බණ්ඩාර මැණිකේ වූ අනුලා

පෙබරවාරි 27, 2020

සතියකට පසු අප ලද සුබ ආරංචියෙන් සුදත්ගේ සතුට ඉහ වහා ගියේය. හේමසිරි ලියනගේ නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා කලා ක්ෂේත්‍රය තුළ නැවැත සුරුවිරුකම් පාන්නට කැමැත්ත ප්‍රකාශ කර සිටියේය. ඉංගිරිය ප්‍රදේශයේ දුෂ්කර පාසැලක හිරවෙන්නට ගිය හේමසිරි අයියාගේ රංගන ප්‍රතිභාව අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ ගල්බණ්ඩාගේ චරිතය තුළින් යළි විකසිත වෙන්නට විය.

ඊළඟට අප හමුව තිබූ අභියෝගය වූයේ බණ්ඩාර මැණිකේ චරිතය සඳහා සුදුසු නිළිය තෝරා ගැනීම වේ. ශෝභනී අමරසිංහ සහ නිලන්ති විජේසිංහ යන නිළියන් දෙදෙනාම මේ වන විට විදේශගතව සිටි බැවින් බණ්ඩාර මැණිකේ චරිතයට අවසාන විකල්පය වූයේ අනුලා කරුණාතිලක නම් ප්‍රවීණ රංගවේදිනිය කෙසේ හෝ සම්බන්ධ කර ගැනීම වේ. විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත්ව සිටි මැය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය සඳහා සම්බන්ධ කර ගැනීමේ අභියෝගය ද මා භාර ගන්නා ලද්දේ ඒ සඳහා වූ උපාය මාර්ගයක් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුවය.

සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවිණ ගේය පද රචකයා කලක් ජාතික රූපවානියේ ප්‍රවෘත්ති අංශයට අනුයුක්ත වී සේවය කළේය මේ කාල සීමාවේදී ඔහු සමඟ ඇති කර ගන්නා ලද මිතුදම තවදුරටත් තහවුරු වූයේ විවේක ලද අවස්ථාවන්හිදී ඔහු විසූ මායා ඇව්නිව් හි පිහිටි නිවසට ගොස් සතුටු සාමීචියේ යෙදීමෙනි. මෙවැනි සැන්දෑවලදී ඇතිවන ශාස්ත්‍රීය කතාබහ සඳහා මහාචාර්ය ජේ. බී. දිසානායක සහ ගාමිණී සුමනසේකර පුවත්පත් කලාවේදියා ද සම්බන්ධ වන අතර අනුලා කරුණාතිලක සහ ඇගේ ස්වාමි පුරුෂයා වූ දයා රණවීර ද මේ නිවහනේදී නිතර දකින්නට ලැබෙන්නේ ඔවුන් දෙපළ සුනිල් අයියාගේත් ඔහුගේ ප්‍රිය භාර්යාව වූ සරෝජනී අක්කාගේත් හිත මිත්‍රාදීන් වූ බැවිනි. මේ සැඳෑ හමුවේ ප්‍රතිඵලයක් ලෙසට දයා අයියා (රණවීර) කිට්ටුවෙන් ඇසුරු කිරීමේ අවස්ථාවක් මා ලද අතර කල්යල් බලා අඹ යහළුවෝ ටෙලි නාට්‍ය සඳහා අනුලා අක්කා සම්බන්ධ කර ගැනීමේ යෝජනාව මා ඔහුට ඉදිරිපත් කරන ලදී.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.