විවිධ චරිත රඟපාන්න කැමැති

-කැලුම් දිසානායක
මාර්තු 19, 2020

මීරිගම ග්‍රාමයේ උපන් කැලුම් දිසානායක කලක පටන් රංගනයට දැක්වූයේ ඉමහත් කැමැත්තකි. එහෙත් ඔහුගේ ඒ රංගන සිහිනය සැබෑ කරගැනීමට හැකියාව ලැබෙන්නේ 2008 වසරේදී ය. එදා පටන් අද දක්වා පැමිණි ගමන ගැන ඔහු සරසවියට පැවසුවේ මෙවැනි කතාවකි.

“මම මුලින් ම රංගනයට සම්බන්ධ වෙන්නේ සනත් අබේසේකරගේ ‘දළදා ගමනය’ චිත්‍රපටයෙන්. ඉන් පස්සේ සුරංග ද අල්විස්ගේ ‘රජහොරු’ චිත්‍රපටයේ නාට්ටාමි කෙනකුගේ චරිතයකට පණ පෙව්වා. ‘ඉන්දීවරි’ ටෙලි නාට්‍යයේ රඟපෑ අන්ධ හිඟන්නාගේ චරිතයට මට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මට සතුටුයි. මෙහෙම ඉන්න අතරතුරදියි මට සුගත් සමරකෝන් කියන අධ්‍යක්ෂවරයා මුණ ගැසෙන්නේ. ඔහුගේ රංගන පාසලේ ඉගෙනීම අවසන් කළාට පස්සේ මුලින්ම සහභාගි වන්නේ නිහාල් ප්‍රනාන්දුගේ ‘බොරදිය කඳුර’ ටෙලි නාට්‍යයටයි. එහි මා රඟපෑවේ ගෝත්‍රිකයකුගේ චරිතයක්. මේ ටෙලි නාට්‍යය පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වුණා. එයට පස්සේ සුගත් සමරකෝන් අධ්‍යක්ෂවරයාගේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයට ඔහු මාව සම්බන්ධ කර ගත්තා. මගේ මෙතෙක් පැවැති නළුවකු වීමේ සිහිනය වඩාත් හොඳීන් මල්ඵල ගැනෙන්නේ සුගත් සමරකෝන් අධ්‍යක්ෂවරයා යටතේ. ඔහුගේ ගුරුහරුකම් ලබමිනුයි මා රංගන ගමනේ ඉදිරිය ගැන සිතුවේ. ඒ අනුව මා කොණ්ඩය හා රැවුළ වවන්නේත් එහි ම ඉදිරි පියවරක් ලෙසයි. මොකද අද ස්වාභාවික විදියට කොණ්ඩ රැවුළ වවන නළුවන් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ මඟින් යම් යම් චරිතවලට පිවිසීමට ඇති ඉඩකඩ බොහොමයි.

ඒ සියලු දේවලට අමතරව මේ වන විට මා මොහාන් නියාස් මහත්තයාගේ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයේ රඟපෑ මොහොට්ටාලගේ චරිතය විශේෂයි. එය මගේ ජීවිතයේ අමතක නොවන චරිතයක්. උදයකාන්ත වර්ණසූරියගේ ‘ගින්දරී 2’ චිත්‍රපටයේ රඟපෑ හිඟන්නාගේ චරිතයත් මට විශේෂයයි. කෝපිකඩේ මා රඟපෑවේ අහිකුණ්ඨික චරිතයක්. සුනෙක් මාලිංගගේ ‘නිදහසේ පියා චිත්‍රපටයෙත් සුළු චරිතයක් රඟපෑවා. ඒ වගේ ම මා රඟපෑ නලින් මාපිටිගමගේ ‘තානාපතිලාගේ ගෙදර’, ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස්ක්‍රීම්’ මා රඟපෑ, ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයි. එයට අමතරව සුගත් සමරකෝන්ගේ ‘යක්ෂාදේශ’ චිත්‍රපටයේ වැදි නායකතුමාගේ ගෝලයාට පණ පෙව්වා. ඉදිරි කාලයේදී කිරීමට නියමිත ‘ඉන්ටර් ක්ලෝර්’ නිර්මාණයේ සහය නළුවා විදියට මාව තෝරා ගන්න බවයි ඔහු මට පැවැසුවේ. රැකියාව වශයෙන් සුළු වෙළෙඳාමක් කරන අතරතුරයි මා රංගනයට සම්බන්ධ වෙන්නේ. ඉදිරියේදි වෘත්තිය විදියට රංගනය තෝරා ගැනීමට කැමැතියි. වැඩි දුරටත් කිව යුත්තේ මගේ රැවුළ හා කොණ්ඩය ඇතුළු පෙනුම ගැන සිතමින් කවුරුන් හෝ නිර්මාණකරුවකු ඔවුන්ගේ නිර්මාණයකට සම්බන්ධ කරගැනීමට කැමැති නම් 072-4516303 මේ දුරකථන අංකයට ඇමතීමෙන් මා සම්බන්ධ කර ගත හැකියි.

 

නිශ්ශංක

Add new comment