රන්මුතු දූවේ අමතක නොවන රාජු

ෂේන් ගුණරත්න
ජුනි 18, 2020

ප්‍රවීණ නළු ෂේන් ගුණරත්නගේ 39 වැනි අනුස්මරණය වෙනුවෙනි

හැටේ දසකයේ මැයි දිනයේ වඩාත් කැපී පෙනුණ ආකර්ෂණීය පෙළපාලිය වූයේ කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂවවල පෙළපාලිය. කොළඹ සිටි වාමාංශික මෙන්ම කම්කරු නිර්දන පන්ති ජනතාවගෙන් සමන්විත මේ පෙළපාලි බැලීමට පුංචි අපට එදා කදිම විනෝදයක් විය. පීටර් කේනමන්, දොස්තර වික්‍රමසිංහ, රත්නවීර ඇතුළු කොමියුනිස්ට් නායකයන් අතර පෞරුෂත්වයකින් හෙබි, උස, උත්තුංග දේහධාරි කලාකරුවෙක් රතු කමිසයකින් හා සුදු කලිසමකින් සැරසී අභිමානවත් ලෙස ගමන් ගත්තේ සැමට රසඳුනක් ලබා දෙමිනි. ඔහු ඒ වන විට ‘සන්දේශය’ හා ‘රන්මුතු දූව  චිත්‍රපටවල රඟපෑ තරුණ සිත් ආකර්ෂණය කළ නළුවෙකි.

 “අන්න . . . ෂේන් ගුණරත්න” පෙළපාලිය නැරඹූ සිය ගණනක් සෙනඟ අතර සිටි කිහිප දෙනෙකු කියනු කොස්ගස් හන්දියේ පෙළපාලියේ ගමන් ගත් අර කලාකරුවාට ප්‍රතිචාර දැක් වූයේ “ෂේන් අයියා ජයවේවා” කියා කෑගසමිනි. තමාට ප්‍රතිචාර දැක් වූ  සෙනඟට තම ආචාරය පුද කරමින් ඔහු නිහතමානි සිනහ රැල්ලකින් මුව  සරසා ගත්තේය.

ෂේන් ගුණරත්න යනු හැටේ දශකයේ සිංහල සිනමාවේ කැපී පෙනුණ චරිතයකි. සන්දේශයේ ඔහු සිංහල කැරළිකාර සිරාය.

 “කෝ හතුරෝ - කෝ හතුරෝ” ගීතයට මෙන්ම “රැජින මමයි, රැජින මමයි අපේ රාජ්ජෙ” ගීතමය දර්ශනවල ඔහු ගී ගයමින් රඟපෑවේය.

 “සන්දේශය” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය (ප්‍රවීණ, සරසවිය සම්මාන දිනූ චිත්‍රපට අධ්‍යක්ෂ) අප සමඟ පැවසුවේ මේ කතාවය.

 “ෂේන් හොඳ මනුෂ්‍යයෙක්. සන්දේශයේ රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදන අංශයටත් උනන්දු වූ වෙහෙස වී කටයුතු කළ කාර්මිකයෙක්. ඔහු කාටත් නිහතමානීව කරුණාවෙන් වැඩ කළා. තද වාමාංශිකයකු වූ ෂේන් තුළ තිබූ මනුෂ්‍යත්වය කැපී පෙනුණේ කෙනෙකුට අසනීපයක්, කරදරයක් වූ විටයි. ගාමිණි ෆොන්සේකා ෂේන්ගේ සමීපම මිත්‍රයාය. ලෙස්ටර් මහත්තයත් ෂේන්ට කැමතියි. මොකද  ඕනෑ දෙයක් නෑ බැහැ කියන චරිතයක් නෙවෙයි. මම “රන්මුතු දූව“ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක ලෙස ෂේ්න්ව හරියට තේරුම් ගත්තා. මේ චිත්‍රපටයේ බන්දු (ගාමිණී ෆොන්සේකා) සේන (ජෝ අබේවික්‍රම) රාජු (ෂේන් ගුණරත්න) යාළුවෝ. චිත්‍රපටයේ යහළුවෝ වගේම මේ තිදෙනා ඇත්තටම ගජ මිතුරෝ.”

රන් මුතු දූවේ එන  ගීතමය දර්ශනය මෙයට කදිම අවස්ථාවක් කියලා තිස්ස ලියනසූරිය අපට කීවේය.

“පිපී පිපී රේණු නටන

වනේ මලක හැප්පිලා

වරෙන් වරෙන් හුළං පොදක්

අපේ ඇඟෙත් ගෑවිලා”

ගීිතය ගයමින් ගාමිණී, ජෝ, ෂේන්, ඇන්තනි සී. පෙරේරා සමඟ රඟපෑ අවස්ථාව අපේ රසිකයන්ගේ මතකයෙන් බැහැර නොවේ.

ෂේන් තම දේශපාලන මත වැඩිපුර කතා කර ඇත්තේ ජෝ අබේවික්‍රම හා ඇන්තනි සී. පෙරේරා සමඟය. ඒ මේ තිදෙනාම වාමාංශිකයන් වීම නිසාය.  

ෂේන් ගුණරත්න නළුවකු ලෙස සිනමාවේ ස්ථාපිත වන්නේ “රන්මුතු දූව“ නිසාය.

1932 මැයි 24 වෙනිදා කිරුළපනේ උපත ලැබූ ෂේන් ඇල්ප්‍රඩ් විජේතුංග ගුණරත්න හැව්ලොක් ටවුන් විද්‍යාලයේ (අද ලුම්බිණි විද්‍යාලය) සිප් සතර හදාරා ඇත. වේදිකා නාට්‍ය නළුවකු ලෙස ‘දස පාරමිතා’, ‘වැඩ වරදී’, ‘වෙඩික්කාරයෝ’, ‘මායම් හැට හතර’, ‘තිසාහාමි’, ‘යකඩ දම්වැල්’, ‘මුව දඩයම‘ නාට්‍යවල ප්‍රධාන චරිත රඟපෑ ඔහු ‘අංජලී’ හින්දි චිත්‍රපටයේ දෙබස් කැවීමට දායක වී ඇත. ඒ 1957 වසරේදීය.

ෂේන් සිනමාවට ‘ජීවිත සටන’ චිත්‍රපටයෙන් හඳුන්වා දෙන ලද්දේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසිනි. ඔහු මේ චිත්‍රපටයේ දුම්රියට හසුව මියයන මිනිසාගේ සුළු චරිතය රඟපෑවේය. ජී. ගුණවර්ධන නම් ගුවන් විදුලි නිෂ්පාදකවරයා ෂේන්ගේ ගැඹුරු කටහඬින් ප්‍රයෝජනයට ගැනීමට සිතා ගුවන් විදුලියේ රහස් පරීක්ෂක නාට්‍යවලට තෝරා ගත්තේය.

බන්දු ගුණසේකර අධ්‍යක්ෂණය තළ ‘සිගිරි කාශ්‍යප’ චිත්‍රපටයේ ෂේන්  දුෂ්ට චරිතයක් මුල්වරට රඟපෑවේය. මිගාර නම් චරිතයට ෂේන් තෝරා ගත්තේ ඔහු සමඟ ‘සන්දේශයේ’ සිංහල ඔත්තුකරුවකු ලෙස රඟපෑ බන්දු ගුණසේකරය.  මේ අතර ෂේන් හට මුල්වරට  ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලබා දෙන්නේ ‘සන්දේශය’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු වූ විජය අබයදේවය. ‘තිසාහාමි’ චිත්‍රපටයේ ‘තිසාහාමි’ ලෙස රඟපෑ ෂේන්ගේ පෙම්වතිය වල්ලි ලෙස රඟපෑවේ සන්ධ්‍යා කුමාරිය. මේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, රෝයි හඳපාන්ගොඩ රඟපෑහ. මේ චිත්‍රපටය අතරමඟ නතර විය. 

ෂේන් රඟපෑ චිත්‍රපට අතර ටයිටස් තොටවත්තගේ ‘දස්කොන්’ චිත්‍රපටය රන්මුතු දූවට ප්‍රථම තිරගත විය. ශ්‍රී නිහාල් ජයසිංහගේ ‘සිහින හතක්’ මස්තාන්ගේ ‘සූර චෞරයා’, රංජිත් සෙනවීරගේ ‘බඩුත් එක්ක හොරු’ ලයනල් අමරසිංහගේ ‘වෙසතුරු සිරිත’, ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වාගේ ‘පූජිතයෝ’, තිමති වීරරත්නගේ ‘දැවෙන පිපාසය’, ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘රන් ඔන්චිල්ලා’, අමරසේන කුමාරසිංහගේ ‘මිරිඟුව’ හා ඇන්ඩර්සන් අල්ගමගේ ‘දාමරිකයෝ’ යන චිත්‍රපටවල ඔහු රඟපෑවේය. මේ චිත්‍රපටයේ ගීතයක් ගැයූ අතර එහි ඔහු රඟපෑවේ තම පෙම්වතියගේ පියා මැරූ බවට නොකළ වරදකට චෝදනා ලබන මෝහාන්ගේ චරිතයයි. 

පාසල් වියේ ෂේන් දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ලෙස කැපී පෙනිණී. එමෙන්ම ඔහු චිත්‍ර ශිල්පියෙකි. වෙළඳ චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රකටව සිටි ඔහු නිසා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැතිවරණ වේදිකා අලංකාර විය. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ ෂේන් කොමියුනිස්ට් නායකයන්ගේ සමීපතම හිතවතකු විය. 1970 මහා මැතිවරණයේදී ඔහු අමුඩයක් පමණක් ඇඳගෙන දේශපාලන වේදිකවේ කතා කළේ සමඟි පෙරමුණේ ජය පතාය.

ෂේන් විවාහ වූයේ ‘තිසාහාමි’ වේදිකා නාට්‍යයේ වල්ලි ලෙස රඟපෑ ගීතා පෙරේරා සමඟය. වාමාංශික දේශපාලනයට කැප වුව ද ඔහු කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත්තේය. 1971 ජූනි 18 වෙනිදා ඔහු පිළිකා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳ මිය ගියේය. ඒ වන විට ෂේන් ගුවන් විදුලියේ ඉංග්‍රීසි අංශයේ නාට්‍ය ශිල්පියකු ලෙස සහභාගි වෙමින් සිටියේය. 

ෂේන් ගුණරත්න හා නන්දා ගීතානි පෙරේරාට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය මධුරි ගුණරත්න විවාහ වී සිටින්නේ කළුතර පාලිත සිරිවර්ධන සමඟය. දෙවැනි දියණිය චින්තා ගුණරත්නගේ සැමියා පාලිත සෙනෙවිරත්න සමඟ විවාහ වී  කැනඩාවේ වෙසෙති. බාල පුතු දප්පුල ගුණත්න රුසියාවේ ජීවත් වන අතර ඔහුගේ බිරිඳ රුසියානු ජාතික ස්වේතාය. 2018 මැයි 24 වෙනිදා සරසවිය පත්‍රයට සම්මානනීය ටෙලි නාට්‍යය නිෂ්පාදකවරුන් වූ අතුල පීරිස්, රංග බණ්ඩාරනායක හා ශිරාන් රත්නායක මොස්කව් ච්ඥජබඪමඥටඥඵබ අන්තර් ජාතික  සිනමා සම්මාන උලෙළට සහභාගි වූ අවස්ථාවේ රුසියාවේ සිටින ප්‍රවීණ පරිවර්තන ග්‍රන්ථ කතුවරයකු වූ රංජන සේනාසිංහගේ හඳුන්වාදීමෙන් දප්පුල ගුණරත්න හමුවීමට ලැබී තිබූණි.

එහිදී  දප්පුල තම පියා ගැන කියූ තොරතුරු ඇසුරෙන් අතුල පීරිස් මුල්වරට සිංහල චිත්‍රපට රසිකයාට ප්‍රයෝජනවත් අගනා සංවාදයක් සහිත විශේෂාංගයක් ලියා තිබුණි. එහි පළ වූ මිය යාමට ආසන්නයේ ෂේන් ඇඳක වැතිර සිටින ඡායාරූපය දකින කාගේත් නෙතට කඳුළක් නැඟෙනු නියතය. එදා මැයි දිනයේ කොමියුනිස්ට් පෙළපාලියේ මුලටම දෙතුන් දෙනෙකුටවත් ඔසවාගෙගන යාමට බැරි විශාල රතු කොඩියක් කිසිවෙකුගේ සහායක් නැතිව ගමන් ගත් පාංශු දේහධාරී එළු රැවුල සහිත අභිමානවත් තරුණයා වඩාත් කැපී පෙනුණි.

තම පියා ගැන මතකය අවදි කළ ෂේන්ගේ වැඩිමහල් දියණිය මධුරි (ඇය අපට සම්බන්ධ කර දුන්නේ  සරසවිය කර්තෘ අරුණ ගුණරත්නය) මෙසේ කීවාය.

තාත්තා වචනයේ අර්ථයෙන්ම සමාජවාදියෙකි. අම්මා බොහෝ විට මාකට් එකෙන් එළවළු ගේන්න සල්ලි දෙන්නේ තාත්තාට. ඒ හැම විටම තාත්තා මිලට ගත් එළවළු නැති බැරි අයට බෙදා දී හිස් අතින් ගෙදර එනවා. තාත්තා මනුස්සකම මිස කිසි දෙයක් අපට ඉතුරු කරලා ගියේ නෑ. ගෙදරට  නිතරම ආව ගිය පීටර් කේනමන්, රාජා කොල්ලුුරේ, එන්. එම්. පෙරේරා, නෝමිස් සිංඤෝ, එච්. ජී. එස්. රත්නවීර එල්. ඩබ්ලිව්. පණ්ඩිත, චාල්ස් වේදගන්, මොහිදීන් වගේ සහෝදරවරු අපේ ගෙදර ආවා. දේශපාලක කතා එමට. අම්මාට සංග්‍රහ කරලා ඉවරයක් නෑ. මේ ‘පේලේන් සහෝදරයෝ’ තාත්තට ආදරෙයි. තාත්තා කෙළින් කතා වැඩ කරන යුක්තියට ගරු කරන චරිතයක්. අපි පුංචි කාලයේ මට මතකයි කිරිල්ලපන වෙසක් කූඩුව හදන්න පුරෝගාමී වුණා. තාත්තා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. තරුණ කාලේ තාත්තා කුරේ ක්ලබ් එකට ක්‍රීඩා කළා. ඒ වගේම  බිලියඩ් (ස්නූකර්) ක්‍රීඩාවට දක්ෂලු. අම්මා ඒ කාලේ ගුවන් විදුලි නාට්‍යවල රඟපෑවා.

දප්පුල පුතා ‘සරසවිය’ පත්‍රයට කියා  තිබුණේ තම පියා 1969 වසරේ ලෝක තරුණ කම්කරු සම්මේලනයට සහභාගි වී ඇත. ෂේන් ගුණරත්න දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රකට වූ බවය. ඔහු බෝඩ් ඇදීමේ ශූරයෙකි. මව දක්ෂ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගුරුවරියකි. දප්පුල කියා ඇත්තේ අම්මා මොනරතැන්න, මුවන්  පැලැස්ස ඇතුළු ගුවන් විදුලි නාට්‍ය රැසක රඟපෑ බවය. අම්මා තාත්තා එක්ක ‘තිසාහාමි’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාලා තියෙන්නේ. 2013 ජූනි 13 වෙනිදා ෂේන්ගේ බිරිය ගීතානි මිය ගොස් ඇත.