ලංකා TV අන්දරය

අඹ යහළුන්ට මුලපිරූ හැටි
මාර්තු 5, 2020

මුල් වටයේදීම එය ප්‍රතික්ෂේප වුව ද මාගේ දැඩි ඉල්ලීම අහක දැමීමට නොහැකි වූ තැන තිර රචනයේ පිටපත ඔහු දිනක් රැගෙන යන්නේ අනුලා අක්කා සමඟ සාකච්ඡා කර වචනයක් දෙන බව මා හට පවසමිනි. ඉන් දින කිහිපයකට පසුව කොල්ලුපිටියේ පිහිටි දයා අයියාගේ ඡායාරූප ශාලාවට මට පැමිණෙන ලෙසට ප්‍රකාශ කර සිටිමින් ඒ සුබ ආරංචිය මා හට සැල කර සිටියේය. මාගේ ඉල්ලිම අහක දැමීමට බැරි හේතුවෙන් අනුලා අක්කාට බණ්ඩාර මැණිකේගේ චරිතය නිරූපණය කිරිමට අවසර දෙන බව ප්‍රකාශ කර සිටියේය. සුන්දර හදවතක් තිබූ දයා අයියා අනුලා කරුණාතිලක නම් රංගවේදනිය දෙවැනි වරට ද කලා ක්ෂෙත්‍රයට එසේ හඳුන්වා දී අකාලයේ අප අතරින් වියෝ විය. හේමසිරි ලියනගේ සහ අනුලා කරුණාතිලක නම් මහ රංග ප්‍රතිභාවන් ද්විත්වය යළිත් වරක් කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ ඓතිහාසික කාර්යභාරය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය තුළින් එසේ සිදු වූ අතර ඒ ගැන මෙනෙහි කරන සෑමවිටම පාහේ සුදත්ටත් මටත් ඇති වන්නේ වචනවලට ලඝු කළ නොහැකි සතුටකි.

සුදුසු නළු නිළියන් තෝරා ගැනීම සේම සෙසු නිර්මාණ කාර්යයන් සඳහා ද ප්‍රාගුණ්‍යයෙන් පිරිපුන් වෘත්තිකයින් තෝරා ගැනීම සඳහා සුදත් දැක් වූ දක්ෂතාවය අඹ යහළුවෝ ටෙලි නාට්‍ය වියමන භාවපූර්ණ කාව්‍යයක් ලෙසට අදටත් ප්‍රේක්ෂක සිත අද්දර ගැවසීමට ප්‍රධාන හේතුව ලෙසට සැලකිය හැක. එහිදී ගේය පද රචනයෙන් බන්දුල නානායක්කාරවසම් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් ආනන්ද ගමගේ දැක් වූ ප්‍රතිභාව අති සුවිශේෂී වේ. ජාතික රූපවාහිනියේ ළමා ඒකකයට මෙන්ම මුළු මහත් ජාතියටම අඹ යහළුවෝ වැනි නාට්‍ය නිර්මාණයක් යළි අවශ්‍ය වී ඇත.

(පසුගියදා අපෙන් සදහටම සමුගත් අනුර මාධව ජයසේකර ප්‍රවීණ අධ්‍යක්ෂවරයා මෙරට රූපවාහිනී ඉතිහාසය පිළිබඳ ලියූ අවසන් සටහන මෙය වේ)

Add new comment