ඔහු නමින්

ප්‍රථම ගීතය ලියූ මිතුරා කවුරුන්ද?
මාර්තු 5, 2020
ආචාර්ය අජන්තා රණසිංහ

 

පසුගියදා ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ දුහිතෘ සාරංගා රණසිංහ සොහොයුරිය දුරකථනයෙන් මා ඇමතුවාය. ඇය මේ දිනවල තම පියාණන්ගේ ප්‍රකට ගීත සමඟ නොපළ ගීත ද එක් කොට ගේය කාව්‍ය සංග්‍රහයක් පළ කිරීමට සූදානම් වන බව පවසා ඇතැම් දුර්ලභ ගීතවල පදමාලා සොයා දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය.

සාරංගාත් මාත් අතීතයේ අපගේ සුන්දර ළමා කාලයේ බොහෝ දෑ සිහිපත් කළෙමු. අජන්තා රණසිංහයන් කයෙන් අප හැර ගොස් පසුගිය පෙබරවාරි 27 වැනිදාට සිවු වසරක් සපිරිණ. අවශේෂ බොහෝ මහා කලාකරුවන් සේම අජන්තාවනුත් හඳුනා ගැනීමට ලැබුණේ මා බහ තෝරන වියේදීය. ඒ ඔහු මා පියාණන්ගේ සමීප මිතුරකු වූ නිසාය. අද මා සේවය කරන ලේක්හවුස් ආයතනයට කුඩා කාලයේ තාත්තාගේ අතේ එල්ලී පැමිණි බොහෝ අවස්ථාවල “අජන්තා අන්කල්ගේ” ඇසුරත් මට ලැබිණ. එකල මා පියාණන් සරසවිය පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා වූ අතර සරසවිය කර්තෘ මණ්ඩලයට යාබදව, වෙන් නොකොට, සමීපයේ නවයුගය කර්තෘ මණ්ඩලය පිහිටා තිබුණි. නවයුගය ප්‍රධාන කතුවරයා අජන්තා රණසිංහයන්ය. අපූර්ව රසවතකු වූ ඔහු මා කාර්යාලයේ සමීපයේ සිටී නම් බොහෝ රස කතා තාත්තා සමඟ පැවසුවේ ස්වයං වාරණයෙන් “හොඳම හරිය” සංස්කරණය කිරීමෙන්ය. එහෙත් පසු කාලයේ මා තරුණ අවධියට එළඹීමත් සමඟ කිසිදු සංස්කරණයකින් තොරව ඔහු එදා නොකී “හොඳම හරිය” මා සමඟ හුවමාරු කොට ගත්තේය.

එකල බහුලව පැවැති ප්‍රිය සම්භාෂණවලදී බොහෝ කලාකරුවන් හමු වුණත් විවිධ මිත්‍ර සන්ථව කණ්ඩායම් සැදී නිතර හමුවන ප්‍රිය සාද ද දක්නට ලැබිණ. මේ බොහෝ මිතුරු කණ්ඩායම්වල මගේ දෙමවුපියෝ ද සාමාජිකයෝය. නිතර රැස්වන එබඳු එක් මිතුරු කණ්ඩායමක් මගේ සිහියට නැඟේ. රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රීති රන්දෙණිය, සරත් දසනායක, ප්‍රීති දසනායක, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ඇන්ටන් අල්විස්, චන්ද්‍රිකා සිරිවර්ධන, හර්බට් රන්ජිත් පීරිස්, බුද්ධි කීර්තිසේන, රන්සීලි කීර්තිසේන, ටී අර්ජුන යනාදීහු මෙසේ නිතර ඔවුන්ගේ නිවෙස්වල හෝ අපේ නිවසේ හමු වූහ. අජන්තා රණසිංහ, සරෝජනි අමාලිය යුවළ මේ මිත්‍ර සන්ථවයේ අනිවාර්ය සාමාජිකයෝය. වැඩිහිටි පරපුර මෙසේ එකතුවත්ම ඔවුන්ගේ දූ දරුවෝ ඒ අසලම ළමා මිතුරු සන්ථවයකට එක් වෙති. අජන්තාවන්ගේ දියණිය සාරංගා, පුත් දේවා සමඟ මගේ ඇසුර ඉන් ගොඩනැඟිණ. එහෙත් මේ ප්‍රිය සම්භාෂණවලදී මා ගත කළේ දෙබිඩි ජීවිතයකැයි මම සිතමි. මගේ එක් සවනක් අපේ ළමා කණ්ඩායමට යොමු කරද්දී අනෙක් සවන වැඩිහිටි කතාබහට හොර රහසේ හෝ සෘජුව යොමු වී තිබිණි. කලාවට තිබූ සංසාරගත ඇල්ම හේතු කොට මේ ප්‍රවීණ වැඩිහිටි කලාකරුවන්ගේ මුවින් ගිලිහෙන අත්දැකීම්, ඥාන සම්භාරය, රසකතා දියට හඬන කෑදැත්තකු ලෙස අවශෝෂණය කොට ගැනීමට මම පෙලඹුණෙමි.

කරුණාරත්න අමරසිංහ

පුවත්පත් කලාවට මා හඳුන්වා දෙන ලද්දේ අජන්තා රණසිංහ ගුරු දේවයාණන් විසිනි. ඒ 1992 වසරේදීය. එවක මම කොළඹ ආනන්ද විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. ප්‍රවීණ සාහිත්‍යවේදී කේ. ජයතිලක සූරීන්ගේ කෘති කියවා ඔහුගේ ලේඛන ශෛලියට ආසක්තව සිටි මම එවක යෙදී තිබුණු එතුමාගේ 66 වැනි ජන්ම දිනය අලළා ලිපියක් ලිවීමට සිතුවෙමි. ම විසින් රචනා කරන ලද පුවත්පතක පළ වූ ප්‍රථම ලිපිය මෙය වේ. “හැට හය වියපත් කේ. ජයතිලක නම් ඒ ලේඛකයා” යන හිසින් 1992 ජූලි 22 වැනිදා නවයුගය පුවත්පතෙහි එය පළ විය. මෙය පළ කොට දෙමින් පුවත්පත් කලාවට එදා මා හඳුන්වා දෙන ලද්දේ එවක නවයුගය අග සකසු අජන්තා රණසිංහයන්ය. එතැන් සිට 2016 දී ඔහු මියයන තෙක්ම අප අතර සමීප ඇසුරක් පැවතිණ. එතුමා මට ඉතා ආදරයෙන් “පුතා” යනුවෙන් ආමන්ත්‍රණය කළත් අප නිබඳව කතාබහ කළ දේ තුළ තිබුණේ වැඩිහිටි - බාල සම්බන්ධයක් නොව මිතුරු සබඳතාවකි. තම පෞද්ගලික ජීවිතයත් කලා ජීවිතයත් පිළිබඳ බොහෝ දේ ඔහු ඉතාම අව්‍යාජව සෘජුව මා හා කතාබහ කළේය. අජන්තා රණසිංහයන් තම ජීවිතයේ අවසන් භාගයේ ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක ධුරයක් හෙබ වූයේය. ඔහු පැරැණි රසාලිප්ත ගීත හා එහි ඉතිහාසය රැගත් “පැරැණි පැණි” නමින් සාරගර්භ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්්පාදනය කරමින් මෙහෙය වූ අතර ඊට බොහෝ අවස්ථාවල මා සම්පත් දායකයකු ලෙස සහභාගි කොට ගත්තේය.

අජන්තා රණසිංහයන්ගේ කීර්තිමත් පත්‍ර කලා ජීවිතයටත් වඩා ප්‍රශස්ත ගේය කාව්‍ය රචකයාගේ භූමිකාව පෙරට ආ බැව් සිතීම සහේතුකය. මෙරට එදා මෙදා පහළ වූ විශිෂ්්ට ගේය කාව්‍ය රචකයන් නම් කළොත් ඒ ප්‍රශස්ත අතළොස්සට අජන්තා රණසිංහයන්ගේ නාමයද අයත් වන බවට විවාද රහිතය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තලම්මැහැර ග්‍රාමයේ අජන්තා උපත ලැබූවේය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. මව ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරියක සහ පසුව තැපැල් ස්ථානාධිපතිවරියක ලෙස සේවය කළාය. කුඩා කාලයේ සිටම අජන්තා පොත් පත් කියවීමට රුචි කළේ්්ය. බුදුගුණාලංකාරය, ගණ දෙවි හෑල්ල, පත්තිනි හෑල්ල වැනි කෘති මුලින්ම ඔහු හදාළේය. අජන්තාට තම මාමා කෙනෙකු වූ අශෝක පීරිස්ගේ ආභාසය ද ලැබිණ. ඔහු පුවත්පත්වලට කවි, කෙටි කතා ලියුවේය. මේ මාමා හමුවීමට ජෝන් රාජදාස (මීවදය සඟරාව පළ කළ), උපනන්ද බටුගෙදර, කපිල සෙනෙවිරත්න වැනි කොළඹ යුගයේ කවීහු නිතර නිවසට පැමිණියහ. කවිකමට ඇල්මක් ඇතිවීමට කුඩා අජන්තාට මෙය ආභාසයක් විය.

ඔහු සිප් සතර හැදෑරුවේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙහිය. ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී, සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ සහ ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර එහි එකම පන්තියේ ඉගෙනුම ලැබූ අජන්තාගේ සමීප මිතුරෝ වූහ. ප්‍රවීණ ගත් කතුවර, පරිවර්තක කේ. ජී. කරුණාතිලක සූරීන් පන්ති භාර ගුරුවරයා වීම මේ සිසුන්ගේ භාග්‍යයකි. දිනක් කරුණාතිලක මහතා “අනාගතයේ අපගේ බලාපොරොත්තුව“ මැයෙන් රචනාවක් ලිවීමට ශිෂ්‍යයන්ට පැවරුවේය. එකම පන්තියේ ඉගෙනුම ලැබූ අජන්තා, කරුණාරත්න අමරසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර යන තිදෙනාම එවක සිහින මැවුයේ කෙදිනක හෝ ලේක්හවුස් ආයතනයට බැඳී පුවත්පත් කලාවේදීන් වීමටය. තමන් ලියන්නේ කුමක්දැයි එකිනෙකා නොදැන මේ අනාගත අපේක්ෂාව අරභයා ඔවුහු රචනාව ලියූහ. කරුණාතිලක සූරින්ගේ අවධානය මේ ශිෂ්‍යයන් තිදෙනා වෙත යොමු වී තිබිණ. එකෙණෙහිම මේ තිදෙනාගේ සිහිනය අරභයා කරුණාතිලකයෝ මෙසේ කීහ.

“මමත් එතැනට ගිහිල්ලයි ආවේ ළමයිනේ. කැපිලි කෙටිලි නිසා පත්තර රස්සාව මට එපා වුණා. ඔය ළමයිනුත් අමාරුවේ වැටෙන්න එපා” යථෝක්ත ගුරු භාෂිතයෙන් එකී තරුණයෝ තම අධිෂ්ඨානය වෙනස් කොට නොගත්හ, පාසල් අධ්‍යාපනයෙන් පසුව පත්‍ර කලාවට ප්‍රවිෂ්ට වීමට සිතූහ. අවසන කරුණාරත්න අමරසිංහයන් පමණක් ගුවන් විදුලි ක්ෂේත්‍රයට වඩා නැඹුරු වූ අතර අජන්තා රණසිංහයන් හා තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ලේක්හවුස් ආයතනයට බැඳී පසුකලක අග සකසු ධුර හෙබ වූහ.

ලෙස්ලි අශෝකා

කිසිදු විශිෂ්ට කලාකරුවකු ඕපපාතිකව, ආකස්මික ලෙස ප්‍රාදුර්භූත නොවුණි. අජන්තා රණසිංහ ද එසේමය. ප්‍රතිභාව, දෙමවුපිය හෝ ගුරු ආභාසය, අසීමිතව පොත පත කියවීමෙන් ලබන්නා වූ ස්වාධ්‍යාය, බහුශ්‍රැත මිතුරු ඇසුර, පණ්ඩිත සේවනය, ප්‍රශස්ත කලා කෘති රස විඳීමෙන් ලැබෙන පරිචය, සතතාභ්‍යාසය යනාදිය විශිෂ්ට කලාකරුවකු බිහි වීමට මඟ පෙන්වා දේ. අජන්තාවන් පෙර කී ලෙසට කුඩා කාලයේ සිට අසීමිතව පොත පත කියවූයේය. තම ගැමි ජීවන රටාවෙන් අනුභූතීන් උකහා ගත්තේය. තම මාමාගේ ආභාසයෙන් කවිත්වයට පෙම් බැන්දේය. කේ. ජී. කරුණාතිලක වැනි විශිෂ්්්ට සාහිත්‍යවේදීන්ගේ ගුරු ඇසුර ඔහුට ලැබිණ. එපමණක්ද? නහඹු වියේදී ඔහු සමීපව ඇසුරු කළ මිතුරන් සියලු දෙනාම පාහේ ඔහු මෙන්ම ශාස්ත්‍ර පිපාසිතයෝ වූහ. එකල ශාන්ත ජෝන් විදුහල පිහිටි නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශවල වාසය කළ කලා ශාස්ත්‍ර ළැදි මිතුරන් “හත් හවුලක්” දක්නට ලැබිණි. අජන්තා රණසිංහ සමඟ මේ හත් හවුලට එකතු වූ මිතුරන් සය දෙනා මෙසේය. සුනන්ද මහේන්ද්‍ර (පසු කලෙක මහාචාර්ය), කරුණාරත්න අමරසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, දයාරත්න රණතුංග (පසුකලක ආචාර්ය), ස්වර්ණ ශ්‍රී බණ්ඩාර හා අශෝක කොළඹගේ.

මේ මිතුරෝ සත් දෙනා නුගේගොඩ සරසවි පොත්හලේ (වත්මන් සරසවි පොත් හල නොව) හෝ ඒ අසල පිහිටි අවන්හලක බොහෝ විට රැස් වූහ. කලාව, සාහිත්‍යයේ නොයෙක් දෑ පිළිබඳ ශාස්ත්‍රීය සංවාද, තර්ක, විතර්ක, විසංවාද ගොඩනැඟුහ. අන්‍යෝන්‍ය ප්‍රතිපෝෂණය ලැබූහ. ඒ 50 දශකයේ අග භාගය විය. එකල අජන්තා ලීවේ කවි පමණි. මේ මිත්‍ර සන්ථයේ සිටි කරුණාරත්න අමරසිංහ ගීත රචනයට පිවිස සිටියේය. එකල ශ්‍රේණිගත ගායන ශිල්පීන්ට ගුවන් විදුලියේ විනාඩි 15 ක සරල ගී වැඩ සටහනක් හිමි වන අතර එමඟින් අලුත් ගීත තුනක් ප්‍රචාරය කළ හැකි වේ. ප්‍රවීණ ගායන ශිල්පියකු, වාද්‍ය ශිල්පියකු වූ ලෙස්ලි අශෝකාගේ සරල ගී වැඩසටහනකට ගීත 3 ක් ලිවීමේ අවස්ථාව කරුණාරත්න අමරසිංහයන්ට ලැබිණ. පෙර කී ලෙසින් කවි පමණක් ලියමින් සිටි අජන්තාව ගීත රචනයට ද පෙලඹවීමට මිතුරු කරු උත්සාහ දැරුවේය. එහෙත් ඔහු ලවා ගීතයක් ලියවා ගැනීමට නොහැකි විය.

පසුව “රඟන තාලේ ලලනිය” ඇතුළු ගීත 3 ක් කරුණාරත්න අමරසිංහ ලියා ලෙස්ලි අශෝකා ගැයුවේය. එහෙත් කරු මෙහිදී අපූර්ව උපක්‍රමයක් අනුගමනය කළ බව අදත් බොහෝ දෙනා නොදනිති. එනම් ඔහු ලියූ පළමු හා තෙවැනි ගීතවලට පමණක් පබැඳුම ලෙස තම නම සඳහන් කොට දෙවැනි ගීතයෙහි ගේය කාව්‍ය රචකයා අජන්තා රණසිංහ ලෙස ප්‍රචාරය කළේය. පසුකලක අමරණීය, සුමධුර ගී උල්පතක් පාදා දුන් අජන්තා එවක කිසිදු ගීතයත් ලියා නොතිබිණි. සන්මිත්‍ර කරුණාරත්න අමරසිංහ තම සගයා වූ අජන්තා ගී රචනයට පොලඹවනු සඳහා තමා ලියූ ගීතයකට අජන්තාගේ නම මුල්වරට යෙදීම කෙතරම් නම් අපූර්ව සිදුවිමක්ද? පසුව ගුවන් විදුලි නාට්‍ය කලාවට නැඹුරු වූ කරු ගීත රචනයෙන් සපුරාම දුරස්ථ වූයේය. එකල කවි පමණක් ලියමින් සිටි අජන්තා පසුව පද්‍ය රචනයෙන් බැහැර වී මුළුමනින්ම ගේය කාව්‍ය රචනයට පිවිසියේය.

 

ඉතිරි කොටස ලබන සතියේ

Add new comment