සුනාමි ගැන සිතන්නට යමක්

මාර්තු 12, 2020

පහළොස් වසරකට පෙරාතුව ලාංකේය කලාපය සුනාමි ව්‍යසනයට ගොදුරු වන්නේ රට පුරා පැතිරුණු යුද්ධයට තාවකාලික විරාමයක් ලැබුණු පසුබිමකය. එදවස දකුණේ හෝ කඳුකරයේ සිට උතුරට නැගෙනහිරට විනෝද චාරිකා යන්නවුන් දුලබය යන්න සත්‍යයකි. නමුත් සිනමාකරු සෝමරත්න දිසානායක නොපැකිළව පියවර ගන්නේ මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණ අඹු සැමි යුවළක් හා ඔවුනගේ වසර දෙක හමාරක් වයසැති දියණිය කුඩා මෝටර් රථයක නංවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත කරවන්නටය. එවක උතුරට වඩා නැගෙනහිර යුද බිය සාපේක්ෂව සීමා වී තිබුණේය යන්න ඔහුට ලැබෙන අමතර වාසියකි. කෙසේ නමුදු සිය වෘත්තාන්තයට අවශ්‍ය වූ නැගෙනහිර මූදුකරයේ පදිංචි තරුණ අඹු සැමි යුවළක් හා ඔවුනගේ වසර දෙක හමාරක් වයසැති දියණිය, මේ කඳුකර පවුලට සුනාමි ව්‍යසනයෙන් අත් වූ ශෝචනීයම අත්දැකීමට ගොදුරු කරලීමට සිනමාකරු සෝමරත්න කල් ඇතිවම තීන්දු කොට තිබිණ. මේ අනුව ප්‍රේක්ෂකයන් ක්‍රියා කළ යුත්තේ මහ පොළොවේ යථාර්ථයට අනුගත නොවෙමින් සිනමාකරුවා පවසන ප්‍රබන්ධය සමඟ එකඟ වන්නටය. ඊට අවශ්‍ය කැමැත්ත නොමැති වූයේ නම් වෙනත් විකල්ප සපයා දෙන්නට ද සිනමාකරු සූදානමින් සිටී. සිනමා අධ්‍යක්ෂණයෙහිලා තමා විසින් උපයා ගනු ලැබූ වැටහීම සූක්ෂමව පරිහරණය කරමින් මෙම වාතාවරණය සහතික කරලීමට සිනමාකරු පියවර ගන්නේ කල්පනාකාරීවය. තම අනන්‍යතාව තවත් වටයකින් ආරක්ෂා කර ගැනීමට සමගාමීවය. තුලනාත්මකව හා විවෘතව විමසන කළ විද්වත් ප්‍රේක්ෂකයනට හා විචාරක පාර්ශවයට හැඟෙන්නේ මේ සිනමාපටය ‘සුනාමි’ සිනමාකරු සෝමරත්නගේ සිනමා භාවිතයේ වර්ධනීය අවස්ථාවක් නොවන්නට ද ඉඩ ඇති බවයි.

තමන්ගේ ප්‍රදර්ශිත සිනමාපට හැමෙකකදීම සිනමාකරු සෝමරත්න හැසිරෙන්නේ නොවෙනස් වූ පිළිවෙත් ද්විත්වයක් මත රැඳී සිටිමිනි. පළමු පිළිවෙත ළමා චරිත, ප්‍රධාන චරිත බවට පත් කරලීමය. දෙවන පිළිවෙත විවාදාත්මක මාතෘකා සරණ යාමය. කෙසේ වෙතත් ‘සිරි පැරකුම්’’ හා ‘සරිගම‘ යන සිනමාපට විෂයෙහි ඔහු මෙම පිළිවෙත් ද්විත්වය ප්‍රකාශයට පත් කරන්නේ තරමක් වෙනස් ආකාරයෙනි.

මෙතැනට ගළපා ගත යුතුම කාරණයක් වන්නේ යට කී පරිදි එන ප්‍රමුඛ ළමා චරිත හා පාදක වන විවාදාත්මක මාතෘකා අතර ඇති - නැති පරතරය, ශිෂ්ටත්වය හා ආගමික මැදිහත්වීම්, අලි - මිනිස් ගැටුම සිනමාකරු සෝමරත්නගේ පූර්ව සිනමා භාවිතයට විෂය වන්නේ අදාළ වෙළෙඳ වටිනාකම් ද සහිතවය. ‘සුනාමි’ විෂයෙහි ද ඔහු පිහිටන්නේ එබඳුම ස්ථාවරයකය යන්න අපැහැදිලි නෙවේ.

කෙසේ වුවද ‘සුනාමි’ හිදී සිනමාකරු සෝමරත්න ජනවර්ග ද්විත්වයකට අයත් පවුල් ඒකක ද්විත්වයක් එකම තලයකට ගෙනැවිත් ජන වාර්ගික නොපෑහීම් හා එකඟතා පිළිබඳ සාකච්ඡාවන් සඳහා සිය ප්‍රේක්ෂකයන් පොළඹවන්නට දරන තැත මැනවින් ඉස්මතු වී ඇතැයි පැවසීම අසීරුය. මෙහි එන දැරියට අසීමිතව ආදරය දක්වන දෙමාපිය යුගළක් සේ ඔවුන්ව හඳුනා ගත හැකිය. දැරිය අරභයා ඔවුහු අධිකරණය දක්වාම යති. නමුත් කිසිදු තැනෙක තවත් ජන වර්ග ද්විත්වයකට අයත්ය යන කාරණය අවධාරණය නොකරන්නට ඔවුන් පියවර ගන්නා බව පෙනේ. ඔවුනට අවශ්‍ය දැරියගේ නීත්‍යානුකූල අයිතිය අධිකරණය හරහා තීන්දු කරවා ගන්නටය. එසේම ඔවුහුුු අධිකරණ තීන්දුව ද පිළිගනිති.

මෙතැනදී සිනමාකරු සෝමරත්න පවසන්නේ මෙබඳු දරු ප්‍රශ්නයක් විසඳාලීමේ යුක්ති සහගත හැකියාවක් අධිකරණයට ඔබ්බේ වුව ද තිබිය හැකි බවය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම විනිශ්චයකරු දැරිය කැඳවා දෙපාර්ශවයේ නීතිඥයන් අබියසම විමසන්නේ තමා වඩා කැමති කවර දෙමාපියන්ට ද යන්නයි. දැරිය ඊට ලබා දෙන හැඟීම්බර පිළිතුර නෛතික පදනමට ගළපා ගනිමින් ලැබෙන් තීන්දුව කෙමෙන් සුසංවිධිත පිළිතුරක් දක්වා ගෙන යාමට සිනමාකරු සෝමරත්න අදහස් කරන බව පෙනේ.

‘සුනාමි’ නිසැක වශයෙන්ම ප්‍රේක්ෂකයා කරා එන්නේ අනුවේදනීය අත්දැකීමක් ලෙසිනි. ආරම්භයේදීම ප්‍රේක්ෂකයන් අබියස දිග හැරෙන සුනාමි ව්‍යසනයේ දෘශ්‍යමානය නිරූපිත ජවනිකා සමුච්චය අබිබවා යන පුවත උක්ත අනුවේදනීය බව තීව්‍ර කරන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. සුනාමි ව්‍යසනයේදී ත්‍රිකුණාමලයේ පදිංචි මාපිය යුවළගේ දියණිය අතුරුදන් වෙයි. මහනුවර සිට විනෝද චාරිකාවක ආ මාපියන්ගේ දියණිය ද අතුරුදන් වෙයි. නමුත් ඔවුන් දෙදෙනාට සිය දියණිය අවතැන් කඳවුරකදී හමු වන්නේ වැඩි කාලයක් ගතවීමට පෙරාතුවය. පළමු වටයේදීම ඔවුනට පසක් වන්නේ තමනට වැරදීමක් සිදු වූ බවයි. මේ ත්‍රිකුණාමලයේ වෙසෙන මාපියන්ගේ අතුරුදන් වූ දියණියයි. දස වසරකට පමණ පසුව මේ පුවත කරළියට එන්නේ පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක් නිසාවෙනි. අවසන දැරියගේ මනාපයට ඉඩ දීම සිනමාකරු සෝමරත්නගේ අදහස වෙයි. ඊට මනා පිටුබලයක් සපයන්නේ සිය වැඩිමහළු සොයුරියට අකමැති ත්‍රිකුණාමලයේ මාපියන්ගේ බාල දියණියයි. සිනමාකරු සෝමරත්න මේ දැරියන්ගේ චරිතයෙන් ලබා ගන්නා පහස අපමණය.

සුනාමි ව්‍යසනය ප්‍රතිනිර්මාණයේදී සිනමාකරු සෝමරත්න දැරූ වෙහෙස අව ප්‍රමාණ කළ යුතු නොවේ. මෙබඳු ව්‍යසන ප්‍රතිනිර්මාණයට බට බටහිර සිනමාපට හා ‘සුනාමි’ නොසැසඳීම වඩා උචිතය. කෙසේ නමුදු සෝමරත්න ඉතාම ඉක්මනින් සුනාමි ප්‍රතිනිර්මාණයට තිත තබයි. අනතුරුව දිග හැරෙන සුනාමි ව්‍යසනයට වඩා බිහිසුණු ව්‍යසන මිනිස් සබඳතා විෂයෙහි පවතින්නේය යන කාරණය ඔහුගේ අනන්‍යතාව සහතික කරලීමේ මාවත විවර කර දෙන වග පෙනේ.

බොහෝ විට චරිත කේන්ද්‍රීය සමීප රූප හා මධ්‍ය සමීප රූප ඉවහල් කොට ගන්නට සිනමාකරු සෝමරත්න දරන තැත පැහැදිලිය. මේ ප්‍රේක්ෂක බහුතරයක් ඇමතිය හැකි පහසු ක්‍රමෝපායන් ය යන්න ඔහුගේ පිළිගැනීම වී ඇති සැටියකි. විශේෂයෙන්ම සිනමාපටයේ හැඟීම්බර බව තහවුරු කරලීමට මෙයින් ලැබෙන ඉඩකඩ සුවිශාලය. කෙසේ වුව කිසිදු රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට තිර නාටකයේ සීමා පරයා යන්නට ඉඩක් නොලැබුණු බව පෙනේ. මෙනිසාම දෙමාපිය යුගළ එකම තලයක රඳවාලීමේ සිය අරමුණ ඉටු කර ගන්නට සිනනමාකරු සමත් වෙයි. මෙතැනදි යම් බලපෑමක් දැරියගේ චරිතයට එල්ල වන බව සැලකුව මනාය. දැරියගේ චරිතයට එක්වන මෙතාරා වීරතුංග අවස්ථා කිහිපයකදීම පවසන්නේ තමා සිනමාකරුවාගේ අභිප්‍රායට සාධාරණය ඉටු කළ බවයි. නමුත් ඈට ද තිර නාටකය මතම රැඳෙන්නට සිදු වේ. සිය සෙසු සිනමාපට විෂයෙහි නම් සිනමාකරු සෝමරත්න ළමා චරිත උද්දීපනය කරන්නේ වරෙක වැඩිහිටි චරිත පසුකර යමිනි. මෙතැනදි එබන්දකට ඉඩක් නොලැබේ. දැරිය තරමටම ඇගේ දෙමාපිය යුගළ ද සිනමාපටයට අතිශයින්ම වැදගත්ය.

සිනමාපටයේ එන වඩාත්ම සාර්ථක රංගනය විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ චරිතය නිරූපණය කරන විශ්වජිත් ගුණසේකරගෙනි. තිර නාටකයේ රාමුව නොඉක්වමින් සාර්ථක විය හැකි ආකාර පවතින බව විශ්වජිත් නොසඟවා පවසයි. නමුත් මේ වෛද්‍යවරයා මෙලොව වෙසෙන එකම විශේෂඥ මනෝ වෛද්‍යවරයා විමත්, දැරියගේ ජීව විද්‍යාත්මක මාපියන් හා දැරිය අවස්ථා කිහිපයකදී හමු වුව ද ඒ පිළිබඳ සිහි කල්පනාවක් එහෙමටම නොමැතිවීමත් යන කාරණ විශ්වජිත්ට අභියෝග කළ බව පෙනේ.

සිනමාකරු මොහුගේ චරිතය ඔස්සේ දැරියගේ අනන්‍යතාව පිළිබඳ වඩා විද්‍යාත්මක සාකච්ඡාවක ඇති වටිනාකම අවධාරණය කරයි. මෙතැන පුනරුත්පත්තියක් නොමැති බවත්, දැරියගේ මනෝභාවයන් ඔස්සේ සුදුසු ප්‍රතිකාර විධි ක්‍රම සපයා ගත හැකි බවත් ඔහු පවසන්නේ ඊට ප්‍රතිපක්ෂව සිදුවන හැඟීම්බර ඇවිස්සීම් දෙස හැඟීම්බර නොවී බැලීම වැදගත්ය යන්න ද ඉඟි කරමිනි.

‘සුනාමි’ අමතන්නේ පවුලේ ප්‍රේක්ෂකයන්ය. වත්මනෙහි නම් පවුලේ පේ‍්‍රක්ෂකයන් හඳුනා ගත හැක්කේ පවුලේ ප්‍රේක්ෂකයන්ට ඉහළම වටිනාකමක් පිරිනැමුණු 1960 හෝ 1970 දශක බැහැර කරමිනි. ශූර සිනමාකරුවකුට මේ පරිවර්තනය හසු කර ගත නොහැකි නොවේ. මීට ප්‍රථම සිනමාකරු සෝමරත්න ඊට අදාළව ප්‍රකට කළ සමත්කම් මෙතැනදි සිහි කටයුතුය. අනුවේදනීය වෘත්තාන්ත හා චරිත වැඩිපුරම අමතන්නේ පවුලේ ප්‍රේක්ෂකයන්ය යන්න නොරහසකි. සංකීර්ණ තේමා හා සිදුවීම ගෙනහැර පෑමේදී පවුලේ ප්‍රේක්ෂකයන් මඟ හැරෙන්නට ද ඉඩ තිබේ. නමුත් සංවේදී ක්‍රමෝපායයන් හරහා පවුලේ පේ‍්‍රක්්්ෂකයනට තවදුරටත් සිතන්නට යමක් ලබාදීමේ හැකියාවක් සිනමාව සතුය. ‘සුනාමි’ මේ අදහස කරා එන්නේ ක්ෂණිකව නොවේ. පෙර කී පරිදිම ‘සුනාමි’ සිනමවේ තවත් පිවිසුම් ඇති වග සිනමාකරු සෝමරත්නට පවසන සිනමාපටයක් ද වේ.

තුසිත ජයසුන්දර

Add new comment