සිනමාවේ අර්බුදයට වහා පිළියම් ඕනෑ

ජුනි 18, 2020

එරංග සේනාරත්න වන මා 90 දශකයේ ආරම්භයත් සමඟ තිරගත වන අමරනාත් ජයතිලකගේ “යුවතිපති” හා යසපාලිත නානායක්කාරගේ ‘ප්‍රතිඥා’ යන චිත්‍රපටවල සහාය අධ්‍යක්‍ෂ වීමි. 1994 සිට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කොට 1999 තිරගත වන සුරයහන ගිනිගනී චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සිනමාකරණයට පිවිසෙන මා, 2000 ගිනිගත් මධුසමය, 2003 රෝස පැටික්කි, 2008 සිනාසුනා ආදරෙන්, 2010 ස්වීට් එන්ජල් හා 2015 නෝනේ මගේ සුදු නෝනේ යන චිත්‍රපට සහ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රදර්ශනයට සූදානම් වී ඇති ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’, ‘නෝනා හරිම වසයි’, ‘නිලූ මං ආදරෙයි’ හා ‘ආදරෙයි ජානු’ ඇතුළු චිත්‍රපට 10 ක් මේ වන විට නිර්මාණය කොට අවසන් ය. (මා ගැන මෙතරම් විස්තරයක් දැක්වූයේ මා අද කතා කරන්නට යන විෂයේ කොටස්කරුවෙකු හා ගොදුරක් ද වී ඇති බවට උදාහරණයක් වෙමින් ප්‍රකාශ කරන්නට විනා මා ගැන පම්පෝරියකට නොවේ) ඊට අමතරව දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ ලේකම් වරයා ලෙසින් වර්තමානයේ මෙම සිනමා අර්බුදය තුළ සක්‍රීය ක්‍රියාධරයෙකු ලෙස මා ද කටයුතු කරයි.

දේශීය සිනමාවේ අර්බූදය ඇති වීම - බලා සිටීම හා පවත්වාගෙන යාම.

දේශීය සිනමාව තරම් ම මේ වන විට සිනමාවේ ‘අර්බුදයද’ කරළිය තුළ ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. ගහට පොත්තක් සේ අද සිනමාවට ‘අර්බුදය’ යන වචනය බද්ධ වී ඇත.

සැබැවින් ම මේ ‘අර්බුදය’ කුමක් ද? සිනමාව තුළ නොවිසඳුන ගැටලු කිහිපයක් ම ඇත. ඒ සියල්ල අතරින් ප්‍රදර්ශනය සඳහා නිර්මාණය වී ඇති දිගු චිත්‍රපට පෝලිම (පෙළගැස්ම) රැඟුම් පාලක මණ්ඩලය විසින් ප්‍රදර්ශනයට සුදුසු බව සපුරා නිකුත් කළ බලපත්‍රය සහිතව සිනමාහල් ප්‍රදර්ශනයට බලා සිටින මෙම චිත්‍රපට සංඛ්‍යාව අද වන විට 100 ඉක්මවා ඇත. වසර ගණනාවක සිට ගොඩනැඟුණු මෙම චිත්‍රපට පෝලිම වෙනුවෙන් පෙනී සිටින වගකිව යුත්තෙකු ද නැත.

එහෙත් ජාතික චිත්‍රපට සංස්ථාවට මේ සම්බන්ධයෙන් ඇඟිල්ලක් දිගු වන්නේ එම සංස්ථාව මෙම චිත්‍රපට ආරම්භයේ දී ම ලියාපදිංචි කරගනිමින් රු. 2,000/- මුදලක් නිෂ්පාදකගෙන් ලබා ගනිමින් (අද වන විට රු. 5,000/-) මේ සඳහා පාර්ශවයක් වී කුවිතාන්සියක් ද නිකුත් කර ඇති පසුබිමකයි.

එසේ නම් ඔවුන්ට මේ සම්බන්ධයෙන් වගකීමක් නොවන්නේ ද?

මෙරට නිෂ්පාදනය වූ බහුතරයක් දේශීය චිත්‍රපට සිනමා වෘත්තිකයන් තම උපයා ගත් ධනය උගසට තබා ලබා ගත් මුදලින් එසේ නැතිනම් දේශීය ආයෝජකයෙකුගේ මුදලින් දැඩි දුෂ්කරතා මැද කැපකිරීම් තුළින් සිදු කළ නිර්මාණයි. ඒ අතර ව්ට්ර්‍ණ (රාජ්‍ය නොවන සංවිධාන) වල මුදල් හා න්‍යාය පත්‍ර පදනම් වූ නිර්මාණ ද ඇත. ඒවා මීට අදාළ නොවේ.) සමහර දේශීය නිෂ්පාදකයින් මේ නිසාම ගෙළ වැළලා ගත් අවස්ථා ද ඇත්තේ ය. එසේ නම් මේ අයගේ මුදල් / ශ්‍රමය / හැකියාව / කැපකිරීම / කාලය සඳහා වගකීමක් ගෞරවයක් සදාචාර සම්පන්න සමාජයක් තුළ ගොඩනැඟුනු වගකීව යුතු ආයතන සංස්ථා නිලධාරීන්ට බලධාරීන් හා සුවහසක් රසික සමාජය වෙත නොවන්නේ ද?

අද මේ ගැටලුව නිෂ්පාදකයා ප්‍රදර්ශකයා සිනමා හල අතර ගැටුමකට තරම් ලඝු කළ හැකි ද?

දේශීය වෙළඳපොල ඉලක්ක කොට ගෙන අපේ රසික සමාජය වෙත නිර්මාණය වන සිනමා නිර්මාණ අද මේ අර්බුදයේ ගොදුරයි.

එසේ නම් මේ අර්බූදය සරල ව හඳුනා ගෙන කෙටියෙන් විග්‍රහයක් කරන්නේ නම් අසීමිතව නිෂ්පාදනය වූ චිත්‍රපට පෙළ ගැස්මක් ඉතා සීමිත සිනමාහල් සංඛ්‍යාවක් ඉදිරියේ තම ප්‍රදර්ශන වාරය ඉල්ලා බලා සිටීමයි.

මෙය නම් මේ අර්බූදය කළමනාකරණය කළ නොහැක්කක් ද?

අපට අත්දැකීම් අතීතය තුළ එමට ඇත. ආරම්භක සිංහල සිනමාව තුළ පෞද්ගලික මණ්ඩල ත්‍රිත්වයක් (සිනමාස් / සිලෝන් තියටර්ස් / සිලෝන් එන්ටර්ටේන්මන්ට්) මෙම චිත්‍රපට බෙදා හැරීම ඉතා සාර්ථකව පවත්වාගෙන යන ලදි. ඒ තුළ ඉතා සාර්ථක දේශීය සිනමා කර්මාන්තයක් ගොඩනැඟෙමින් පැවතුණි. මේ හරහා සිනමාහල්, චිත්‍රාගාර ඉඳී විය. එහෙත් අංකුර සිනමා කරුවන් ඇතුළු බොහෝ සිංහල සිනමා කරුවන්ට විඳීන්නට සිදු වූ ගැහැටවල ප්‍රතිඵලයක් ලෙස 1972 චිත්‍රපට සංස්ථාවක් බිහි වුණි.

ඒ යටතේ ඉතා විධිමත් කාර්යක්ෂම බෙදාහැරීමේ ජාලයක් මණ්ඩල 4 ක් යටතේ සිදු විය. 78 න් පසුව 5 වන මණ්ඩලයක් එකතු විය. ඒ තුළ ඉතා ශක්තිමත් සාර්ථක සිනමා කර්මාන්තයක් පැවතිණ. සිනමා වෘත්තිකයන් ස්වාධීන නළු නිළියන් නිෂ්පාදකයන් මේ යටතේ වෘත්තීය මට්ටමින් ගොඩනැගෙන ලදි. ඩී. බී. නිහාල්සිංහ මහතාගේ කළමනාකාරීත්වය දක්ෂතාවය හා කැපවීම තුළ සාර්ථක චිත්‍රපට සංස්ථාවක් ගොඩනැඟුණි. නව සිනමා පරම්පරාවක් ද ඇති විය. ජනප්‍රිය සිනමාව මෙන් ම කලාත්මක සම්භාව්‍ය සිනමාවක් ද ඇති විය.

එහෙත් 1978 පසුව රට තුළ විවෘත ආර්ථිකය ඇති වීම - 80 දශකය තුළ රූපවාහිනිය ආරම්භය ඍඩ්ඉ කැසට් බහුල වීම. ජනප්‍රිය කැසට් ගීත ව්‍යාපාර බිහිවීම ඇතුළු රට තුළ සිදු වුණ ආර්ථික සාමාජීය වෙනස්කම හමුවේ සිනමාව නිසි කළමණාකරණයකට හසු කර නොගැනීම තුළ අද මේ ආර්බුදයේ ආරම්භය එදා ඇති වන්නට විය. එදා පාලකයන් සිංහල චිත්‍රපට වැඩි නම් ගිනි තබන්න යැයි ප්‍රකාශ කරද්දී එහි ගැඹුරු දේශපාලන අරුත අප හට නොවැටහිණි.

එසේ නම් අද අප බලධාරීන් පවසන්නේ පවතින දිගු චිත්‍රපට පෝලිම තුළ ඇත්තේ බහුතරයක් චිත්‍රපට නොවන බවයි.

මෙය එදා වැඩි චිත්‍රපට ගිනිබත් කිරීමට යෝජනා කළ බලධාරින්ගේ ප්‍රකාශනවලට නොදෙවෙනි ප්‍රකාශනයක් ම නොවන්නේ ද? .....

මෙය ඔවුන්ගේ නොහැකියාව පවතින ගැටලුව හමුවේ විසඳුම් නැති කම හා කල්ලි ගෝත්‍රික මානසිකත්වයයි.

තවත් පිරිසක් තමුන්ගේ චිත්‍රපට පමණක් චිත්‍රපට බවත් ඒවා පමණක් පැවතිය යුතු බවත් අදහයි.

දේශීය සිනමා ව්‍යාපාරය මේ තරම් රුපියල් සත මත ම ලඝු කොට තැකිය හැක්කක් නොවන අතර මේ තුළ ගැබ්ව ඇති සමාජ සංස්කෘතික සාරධර්ම වටිනාකම් මත අගය කළ යුතුය.

මේ තුළින් ප්‍රකාශ වන නිර්මාණ කරුවන්ගේ මතවාදය දැක්ම සමාජ ගත විය යුතුය. ඒ තුළ ප්‍රේක්ෂකාගාරය සමඟ වින්දනාත්මක බුද්ධිමය ගනුදෙනුවකට ඉඩ සැලසිය යුතුය. මේ තුළයි සිනමා ප්‍රේක්ෂකාගාරය වර්ධනය කර ගත හැකි වනුයේ,

මේ සම්බන්ධයෙන් වගකීමක් ජාතික චිත්‍රපට සංස්ථාව සතු අතර එය ඉටු කිරීම හා කර්මාන්තයේ පැවැත්මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම තුළ නියාමනය සිදු කළ යුතුය.

මේ මොහොතේ අධිකරණය ඉදිරියේ විභාග වන මේ සම්බන්ධ නඩු නිමිත්ත නිසා සීමිත රාමුවක චිත්‍රපට සංස්ථාව ක්‍රියාත්මක වන බව අපි පිළිගන්නෙමු. එම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අවශ්‍ය මැදහත් වීම ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඉටු කරනු ඇතැයි ද බලාපොරොත්තු වන්නෙමු.

එසේ නම් මෙම අර්බුදයේ දිගු චිත්‍රපට පෝලිමට කුමක් කරමු ද?

පැවති රජය යටතේ හිටපු චිත්‍රපට සංස්ථා සභාපතිතුමියක් විද්වත් කමිටුවක් පත් කොට මෙම චිත්‍රපට 80 පමණ නරඹා චිත්‍රපට 18 පමණක් තෝරා ගැනීමට හැකි වූ බව මහත් හඬින් හඬ ගා කීවේ ය. ඒ අනුව එම චිත්‍රපට 18 අතරින් 10 ක් පමණ පසුගිය කාලයේ මාර්තු 12 පෙර ප්‍රදර්ශනය වුණි. එම චිත්‍රපටවලට අත්වුණ ඉරණම අප කවුරුත් දන්නෙමු. (ඒවායේ නම් සඳහන් කිරීම නුසුදුසු නිසා නොකරමි) චිත්‍රපටයක කලාත්මක වටිනාකම්, තාක්ෂණික මට්ටම අනර්තර්ගතය - ගුණාත්මකභාවය යන කරුණු සම්බන්ධ ඇගයීමක්, පත් කරන කමිටුවක් මගින් ලබා දෙන නිර්දේශයකට අන්තර්ගත කර ගත හැකි වුවත් එය සිනමාව වෙළඳපොළ තුළ හැසිරීම, ප්‍රේක්ෂක පිළිගැනීම සම්බන්ධව කාටවත් අනාවැකි පැවසිය නොහැක.

මෙවැනි ක්‍රියා තුළින් සිනමාව ගොඩදැමිය හැකි ද නොවේ.

මෙම අර්බුදය තුළ එක්තරා වරප්‍රසාදික කිහිපදෙනෙක් තම චිත්‍රපට ඉතා නිදහසේ නිෂ්පාදනය කරමින් ඉතා කඩිනමින් ප්‍රදර්ශන අනුග්‍රහය ද ලබා ගන්නා අයුරු අප දකින්නෙමු. ඔවුන්ගේ ප්‍රතිරූපය දේශපාලන හා සමාජ සම්බන්ධතාවය - මාධ්‍යයන් ඉදිරියේ නිරන්තර පෙනී සිටීම හා කැපී පෙනීම තුළ ඔවුන්ගේ චිත්‍රපට උදෙසා සිනමා හල් හිමියන් හා සිනමා මණ්ඩල සුපිරි අනුග්‍රහයක් ලබා දෙනු අප හොඳීන් දකින්නෙමු.

වර්තමාන සිනමාව හා ප්‍රදර්ශන ව්‍යාපාරය මෙවැනි තැනක ස්ථාන ගත වෙමින් එක්තරා කණ්ඩායමක කල්ලියක ව්‍යාපාරයක් බවට පත් කොට ගනිමින් සිටියි.

මෙය තවදුරටත් මේ ආකාරයට පවතින්නට ඉඩ හැරිය යුතු ද?

2001 න් පසුව චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික මණ්ඩල 4 යටතේ පාලනය වන ක්‍රියාත්මක ව්‍යාපාරයකි. ජාතික චිත්‍රපට සංස්ථාව රිත්මා මණ්ඩලය අනුබද්ධිතව මෙම ව්‍යාපාරය තුළ සිනමාහල් 60 කට ආසන්න සංඛ්‍යාවක් සතු මණ්ඩලයක් ලෙස පැවතිය ද ආරම්භක සිනමා හලක් කොළඹ නගරය කේන්ද්‍රිව නැති නිසා දිගු කඳක් සහිත හිසක් නැති සිනමා මණ්ඩලයක් වී ඇත. මේ නිසා සෙසු මණ්ඩල සමඟ කරට කර තරඟයක් සිදු කළ නොහැකි වී ඇත. එහෙත් සෙසු මණ්ඩලවලට සාර්ථක ප්‍රදර්ශනයක් ඇති කර ගැනීමට මෙම රිත්මා මණ්ඩලයෙන් සිනමාහල් ඉල්ලා ගැනීම ද සිදු නොකර සිටිය නොහැකි බව අපි දනිමු.

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී අද දවස වනවිට ප්‍රදර්ශනය වන චිත්‍රපටයේ නිෂ්පාදකවරයා තෘප්තිමත් වන්නේ ද නැත. චිත්‍රපටය ලබන ආදායම තුළ සිනමා හල් තෘප්තිමත් ද නැත. බොහෝ සිනමා හල් ඔවුන් වෙත දුවන චිත්‍රපට නොලැබෙන බවට මැසිවිලි නඟයි.

මේ හේතුව නිසා බොහෝ සිනමාහල් වැසී ගිය බව අපට නම් වශයෙන් ද කිව හැක. විජිත - රත්මලාන / ජීවන් - පානදුර උදාහරණ වේ.

මේ නිසා සමහර සිනමා මණ්ඩල ද උදාසීන ප්‍රතිපත්තියක් අනුමගනය කරයි. අද ඔවුන් සියලු දෙනාගේ උත්තරය වී ඇත්තේත් සිනමාව ගොඩ ගන්න බෑ. ඉවරයි යන වචනයි.

ඇත්තටම එය එසේ ද? එහෙනම් එහෙම උනේ කොහොම ද?

සිංහල සිනමාව ආරම්භක යුගයේ සිට ම මණ්ඩල ක්‍රමයක් මත පුද්ගලික මණ්ඩල ත්‍රිත්වයක අනුග්‍රහයෙන් චිත්‍රපට බෙදා හැරීම ක්‍රියාත්මක වූ බව (සිලෝන් තියටර්ස් / සිනමාස් / සිලෝන් එන්ටර්ටේන්ම්න්ට්) මෙම ලිපිය මුල දී සඳහන් කළෙමි. එය ව්‍යාපාරයක් ලෙස ඔවුන් ඉතා සාර්ථකව පවත්වා ගෙන යන ලදි.

පසුව 1972 ජාතික චිත්‍රපට සංස්ථාව බිහිවීමත් සමඟ මෙම ක්‍රමවේදයට පළවන දෙවන තෙවන හතරවන 1978 පසුව 5 වන මණ්ඩල වශයෙන් නම් කරමින් වඩා විධිමත් කාටත් සාධාරණ රැඟුම් පාලක මණ්ඩලය අනුමත දිනය පදනම් කොට ගෙන චිත්‍රපට අනුපෙළ ගන්වන ක්‍රමවේදයක් තුළ සැමට සාධාරණ විනිවිද බාවයක් සහිත බෙදාහැරීමක් අනුගමනය විය.

90 දශකයේ අග භාගය වන විට ජාතික චිත්‍රපට සංස්ථාව හා එහි අනුගමනය වූ ක්‍රමවේදය විවෘත ආර්ථිකය සමඟ නිසි කළමනාකරණය හා යාවත්කාලීන නොවූ නිසාත් දේශපාලන පත්වීම් හා න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය මත දුර්වල වූ චිත්‍රපට සංස්ථාව නැවත පෞද්ගලික බෙදාහැරීමක් දක්වා (2001) නැවත තල්ලු විය.

2001 සිට මේ දක්වා වසර 19 පුරා ක්‍රියාත්මක පෞද්ගලික බෙදාහැරීම ද අනුගමනය කරන ලද්දේ තමන් විසින් යොදන නාමයක් සහිත බෝඩ් ලෑල්ල මත මෙම මණ්ඩල ක්‍රමයමයි.

රට තුළ නව නගර බිහිවීම - ජනගහනය වැඩි වීම - විවිධ විනෝද ආස්වාදන හමුවේ ඇති වන තරඟකාරිත්වය - සිනමාව ඩිජිටල්කරණය වීම ඒ ඔස්සේ නව පරම්පරාවක් සිනමාකරණයට අවතීර්ණ වීම, ඒ තුළ ප්‍රදර්ශනයට දිගු චිත්‍රපට පෝලිමක් ඇති වීම සිදු වුවත් 83 කළු ජූලිය හේතුවෙන් අපට අහිමි වූ සිනමාහල් හා චිත්‍රාගාර නැවත ගොඩනැංවීමට නොහැකි වීම - විශාල ආසන සංඛ්‍යාවක් සහිත සිනමාහල් පාඩු ලබද්දී ඒ වෙනුවට මිනි සිනමාහල් ක්‍රමය (සීමිත ආසන ප්‍රමාණයක) සිනමාහල් නොමැති නගරවල ඇති නොකර ගැනීම තුළ මේ වන විට විශාල සිනමාහල් හිඟයක් ඇති වී ඇත.

මේ නිසා ඇති වූ දිගු චිත්‍රපට පෝලිම අද සමහරුන්ට පෙනෙන්නේ බ්ලූමැන්ඩල් කුණු කන්ද ලෙසිනි. මෙම චිත්‍රපට ඇතුළාන්තයේ පවතින්නේ මෙරට නිර්මාණකරුවන්ගේ චින්තනය, දැක්ම හා සමාජ විග්‍රහයයි. (ඒ තුළ අඩුපාඩු ද නැතුවා නොවේ) එය කාටවත් ලේබල් කිරීමට, විනාශ කිරීමට හෝ යටපත් කිරීමට ඉඩදිය නොහැකිය.

වර්ෂ 2001 පසුව මෙරට පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල 4 ක් සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව අනුබද්ධිතව රිත්මා මණ්ඩලය ද චිත්‍රපට බෙදාහැරීම සිදු කරන ලදි. පසුව මෙම මණ්ඩල 5 ධාරා 3 ලෙසින් එකතු වී එක ධාරාවකට වඩා වැඩි සිනමාහල් සංඛ්‍යාවක් එකතු කර ගනිමින් බෙදාහැරීම සිදු කරන ලදි.

එහෙත් දැවැන්ත චිත්‍රපට පෝලිමක් ඇති වූයේ කෙසේ ද?

අද වන විට සමහර නිෂ්පාදකවරුන් තම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා ජනප්‍රිය සිනමා ධාරාවක් සමඟ ගිවිස ගනිද්දී එම සිනමාහල්වලට අමතරව අනෙක් ධාරා දෙකේ ප්‍රධාන නරගවල සිනමාහල් සමඟ ඇති කරගන්නා එකඟතාවයන් මත තම චිත්‍රපටය එකවර වැඩි සිනමාහල් ප්‍රමාණයක මුදා හැර ඉක්මන් ලාභයක් අපේක්‍ෂා කරයි.

මෙය දිගින් දිගටම (ඕචජඬ 2 ඕචජඬ) සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු ධාරාවන් අකර්මණ්‍ය වූ අතර ඔවුන් සමඟ සිටි සෙසු නගරවල සිනමාහල් ආදායම් අතින් තව තවත් දුර්වල වූයේ් තම ධාරාව සමඟ දුර්වල චිත්‍රපට හැර වෙනත් චිත්‍රපට ප්‍රදර්ශනයට එක් නොවීමේ ප්‍රවණතාව මතයි. මේ නිසා බොහෝ සිනමාහල් ආදායම් අඩුවීම හේතුවෙන් වැසී යන තැනට පත්ව ඇත.

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය යළි පණගන්වා විවිධත්වය, රසිකත්වය හඳුනාගෙන ප්‍රතිසංස්කරණය කළ යුතුවන්නේ අදාළ ධාරාව තුළ ඇති සිනමාහල්වල පමණක් අදාළ ගිවිසගත් චිත්‍රපටයේ පිටපත් ප්‍රදර්ශනය සඳහා යොමු කරවීම තුළ සෙසු ධාරාවන්ට ද නව චිත්‍රපට අදාළ සිනමාහල්වල පමණක් ප්‍රදර්ශනයට යොමු වන නීතිරීති රෙගුලාසි මත පමණි.

යම් ධාරාවකට එය වැඩි කර ගත යුතු නම් ඔවුන් කළ යුතු වන්නේ සිනමාහල් ඉදි කර ගැනීමට යොමු වීමයි. පවතින වෙනත් ධාරාවන්ගෙන් කොල්ල කෑම නොවෙයි.

මෙය හඳුනා නොගැනීමේ ප්‍රතිඵලය සමස්ත දේශීය සිනමා ප්‍රදර්ශන යාන්ත්‍රණයම හා සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැට්ටවීමයි. මෙයට තවදුරටත් ඉඩදිය හැකි ද?

වහා බලධාරීන්ගේ ඇස හා නියාමනය යොමු වේවා !

(මෙම ලිපිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ලේඛකයා වන මා විසින් දරනු ඇත.)