ලොකු දුව ආපහු ඇවිත්

මාර්තු 5, 2020

ලොකු දුව ඔබ කියවා ඇති, නරඹා ඇති. එඩ්වඩ් මල්ලවආරච්චි විසින් 1979 වසරේ නිර්මාණය කරන ලද මෙහි හතරවැනි මුද්‍රණයට පවා අධික ඉල්ලුමක් ඇත්තේ කුමක් නිසාද? අපි සොයා බලමු.

 

ලොකු දුව ඔබ ලීවේ 1979 වසරේ. මේ දක්වා එයට ඉල්ලුම නම් අඩු වුණේ නැහැ. හේතුව?

ලොකු දුව ඇත්තටම සාමාන්‍ය මිනිසුන් පිළිබඳ අසාමාන්‍ය කතාවක්. මෙය පැහැදිලිවම මේ සමාජයේ ප්‍රශ්නයක් අළලා තමයි රචනා වුණේ. ඒ යුගයේ මම වැඩකළ රාජ්‍ය ආයතනය පිහිටියේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදි සියලු ජනකොට්ටාස වාසය කළ ප්‍රදේශයක. වොක්ෂොල් වීදිය, පුංචි බොරැල්ල, කැටවලමුල්ල, ඉබ්බංවල වගේ නාගරික පෙදෙස් ආශ්‍රිතව ජීවත් වූ මිනිසුන් අතර සිදු වූ ජනතාවට සමීපතම කතාවක්, මධ්‍යම පන්තික ජනතාව එදා වගේම අදටත් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසා තමයි මෙය හෘදයාංගමව රසිකයන් වැලද ගන්නේ.

 

මෙයට පසුබිම් වූ සම‌ය රටේ දේශපාලනික වශයෙන් දැඩි පෙරළියක් සිදු වූ යුගයක්?

ඔව්. හැත්තෑ ගණන්වල ආරෙම්භ වුණු විවෘත ආර්ථික සමයේ සම්පත් විකිණෙනවා. අප සේවය කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඇතුළු, ලුණු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව වැනි ආයතන විකිණෙනවා. අප සමඟ සිටි දහස් ගණනකට රැකියා අහිමි වෙනවා. ඔවුන්ගේ පවුල් ජීවිත අවුල් වෙලා කැඩිලා ගියා. අදටත් ඒ නිසා දුක්විඳීන අය ඉන්නවා. සමාජයට මෙය මුහුණ දෙන්නන බැරි ප්‍රශ්නයක් වුණා. ඒ අතර ඇඟලුම් කර්මාන්ත ශාලා වගේ රෙදි කර්මාන්ත හඳුන්වා දෙනු ලැබුවා. මේ කතන්තරයේ එන මාරසිංහලා වගේ ධනපතියන් කාන්තාවන්ගේ ශ්‍රමය වගේම ලිංගිකත්වය සූරා කන ඒ කම්හල් රටේ අස්සක් මුල්ලක් නෑර ස්ථාපනය කරන්න ගත්තා. ඒ ඔස්සේ පවුල්වල සිටි ගැහැනු ළමයි, හරියට මේ කතාවේ පුණ්ණා පලිහවඩන වගේ පවුලේ ලොකුදුවලාට මේ සමාජයේ අත් වූ විවිධ අතවර සහ ඇය වැන්නියන් සමාජයේ විකිණී ගිය අයුරු පිළිබඳ ප්‍රශ්නය මෙහි කතා වෙන නිසා ලොකුදුව හුදු ප්‍රේම කතන්දරයක් නොවන බව රසිකයන් දැනගත්තා.

 

මෙය පසුබිමේ සත්‍ය කතාවක් ගැබ් වෙනවාද?

නෑ. සමාජයේ මෙවැනි සිදුවීම් ඇති වුණා මිස මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් වූවක් නොවේ. හුදු පරිකල්පනීය, නිර්මාණාත්මක කතාවක්. පොදුවේ පහළ මධ්‍යම පාන්තික, විශ්‍රාම ගැනීමට ආසන්න වයසේ සිටින, ලොකු පුතෙක්, දූලා තුන්දෙනෙක් වැනි දරුපවුලක් සහිත අයට දරන්න බැරුව ගියා මේ ආර්ථික ප්‍රශ්න. ඒ අයට පමණක් නොවේ පොදුවේ රටේ සාමාන්‍ය ජනතාවට දරන්න බැරුව ගියා ඒ තත්ත්වය. ඒ නිසා තමයි මෙය සත්‍ය කතාවක් ලෙස දැනෙන්නේ.

 

නවකතාව චිත්‍රපටයක් බවට පරිවර්තනය වන විට සිදු කළ වෙනස්කම් මොනවාද?

ඇත්තෙන්ම මේ කතාව තුළ චිත්‍රපටයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල තිබුණා. ඒ නිසා තමයි මෙය විදේශීය සම්මාන ආදිය සඳහා යොමු කරන්න පවා හැකියාව ලැබුණේ. හැබැයි ඇත්තටම මම සාකච්ඡා කළ සැබෑ ජීවන ප්‍රශ්නයට ආසන්නයෙන් ගිය කතාව මිස චිත්‍රපටයේ තිබුණේ මා කතා කළ දේම නොවේ. පුණ්ණා පලිහවඩන කියන ගෑනු ළමයා මුල්කරගෙන සමස්ත සමාජයේ ගැහැනුන් මුහුණ දෙන ප්‍රශ්නයේ යථාර්ථය චිත්‍රපටයෙනුත් සාකච්ඡා වුණානම් මීට වඩා සාර්ථකයි කියා මම හිතනවා. තිර රචනය ලියද්දී තිස්ස අබේසේකර මා සමඟ සාකච්ඡා කළේ නැහැ. ඒ නිසා සමහර විට අනවශ්‍ය දේවලුත් ඇතුළු වුණාද කියලා මට හිතෙනවා. උදාහරණයක් විදිහට ගාමිණි ෆොන්සේකා කුණුහරුපයක් කියමින් කමල් අද්දරආරච්චිට පහර දෙන කොටස අනවශ්‍යයි කියා මම හිතනවා.

 

එතකොට ඔබ රූපගත කිරීම්වලටවත් සහභාගී වුණේ නැද්ද?

ගියා. ගියා. ගීතා කුමාරසිංහ මා එක්ක හිතවත් නිසා ෂූටින් බලන්න එන්න කියා මා හට ආරාධනා කළා. ඒ කාලෙත් පත්තරවල සාකච්ඡා වුණා ලොකු දුවට අසාධාරණයක් වුණා කියලා. මියගිය කෙනකුට දොස් කීමට මම අකමැති වුණත් තිස්ස අබේසේකර ලොකු දුවට ඔහුගෙන් එකතු කළ කොටස නිසා එහි යම් විකෘතියක් වෙලා තිබෙන බව කියමින් රසිකයන් මට දොස් කීවා. ඒ නිසා කාටවත් මා ගැන වැරැදියට වචනයක් කියන්න බැරිවුණා. හැබැයි මම මංගල දර්ශනයටවත් සහභාගි වුණෙත් නැහැ. ගීතා කීවා මෙහි වරද සිදු වුණේ එයාගේ අතින් නොවේ පිටපත් රචනයේදී කියලා. හැබැයි ඉතින් ඇයටත් එහෙමම ගැලවෙන්න අමාරුයි, මොකද මගේ නිර්මාණය වෙන කෙනකු අතින් රචනා කරගනිද්දි මීටවඩා හිතන්න තිබුණා. අනෙක පිටපත් රචකයා නවකතාකරු සමඟ කතා කළේ නැතුවා වුණත් කතාවේ ගුණ සුවඳ නිර්මාණකරුවකු ලෙස හඳුනාගත යුතුව තිබුණා. ඇත්තෙන්ම ඔහු ඇතැම් සිදුවීම් පිළිබඳ අර්ථකථනය කළ ආකාරයට අදටත් මම කැමති නැහැ.

 

හැබැයි නවකතාව හා සිනමාව කියන්නේ මාධ්‍ය දෙකක්?

පැහැදිලිවම. ඒ වගේම එදා පොත්වලට වගේම සිනමාවට තිබුණු තත්ත්වය නෙවෙයි අද තිබෙන්නේත්. එදා සිනමාවේ සිටි ගාමිණිලා, ජෝලා, ගීතලා වගේ චරිත අද නිර්මාණය වන්නේ නෑ. අද කුමක් හෝ දෙමළ හෝ වෙනත් චිත්‍රපටවලින් කොපියක් නිර්මාණය කරනවා ඇරෙන්න අලුත් කතා සොයාගෙන චිත්‍රපට හැදිල්ලක් නැති තරම්නේ. එදා මොනවා වුණත් ගීතලා අප වැනි නිර්මාණකරුවන්ගේ නිර්මාණ සොයාගෙන ඒවා කියවලා චිත්‍රපට නිර්මාණය කරන්න පෙලඹුණා. ඒ ගැන අපි ස්තුතින්ත වෙන්න ඕනෑ. අද අපට සමහරු ටෙලි නාට්‍ය පවා ලියන්න කියන්නේ වෙනත් භාෂාවක එකක් බලලා ඒ අනුව ඒ රසය දෙන විදිහට. අපි කවදාවත් එවැනි දේ කරන්නේ නැහැ. ඔබ කීවා වගේ පොතක් සහ සිනමාව කියන්නේ වෙනම විෂයයන් දෙකක්. නවකතාව හා තිරරචනය කියන්නෙත් වෙනමම ආකෘති දෙකක්. ඒ නිසා එයට අවශ්‍ය අයුරින් වෙනස්කම් සිදුවනවා තමයි. හැබැයි බොහෝ වෙලාවට නවකතාවකින් සිනමාවක් කරද්දි කෘතියට අසාධාරණකම් සිදුවෙනවා වැඩියි. ඒත් මේ තරම් අසාධාරණයක් කෘතියකට කරන්න හොඳ නැහැ. ඒ මොනවා වුණත් දේශීය සිනමාවට අලුතෙන් නිර්මාණ එකතු කිරීමට ගීතලා ගත් වෙහෙස අගය කළ යුතුයි.

 

ඔබේ කතා බහුල වශයෙන් වෙනත් නිර්මාණවලට පෙරළුණා?

ඇත්තෙන්ම, ලොකු දුව වගේම චාතුර්යා, හිමි අහමි වුණත් බොහෝ දෙනා කියන්නේ අනේ මේ අපි ගැනම නේද ලියලා තිබෙන්නේ කියලයි. ඉතින් මිනිසුන්ගේ හදවතට සමීප සිදුවීම් හෘදයංගමව නිර්මාණාත්මකව ඉදිරිපත් කරන නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. මේ සතියේ ඉඳන් ඔබේ ආයතනයේ තරුණි පුවත්පතටත් මගේ කතාවක් ඇතුළත් වෙනවා. ඉතින් අවුරුදු හැත්තෑවක් පිරුණු මම වගේ කෙනෙක්ගෙන් යෞවනය සඳහා කතාවක් බලාපොරොත්තු වෙන්නේ මොකක්හෝ සෞන්දර්යයක් ඇති නිසානේ (සිනාසෙයි)

 

ඔබේ ලොකුදුව කතාව බොහෝ ලිංගික සූරාකෑම් ආදිය ගැන කතා කළත් එහි මනා ශික්ෂණයක් දක්නට ලැබෙනවා?

ඇත්තටම අපි මේ කරන්නේ අපෙන් පසු පරපුරටත් මෙය රසවිඳීන්න පුළුවන් වන්නයි. අපේ කාලේ ගැහැනියකගේ රුව හරියට දකින්නේ විවාහයෙන් පස්සේ. අද කාලේ සීඩීවලින් දරුවන් පවා මේවා දකිනවා. ඇත්තටම අපි කතා කළ යුත්තේ හෙළුවැල්ලෙන් ඉන්න දේවල් ගැන නෙවෙයි. මොකද අපේ දරුවන්ට හෝ මේ පොත කියවන්න පුළුවන් විය යුතුයි. අනෙක අපෙන් පසුව එන නිර්මාණකරුවන්ටත් එඩ්වඩ් අය්යා ලියලා තියෙන්නේ මෙහෙමයි කියන ආදර්ශය ගත හැකි විය යුතුයි. ලිංගිකත්වය පිළිබඳ හෝ අප කතා කළ යුත්තේ එහි සෞන්දර්යය මතුවන විදිහට සහ එහි සිදුවීම පැහැදිලි කිරීමට මිස තමන්ගේ පොත විකුණා ගැනීම සඳහා සිදුවීම විස්තර කරමින් නොවේ. අපට සමාජ වගකීමක් තිබෙනවානේ. අපි දකුණු ආසියාවේ සිංහල බෞද්ධ රටක් කියන අවබෝධය සමඟ ස්වයං වාරණයක් තමන් තුළ තිබිය යුතුයි.

 

සම්මාන පිළිබඳ ඔබේ අදහස?

අද සමහර සම්මානනීය නවකතා ගැන මම කතා කරන්න කැමති නැහැ. සමහර විචාරකයන් අද පොත් විචාර කරන්නේ සමාගම්වලින් සල්ලි අරගෙනද කියලත් හිතෙනවා. එහෙම නැත්නම් තමන්ගේ පොතක් පළකරගන්න බලාගෙනද කියලත් හිතෙනවා. අපේ පොත් ගැන සමහරු විචාර කරන්නේ මොන මතයක් හිතේ තියාගෙනද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා සම්මාන ගැන ඔයිට වඩා කතාකරන්න මම කැමති නැහැ.

 

2020ට ඔබේ අලුත් කටයුතු?

අර්ථවත් විදිහට කතා කීපයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙහිඅත්තකණ්ඩියට අඳගොවීන් පිළිබඳ පර්යේෂණයක් කරන්න යන තරුණයෙක් ඒ ප්‍රදේශය දකින ආකාරය පිළිබඳ භූපති නවකතාවත්, අපේ දේශීය කිරි කර්මාන්තය ඇසුරු කරගෙන ලියැවුණු කිරි සයුර පොතත්, රණවිරුවකු ගැන ලියැවෙන තවත් කෙනෙක් කියන නවකතාව ඇතුළු නිර්මාණ කීපයක්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිශ්ශංක විජේරත්න

Add new comment