වනරෝපා සූත්‍රය සිහිකරන ස්පාඤ්ඤඔපෙරාව

ජූලි 2, 2020

මේ දිනවල ඔබ සවන්පත් අතර වැඩිපුරම රැඳුණු, අසන්නට අප්‍රියම වචන දෙක කුමක්ද කියා ඇසුවොත් නිසැකවම පිළිතුර වන්නේ කොරෝනා සහ කොවිඩ්-19 බව මම විශ්වාස කරමි.

ඒ කොරෝනා වසංගතය නිසා ලොව පුරා ආසාදිතයන් ලක්ෂ සියය ඉක්මවන අතර රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ පහකටත් වැඩි බැවිනි. සෑම කළු වලාකුළකම රිදී ඉරක් පවතින්නා සේ, සෑම නරක දෙයකම හොඳ පැත්තක් පවතින බැවින් කොරෝනා නිසා ලොව පුරා මිනිසුන් මිය ගියද වසංගතය නිසා ලොවපුරා පරිසරය සංරක්ෂණය පිළිබඳ ඇති වූ උද්යෝගය ඒ කළු වලාකුළේ රිදී ඉර බඳු යැයි කීවොත් ඔබ එකඟ වනු නොඅනුමානය. මේ ලිපිය ලියන මොහොත වන විට කොරෝනා ආසාදිතයන් 296000 ද , කොරෝනා මරණ සංඛ්‍යාව 28000ද ඉක්මවන රටක් වන ස්පාඤ්ඤය මාර්තු 14වැනිදා  වසා දැමූ දේශය යළි විවෘත කළේ ජූනි 21 ඉරිදාය. ඒ සමඟම එරට කලාකරුවන්ගේ නිර්මාණ එළි දැක්වීමේ තහංචි ද ඉවත් විය. එහෙත් කොවිඩ් -19 වසංගතය ලෝ වැසියන් සැලකුවේ ගහට කොළට මිනිසුන්ගෙන් වූ හානිය ගැන උරණ වූ සොබාදම් දිනිතියගේ කෙනිත්තිල්ලක් ලෙස බැවින්, පළමුව සොබාදහම නියෝජනය කරන ගහකොළ වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වන්නට බාසිලෝනා නගරයේ පිහිටි ඔපෙරා හවුසිය වන 'ග්‍රාන් තියත්‍රෙ දො ලිසෙඋ' (Gran teatre del Liceu) සැදී පැහැදී සිටියේය. 

ලිසිඋ ඔපෙරා හවුසියේ නිර්මාණ අධ්‍යක්ෂ වික්ටර් ගාෂියා ඩි ගෝමර්ට අනුව ග්‍රාන් තියත්‍රෙ දො  ලිසෙඋ යනු විශ්වයේත් ප්‍රාසංගික කලාකරුවන්ගේත් මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන ස්ථානයක් මෙන්ම සතුටේ උල්පතක් හා සිනහවේ උපමාවක් බඳු වූවකි. 1847 බිහි වූ මෙය වරින් වර මුහුණ දුන් විවිධ අර්බුද හමුවේ නොසැලී වඩවඩාත් වපසරිය වැඩි කරගත්තකි. අවසන 1994 මහා ගින්නකින් දැවී ගිය පසු ඒ නමින් බිහි වූ පදනම මඟින් ගත් තීරණයකට අනුව ඔපෙරා හවුසිය 1997දී රජයට පවරා දෙන ලදී. ලෝකප්‍රකට ගායක ගායිකාවන් බිහි කළ ග්‍රාන් තියත්‍රෙ දො  ලිසෙඋ ඔපෙරා ශාලාව තල හයකින් යුත් සුවිසල් ප්‍රේක්ෂාගාරයක් සහ නවීන තාක්ෂණික අංගෝපාංගවලින් සමන්විතව 1999 ඔක්තෝබර් 07 වැනිදා සිය දොරගුළු විවර කළේ පැරැණි ගොඩනැඟිල්ලේ අභිමානයටද හානි නොවන අයුරිනි. එහි ආසන සංඛ්‍යාව 2,292කි. 

 පශ්චාත් කොවිඩ් යුගයේ බාසිලෝනා ඔපෙරා හවුසිය පවත්වන මංගල ප්‍රසංගය පෝච්චිවල සිට වූ පැළ වෙනුවෙන් පැවැත්වීමේ සංකල්පය බිහි වූයේද මේ සොබා සොඳුරුබව අත්විඳී 'යූජිනියෝ අම්පූදියා' නම් ස්පාඤ්ඤ කලාකරුවාගේ සිතේය. වෙනදාට වඩා කුරුලු කූජනයෙන් මන්මත් වූ, පුෂ්ප සුගන්ධයෙන් මුසපත් වූ ඔහු ඒ බව විවෘතවම පවසන අතර සොබාදහමෙන් අප උදුරාගත් ස්ථානය යළි සොබා දහමට පුදමින් මිනිසා සහ පරිසරයේ  අවියෝජනීය සම්බන්ධය හුවා දැක්වීමේ  සංකේතයක් ලෙස මේ ප්‍රසංගය සූදානම් කරන්නට යෙදිණ. එය සැබෑ පාරිසරික සමාජීය කැපකිරීමක් වෙනුවෙන් වන නව යුගයක මූලාරම්භයක් වනු ඇත යන්න ඔහුගේ අපේක්ෂාවයි.

අපේ හුස්ම බිඳ අපට දෙන ගහට කොළට කළගුණ දැක්වීම අද බොහෝ ලෝකයන්ට අමතකව ගියද බෞද්ධයන් වන අපට නම් එය අරුමයක් නොවන්නේ බුද්ධත්වයෙන්  දෙවැනි සතියේ අනිමිස ලෝචන පූජාවෙන් ඇසතු බෝ රුකට ආචාර කිරීමට තුන්ලෝකාග්‍ර වූ බුදුහිමියන් පවා දක්වා වදාළ කෘතවේදීත්වය සන්තානගතව පවතින බැවිනි. 'ආරාම රෝපා වනරෝපා- යේ ජනා සේතුකාරකා' ආදි වශයෙන් බුදුහිමියන් තුරුලිය රෝපණයෙන් ලැබෙන මහත්ඵල මහානිශංස පිළිබඳව වනරෝපා සූත්‍රයේ දේශනා කොට වදාළ බවද අපි දනිමු. එහෙත් නවීන විද්‍යාව හා තාක්ෂණය ඉස්මුදුනින් පිළිගන්නා යුගයක ගහ කොළ යනු මිනසාගේ පාලනයට යටත් විශ්වයේ තවත් එක් කොටසක් පමණක් යන මුළාවක සිටියවුනට මුළු ලෝකයම නතර වූ විට සොබා දහමේ සුන්දරත්වය කෙතරම්දැයි සියැසින්ම දැකගන්නට අවස්ථාව උදා වූයේ කොවිඩ් නිසාමය.  ඔපෙරා හවුසියේ බාරකරු බ්ලැන්කා ඩි ලා ටෝර් පවසන්නේ අපේ ජානවලින් සියයට හැත්තෑවක ප්‍රතිශතයක් අප ගහකොළ සමඟ බෙදාහදා ගන්නා බැවින් පොදු ජෛව විද්‍යාත්මක සංවේදීතාවක් පිළිබඳ මහා වෙනසක් කරා අප මෙහෙයවන්නට මේ ඔපෙරාව හේතු වන බවයි. 

ඔහුගේ මතය දුටු සැණින් මසිතට නැඟුණේ තලල්ලේ ධම්මානන්ද නාහිමියන් විසින් සංග්‍රහ කරන ලද ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ ග්‍රන්ථයේ සංගීතයෙන් පැළෑටිවල වෙනස්කම් ඇතිවීම යන කොටසයි. 'ද සවුන්ඩ් ඔෆ් මියුසික් ඇන්ඩ් ප්ලාන්ට්ස්' පොත ලියූ ඩොරති රෙටොලැක් මහත්මියගේ පර්යේෂණ පිළිබඳ සටහන් කරන හිමියන් පෙන්වා දෙන්නේ ඇතැම් සංගීත ක්‍රම නිසා පැළෑටිවල වර්ධනය ශීඝ්‍රයෙන් සිදුවන අතර රොක් සංගීතය යෙදූ විට ඒ හඬින් ඈත් වීමට පැළෑටි වර්ධනයේ දිශාව පවා වෙනස් කළ බවයි. අකැමැති සංගීතය දිගට සැපයීමෙන් පැළෑටි මියගිය ද ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත කොටස් නිසා වැඩි වර්ධනයක් සහ ඵලදාවක්ද ලබා දුන් බවයි. දකුණු ඉන්දියාවේ අන්නමලෙයි විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටී.සී. සිං ගේ පර්යේෂණ අනුව වයලීනය, බටනළාව, මැන්ඩලීනය වැනිවා පැළෑටි වැඩි ආකර්ෂණයක් දක්වන සංගීත භාණ්ඩ වේ. 1962 කරන ලද ඒ පර්යේෂණය පිළිබඳ අන්තර්ජාලයේද සටහන් වන්නේ නිදිකුම්බා පැළයක වර්ධනය සියයට 20න් වැඩි කිරීමටත්, උස සියයට 72න් ඉහළ යන්නටත් මියුරු සංගීතය හේතු වූ බවය. කැනේඩියානු ඉංජිනේරු යුජින් කැන්බිගේ පර්යේෂණයකට අනුව ජේ.එස්. බාෂ්ගේ වයලීන සොනාටාවක් නිසා ඉරිඟු අස්වැන්න සියයට 66ක් වැඩි වී තිබේ. 

මේ පූර්ව පර්යේෂණවලින් ලද ආභාසය නිසා දෝ බාසිලෝනා ඔපෙරා ශාලාවේ පශ්චාත් කොවිඩ් මංගල සංගීත ඔපෙරාව ජූනි 22දා සඳුදා තත් භාණ්ඩ හතරක් එනම්, වයලීන දෙකක්, වියෝලාවක් සහ ෂෙලෝවක් පමණක් යොදාගනිමින් පවත්වන්නක් විය. විශිෂ්ට සංගීත සංරචකයකු වූ  ජාකොමො පූචිනිගේ 'ක්‍රිසැන්තෙමී' නම් සංගීත ඛණ්ඩය මෙහිදී වාදනය කැරිණ. ප්‍රේක්ෂාගාරයේ තල හයේ ආසන 2292 පුරාම පෝච්චිවල සිටවූ විවිධ ප්‍රමාණයේ පැළෑටියෝය. වාදකයන් හැරුණු කොට කිසිදු මිනිසකු එහි දක්නට නොවීය. විනාඩි නවයක් පුරා රූගත කෙරුණු මේ ප්‍රසංගය දැක්මේ අපේක්ෂාවෙන් පෙළුණු සංගීත හා පරිසරලෝලී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරිණි. මේ සංගීතයෙන් පිනවනු ලැබූ පැලෑටි 2292 ස්පාඤ්ඤයේ කොරෝනා වංසගතයට එරෙහිව සටන් කළ බාසිලෝනා රෝහලේ සෞඛ්‍ය සේවයේ නියුතු වූවන් ඇගයීම වෙනුවෙන් මතක සටහනක් ලෙස පිරිනැමීමට සූදානම් කර තිබිණි. 

ඔපෙරාවක සම්ප්‍රදාය රකිමින් පැළෑටි ප්‍රේක්ෂකයන් වෙත ගරු බුහුමන් දක්වා ආරම්භ කළ වාදනය නිම වූ පසු වෘන්දය නැඟිට යළි ප්‍රේක්ෂාගාරයට හිස නමා ආචාර කළේය. වෙනදා මෙන් අත්පොළසන් නාදයක් නෑසුණු වාදකයෝ මොහොතක් රැඳී සිටියහ. දැඩි නිශ්ශබ්දතාවයකට පසු සිතාගත නොහැකි ආකාරයේ සිසිල් මඳ නලක් හමා ආවේය. ඒ සමඟම පැළෑටි ප්‍රේක්ෂකාගාරයේ අතුඉති සැළී සිලි සිලි නඳ පැතිරුණේ, වෙනදාටත් වඩා වැඩි තෘප්තියකින් පිනවුණු ප්‍රේක්ෂාගාරයක අත්පොළසන් නාදය පරයන අයුරිනි.

මේ වාදනය sarasaviya facebook වෙතින් නැරඹිය හැකිය