ග්‍රැමොෆෝන් ලේබලවලට නාට්‍ය රචනා, ගීත රචනා සහ සංගීතය සම්පාදනය කළේ ය. එසේම ගුවන්විදුලි ගීත නාටක ද සම්පාදනය කළේ ය. වර්ෂ 1938 දී බෝධිපාල මහතාගේ අභාවයෙන් පසුව COLUMBIA ග්‍රැමොෆෝන් තැටි ලේබලයේ නිත්‍ය ගීතරචක මෙන්ම සහාය සංගීත අධ්‍යක්ෂ ලෙසද මෙතුමා කටයුතු කළේ ය. එසේ COLUMBIA සමාගමට ස්ථිරව ලියාපදිංචි වූ පසු, වර්ෂ 1939 දී ට්ඡ් 15007 අංකය යටතේ COLUMBIA  ලේබලයෙන් ඔහුගේ පළමු ගීතය වූ මෙතුමා “ජාතික ගීය“ නමැති ගීත තැටිය නිකුත් කළේ ය. මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් සංගීතය සැපයු මේ සියලු ගීත රචනා කොට ගායක ගායිකාවන් පුහුණු කළේ යු. ඩී . පෙරේරා මහතා විසිනි. ගවුස් - යු. ඩී සුසංයෝගයෙන් එවකට සංගීත ක්ෂේත්‍රයට හදුන්වා දුන් ගායක ගායිකාවන් රාශියකි. සිසිලියානා ඩයස්, වයලට් වීරකෝන්, ග්‍රේටා ජැනට් ද සිල්වා , කේ.කේ.රාජලක්ෂ්මි, මොහිදීන් බෙග්, ඒ.ආර්.එම් ඉබ්‍රාහීම්, අහමඩ් මොහිදීන්, ඉන්තම් ආමත්, කරුණා දේවී , වසන්තා (පසුව සන්දනායක), ටයිටස් සමරවීර, හිල්ඩා පෙරේරා, පාලි කුමාරි, නෝනා සුබෙයිදා, ඇම්.ඩී .ජෝවර්ශා, ජී. ඒස් .බී රාණි , ඇල්බට් පෙරේරා (ඩබ්ලිව්. ඩී .අමරදේව), රුද්‍රානි ලියනගේ ආදීහි ඒ අතර වෙත්. එතුමා විසින් 1939-47 වකවානුව තුළ  COLUMBIA  ලේබලය සඳහාත්, 1947-1951 වකවානුව තුළ ODEON ලේබලය සඳහාත් රචනා කළ ගීත සංඛ්‍යාව දෙසිය පනහකට ආසන්න ය. දශක ගණනාවක් ගෙවී ගියත් එම ගීත අදටත් අප අතර සදානුස්මරණීය ය. “සිළුමිණි සෑය වඳීම්” , “මුනි නන්දන සිරිපාද වඳීම්“, “ රාජ සඟබෝ හිස දී දුගියා ටා”, “කරුණා මුහුදේ නාමු ගිලීලා“, “ කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමි”, “නැව් ගිලීලා අන්ධකාරේ”, “දුල් සල්වනේ ළකල්“, “ධර්ම ද්‍වීපෙ රම්‍ය මේ ” “සුන්දර ශ්‍රීනි මනහාරි කුසිනාරා නගරේදී” ආදී ගීත එතුමා විසින් විරචිත අතිශය ජනප්‍රිය ගීත අතුරින් කීපයකි. හෙළයේ ගාන්ධර්ව නමින් විරුදාවලි ලත් ඩබ්ලිව්. ඩී .අමරදේව සූරීන් මුල්වරට ග්‍රැමොෆෝන් තැටියකට ගැයූ ගීතය වූ “රසයි කිරි නෑ දියාරු” මෙතුමාගේ ගීත රචනයකි. ගීත රචකයෙකු මෙන්ම නාට්‍ය රචකයෙකු වූ මෙතුමා “කුවේණි“ සහ “සති පූජා“ නමින් නාට්‍ය ද්විත්වයක් ද රචනා කළේ ය. “සංගීත මංජරීය”, “සංගීත මංජුසා“, “ගීත වෘත්තය“, “ළදරු ගායනා“, “ගීත අමෘත“ ආදී ග්‍රන්ථ රාශියක්ද මෙතුමා විසින් රචනා කරන ලදී. වර්ෂ 1976 දෙසැම්බර් මස 02 දින මේ මහා සංගීතවේදියා ස්වකීය ජීවන රඟමඬලින් සමුගත්තේය.

පරපුරු ගණනක්, යුග යුග සදානුස්මරණීය වූ “නිල් අහස් තලේ“නම් මේ ළමා ගීතය රචනා කළ යූ .ඩී .පෙරේරා නම් මහා සංගීතවේදියාටත් , එම ගීතය ගායනා කළ මුල් ගායකයාණන් වූ, මෙරට බිහිවූ අතිදක්ෂ අධ්‍යාපනඥයෙකු වූ යු.ජි.පි. ද සිල්වා මහතාණන්ටත් මෙම ලිපිය උපහාරයක් ම වේවා !

විශේෂ ස්තුතිය :

ග්‍රමොෆෝන් ගීත තැටි සංරක්ෂක මුදිත අභයගුණවර්ධන මහතා, යූ .ඩී .පෙරේරා මහතාණන්ගේ දයාබර පුතු, විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා, යු.ජි.පි. ද සිල්වා මහතාගේ සේයාරුවක් සපයා දුන් විශ්‍රාමික විදුහල්පති ඩබ්ලිව්. ඩී. ඥානරත්න මහතා, යූ .ඩී .පෙරේරා මහතාණන්ගේ දුර්ලභ සේයාරුවක් ලබා දුන් විසුල පෙරේරා මහතා, ගීතයේ සංගීතමය වටිනාකම පිළිබඳව දැනුම්වත් කළ ලලිතකලා වේදිනි, විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය,“මහගෙදර” චිත්‍රපටය ගැන විස්තර සපයා දුන් කපිල සිරිමාන්න මහතා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.