කලාමැදිරියෝ ආවා නම්...

අජන්තා ගැන තවත් නොකී කතා
මාර්තු 19, 2020

අජන්තා දිනමිණ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයේ වසර ගණනාවක්  සේවය කළේය.  මීමන ප්‍රේමතිලක, එස්.  සුබසිංහ, ධර්මපාල වෙත්තසිංහ, පෙරමුණේ තිලක, බන්දුල මෙත්තානන්ද, ආචාර්ය එඩ්වින් ආරියදාස යනාදී ජ්‍යේෂ්ඨ පත්‍රකලාවේදීන්ගේ ගුරුහරුකම් ඔහුට ලැබිණ. නවයුගය ප්‍රධාන කර්තෘ ධුරය දක්වා වසර 34 ක කාලයක් අජන්තා ලේක්හවුස් ආයතනයේ සුප්‍රකට මාධ්‍යවේදියකු ලෙස සේවය කළේය. ඔහු කාව්‍ය සංග්‍රහයක් “තිවංක රේඛා” නමින් මුල්වරට පළ කළේ 1964 දීය. ස්වකීය තාරුණ්‍යයේදී ප්‍රේමය, විරහව පිළිබඳ ඔහු ලත් වේදනාබර වේදිතයින්, අනුභූතීන් මේ කාව්‍ය සංග්‍රහයට වස්තු විෂය විය. විප්‍රලම්භ ශෘංගාරය දනවන කවි මෙහි බහුලව දක්නා ලැබේ. පූර්වයෙහිද ම  විසින් දක්වන ලද පරිදි මුල් යුගයේ අජන්තා රචනා කළේ කවි පමණි. ඉතා ළාබාල පාසල්  සිසුවකුව  සිටියදී ඔහු සිළුමිණ, වනිතා විත්ති, ඥානාර්ථ ප්‍රදීපය, ලංකාදීප වැනි පුවත්පත්වලට කවි ලීවේය. කවියටමැ පමණක් අජන්තාගේ ලේඛන සීමා නොවුණි. එවක පැවැති ලංකා චලන චිත්‍ර, කලා වැනි සිනමා පත්‍ර, සඟරාදියෙහිත් විවිධ කවි සඟරාවලත් ඔහුගේ නිර්මාණ පළ විය. භාෂාව හා අන්තර්ගතය අනුව ඒවා කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණවලට සාම්‍යය විය. අජන්තාගේ එළිසම සහිත සිවුපද කවියක් මුල්වරට පළ වූයේ 1951 දී “පෙරමුණ” පුවත්පතෙහිය. හත් හවුලේ මිතුරෝ ඔහුගේ කලා ජීවිතයට උපකාර කළහ. 

පෙර කී ලෙසින් කරුණාරත්න අමරසිංහ අජන්තා නමින් ගීතයක් ලියා තම මිතුරා ගීත රචනයට පෙලඹවූයේය. කරු ඉන් නොනැවතී බණ්ඩාර කේ. විජේතුංග සමඟ එක් වී අජන්තා ගුවන් විදුලි සංස්ථාවට කැටුව ගියහ. එවක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නිබන්ධ සම්පාදකයකු ලෙස සේවය කරමින් සිටියේය. කේ. ඒ. ඩබ්ලිව්ගේ “රේඩියෝ සඟරාව“ වැඩසටහනට පිටපත් කියවීමෙන් අජන්තා මුල්වරට දායක විය. ඔහු මෙන්ම හත් හවුලේ මිතුරන් වූ සුනන්ද මහේන්ද්‍ර, කරුණාරත්න අමරසිංහ,  බණ්ඩාර කේ. විජේතුංග, අශෝක කොළඹගේ මේ වැඩසටහනට දායක වූහ.

අජන්තා  රණසිංහ නම් වූ විශිෂ්ට ගේය කාව්‍ය රචකයා උපත ලැබුවේ  ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ ළමා පිටියට ප්‍රවිෂ්ටවීමත් සමඟිනි.  විශේෂයෙන් කරු අයියා සම්පාදනය කළ “සරස්වතී මණ්ඩපය” උදෙසා ඔහුගේ දායකත්වය ලැබිණ. අජන්තා ලියූ ගීතයක් මුල්වරට තැටියකට නැඟුණේ 1960 වසරේදීය. මේ අවස්ථාව අජන්තාට ලබා දෙන ලද්දේ ප්‍රකට ගීත රචක සරත් විමලවීර විසිනි. “දුර පාවෙන මේ  කුළු ගුවනේ” නමැති මේ ළමා ගීතය එදා ගයන ලද්දී ළමා පිටියේ සිටි නන්දා මාලිනියයි. ස්වර සංරචනය ඩී. ඩී. ඩැනීගෙනි.

දුර පාවෙන මේ කුළු ගුවනේ

සුදු පාටට කෝමද හැදුණේ

සොම්නස් දියරේ නෑවීලා

සිරියාවකි ඉන් මැවුණේ 

පොඩි බඳුනක කිරි ඉතිරේවී

හුළඟට පෙණ කැටි මුසු වේවි 

එකමුතු වී පොඩි පෙණ බින්දු

අර ගුවනේ මේකුළු මැවිලා

සේද පුළුන් පෙඳ පාවෙලා

ඈත  ගුවන් මැද හාවෙලා

ඒ හැම එක් රැස් වුණු පස්සේ

සුදු පාට වලාකුළු සෑදිලා

අජන්තා ජීවිතයෙන් සමුගැනීමට ආසන්න කාලයේදී නන්දා මාලිනිය ජනගත කළ ’සාරි පොඩිත්තක්’ නමැති ළමා ගී සංගත තැටිය ඔහුට පිළිගැන්වූයේ  මේ ස්වර්ණමය අතීතය කෘතවේදීව සිහිපත් කරනු පිණිසය. ඉන් පසුව අජන්තා ලියූ “සුරතල් පොඩි හාවා” (නන්දා මාලිනි), “සීතල සුළං කපොල්ලේ” (නොයෙලින් ලියනගේ) “උදා වන විට සුපුන් සඳ කැන්” (රන්ජිත් නවරත්න) යනාදී ළමා ගීත සරස්වතී මණ්ඩපය සඳහා තැටිගත කෙරිණ. ළමා පිටියේ සරස්වති මණ්ඩපය සඳහා එවක ඔහු බොහෝ ළමා ගී ලියූවත් ඒවා වැඩසටහනේ ප්‍රචාරය වූවා විනා තැටිගත නොකෙරිණී. නන්දා මාලිනි, මල්කාන්ති පීරිස් (නන්දසිරි), චන්ද්‍රාණි ගුණවර්ධන, එස්. ලියනගේ, රංජිත් නවරත්න, නොයෙලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, සුධර්මා ද සිල්වා, චන්ද්‍රානි මානෙල් කල්දේරා, ඉන්ද්‍රලතා ජයසිංහ, මානෙල් උපසේන, සමන්මලී ගුණසිංහ ආදීහු එවක සරස්වතී මණ්ඩපයට එක් වී ඒ ගීත ගැයූහ.

අජන්තා ගුවන් විදුලියේ ළමා පිටියට මෙලෙස ඇරැයුම් ලැබෙන පරිදි ගීත රචනා ඉදිරිපත් කළ නමුදු ස්වකීය ගී නිර්මාණ සුප්‍රකට ගායක, ගායිකාවන්ට යොමු කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වීය.

60 දශකයේ මුල් භාගයේ එනම් 1963 දී තිස්ස අබේසේකර ‘කලාමැදිරියෝ’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කළේය. මේරි ෆිලීෂියා නම් තරුණියක ඔහු  මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරා ගෙන තිබුණි. එහෙත් තිස්ස ඇගේ මුල් නම “මේරි ෆිලීෂියා” යන්න වෙනස් කොට ෆියඩෝර් ඩොස්ටොව්ස්කිගේ “ඛ්පඪථඥ චදඤ ර්‍ථභදඪඵඩථඥදබ” නමැති  ශ්‍රේෂ්ඨ නවකතාවේ චරිතයක ආභාසය අනුව යමින් ඇයට “සෝනියා” යන නම තැබුවේය. අජන්තා මුල්වරට දරු  නැළවිලි ගීතයක් රචනා කළේ “කලාමැදිරියෝ” චිත්‍රපටය උදෙසාය.  ‘පුංචි දුවගේ ඉහ අද්දර’ නම් වූ මේ ගීතය සුජාතා පෙරේරා (අත්තනායක) ගායනා කළාය. අජන්තාට පූර්වයෙහි මේ චිත්‍රපටය හා සම්බන්ධ වී සිටියේ හත් මිතුරු හවුලේ ප්‍රමුඛයා වූ සුනන්ද මහේන්ද්‍රය. ඔහු ද මුල්වරට චිත්‍රපටයක් උදෙසා ගීතයක් ලීවේ  “කලාමැදිරියෝ” චිත්‍රපටය උදෙසාය. 

“හිරු දහසක් නැඟුණා

සඳු දහසක් නැඟුණා 

කාල මේකුළු හඹා ඇදුණා”

 “කලාමැදිරියෝ” චිත්‍රපටයේ සංගීත  අධ්‍යක්ෂවරයා වූයේ මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ  නෙවිල් ප්‍රනාන්දුය. සුනන්ද ලියූ ගීතය සංගීතවත් කොට ගායනා කරන ලද්දේ නෙවිල් විසිනි. “අතීතයේ උණු අළු පල්ලේ” නමැති මෙහි නෙවිල් ගැයූ තවත් ගීතයක් ඔගස්ටස් විනයාගරත්නම්  රචනා කළ අතර ඒ අතරතුර ඔහු හදිසියේ රෝගාතුර වූයෙන් ගීතයෙහි ඉතිරි කොටස් සම්පූර්ණ කිරීමට ද සිදු වූයේ සුනන්ද මහේන්ද්‍රයන්ටය. තිස්ස අබේසේකරයන්ගේ කුලුඳුල් සිනමා කෘතිය වූ “කලාමැදිරියෝ” හි වැඩ කටයුතු අතරමඟ ඇනහිටීම අභාග්‍යයකි. මේ චිත්‍රපටය නිසා සිනමාවට උචිත නමක් තබා ගත්  සෝනියා දිසානායක පසුව “හෙට ප්‍රමාද වැඩියි” (1964), “චණ්ඩියා” (1965) යන චිත්‍රපට ඔස්සේ  සිනමාවට පිවිසියාය. “කලාමැදිරියෝ” නැවතීම නිසා අජන්තාට සිනමා ගේය කාව්‍ය රචනයට ප්‍රවිෂ්ට වීමට දශකයකටත් වැඩි කලක් පුරා බලා  සිටින්නට සිදු විය. සුනන්ද මහේන්ද්‍ර මේ උදෙසා ලියූ ගීතයෙන් “කාල මේකුළු හඹා ඇදුණා” යන කොටස නාමය ලෙස තබාගෙන පසුකලක නවකතාවක් ලීවේය. මේ නවකතාව “කලාමැදිරියෝ” සමඟ සම්බන්ධයක් නැත. මෙය තිරගත වූවා නම් ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස නෙවිල් ප්‍රනාන්දු දොරට වඩින්නේ “කලාමැදිරියෝ” චිත්‍රපටයෙනි. චිත්‍රපට ගීත රචකයකු ලෙස ඔගස්ටස් විනයාගරත්නම්ගේ දොරට වැඩුම ද මේ නිසා පමා විය. දලුගම සරසවි චිත්‍රාගාරයේදී මෙහි ගීත පටිගත කෙරිණ. ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ ධර්මසිරි ගමගේ රචනා කළ ගීතයක් ද ‘කලාමැදිරියෝ’ චිත්‍රපටයට ඇතුළත් වූ අතර චිත්‍රපටය තිරගත වූවා නම් ඔවුන් දෙදෙනා සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ ද මේ චිත්‍රපටයෙනි. අනෙක් අතට මෙය බිහි වුණි නම් තිර නාටක රචනයෙහිලා තිස්ස අබේසේකර සතු වූ ශූරත්වය මුල්වරට හෙළි වන්නට තිබිණි. 

60 දශකයේ මැද අජන්තා මහාචාර්ය අමරා රණතුංග, ආචාර්ය දයාරත්න රණතුංග හා සිසිර සේනාරත්න සඳහා ගුවන් විදුලි සරල ගී කිහිපයක්  රචනා කළ ද ඒවා එතරම් ප්‍රකට නොවුණි. 1969 අජන්තා සරල ගී ක්ෂේත්‍රය තුළ ස්ථාවර කළ වර්ෂයක් විය. ආචාර්ය නන්දා මාලිනිය ගායනා කළ “උදයේ අරුණලු පතිතව“ යන ගීතයත් මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කළ “සඳුන් කුසුම් විමානයේ” යන ගීතයක් එකල ඉතා ජනප්‍රිය විය.

අජන්තා කාව්‍යාත්මක චින්තනයකින් හෙබි ගේය කාව්‍ය රචකයෙකි. “වාග්ගේයකාර” යන සිප්යුරු වදන භාරතීය සංගීත සම්ප්‍රදාය හදාරන්නකු හට ආගන්තුක නැත. මෙහි “වාග්” යනු ගේය කාව්‍ය රචනය වේ. ගීතයෙහි මාතෘත්වය ඊට අයත්ය. “ගේය” කොටසෙන් ස්වර සංරචනය කුළුගැන්වෙන අතර ගීතයෙහි පීතෘවරයා සංගීතවේදියාය. ගේය කාව්‍ය රචකයාගේ සාහිත්‍ය නිර්මාණය සංගීත නිර්මාණයක් බවට පත් වනුයේ සංගීතවේදියාගේ සුනාදයෙනි. කවියෙහි කේවල ආධිපත්‍යය පද්‍ය රචකයා සතුවන අතර භාෂා ආධිපත්‍යය එහිදී මුඛ්‍ය වේ. ගීතයක සංගීත ආධිපත්‍යය  භාෂා ආධිපත්‍යයට වඩා ඉස්මතු වීම ගීතය නමැති වෙසෙස් කලා මාධ්‍යයේ දෝෂයක් නොව ඊට ආවේණික ගුණයකි. මෙහිදී ගේය කාව්‍ය රචකයා සංගීතවේදියකු වීම අත්‍යවශ්‍ය නැත. එහෙත් සංගීතය පිළිබඳ ‘අන්වය ඥානය’ වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම ගේය කාව්‍ය රචකයා සතුව තිබිය යුතුය. එනම් සංගීතවේදියා තනුව නිර්මාණය කිරීමට පූර්වයෙහිම පද මාලාවේ ගේය කාව්‍ය රචකයාගේ තනුව අන්තර්ගත විය යුතු බවය. එය ගේය කාව්‍ය රචකයාගේ “කාව්‍යාත්මක චින්තනය” වේ. පදමාලවේ එබඳු සැඟවුණු තනුවක් තිබූ කල්හි සංගීතවේදියාට ද ඊට උචිත තනුව එනම් ගීතය ඉල්ලා සිටින තනුව  සොයා පාදා ගැනීම පහසුවකි. අජන්තා  රණසිංහ ඇතුළු  මෙරට එදා මෙදා බිහි වූ විශිෂ්ට ගේය කාව්‍ය රචකයන්ගේ ගේය පදමාලාවල මෙකී කාව්‍යාත්මක චින්තනය එනම් ගීත රචකයාගේ සැඟවුණු තනුව හඳුනා ගත හැකි වේ.

ඉතිරි කොටස ලබන සතියේ