සෙවනැළි සීතල ලිය ගොමුවේ

සුහද පැතුම
මාර්තු 12, 2020

කිංස්ලි රාජපක්ෂව ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ මතකයේ නිදන් ගත වූයේ 1963 තිරගත කළ 'දීපසිකා' චිත්‍රපටයෙන්ය. එහී ගිටාරයක් වයමින් ධර්මදාස වල්පොලගේ ජනප්‍රිය ගීතයක් වූ 'මං මුලා වෙලා අඳුරේ මේ, යන්නෙ කොහේ දැං අප සැමා' ගීතයේ ජවනිකාවට පෙනී සිටි ඔහු, එම චිත්‍රපටයේ ප්‍රධාන පෙම්වතාගේ චරිතය රඟපෑවේය. ඒ ජීවරාණි කුරුකුලසූරිය සමඟය. 'දීපසිකා' අධ්‍යක්ෂණය කළේද, කිංස්ලි රාජපක්ෂය. ඔහු කථා රචකයෙක්, දෙබස් රචකයෙක්, චිත්‍රපට නළුවෙකු, අධ්‍යක්ෂක වරයෙකු මෙන්ම නිශ්පාදකයෙකු ලෙස, සිංහල සිනමාවේ විවිධ ඉසව් කරා ගිය, සිනමා කරුවෙකි.

කිංස්ලි රාජපක්ෂ තම සිනමා අධ්‍යක්ෂණය වෙනස් මාවතකට හරව ගත්තේ 'කලණ මිතුරෝ' චිත්‍රපටයෙනි. එකල ජනප්‍රිය ත⁣ලයේ ඉහළම තැනක තිබූ සුප්‍රකට හින්දි චිත්‍රපටයක් වූ 'දෝස්ති' චිත්‍රපටය ඒ අයුරින්ම නිර්මාණය කිරීමට කිංස්ලිට උවමනා විය. ඒ 1971 දීය. එය විශාල අභියෝගයක් බව නොදැනය ඔහු ඒ නිර්මාණයට අත ගැසුවේ. විශේෂයෙන් 'දෝස්ති' හී ගීත, කල්ප ගණනාවක් ගියද අදටත් එකසේ ජනප්‍රිය විය. එලෙසම එහී රඟපෑ නළුවන් දෙදෙනා ලද ජනප්‍රියත්වය අසම සම විය. එවන් තත්වයක් මත , කිංස්ලි දෝස්ති තුළින් සිංහල චිත්‍රපටයක් කරන්නට ගොස් මට නම් හිතුනේ ඔහු ඇන ගත්තා කියාය. 'කලණ මිතුරෝ' 'දෝස්ති' අසලකවත් තැබීමට නොහැකි විය. තිස්ස විජේසුරේන්ද්‍ර ප්‍රධාන නළුවෙකු ලෙස ඉදිරිපත් කළේ කිංස්ලිය. ඒ කලණ මිතුරෝ චිත්‍රපටයෙනි. තිස්ස විජේසුරේන්ද්‍ර හොඳ 'කොමර්ෂල්' නළුවෙකු වනු ඇතැයි සිතුණේ කිංස්ලිටමය. ඔහුට ඕ.පී. රාල්හන් අධ්‍යක්ෂණය කළ, රාජේන්ද්‍ර කුමාර්, මාලාසිංහ රඟපෑ 'ගෙහෙරා ඩාග්' හින්දි චිත්‍රපටයට හිත වැටුනේ තිස්සව දමා එම කථාව තුළින් කොමර්ෂල් චිත්‍රපටයක් කර අර කලණ මිතුරෝ පාඩුව පියවගන්නට හිතුණා වන්නට ඇත.

“ආලෝකෙ බිහිවී පැතිරෙයිදෝ 
ආශාව ඉටුවී සපිරෙයි දෝ 
වැළලුණු මල ඊයේ තව හෙටක් තියේ 
සටනකි ජීවිතේ ජය පරාද වේ”

චන්දන, මේ ගීතය ගයමින් සැහැල්ලුවෙන් එන්නේ ඔහුගේ එකම සොහොයුරියගේ ගෙදරටය. අප දකින්නේ ඔහු සැහැල්ලුවෙන් එන බවය. නමුත් ඔහු එන්නේ හිර ගෙදර අවුරුදු 10 යක් පමණ ගත කරය. ඔහුට තිබුණේ මිනීමැරීමේ චෝදනාවකි.

කිංස්ලි රාජපක්ෂ චිත්‍රපට ගනනාවක්ම අධ්‍යක්ෂණය කළද ඔහුගේ අතින් නිර්මාණය වුණු ජනප්‍රියම චිත්‍රපටය මේ 'සුහද පැතුම' ය. එය දින 100 කඩ ඉම පවා පසු කළේ, අනෙක් මණ්ඩලයේ ,විජය-මාලනී රඟපෑ 'තුෂාරා' පෙන්වන අතර තුරය.

“ගීතේ පෙම් ගීතේ, 
මද සීත පවනේ ඈදේ 
මධු ගීතේ පෙම් ගීතේ 
මද සීත පවනේ ඈදේ 
දෙසවන් පිරී ගලාලා 
අමවන් රසේ දැනීලා ”

චන්දනට, චමිලාව හමුවන්නෙ 'ත්‍රිලින්' පසුබිමකය. චමිලා තම මව සමඟ දුම්රියෙන් නුවර එළිය ප්‍රදේශයට පැමිණෙන්නේ චමිලගේ නැන්දණීය ගේ නිවසට ඒමටය. දුම්රියේදී හොරෙක් චමිලා ගෙල බැඳී රන්මාලය පැහැර ගැන්මට යන අතරේ, එය, එම දුම්රියේම ,එම පෙට්ටියේම නුවර එළිය බලා යන චන්දන ගේ ඇස ගැටී, ඔහු එම හොරා සමඟ මාරන්තික, එමෙන්ම ත්‍රාසජනක සටනක් කර, හොරාව අඩපණ කර චමිලාට මාලය නැවත භාරදේ. මේ හේතුවෙන් චමිලා හා ඇයගෙ මව චන්දන ගැන පැහැදේ.

දූර්වා චැටර්ජී හා ඒසාන් රිස්වි විසින් කථාව හා තිරනාටකය ලියූ 'ගෙහෙරා ඩාග්' තුළ 60 දශකයේ හින්දි සිනමා රසිකයන්ට එකල තිබූ මානසිකත්වයට සරිලන ලෙස, ඉමහත් කුතුහලයෙන් නැරඹිය හැකි රොමැන්ටික් ගනයේ කථාන්තරයක් ගැබ්වී තිබුණි.කිංස්ලි රාජපක්ෂ ද 'ගෙහෙරා ඩාග්' චිත්‍රපටයේ ගැබ්වී තිබූ, රසය, කුතුහලය, ත්‍රාසය හා සංවේගය හොඳීන් හඳුනාගෙන තිබූ හෙයින්, ඔහු එකල ලාංකේය සිනමා රසිකයන්ට ගෝචර වූ කථාන්තර කීමේ කලාව 'සුහද පැතුම ' තුලින්, කදිමට පෙන්වුයේය.

චන්දන සිරගත වූයේ, ඔහුගේ සොහොයුරිය වූ ලලිතා නිසාය. ලලිතා තරුණ කල ගමේ තරුණයෙක් වූ මහින්ද ඇයට අඩම්තේට්ටම් කරන්නට යන විට චන්දන එතැනට පැමිණ ඇයව ඔහුගෙන් බේරාගැන්මට යාමෙදී,මහින්ද තම අත තිබූ අහම්බෙන් එම පිහිය මහින්දගේ ඇඟේ ඇනී ඔහු එතැනම මරණයට පත්විය. තමා ඔහුව මැරුවේ නැති බව, තමනට විශ්වාස වූවද, එය උසාවියේදී ඔහුට ඔප්පු කර ගැන්මට නොහැකි විය. එහෙයින් ඔහුව අවුරුදු 10කට සිර ගෙට නියම විය.

නැවත චන්දන සිරගෙයින් නිදහස් වී තම සොහොයුරිය වූ ලලිතාගේ නිවසට එන විට, ලලිතා ධනවත් වතු හිමියෙක් සමඟ විවාහ වී සිටි අතර, චන්දනගේ නැගණියත් සිටියේ ලලිතා සමඟය. ලලිතා තම සැමියාට, චන්දනව හදුන්වා දුන්නේ ඔහු අව්රුදු 10ක්ම එංගලන්තයේ සිට ලංකාවට පැමිනුණු කෙනෙකු ලෙසටය. එසේ කීම ගැන චන්දන එකහෙලාම අකමැති විය. ඔහු තම සොහොයුරියට කීවේ, ඇත්ත කියන්නට කියාය. ඇත්ත කිවහොත් සිදුවන දේ සොහොයුරිය දැන සිටි නිසාය ඇය සැමියාට බොරු කීවේ.

දැන් චමිලා ද සිටින්නේ නුවර එළියේය. ඔවුන් දෙදෙනා ට නිතර නිතර හමුවීමට අවස්ථාව ලැබුණි. මේ හමුවීම, දැඩි මිත්‍රත්වයකට පෙරළුණු අතර, පසුව එය ආදරයකට පෙරළුනි.

“ජීවිතයේ කාන්තාරේ, 
තුරුණු වියලි වැල්ලේ 
උතුරා ගලා එන ආදරේ

මා එන මඟ සංසාරේ 
ලුහුබැඳ එක එල්ලෙ 
දුටුවා ගලා එන ආදරේ ”

'සුහද පැතුම' ත්‍රිල් වූයේ, චන්දන හිරේ සිට පැමිණි කෙනෙක් බව , ඔහුගේ සොහොයුරිය වූ ලලිතාගේ සැමියාට ආරංචිවූ දිනයේදීය. ඒ සිදුවීම සිදුවුයේ ලලිතාගේ නැගෙණියට, ලලිතාගේ සැමියා විසින් වැදගත්, පොහොසත් තරුණයෙකු යෝජනා කර, ඔවුන් විවාහ ගිවිස ගන්නා වෙලාවේදීමය.

එම උත්සවයට චන්දනගේ නඩුවේ, විරුද්ධ පක්ෂය වෙනුවෙන් කථා කෙරූ නීතිඥයා පැමිණ සිටියේය. චන්දනව හඳුනා ගත් ,ඔහු ඒ බව ලලිතාගේ සැමියාට කීවේය. ගිනි ඇවිලුනේ එයින් පසුවය. ලලිතාගේ සැමියා සියලු වැදගත් ප්‍රභූවරුන් ඉදිරියේ ඉමහත් ලැජ්ජාවකට පත් විය. ඔහු එවෙලේම චන්දනව නිවසින් එළවා දමා ලලිතාටද නොසෑහෙන සේ බැන වැදුනි. ඒ හේතුව නිසා චන්දනගෙ නංගීගේ විවාහ ගිවිස ගැනීමද නතර විය. මනමාල පාර්ශ්වය නැවත නොඑන්නටම ආපහු ගියහ.

සිරිවර්ධන නම් මැදිවියේ චරිතයක් මෙම කථාවේ සිටියේය. චන්දන බන්ධනාගාර ගතවූ කාලයේ සිරිවර්ධන එහී ජේලර් ගාඩ් කෙනෙක් විය. මේ සිරිවර්ධන චන්දන බන්ධනාගාරයෙන් පිටවී යනවිට අවවාද අනුශාසනා රැසක් දුන්නේ, චන්දන මේ මිනිමැරුමට හවුල් නොවී නිරපරාදේ අවුරුදු 10ක්ම සිරගෙදර දුක් වින්ද නිසාය. කිංස්ලි රාජපක්ෂ මේ සිරිවර්ධන චරිතය තරමක් ප්‍රබල කළේ අවසන සියලු ප්‍රශ්න විසදන්නෙක් ලෙසටය.

ලලිතා ගේ නිවසින් නෙරපුණු චන්දනට පිහිට වන්නේ චමිලාය. ඇය චන්දනව තමා සිටි ගමට රැගෙන ගියාය. ඇයගේ මවද චන්දනට බෙහෙවින් ප්‍රිය මනාප වී සිටියාය. චමිලා චන්දනට ආදරය කරන බවක් චමිලාගේ මව දැන සිටි නිසා, ඔවුන් දෙදෙනාව විවාහ කර දීමට ඇය තීරණය කළාය. එහෙයින් චමිලා හා චන්දනගේ ප්‍රේමය කිසිදු බාධකයක් නැතිව සුන්දරව ගලා ගියේය.

“දෝතින් දෝතයි, ජීවෙන් ජීවේ 
ජය මංගල හඬ දේ 
කුරු කූ, කුරු කූ, කුරු කූ, කුරු කූ 
කුරු කූ, කුරු කූ, කුරු කූ  
ලෝකෙම සුවඳයි, ඒ පෙම් සුවඳීන් 
මංගල මල් පිබිදේ 
කුරු කූ, කුරුකූ, කුරු කූ, කුරු කූ 
කුරු කූ කුරු කූ කුරි කූ”

"ගෙහෙරා ඩාග්' ඉන්දියාවේ හා ලංකාවේ ජනප්‍රිය වීමට හේතුව, එම කථාව තුළ ඇති වූ සිදුවීමි නිසාය. සියලු ව්‍යසන එහීදී සිදුවන්නේ එහී කථා නායකයා වූ ශන්කර්ටය. කිංස්ලි රාජපක්ෂ මේ 'ගෙහෙරා ඩාග් ' කථාවම තෝරා ගත්තේ ඇතැම් විට මේ එකිනෙකට වෙනස් සිදුවීම් නිසා විය හැක. එහී ශන්කර් ඒවාට මුහුණ දෙන අන්දම දුටු විට, කිංස්ලිටත් මෙය මේ ආකාරයෙන්ම සිංහල සිනමාවට ගෙන ආවානම් අනිවාරයෙන්ම සාර්ථක වන බවක් හැඟෙන්නට ඇත. හින්දි සිනමාවේ ශංකර්, සිංහල සිනමාවට චන්දන වී ආවේ එලෙසය.

චන්දන හා චමිලා දිනක් ඇවිදින්නට යන විට වැස්සක් කඩා වැටී එයින් බේරීමට එතැන තිබූ නිවසකට ගියහ. පසුදින ඔවුනගේ විවාහ මංගල්‍යය උත්සවයද විය. ඒ නිවසට ගිය විටය චන්දන දැනගත්තේ එකී නිවසේ අයිති කරු අර බන්ධනාගාරයේ සේවය කළ සිරිවර්ධන කියා. ඒ වගේ 'සර්ප්‍රයිසස්' නම් හින්දි, සිංහල චිත්‍රපටවල නැවකට තිබේ. ඔහු පසුදින ඔවුනගේ මඟුලට පැමිණ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කරන බවක්ද පවසන අතර, එම මඟුල් ගෙදරට තම තරුණ පුත්‍රයා සමඟ පැමිණෙන බවකුත් ඔහු කියයි. ඒවාවල සැගවුනු ප්ලෑන් තිබෙන බව ප්‍රේක්ෂකයාවත් නොදැන සිටීම කිංස්ලිට වාසියක් වූයේ, කිංස්ලි බලාපොරොත්තු වන කුතුහලය, ඒ අයුරින්ම ඔහුට දීමට හැකිවන නිසාය.

ජරමරය ඇතිවුණේ මඟුල් ගෙදරට පෙර දින රාත්‍රියේය. එදාද, චන්දන සිටියේ චමිලාගේ නිවසේය. එදින රාත්‍රියේ සුළඟට උඩ කාමරයක ජනේල් පියනක අඟුල නොවැටි සෙලවෙන්නට පටන් ගත් නිසා, චන්දන එම කාමරයට ගියේ ඒ ජනේලය වැසීමටය. එසේ ජනේලය වසා නැවත හැරෙන විටය දුටුවේ එම කාමරයේ මහින්දගේ පින්තූරයක් එල්ලා තිබෙන බවක්. මහින්ද යනු එදා චන්දනගේ සොහොයුරිය වූ ලලිතාට අඩම්තේට්ටම් කරන්නට ගොස් පිහිඇනුම් කා මියගිය තරුණයාය.

එවලේම චමිලා හා ඇයගේ මවද එම කාමරයට පැමිණීහ. චන්දන එම පින්තූරය දෙස බලා සිටින බව දුටු චමිලාගෙ මව කීවේ ඒ තමන්ගේ පුතා බවත්, කව්දෝ පාහරයෙකු අතින් ඔහු මිය ගිය බවය. දැං නම් සර්ප්‍රයිස් කන්ටේනරයකි. චන්දනට තවත් මේවා සඟවා සිටීමට නොහැකි විය. ඔහු චමිලාට හා ඇයගේ මවට සියලු කථාව කී⁣ අතර, ඒ මිනීමැරුම තමා අතින් නම් සිදු නොවූ බවක්ද කීය. දැන් එළිය වැටී ඇත. මඟුල් ගෙදරට ඇත්තේ තව පැය කීපයකි.

කථාව අසා සිටි චමිලාගේ මව තම දියණියව චන්දනට විවාහ කර දීමට කිසිසේත් කැමති නොවීය. මේ හේතුවෙන් චන්දන එතැනින් පැන දිව්වේ සිය දිවි හානිකරගන්නා බව කියමිනි. චමිලාද ඔහු පසු පස ගියාය. චන්දන කඳුබෑවුමකට නැග්ගෙ එතන තිබූ ගඟට පැන මියයන්නටය. චන්දන පසු පස දුව ආ චමිලාද එම බෑවුමට නගින විට ඇයගේ පය ලිස්සා අර ගඟට වැටුණි. චන්දන වහා ගඟට පැන්නේ ඇයව බේරා ගැන්මටය.

දැං ත්‍රිල් කෝටියකි. චිත්‍රපට ශාලාවේ ගැහැණු ප්‍රේක්ෂිකාවෝ කඳුළු වගුරවමින්, ඉකිගසමින් බයෙන් බිරාන්තව බලා සිටියේ චමිලාව වතුරේ ගසාගෙන යාවී කියාය. පිරිමි ප්‍රේක්ෂකයෝ බලා සිටියේ චන්දන මොන ක්‍රමයකින් හෝ දිය රකුසා සමඟ සටන් කර චමිලාව බේරා ගනියි කියාය. කෙසේ හෝ දිවි පරදින සටනකින් පසු චන්දන චමිලාව බේරා ගෙන ගොඩට ගෙන ආවේය. ප්‍රේක්ෂක, ප්‍රේක්ෂිකාවෝ සැනසුම් සුසුම් හෙළුහ. ඉතින් චිත්‍රපටය දින 100 පසු කර දුවන එකත් අහන්න දෙයක්ද?

මේ අතර චන්දනගේ සොහොයුරිය ලලිතා, හා ඇයගේ සැමියා, චන්දනගේ නැගණිය සමඟින් චන්දනගේ මඟුල් ගෙදරට පැමිණීයහ. එලෙසම සිරිවර්ධන තම තරුණ පුතු සමඟින් මඟුල් ගෙදරට පැමිණ එතැන සිට සියල්ලටම කීවෙි, මහින්ද මිය ගියේ චන්දන පිහිපාරක් එල්ල කළ නිසා නොව, මහින්ද විසින් චන්දනට අනින්නට හැදු පිහිය බිම වැටි, ඒ මතට පතිත වී ජීවිතක්ෂයට පත්වූ බවකි. එහෙයින් චන්දන මිනී මරුවෙක් නොවීය. දැන් චමිලාගේ මව චමිලාව, චන්දනට විවාහ කර දීමට කැමති විය. මේ අතර, සිරිවර්ධන තම තරුණ කඩවසම් පුතුට, චන්දනගේ නැගණියව යෝජනා ක⁣ළේය. පිචැර් කියන්නේ මේවාය. එහෙමත් නැත්නමි සුහද පැතුම් කියන්නේ මේවාටය.

ජෙනිටා සමරවීර, හා ජයසේකර අපෝන්සුගේ සිනමාගමනය සිදුවූයේ 'සුහද පැතුම' චිත්‍රපටය තුළිනි.චන්දනගේ නැගෙණිය ලෙස ජෙනීටා සමරවීර රඟපෑ අතර, සාප්පුවක සේවකයෙක් ලෙස අපෝන්සු රඟපෑවේය. ලලිතා වූයේ රීටා රත්නායකය. අසෝකා පොන්නම්පෙරුම ඇයගේ සැමියා විය. රුක්මණී දේවී චමිලාගේ මව ලෙස රඟපෑ අතර, ගාමිණී අබේසිංහ පිහිපහරින් මිය යන තරුණයා වූ මහින්ද ලෙස රඟපෑවේය. සිරිවර්ධන වූයේ ඩේවිඩ් ධර්මකීර්තිය. ඩී.ආර් නානායක්කාර, සුමනා අමරසිංහ, එඩී ජූනියර්, චිත්‍රා වාකිස්ට, ලයනල් දැරිණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , බී.එස්.පෙරේරා, දොන් සිරිසේන, මෝතිලාල් ගුණසේකර, සෙසු චරිත රඟපෑහ.

ප්‍රධාන චරිත වූ චන්දන හා චමිලා වූයේ තිස්ස විජේසුරේන්ද්‍ර හා මාලනී ෆොන්සේකාය. තිස්ස -මාලනි තිරයේ පෙම් යුවළක් ලෙස කලඑළි බැස්සේද 'සුහද පැතුම' චිත්‍රපටය සමගිනි.

කිංස්ලි රාජපක්ෂ චිත්‍රපට කීපයක්ම නිර්මාණය කළද , ඔහුගේ 'ක්ලයිමෙක්ස්' 'සුහද පැතුම' විය. රඟපෑමේ ගැටලු තිබුණද තිස්ස විජේසුරේන්ද්‍ර රොමැන්ටිකල් පෙම්වතෙකු වූයේ 'සුහද පැතුම' තුළිනි.

'සුහද පැතුම' කැමරාව එම්.ඒ. ගෆුර් ගෙනි. හින්දි ගී තනු යොදා ගීත සෑදුවද ඒ ගීත සියල්ලම ජනප්‍රිය විය. සංගීතය පී.එල්.ඒ.සෝමපාල විසිනි.

අතීශයින්ම ජනප්‍රිය වූ 'සුහද පැතුම' තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂය. එය නිෂ්පාදනය කළේ කැමිලස් පෙරේරාය. තිරගත කිරීම ආරම්භ කළේ 1973 ජනවාරි 23 වනදාය.

“පැතුසේ මෙහි ආවා 
නාඹර සිතුවිලි පල දැරුවා 
නෑඹුල් මල් නෙළුවා 
සන්සුන් ගමනක 
වංහුං දැක දැක 
ජය පිට ජය පැතුවා 
කුරු කූ, කුරු කූ, කුරු කූ කුරු කූ 
කුරු කූ, කුරු කූ , කු

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ) 
ශෝන් මැක්ස්මස් දිසානායක

Add new comment