ඇකඩමි සම්මාන උලෙළ අලුත් වෙනසක්

ජුනි 25, 2020

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උලෙළේ වෙනස්කම් රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් නිවේදනය කර සිටී. එහි එක් පියවරක් ලෙස හොඳම චිත්‍රපට වෙනුවෙන් වූ නිර්දේශ නාම අතරට චිත්‍රපට දහයක් තෝරා ගැනීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් නිර්දේශ නාම අතරට පැමිණීම සඳහා වූ චිත්‍රපට සතු විය යුතු සුදුසුකම්වල තත්ත්වයන් වෙනස් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ. මෙම වෙනස්කම 2022 වසරේදී පැවැත්වීමට නියමිත 94 වැනි ඇකඩමි සම්මාන උලෙළේ සිට සිදුවනු ඇත.

ඇකඩමි සම්මාන ඉතිහාසයේ මීට පෙරදීත් අවස්ථා කිහිපයකදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් වූ සම්මානය සඳහා වන සුදුසුකම් හා නිර්දේශ නාම යෝජිත චිත්‍රපට සංඛ්‍යා වරින්වර වෙනස් වී තිබේ. 2009 වසරේදී එය චිත්‍රපට 05 සිට චිත්‍රපට 10ක් දක්වා වෙනස් වූ අතර එහිදී බොහෝ දෙනෙකු චෝදනා කර සිටියේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ද ඩාර්ක් නයිට් චිත්‍රපටය එම නිර්දේශයට ඇතුළත් නොවීම හේතුවෙන් මෙම වෙනස්කම සිදු කරන්නට ඇති බවයි. පසුගිය වසරේදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් චිත්‍රපට නවයක් නිර්දේශය නාම ලැබීය. ඇකඩම් සම්මාන උලෙළ මුල් කාලයේදී නිර්දේශ නාම ලද චිත්‍රපට සංඛ්‍යාව 12ක් විය. තවද 2025 වසර වන විට ඇකඩමි සම්මාන උලෙළ තවත් විවිධ පැති ඔස්සේ වෙනස්කම් රැසක් සිදු කිරීමට චලන පින්තූර කලා හා විද්‍යා ඇකඩමිය පියවර ගනිමින් සිටින බව නිවේදනය කර සිටී.

ඇකඩමියේ සභාපති ඩේවිඩ් රූබින් පවසා සිටින්නේ, 2020 වන විට සංවිධානයේ කාන්තා හා විවිධ සාමාජික සංඛ්‍යාව දෙගුණ කිරීමේ ඉලක්කය ද ඉක්මවා ගොස් ඇති බවයි. 2015 සිට සමස්ත කාන්තා සාමාජිකත්වය 25% සිට 32% දක්වා වර්ධනය වී ඇති බව ඇකඩමිය පවසයි. සුදු ජාතික නොවූවන්ගේ සමස්ත සාමාජිකත්වය සියයට 8 සිට 16 දක්වා දෙගුණ වී තිබේ.

ඇකඩමිය ප්‍රගතියක් ලබා තිබුණ ද මණ්ඩලය හරහා සාධාරණ අවස්ථා සහතික කිරීම වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව ප්‍රධාන විධායක නිලධාරී ඩෝන් හඩ්සන් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

1927දි ලුයිස් බී මේයර් විසින් ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් පිහිටුවීමෙන් අනතුරුව 1929 වසරේදී පළමු වැනි ඔස්කාර් සම්මාන උලෙළ හෙවත් ඇකඩමි සම්මාන උලෙළ පැවැත්විණි. එම සම්මාන උලෙළ 1929 මැයි 16 වැනිදා කැලිෆෝනියාවේ හොලිවූඩ් රෝස්වෙල්ට් හෝටලයේ රාත්‍රී පෞද්ගලික සාදයක් ලෙස පැවති අතර එහි ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබුණේ එයට මාස තුනකට ඉහතදීයි. ඇකඩමි සම්මාන උලෙළ ප්‍රථම වරට 1930 දී ගුවන් විදුලියෙන් විකාශනය කෙරුණු අතර 1953 දී ප්‍රථම වරට විකාශය විය.

තවද ඇකඩමි සම්මාන උලෙළ ඉතිහාසයේ සිව්වැනි වරටත් සම්මාන උලෙළ කල් දමන ලද පුවත ද පසුගියදා අසන්නට ලැබුණි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 පෙබරවාරි 28 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ 93 වැනි ඇකඩමි සම්මාන උළෙල 2021 අප්‍රියෙල් 25 වැනිදා තෙක් කල් දමන ලද බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් සහ ඒබීසී රූපවාහිනී ජාලය නිවේදනය කළේය. ඇකඩමි සම්මාන උලෙළේ ඉතිහාසය පුරාවටම සම්මාන උලෙළ පසුවට කල් තබා තිබෙන්නේ තෙවතාවක් පමණි. 1938 දී ලොස් ඇන්ජලීස් හි ඇති වූ විනාශකාරී ගංවතුර හේතුවෙන් උත්සවය සතියකට කල් දමන්නට කටයුතු යෙදුණි. 1968 වසරේදී ආචාර්ය මාර්ටින් ලූතර් කිං ජූනියර් ඝාතනයෙන් පසු දින දෙකක් ප්‍රමාද වූ අතර 1981 වසරේ දී ජනාධිපති රොනල්ඩ් රේගන්ට වෙඩි තැබීම හේතුවෙන් ඇකඩමි සම්මාන උලෙළ පැය 24කට කල් තබන ලදී.ජනාධිපති රේගන්හට වෙඩි තැබීම සිදු වූ 1981 වසරේ මාර්තු 30 වැනිදා එම තීරණය ගනු ලැබුවේ විකාශනය ආරම්භ කිරීමට පැය හතරකට පෙරදීය.