දුප්පත් පොහොසත් දෙකක් ඕන නෑ

දුප්පතාගේ හිතවතා
මාර්තු 5, 2020

හැමදාම ගාමිණි ෆොන්සේකාගෙන් ගුටි කෑමට බැරි යයි ඔහුට සිතෙන්නට ඇත. ගාමිණීගෙන් පමණක් නම් කමක් නැත. විජය කුමාරණතුංගගෙන්,තිස්ස විජේසුරෙන්ද්‍රගෙන්, රොබින් ප්‍රනාන්දුගෙන්, පවා ගුටි කන්නට සිදුවේ. මේ සෙල්ලම හැමදාම කිරීමට බැරිය. දුෂ්ටයා වෙනුවට, එක වරක් හෝ වීරයා වී, අසාධාරනකම් කරන, හැත්ත ,බුරුත්තටම, කොනක සිට නෙළන්නට ඔහුට ඕනා විය.

වෙනදාට ගාමිණී,ගේ, විජයගේ පෙම්වතියන්ව උස්සගෙන ගොස් රේප් කරන්නට ඔන්න මෙන්න තිබියදී වීරයා ඇවිත් තමන්ට ගුටි දෙනවා වෙනුව⁣ට, තමාගේ පෙම්වතියක්ව දුෂ්ටයෝ උස්සගෙන යනවිට, ඔවුන්ට, උතුර දකුණ මාරුවෙන්නට ගුටි ඇන ඇයව බේරා ගෙන එන්නට ඔහුට ඕනා විය. අසාධාරණයට, අයුක්තියට විරුද්ධ වීමටද ඔහුට අවශ්‍ය විය. කව්රු හෝ එසේ විරුද්ධ වෙනවා නම්, ඔවු⁣න්ගේ හොම්බ රිවට් වෙන්නට අනින්නට ඔහුට ඕනෑ විය.

“දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නැ

භූමිය මට ලෝකේ

මේ රඟ භූමිය මට ලෝකේ”

බැප්ටිස්ට් ප්‍රනාන්දු තම ප්‍රථම තනි නිශ්පාදනය වූ 'දුප්පතාගේ හිතවතා' ඇරඹුවේ, ගාමිණි ෆොන්සේකාව අබිබවන්ට නොව, තමන්ටත් වීරයෙක් වීමට උවමනා නිසාය. කිසිවෙක් ඔහුව වීරයෙකුගේ චරිතයකට නොගන්නා නිසා ආවොත් ආවාවෙ, ගියොත් ගියාවෙ කියන න්‍යායෙන් ඔහු මෙය නිෂ්පාදනය කළේය. 'ඔහොම හොඳද' වැනි චිත්‍රපටවල ගාමිණීගෙන් කසෙන් පහර කෑ සිද්ධිය ඔහුට මතක තියෙන්නට ඇත. එමෙන්ම, 'කව්ද රජා', ' හොඳට හොඳයි' වැනි චිත්‍රපටවල ගාමිණී ෆොන්සේකාගෙන් හොඳ හැටි ගුටි කෑම හා 'තුෂාරා' චිත්‍රපටයෙදී විජය කුමාරණතුංගගෙන් කාපු කැවිල්ලත් ඔහුට මතක සිටින්නට ඇත. එහෙයින්, වීරයා වීමට තමා සුදුසුදැයි උරගා බැලීමට බැප්ටිස්ට් ප්‍රනාන්දු උත්සහ කළේ 'දුප්පතාගේ හිතවතා' නිෂ්පාදනය කරමිනි.

ආනන්දට කුඩා කාලයේදීම තම මවගෙන් වෙන්වී හිර ගෙදරට යන්නට සිදුවේ. ගමේ මදාවි කොලු රෑනක් දුප්පත් ගැහැණියකගේ පැල්පතක් ගිනිතබා පැන දුවන්නට විය. ඔවුන් පස්සේ පොලිසියත්, ගමේ මිනිස්සුත් එළවන්නට වූ අතර, ඒ අසලින් කඩේට පාන් ගෙන්නට යන කුඩා ආනන්දවත් මේ කොලු රෑනේ එකෙක් කියා සිතා ගමිමුන් ඔහුව පොලිසියට භාර කරන්නට විය. මේ අව්රුදු 10ක පමණ කුඩා ළමයා හිරේට ගොස් නැවත එළියට එන විට අව්රුදු 25ක පමණ තරුණයෙක් විය. ඒ වන විට ඔහුගේ මව පිස්සු හැදී පාරක් පාරක් ගානේ රස්තියාදු වේ. කෙසේ හෝ පුතා සහ මව අව්රුදු 15කට පසු පාරේදී හමුවූ පසු දෙදෙනා හඳුනා ගනී. ඇයගේ පිස්සුවද හොඳ වේ. ලංකාවේ සමහරක් වාණිජ චිත්‍රපටවල කථා හැදෙන්නේ එහෙමය. හැ⁣බැයි,ඒ වන විට මෙහෙම දේවලුත් වෙලා තිබුණි. කුඩා කල ආනන්දගේ පියා මැරයන් කීපදෙනෙක් පැමිණ, මරා දමා තිබූ අතර, ආනන්දට හිටි එකම සොහොයුරා කුඩා කාලයේම අතුරුදහන් කර තිබුණි.

60,70 ව දශකයේ වීරයා, නියෝජනය වන වාණිජ්‍ය චිත්‍රපටවල කථාශාරය හැදෙන්නේ වීරයා, දුෂ්ටයා, වීරයාගෙ කෙල්ල සහ වීරයාගේ සපෝටර් වූ ජෝකර් මතය. ගාමිණී ෆොන්සේකාගේ එකී වීර ගණයේ චිත්‍රපටවල චරිත හැදුණේත් ඒ රාමුව තුළය. අන් අතකට ඒ චිත්‍රපටවල වීරයා මුලින්ම අම්මා මෝ නැතිව ගුටී කයි. දුෂ්ටයා සහ ඔහුගේ ගැන්සිය, වීරයාට නෙලන්නේ, ලේ හලාගෙන වැටෙන්නටය. දුෂ්ටයා, වීරයාට එසේ ගසන්නේ කිසිදු හේතුවක් නොමැතිවය. අන් අතකට එහෙම හේතු අවශ්‍යයත් නැත. අවශ්‍ය වන්නේ, වීරයා ගැන ප්‍රේක්ෂකටන්ගේ සිත් තුළ දැඩි අනුකම්පාවක් ඇති කිරීමත්, දූෂ්ටයන් ගැන දැඩි වෛරයක් ඇති කිරීමත්ය. මෙය දමිළ, හා හින්දී සිනමාව තුළ බහුලව සිදුවන දෙයකි. එලෙසම, ඇමරිකන් හොලිවුඩ් සිනමාවේද මෙය සිදුවේ. සිල්වෙස්ටර් ස්ටෙලොන්, 'රැම්බෝ' හා 'රොකී' චිත්‍රපට මාලාවේද, මුලින් අම්බානෙකට ගුටි කයි. ඉන් පසු අනෙක් අවස්ථාවේදීය ඔහු ඔවුනට නෙළන්නෙ.

ආනන්දද එසේය. හිර ගෙදරින් පැමිණ ඔහු එකතු වෙන්නෙ මුදල් ඔට්ටු වලට බූරුවා ගහන තැනකටය. ආනන්ද එතනත් යුක්තිය සාධාරණය ගැන කථා කරයි. එවිට ඔහු එතැන සිටි මැරයන්ගෙන් ලේ පෙරාගෙන වැටෙන්නට ගුටි කයි. එහෙත් ඔහු ගුටිකාගෙන නිශ්ශබ්දව එයි. ඒ දුටු ඔහුගේ ජෝකර් යහළුවෝ දෙදෙනා එසේ නිහඩව ආ එක ගැන ආනන්දට බැණ වැද, ඔවුන් දෙදෙනා අර මැරයන් ලඟට යන්නෙ ඔවුන්ට ගුටිඅනින චේතනාවෙනි. එහෙත් සිදුවෙන්නේ මැරයෝ ටික, ඔවුන් දෙදෙනාව, වැටකොළු, පතෝල කඩන ආකරයට කඩා දැමීමයි. තම යහළුවෝ දෙදෙනාට මැරයන් ගැසූ ආකාරයට නමි ආනන්දට මල පනී. ඔහු වහාම ගොස් ඒ මැරයන් දහ පහලොස් දෙනාවම 'නොකවුට්' කරන්නේ හරියට 'රැම්බො'ල 'ටර්මිනේට'ල, කෙරුවා වගේය. දැන් ආනන්ද වීරයාය. ඒ වගේම බැප්ටිස්ට් ප්‍රනාන්දුත් දැං ටික ටික වීරයා හැටියට 'යූ ටර්න්' ගසයි.

මේ අතර ආනන්දට කෙල්ලෙක් සෙට් වේ. කෙල්ල, එසේ මෙසේ එකක් නොව, දොස්තර වරියකි. ඇය ආනන්දගේ නිවසට ඇයගේ වාහනයෙන්ම පැමිණ ඔහුගේ මවට නොමිලයේම වෙදකම් කරයි. ආනන්ද කියන්නේ ඔහු 'ක්ලීන් සූට් එම්ටි පොකට්' කියාය.

ඒ සමඟම කෙල්ල වූ දොාස්තර රූපා ගේ 'බර්ත් ඩේ' එක සෙට් වෙයි. දැං රූපා මේ බර්ත්ඩේ එකට ලොකු පාටියක් ගන්න බවත්, ආනන්දට 'ඉන්වයිට්' කරන බවත්, ඒ අතරේ රූපාව කසාද බැදීමට බලාපොරොත්තුවෙන් සිටින, ඇයගේ මව හෝ පියා විසින් යෝජිත කරන මනමාලයාද පැමිණෙන බවත්,ඒ අව් අස්සේ රූපා, ආනන්දට ගීතයක් ගයන්නට ආරධනා කරන බවත්, ආනන්ද තමන් ගීත ගයන්නට නොහැකියැයි කියමින් ලැජ්ජාවෙන් ඇඹරෙන බවත්, ඒත් රූපා සහ ඇගේ යෙහෙළියන්ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා ඔහු ගීතයක් නට නටා ගයන බවත් ප්‍රේක්ෂකයන් ඉවෙන් මෙන් දැනගෙන සිටියහ. මේවා අප මින් පෙර චිත්‍රපට ගණනාවකම මේ අයුරින්ම දැක තිබුණි. 'සුජීවා', 'හතර දෙනාම සූරයෝ', වැනි චිත්‍රපට සිහියට ඒම වැළැක්විය නොහැක . හින්දි, දමිළ චිත්‍රපටවල නම් එය අනිවාර්ය අංගයක් විය.

'දුප්පතාගේ හිතවතා' චිත්‍රප⁣ටයේද, එය එයාකාරයෙන්ම සිදුවිය.රූපාගේ 'බර්ත්ඩේ' පාටියදා ඇය ආනන්දට ගීතයක් ගැයීමට ආරධනා කල අතර, ඒ දෙස රව රව බලා සිටියේ අර යෝජිත මනමාලයා වූ රොනීය. මෙහී නම් ඒ රොනී නිකම්ම නිකම් පුද්ගලයෙක් නොව ඔහු පොලිස් ඉන්ස්පැක්ටර් වරයෙකි. ආනන්ද මුලින්ම කියන්නේ තමන්ට ගීත ගැයීමට නොහැකියි කියාය. එහෙත් රූපා හා ඇයගේ යෙහෙළියන්ගෙ පෙරැත්තයට, ඔහුට නට නටාම ගීතය ගයන්නට සිදුවිය.

“නට නටා රඟ දෙන්නට නම් 
දන්නේ නෑ රස ගී පද මං 
නට නටා රඟ දෙන්නට නම් 
දන්නෙ නෑ රස ගී පද මං 
ඩාඩ ඩාඩා ඩඩඩඩ 
ඩා ඩා ඩ ඩා ඩා ඩඩ ඩඩඩා”

දුප්පතාගේ හිතවතා චිත්‍රපටය, අධ්‍යක්ෂණය කිරීමට බැප්ටිස්ට් භාර දී තිබුණේ, එස්. වී.චන්ද්‍රන්ටය. ඔහූ එම චිත්‍රපටය නිර්මාණය කර තිබුණේ ගාමිණී ෆොන්සේකා රඟපෑ 'ඔහොම හොඳද?' අකෘතියේමය. එය වඩාත් තිව්ර වූයේ, ආනන්ද 'ක්ලබ්' එකේ වැඩට ගිය පසුවය. ඒ ක්ලබ් එකේ ක්‍රියාකාරකම් බොහෝමයක්, 'ඔහොම හොඳද' චිත්‍රපටයේ සිදුවීම් වලට සමාන විය.

ආනන්ද ක්ලබ් එකට වැඩට යන්නෙ තම මවව සම්පූර්ණයෙන්ම සුව කර ගැන්මට මුදල් සෙවීමටය. 'ක්ලබ්' අයිති කරුවන් ආනන්දව ක්ලබ් එකට වැඩට ගන්නේ ඔහු සූදු අන්තයෙකු නිසාය. එහිදී ඔහුට ආශා නම් ක්ලබ් නැටුම් ශිල්පිනියක් හමුවිය.

“සිහිලැල් සළු පලදාලා 
සුවදැති අංජන ගාලා 
මුකුළු සලා-නිතඹ සලා 
රඟපාලා , ලල්ල ලලලාල”

ආශාද ආනන්දට ලෙන්ගතු පෑවද, ඔහු ආදරයෙන් බැදුණේ දොාස්තර රූපා සමඟය. රූපාද ආනන්දට අතේ සතේ නැතිව සිටියද ආදරේ කරන්නට විය. මොවුන් රෝමියෝ ජුලියට් පෙලපතින් පැමිණි අයදෝ කියා විටෙක සිතේ. කෙසේ හෝ ඔවුන් දෙදෙනාගේ ආදරය, සිංදුවකට, දෙකකට පමණක් සීමා විය.

“ජීව රජ දහනේ 
මහද රන් අසුනේ 
පබා කැන් ගෙනෙමි 
වෙසෙන කුමරියනේ 
හෝ හො, හෝ හෝ.....”

ක්ලබ් එකේ වැඩට ගියාට පසු ආනන්දගෙ අතේ සල්ලි ගැවසෙන්නට විය. ක්ලබ් එකේ අයිතිකරු සිටින්නේ අඳුෙර්ය. කිසිවෙකුට ඔහුව දකින්නට නොලැබේ. හඬ පමණක් ඇසේ. ඒ කෑලි නම් එස්.වී.චන්ද්‍රන් ⁣හොයාගෙන තිබුණේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවෙන්ය. එහීද,හඬක් පමණක් ඇසෙන, කිසිදාක නොදකින 'බොස්' කෙනෙක් සිටි. 'දුප්පතාගේ හිතවතා' චිත්‍රපටයේද එසේය. මේ අතරේ ආනන්දට හා රූපාට ආදර බර හීන පෙනේ. ඒ හීනවලින් පෙනෙන්නේද ඔවුන් දෙදෙනා සින්දු කියමින් ආතල් ගන්න හැටිය.

“සියල්ලෝ සතුන් උදම් කෙරේ 
වැරද්දක් නොවේ ප්‍රියේ අපේ 
පතා ආ විලාසේ මේ තමයි 
සදාකල් , සදාතැන් මා ඔබෙයි”

එස්.වී.චන්ද්‍රන්ගෙ,බැප්ටිස්ට් ප්‍රනාන්දුගෙ චිත්‍රපටවල තියෙන හොඳකම නම්, චිත්‍රප⁣ටයේ එකම එක දර්ශනයක් දුටු පසු, ප්‍රේක්ෂකයන්ට, එහී අග, මැද හා අවසානය ටක්කෙටම හිතා ගත හැකි වීමය. 'දුප්පතාගේ හිතවතා ' චිත්‍රපටය ඊටත් වඩා ලිහිල් ක්‍රමවේදයක් විය. ඒ නම කිව් සැණින්ම සම්පූර්ණ චිත්‍රපටය සිතා ගැන්මට හැකි වීමය.

ආනන්ද ක්ලබ් එකට ගොස් ඇඟට දැණුනු දෙයක් කරන්නේද නැත. ක්ලබ් එකේ එහාට මෙහාට ඇවිදිනවා, ටේබල් ටෙනිස් ගසනවා හැරෙන්නට. එහෙත් මුළු චිත්‍රපටයේම කථාව ගෙතී තිබුණේ ආනන්ද වටාය. ආනන්දට තම නැතිවූ සොහොයුරා අවසානයේදී හමුවන බවත්, එසේ හමුවන තෙක් දෙදෙනාම එක ලඟම සිටින බවත්, ප්‍රේක්ෂකයන් මුල සිටම දන්න දෙයකි. ඔවැනි අකෘති තුළ හැදෙන චිත්‍රපටවල එවැනි දේ ඉතාමත් සාමාන්‍ය සිදුවීම්ය. අවසානයේ අයියා, මල්ලි, අම්මා කියාගෙන ඔක්කොමල්ලා බදා ගන්නා බවත් ප්‍රේක්ෂකයන් දනී. එලෙසම කව්රු හෝ තද පොරක් රිමාන්ඩ් ගත වෙන බවත්, චිත්‍රපටය එතැනින් අවසන් කරන බවත් ප්‍රේක්ෂකයන් දන්නේ චිත්‍රපටය පටන් ගැනීමටත් ප්‍රථමය. මෙවන් චිත්‍රපටවලින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. 'දුප්පතාගේ හිතවතා' කථාව සිදුවූයෙත් ඔය ආකාරයටමය. එහෙත් එය ව්නෝදාත්මක චිත්‍රපට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන්ව රඳවා තබා ගැන්මට හැකි අටුවා ටිකා වලින් පුරවා තිබුණි.

ආනන්දගෙත්,රූපාගෙත් ආදරයට ලොකු ගැටලු තිබුණේ නැත. රොනීගේ මැදිහත් වීමද ලොකු වාතයක් වූයේ නැත. එහෙත් අවසානයේදී එම ක්ලබ් එකේ කැසිනෝ, ටොම් බොලා වැනි දෑ තුළින් අයාථ ලෙස මුදල් හම්බ කරමින්, එම ක්ලබ් එක පවත්වා ගියේ රූපාගේ පියාය. ඔහු දවල් මිගෙල්, රෑ ඩැනියෙල් චරිතයක් විය. ක්ලබ් එක තුල ඔහුට ලැබෙන ආදයම එකී භාරවී සිටින අය ලබා නොදුන හොත් ඔවුන්ව මරා දැමීමට පවා ඔහු පසුබට නොවීය. අවසානයේ ඔහුගේ වෙස් මුහුණු සමාජ⁣ය ඉදිරියේ ගලවා දැමීමට රොනී හා ආනන්දට හැකි වූ අතර,

ඔවුන් දෙදෙනා සහෝදරයෝ බවද හඳුනා ගනී. රූපාගේ පියා හිරේට යන අතර, ආනන්ද හා රූපා එක්වේ.ක්ලබ් ගර්ල් කුමක් හෝ වෙඩිල්ලකින් ආනන්දව බේරීම පිණිස, මැද්දට පැන තම ජීවිතය පුදයි. එකල හින්දි චිත්‍රපට වල හෙලන් වැනි නාට්‍යංගනාවියක් සිට්යහොත් අනිවාරයෙන්ම සිද්ධ වෙන්නෙ ඇයට ඔවැනි අන්දමට මැරෙන්නටය. මෙහීද සිදුවූයේ එ⁣යමය.

" දුප්පතාගේ හිතවතා " වාණිජ්‍ය අතින් සාර්ථක විය. බැප්ටිස්ට් ප්‍රනාන්දු , ඔහුගේ ඉලක්කය සපුරාගති. ඒ 'හීරෝ වීමය.. එතැන් පටන් ඔහු ඔහුගේම චිත්‍රපටවල හීරෝම විය.

ආනන්ද ලෙස බැප්ටිස්ට් ප්‍රනාන්දුත්, රූපා ලෙස නීටා ප්‍රනාන්දුත් රඟ පෑ අතර, එච්.ඩී.කුලතුංග, රෙක්ස් කොඩිප්පිලි, එඩී ජයමාන්න, ෆරීනා ලායි, ශාන්ති ලේඛා, දොන් සිරිසේන, බී.එස්.පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, වින්සන්ට් වාස්, අරුණ ශාන්ති, පියදාස විජේකෝන් සෙසු චරිත රඟපෑහ. රොනී ලෙස රඟපෑවේ සුප්‍රකට නැටුම් අධ්‍යක්ෂක රොනල්ඩ් ප්‍රනාන්දුය. සංගීතය එම්.කේ.රොක්සාමි ගෙනි.

1974 ඔක්තෝබර් 2 වනිදා සිට තිරගත කිරීම ආරම්භ කෙරු 'දුප්පතාගේ හිතවතා " චිත්‍රපටය කථාව, තිරනාටකය හා අධ්‍යක්ෂණය එස්.වී. චන්ද්‍රන්ගෙනි. සෙවන් ආට්ස් චිත්‍රපටය වෙනුවෙන් මෙය නිෂ්පාදනය කළේ බැප්ටිස්ට් ප්‍රනාන්දුය.

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක