මහ දද දන ගණ

උපදින කලැ පර දෑ අනැගී
පෙබරවාරි 27, 2020

 

 

ලාංකේය සුභාවිත ගීතය 40 දශකයේ ආනන්ද සමරකෝනුන්ගෙන් පටන් ගෙන 90 දශකයේ මැද කරුණාරත්න දිවුල්ගනේගෙන් අවසන් වූ බව මා පසුගිය ලිපියක දැක්වූයේ ගෙවුණු දශකත්‍රයක කාලය පුරා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ විපරිණාමය සැලකිල්ලට ගැනීමෙනි. ඉන්පසුව සුභාවිත ගී මඟට ප්‍රවිෂ්ට වූ කුසලතා සපිරි ගායක, ගායිකා, ගේය කාව්‍ය රචක, සංගීතවේදී පරම්පරාවක් පහළ වූ නමුත් ජනමාධ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන ධාරාවෙන් ඔවුන්ට හා ඔවුන්ගේ නිර්මාණවලට නිසි ගරුත්වය, ඔසවා තැබීම නොලැබිණ.

 

පසුගිය ලිපියේ මා විසින් සනිදර්ශිතව පෙන්වා දෙන ලද සෞන්දර්යාත්මක, කලාත්මක ගීත රූප රචනා ඉදිරිපත් කළ සංගීත වැඩසටහන් ක්‍රමානුකූලව රූපවාහිනී නාළිකාවලින් ඉවත් වී අද එවැනි වැඩසටහන් කොහෙත්ම දක්නට නොලැබෙන්නේ මන්ද? ඊට ආදේශක සංගීත වැඩසටහන් ලෙස මෙකල විද්‍යමාන වනුයේ පැරැණි සුප්‍රකට ගීත අදාළ ශිල්පියා හෝ ශිල්පිනිය ගෙන්වා නැවත ගායනා කෙරෙන වැඩසටහන්ය. නොඑසේ නම් ඒ ගීත නවක ගායක ගායිකාවන් ලවා ගායනා කරන වැඩසටහන්ය. මෙබඳු වැඩසටහනක් විකාශය කිරීමේ වරදක් නැත. අපේ සුභාවිත හෝ පොදු ජන ගීයේ ගමන් මඟ, මංසලකුණු සිහිපත් කිරීම අතිශය වැදගත්ය. එහෙත් මේ අතර වැඩි ගුවන් කාලයක් වෙන් කළ යුත්තේ ප්‍රවීණ ශිල්පීන්ගේ හා නව පරපුරේ අභිනව ගීත සහෘදයන්ට හඳුන්වා දෙන්නටය. ඒ සඳහා යළිත් මනෝහාරි, නඳුන් උයන, සඳමඬල, යාත්‍රා, ආනන්ද රාත්‍රී, ගී 7 වැනි ගීත රූප රචනා රැගත් සංගීත වැඩසටහන් නැවත නව ආරයකින් ඇරැඹීම අත්‍යවශ්‍යය.

සුභාවිත ගීතයේ රූප රචනයට ඉමහත් සේවාවක් ඉටු කළ ජාතික රූපවාහිනියේ සුමිත් දිසානායක අධ්‍යක්ෂණය කළ “බක් මහ ගී සිරි”, “වසත් ගී සිරි”, “රතු කඳුළේ ගීතය” (මැයි දිනය වෙනුවෙන්) වැනි විශේෂ දිනවලට විකාශය වූ සම්මානනීය සංගීත වැඩසටහන් යළිත් අරඹනු වටී. ප්‍රවීණ සංගීතවේදී අජිත් ජයවීර අධ්‍යක්ෂණය කළ “ස්වර රංග“, “කෝමල රේඛා”, “සම්භාව්‍ය සංගීතය” සහ “රජත සර” වැනි රූපවාහිනී සංගීත වැඩසටහන්වලින් ඉටු වූ යුග කාරක මෙහෙවර ප්‍රශස්තය. පසුගිය දශකත්‍රයේ ජනමාධ්‍ය යාන්ත්‍රණයෙන් බොහෝ විට අමතක කොට දැමූ සම්භාව්‍ය ශාස්ත්‍රීය සංගීතයට වෙන් කෙරුණේ අජිත්ගේ යථෝක්ත වැඩසටහන් පමණක් නොවේද? අදත් ඒ සඳහා ඇත්තේ ඡ්රඥ හා නේත්‍රා නාළිකාවලින් විකාශය කෙරෙන “රජත සර” පමණි. රජයේ හෝ පෞද්ගලික වේවා රූපවාහිනී නාළිකාවල මතු නොව ගුවන් විදුලි නාළිකාවලද අභිනව සුභාවිත හා පොදු ජන ගීත උදෙසා වැඩි ගුවන් කාලයක් වෙන් කිරීමට කාලය එළඹ ඇත. මෙහිදී ස්වර්ණමය අවධියෙහි ගුවන් විදුලිය අනුදත් හඬ පරික්ෂණ (ඒභඤඪබඪධද), ශ්‍රේණි ගත කිරීම් හරහා ශිල්පීන් ශ්‍රේණිගත කොට ගේය කාව්‍ය රචනයෙහි හා ස්වර සංරචනයෙහිද ප්‍රමිතිය සලකා බලනු වටී. විකාශය වන මොහොතේ අදාළ ශිල්පියාට හෝ ශිල්පිනියට ලැබන ප්‍රසිද්ධිය (මෙය එච්. ආර්. ජෝතිපාලලා ලැබූ වචනයේ පරිසමාප්ත අරුතෙහිම ජනප්‍රියත්වය නොව) හැරුණු විට ගායනයෙහි ප්‍රතිභාව ඇති කිසිදු තරුණයකුට හෝ තරුණියකට ඊනියා යථාදර්ශන වැඩසටහන්වලින් (අඥචතඪබර) කිසිදු සාධනීය ඵලයක් නොලැබුණු බව ගැඹුරින් ඒවා අධ්‍යයනයෙන් පසක් වේ. ස්වතන්ත්‍ර හඬකින්, අනන්‍යතාවකින් පෙරට ඒමේ ශක්තිය තිබූ තරුණ තරුණියන්ගේ එකී ප්‍රතිභාව මෙමඟින් අපතේ ගිය බව බුද්ධිමත්හු වටහා ගනිත්. මේවාට ලබා දුන් දීර්ඝ ගුවන් කාලය තරුණ පරපුරේ අභිනව සුගීත සඳහා ලබා දුන්නේ නම් අමරදේවලාගේ ජෝතිපාලලාගේ සුජාතාලාගේ ගීත යළි ගයන්නන් නොව ඒ වර්ගවල නවක ශිල්පීන් පරම්පරාවක් අපට බිහි කර ගැනීමට මාවත සකසන්නට ඉඩ තිබිණි. මේ අපතේ යන්නේ තමන්ගේ් ස්ව අනන්‍යතාව ඉස්මතු කර ගැනීමට ලැබෙන කාලය නොවේදැයි මේ තරුණ පරපුරට වැටහුණේ නැත. මෙරට ප්‍රවීණ පරපුරේ ද පැරැණි ගීත යළි යළිත් “පට්ට ගැසීම” හැර ඔවුන්ගේ අභිනව ගීත ප්‍රචාරයට කිසිදු ඉඩක් නොලැබුණි. එක් නිදර්ශයක් පමණක් මෙහිදී මම ඉදිරිපත් කරමි. ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මෙතෙක් අවසානයට එළිදැක්වූ ගීත සමුච්චයේ ඉතාම සුමධුර ගීත තිබුණි. එහෙත් ඔහුගේ පැරැණි ගීත යළි යළිත් ප්‍රචාරය වූ නමුදු ඔහුගේ මේ අභිනව ගීතාවලියට ඒ ගුවන් කාලය නොලැබිණ. තමන්ගේ අලුත් ගීත නිසි සේ ප්‍රචාරය නොවන, ඒවා රූප රචනයට නැඟීමට වැඩසටහන් නොලැබුණු පසුබිමක ඇතැම් ප්‍රවීණ ශිල්පීහු ‘අඥචතඪබර’ වැඩසටහන් විනිසුරුවෝ බවට පත්වීමෙන් සැනසුණාහ. “මේ ගත වන්නේ අලුත් පරපුරේ නැවුම් ගීතවලට මෙන්ම තමන්ගේ අභිනව ගීතවලට ද ලැබිය යුතු ගුවන් කාලය නොවේදැයි” ඔවුන්ට සිතුණාදැයි මම නොදනිමි. ඒ කෙසේ වෙතත් හතු පිපෙන්නාක් මෙන් පහළ වූ ඊනියා යථාදර්ශන වැඩසටහන් සුභාවිත හා පොදු ජන ගී මඟෙහි කාලානුරූප වර්ධනයට මං ඇහිරූ විශාල පවුරක් වූ බව නම් කිව යුතුය. කරුණාරත්න දිවුල්ගනේගෙන් පසුව ගායන ක්ෂේත්‍රයට පිවිස සුභාවිත ගී මඟෙහි ගමන් කිරීමට වෙර දැරූ ජානක වික්‍රමසිංහලාට, සමන් ජයනාත් ජිනදාසලාට, රොහාන් ශාන්ත බුලේගොඩලාට ක්‍රිශාන්ත එරන්දකලාට, දයාන් විතාරණලාට, ඉමාන් පෙරේරාලාට (මේ කුලකයේ සියලු නම් මෙතැන නොමැති බව සලකන්න) මේ බාධක පවුරට අත්ල තබා හිස ඔසවා බැලීමට පමණි ඉඩ ලැබුණේ. මේ අතර ඝෝෂාකාරී, සංකර, දුර්ගීත ගැයුවන්ට මේ කිසිදු පවුරකින් බාධාවක් නොවූ සේය. ජාතික නාළිකා ස්වර්ණමය ගීත රූප රචනා වැඩසටහන් මුළුමනින්ම නවතා දමද්දී රූප රචනය යනු කවරක්දැයි නොදන්නා බහුතරයක් අතට (සියල්ලන්ම නොවෙයි) මේ බැරෑරුම් කර්තව්‍ය පත් වෙද්දී එය සුගීතවල රසභාව, අරුත් ජනනය වෙනුවට බහුල දුර්ගීත හරහා කාමය කුප්පන රූප රචනාත්මක වෙළඳ භාණ්ඩ ප්‍රචලිත විය. මීට සමාන්තරව එකම තනු මාලාවට (මේවා තනු යැයි කීමට ද බැරිය) ඕලාරික, භාවාතිශය දුර්ගී නොඑසේ නම් ප්‍රවීණ ගායිකාවන්ගේ ගීත විකෘති හඬවලින් ගැයෙන දුර්ගීතවලට බහුලව බස් රථවල පිහිට තිබිණි. වත්මන් රජය බොහෝ බස්රථවල ඇසෙන මෙබඳු දුර්ගීත පිටුදැකීමට අවධානය යොමු කිරීම සත් ක්‍රියාවක් සේම ශ්‍රාවක සහෘදයන්ගේ භාග්‍යයකි. විරලව හෝ ඇතැම් බස් රථවල සුගීත ඇසෙන විට බස් කොන්දොස්තරලාට ඒ වෙනුවෙන් වැඩිපුර මුදලක් ගෙවන්නට සිතුණු, රසඥතාවක් ඇති මගීන් සිටියාට සැක නැත.

වසර දෙකකට පමණ ඉහත සෙන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අරභයා ලියැවුණු, යාපා බණ්ඩාර සෙනෙවිරත්නගේ ග්‍රන්ථය ජනගත වූදා දෙසුමක් පවත්වමින් මා එදින රැස් වූ විද්වත් සහෘද ප්‍රේක්ෂකාගාරයෙන් විමසා සිටි පැනයක් මෙහි ලියා තැබිය යුතුය. සනත් නන්දසිරි මහා ගාන්ධර්වයාණන් 1942 වසරේ ඉපදී 1966 වසරේ ක්ෂේත්‍රයට පැමිණීම සහෘදයන්ගේ භාග්‍යයකි. මක්නිසාද යත් ඒ යුගයෙහි ජනමාධ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන ධාරාව සුභාවිත ගී ඔසවා තැබූ හෙයිනි. එසේ නොවී ඔහු 1982 ඉපදී සහස්‍රකයේ (2000 දශකයේ) කලා ලොවට පිවිසුණි නම් මා හද අසපුව, සොවින් පිරි මගේ, දිනෙන් දින ඔබ මා වෙතින් බඳු එතුමාගේ සුමධුර ගීතවල ඉරණම කුමක් වේද? යන පැනයයි, මා ඇසුවේ. ගේය කාව්‍ය රචකයා, සංගීතවේදියා, ගායන ශිල්පියා කෙතරම් උසස් අයුරින් තම නිර්මාණශීලී කාර්යභාරය ඉටු කළත් අදාළ ගීතය සහෘදයා වෙත ගෙන යන වාහකය, යාන්ත්‍රණය නිසි ලෙස නියාමනය නොවුණහොත් අර කී සුගීතය හමස් පෙට්ටියේය. වචනයේ පරිසමාප්ත අරුතෙහිම අභිමානවත් කලාකරුවෝ නාළිකාවලට මුදල් ගෙවා හෝ තමන් සංවිධානාත්මකව තැපැල්පත්, ඉ. ර්. ඉ. දමා හෝ තම ගීත ප්‍රචාරය කරවා ගැනීමට වෙර දරන්නෝ නොවෙති.

මේ අතර “සුභාවිත ගීතය ඉදිරියට ගෙන යා හැකි තරුණ පරපුරක් පෙනෙන තෙක් මානයක නැතැයි” පවසා සිටින ඇතැම් ප්‍රවීණයෝ ද අප අතර සිටිති. ඉන් එක් පිරිසක් එසේ කියනුයේ විවිධ රැලිවලට, වහන්තරාවන්ට හසු වී ගසා ගෙන යන බහුතර තාරුණ්‍යය දැකීමෙන් හටගත් අවංක කනගාටුවෙනි. එහෙත් තවත් පිරිසක් එසේ කියනුයේ තමන්ගේ පරම්පරාවෙන් පසුව සියලු කලාවන් පිරිහෙනු දැකීමේ සාහසික චේතනාවෙනි. මෙරට ප්‍රවීණ පෙර පරපුරෙන් බුද්ධිමත් අනුප්‍රාප්තිකයන්, නවකයන් අපේක්ෂා කරන යුතුකම් දෙකක් ඇතැයි මම සිතමි. තමන්ගෙන් කලාවට ඉටු විය යුතු උත්කෘෂ්ට මෙහෙවර අදීනවත්, ආදර්ශ සම්පන්නවත් ඉටු කිරීම පළමුවැන්නයි. තමන්ගෙන් පසු සියලු කලාවන් ඉදිරියට ගෙන යන පරපුරක් බිහි කිරීමට හැකි සෑම අනුබලයක්ම, ගුරු උපදේශයක්ම නිහතමානීව, කුහක නොවී ලබා දීම දෙවැන්න වේ. යථෝක්ත යුතුකම් ද්වයම සපිරූ ප්‍රවීණ කලාකරුවන් පෙර පරම්පරාවල සිටින්නේ ඉතාම අතළොස්සකි. “පෙර උන් අය සිට වූ අඹ ගස්වල ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු ඵල, අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම’

මේ වූ කලී ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් රචනා කළ (පසුකලෙක ගීතයක් බවට ද පත් වූ “ළමා කව් කලඹ” කෘතියට ඇතුළත් වූ සුප්‍රකට කව් පෙළකි. අතීතයේ පාසල්වල නිර්දිෂ්ට ග්‍රන්ථයකි. ඉන් ඉඟි කෙරෙන්නේ යථෝක්ත යුතුකම පිළිබඳවය.

සුභාවිත හා පොදු ජන ගී දෙමඟ ගුවන් විදුලිය ඔස්සේ සරල ගී සහ ශාස්ත්‍රීය ගී ලෙස ද අතීතයේ වර්ගීකරණය කෙරිණ. මෙකී බෙදීම හරහා ගුවන් විදුලියේ එක් වකවානුවක ශාස්ත්‍රීය සංගීතයෙන් සරල ගීතය සුපෝෂණය කිරීමට අවධානය යොමු විය. එවක ගුවන් විදුලියේ බලධාරියකු වූ ආචාර්ය දයාරත්න රණතුංග ආරම්භ කළ ‘රාග රසාංග‘ වැඩසටහන මෙහිලා මූලික වූ බැව් මම සිතමි. කවුරුදෝ අර කවුළුවෙන් (ශාන්ති ගීතදේව / සනත් නන්දසිරි), චාමර පවන් සලා (අමරා රණතුංග), වස් දඬුරාවේ (අමරා රණතුංග), මගෙ මව්බිමේ (ලයනල් අල්ගම) වැනි සුලකළකුරු මියුරු ගී ඵල බිහි වූයේ “රාග රසාංග“ නිසාය. එවැනි ගී නිර්මාණ අද කෝ?

සංගීතය විශ්ව භාෂාවක් බව සැබවි. එහෙත් විශ්ව භාෂාවෙහි ද ජාතික අනන්‍යතාවක් තිබේ. පණ්ඩිත් රවි ශන්කර්ගේ සිතාර් වාදනයත් හරිප්‍රසාද් චවුරසියාගේ බටනළා වාදනයත් විශ්ව භාෂිතය. එහෙත් එහි විශ්වමය ගුණය මතු වන්නේ ඉන්දියානු ලකුණ හරහා නොවේද? දිමිත්‍රි ෂොස්ටොකොවිච්ගේ සංගීත සංධ්වනියක් විශ්ව භාෂිත වුවත් රුසියානු ලකුණ ඉන් ඉවත් කළ හැකිද? මේ අනුව ප්‍රශස්ත සංගීත නිර්මාණයක ජාතික සහ අන්තර් ජාතික අනන්‍යතා ද්වයම දිස් වේ. එහෙත් ගීතයේ ගේය කාව්‍ය රචනයෙන් සෘජුවම අදාළ ගීතය බිහි වන රටෙහි, ජාතියෙහි අනන්‍යතාව ප්‍රකට කෙරේ.

ගීතයක භාවිත බස අනුවය එය සිංහල, දෙමළ, හින්දි හෝ ඉංග්‍රීසි ගීතයක් වනුයේ. එහෙයින් මේ බස සංකර කරන්නන්ගේ දුර්ගීතවල අනන්‍යතාවක් සොයනු කිම. ලොව සියලු සංගීත සම්ප්‍රදායන් හදාරා එහි සරු තැන් පමණක් උකහා ගෙන ඉන් ආභාසය ලබා දේශජ අනන්‍යතාවෙන් යුත් සංගීත නිර්මාණ පෙරළා ලොවට දායාද කරන උසස් කලාකරුවා ලොවට ඒ ණය ගෙවා දමන බව වරක් රබීන්ද්‍රනාත් තාගෝර් සූරීහු පැවසූහ. එසේ නොකොට බස සංකර කරමින් විවිධ රැලි, වහන්තරාවන්ට අවිචාරයෙන් ගැති වන්නේ හීනමානයෙන් පෙළෙන මුග්ධයෝය, අනන්‍යතාවක් නැත්තෝය, විඤ්ඤ ගර්හිතයෝය.(පණ්ඩිතයා විසින් ගර්හා කරන ලද අය) කුමාරතුංග මුනිදාස මහා පඬිවරයාණෝ අතීතයේ තුන් කල් විනිවිද දකිමින් තම “විරිත් වැකිය” කෘතියේ ඔවුන් අරභයා මෙසේ ලියූහ. “බස නැසුණොත් රැස නැසේ. ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොහැඟි. මහ දද දන ගණ උපදින කලැ පරදෑ අනැගී” .

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.