ගුණරත්නම් නමින් මාවතක් නම් කරමු

ජුනි 25, 2020

දේශිය සිනමාව වෙනුවෙන් අනගි මෙහෙයක් කළ චිත්‍රපට නිෂ්පාදක කේ.ගුණරත්නම් මහතාගේ 103 වැනි ජන්ම දිනය මෙම ජූනි මස 30 වැනි දිනට යෙදී ඇත.1917 වසරේ යාපනයට නුදුරු අන්තඅඩිහි උපත ලද කනගසබේ ගුණරත්නම් මහතා උතුරු ප්‍රදේශයෙන් කොළඹට පැමිණ දැවැන්ත ව්‍යාපාර ජාලයක් ගොඩනැංවූ සාර්ථක ව්‍යාපාරිකයකු විය. ගුණරත්නම් මහතා සිය ව්‍යාපාර ජාලයට අත තැබුවේ පත්මා ටෝකිස් නම් සිනමාහල සමඟය.

පසුව 1947 වසරේ දී සීමාසහිත සිනමාස් සමාගම ආරම්භ කළ ඔහු කවදත් ආදරය කළ දේශිය සිනමා කර්මාන්තයේ උන්නතියට මුල පිරුවේය. සුජාතා චිත්‍රපටයෙන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි ගුණරත්නම් මහතා වරද කාගේද, රදළ පිළිරුව, සූරයා, වනමෝහිනි, දුප්පතාගේ දුක, සන්දේශය, ඔබ දුටුදා, අදට වැඩිය හෙට හොදයි, ධීවරයෝ, අල්ලපුගෙදර, සූර චෞරයා, අට වැනි පුදුමය, හොඳයි නරකයි, ආත්ම පූජා, උඩරට මැණිකේ, වීර විජය, චණ්ඩියා, අප්සරා වැනි චිත්‍රපට විසි පහකට වැඩි ගණනක් නිෂ්පාදනය කළ අතර කොළඹ ගාමිණී, සැෆයාර්, කිංග්ස්ලි, කැපිටෝල්, ලිඩෝ මහනුවර වෙම්බ්ලි මීගමුවේ රාජ්, යාපනයේ ලිඩෝ, අම්පාර හා මඩකලපුව විජයා ඇතුළු සිනමාහල් රාශියක හිමිකරු ද විය.

එමෙන්ම මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටය මංගල දර්ශනය පවත්වන ලද්දේ ඔහුට අයත් කිංග්ස්ලි සිනමාහලේ වීම විශේෂයකි. පසුකලෙක මරදානේ ටවර් සිනමාහල එම පදනම සඳහා නොමිලයේම පරිත්‍යාග කරන ලද්දේ ගුණරත්නම් මහතා විසින්ය. මෙරට සිනමාවට හිමිව තිබුණු අංග සම්පූර්ණ චිත්‍රාගාරය වන විජයා චිත්‍රාගාරය ගොඩ නැංවූයේ ද ගුණරත්නම් මහතාය.සිනමා ඉතිහාසයේ අතිශය ජනප්‍රිය සිනමා පුවත්පතක් වූ කලා පුවත්පත බිහි කරන ලද්දේ ද ඔහු විසිනි. 1989 අගෝස්තු මස 9 වැනි දින නාඳුනන තුවක්කුකරුවකු විසින් ගුණරත්නම් මහතා ඝාතනය කරන ලදී.

යාපනයේ ම කමලා ගුණරත්නම් සමග විවාහ වී සිටි ඔහු දරුවන් හත්දෙනෙකුගේ පියෙකු විය. මිය යන තෙක්ම ඔහු දේශිය සිනමාවට අප්‍රමාණව ඇලුම් කළේය. ලාංකික සිනමාවට අපමණ මෙහෙයක් කළ ඒ මහතා නමින් මාවතක් නම් කිරීම කාලෝචිත යැයි සිතමි. එබැවින් මෙරට සෙසු කලාකරුවන්ගේ නමින් මාවත් නම් කළ ආකාරයටම මේ යුග පුරුෂයා වෙනුවෙන් ද මාවතක් නම්කරන්නැයි අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.