“ග්‍රැමොෆෝන් ගීත නාටක” මඟින් ජනාදරයට පත් ටවර්හෝල් තාරකාව

“සෝමකාන්තා”
ජූලි 2, 2020
 සෝමකන්තා (1934 වසරේ දී)

 

 

වර්ෂ 1939-1947 දක්වා කාලසීමාවේ මෙරට ප්‍රචලිත වුණු ග්‍රැමොෆෝන් ගීත බොහොමයක් විවධ තේමාවන් ඔස්සේ නිර්මාණය විය. ඒ අතුරින් බෞධාගමික තේමාවන් රැගත් ගී, දේශාභිමානි හෝ ජාතික ගී, පෙම් ගී, උද්‍යාන හෝ සිද්ධස්ථාන වර්ණනා, සරල විනොදාස්වාදක ගී, විරිඳු, බයිලා, කපිරිඤඤා ගී මෙන් ම, පන්සිල්, සෙත් පිරිත්, ජයමංගල ගාථා, ජිනපඤජරය, ආසන දෙකේ බණ වැනි බෞධාගමික තේමා රැගත් ශබ්දවාහිනී තැටි ද, විවිධත්වයකින් යුතුව විවධ ශ්‍රාවක ධූරාවලීන්ට ගැළපෙන පරිදි ගීත තැටි සමාගම් මගින් බෙදාහරින ලදී. මීට අමතරව, “සිංහල කොමික්” යනුවෙන් නම් කරන ලද “විකට ජවනිකා” ද, “සිංහල ඩ්‍රාමා” යනුවෙන් දක්වන ලද දෙබස් සහිත ජවනිකා සහ ගීත ඇතුළත් කාණ්ඩ වශයෙන් (එනම් 1,2,3 ආදී වශයෙන් ශබ්දවාහිනී තැටි කීපයක් ලෙස) “ග්‍රැමොෆෝන් ගීත නාටක” ද මෙම යුගයේ ගීත තැටි සමාගම් වෙතින් බෙදාහරින ලදී.

එවකට ජනප්‍රිය ගීත තැටි සමාගම් දෙක වූ ඩ්ර්ඍ සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ සමාගම් දෙකෙන් මෙලෙස “ග්‍රැමොෆෝන් ගීත නාටක” තැටි රාශියක් 1939-42 වකවානුවේ නිකුත් කළේ ය. පූර්වෝක්ත පැරණි නුර්ති තේමාවන් මෙන්ම නව සමාජ තේමාවන් ද, මෙම නාටක වලට භාවිත විය. මේ සඳහා නිදසුන් ලෙස ඩ්ර්ඍ තැටි සමාගමේ , “සිංහල නාට්‍ය සමාජය” විසින් ඉදිරිපත් කළ “විධුර” නාටකය (කාණ්ඩ 8 ක් එනම් ශබ්දවාහිනී තැටි 4 කින් යුත්), “සාලිය-අසෝකා” නාටකය (කාණ්ඩ 10 ක් එනම් ශබ්දවාහිනී තැටි 5 කින් යුත්), “දෑවැද්ද” නාටකය (කාණ්ඩ 6 ක් එනම් ශබ්දවාහිනී තැටි 3 කින් යුත්), “පද්මා ගේ මංගල්‍යය” නාටකය (කාණ්ඩ 8 ක් එනම් ශබ්දවාහිනී තැටි 4 කින් යුත්), “පෙරදිග නාට්‍ය සමාජය” විසින් ඉදිරිපත් කළ “රාමායණය” නාටකය (කාණ්ඩ 6 ක් එනම් ශබ්දවාහිනී තැටි 3 කින් යුත්), “ශ්‍රී දළදා” නාටකය (කාණ්ඩ 4 ක් එනම් ශබ්දවාහිනී තැටි 2 කින් යුත්), සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටි සමාගමේ “පෙරකදෝරු බෑණා නොහොත් අන්තිම කැමැත්ත” නාටකය (කාණ්ඩ 6 ක් එනම් ශබ්දවාහිනී තැටි 3 කින් යුත්), “ධර්ම පතිනි නොහොත් පතිවෘතාව” නාටකය (කාණ්ඩ 6 ක් එනම් ශබ්දවාහිනී තැටි 3 කින් යුත්), “ශ්‍රී පාද විස්තරය නොහොත් කොටාගේ වාසනාව” නාටකය (කාණ්ඩ 4 ක් එනම් ශබ්දවාහිනී තැටි 2 කින් යුත්), “මසුරු ධනවතා” නාටකය (කාණ්ඩ 4 ක් එනම් ශබ්දවාහිනී තැටි 2 කින් යුත්), “වෙස්සන්තර” නාටකය (කාණ්ඩ 6 ක් එනම් ශබ්දවාහිනී තැටි 3 කින් යුත්) ආදිය දැක්විය හැකි ය.

අද මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එසේ ග්‍රැමොෆෝන් ගීත නාටක මඟින් මෙන්ම, ටවර්හෝල් වේදිකාවේ ද නිළියක සහ ගායිකාවක ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වූ අද්විතීය කලාශිල්පිනියක වූ සෝමකාන්තා මහත්මිය පිළිබඳව මතකාවර්ජනයකි.

ටවර්හෝල් වේදිකාවෙහි ගීත සිය දහස් ගණනක් ගැයු සෝමකන්තා ගේ කටහඬ පළමු වරට ග්‍රැමොෆෝන් ගීත තැටි වලට තැටිගත කෙරෙන්නේ ඩ්ර්ඍ ලේබලයෙන් නිකුත් වුණු මෙම ග්‍රැමොෆෝන් ගීත නාටක සඳහා ය. ඒ වර්ෂ 1939 දී ය. එම වසරේ අප්‍රියෙල් මාසයේ නිකුත් වුණු ග්‍රැමොෆෝන් ගීත තැටි කංචුකයක සෝමකන්තා මහත්මියගේ සේයාරුවක්ද සහිතව “සෝමකාන්තා නෝනා මහත්මී ඩ්ර්ඍ තැටි සදහා පමණක් ගීත ගායනා කරන්නීය” ලෙස සදහනක් යොදා එතුමිය ඩ්ර්ඍ සමාගමේ නිත්‍ය ගායිකාවක ලෙස තහවුරු කිරීමක් සිඳු කෙරුණි . එම සියලු ගීත සදහා සංගීතය මෙහෙයවන ලද්දේ එවකට එම සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් විසිනි. කෙසේ වෙතත්, සෝමකන්තා ගේ කේවල ගායනා වෙන් වශයෙන් කිසිදු ඩ්ර්ඍ තැටියක අන්තර්ගත නොවූ අතර, එතුමියගේ සියලු ගායනා සහ ගීත කොටස් සහිත ජවනිකා අන්තර්ගත වුයේ “ග්‍රැමොෆෝන් ගීත නාටක” වල ම පමණි. එසේම, පූර්වෝක්ත ගීත නාටක වල ගීත තැටි ලේබලයන් හි සදහන් වුයේ එම නාටකයට සම්බන්ධ වූ ශිල්පී -ශිල්පිනියන් ගේ නාමයන් නොව, අදාළ “ගීත නාටකයේ” නම සහ “සිංහල නාට්‍ය සමාජය” යන පොදු නාමය පමණි. එබැවින් සෝමකාන්තා ඇතුළු අනෙකුත් කිසිදු ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියනක්ගේ කේවල නාම ගීත තැටි ලේබලයේ සදහන් නොවුණි. කෙසේ වෙතත්, ගීත තැටි සමග ඩ්ර්ඍ ගීත තැටි බෙදාහරින්නන් වූ “කාගීල්ස් සමාගම” මගින් නිකුත් කරන ලද ගීත කැටලොග් පොත් හි, එකී ග්‍රැමොෆෝන් ගීත වූ සියලු ශිල්පීන් ගේ නම්, ඡායාරූප සහ ඔවුන් විසින් ඉදිරිපත් කළ චරිතයන් ද, කතා සාරාංශය ද , ගීත සහ සියලු දෙබස් ද මුද්‍රණය කොට බෙදා හැරුණි.

ටී . විල්බට් පෙරේරා

සෝමකාන්තා මහත්මිය විසින් 1939-43 වකවානුවේ ඩ්ර්ඍ සමාගම වෙනුවෙන් ගීත සහ ජවනිකා ඉදිරිපත් කළ නාටක ගණනින් හත කි. නම් වශයෙන් ගතහොත්, “සිංහල නාට්‍ය සමාජය” විසින් ඉදිරිපත් කළ , “විදුර” (එරන්දතිය ලෙස), “සාලිය- අසෝකා” ( අසෝකමාලා ලෙස), “දෑවැද්ද”(ලීලා ලෙස), “ස්වර්ණමාලි“ (ස්වර්ණමාලි දෙව්දුව ලෙස), “පද්මාගේ මංගල්‍යය” (පද්මා ලෙස), “පොළී කාරයා” (මුදලාලි ගේ දියණිය ලෙස) සහ “විනීත භාර්යාව” වශයෙනි. මෙම නාටක වල ගීත සියල්ලක්ම ඇය විසින් ගායනා කළා ය. එඅතුරින් ජනප්‍රිය වූ කීපයක් පහත දැක්වේ. මේ නාටක වල ගීත සියල්ලක්ම පුහුණු කරන ලද්දේ රූපසිංහ මාස්ටර් විසිනි. මෙම නාටක බොහොමයක් රචනා කරන ලද්දේ ඩබ්ලිව්. ඩී මර්සිලිනු ඇල්බට් මහතා සහ කේ.සෙබස්තියන් පීරිස් මහතා විසිනි.

වර්ෂ 1940 දී නිකුත් වූ ඩ්ර්ඍ තැටි අංක ව් 9365-9367 දක්වා කොටස් 06 කින් (තැටි 3කින්) නිකුත් වූ “දෑවැද්ද” නාට්‍යයෙන් “ලීලා” ලෙස සෝමකාන්තා ද, “දයානන්ද” ලෙස ලෙස විල්බට් පෙරේරා ද චරිත නිරූපණය කළහ. එහි “ලීලා” විසින් ගායනා කරන ලද කේවල ගායනය මෙසේය. දෑවැද්ද නිසා තරුණියකගේ ජීවිතය විනාශයට ළඟා වන ආකාරය ඉතා හැඟුම්බරව මෙසේ ගායනා කළා ය.

“සඟ ශ්‍රී සැපා රාජ්ජේ -

මේ වස්තු තණ්හාවෙහි ගැලීලා

පාවා ගන්නා සේම විකාරේ - වේ පවුලේ අවුලා

ගුණ ධර්ම විකුණා - සුවච ළඳා පිය භාරි සේ ....

රාජ්ජේ....... සඟ ශ්‍රී සැපා ....

ආලේ නිසාම ලෝකේ විවාහ වීමා යුතුය

මේ කාලේ

ආලේ නොම දෑවැද්දේ හි පාවා ගන්ටා ඒ ....සුවච ළඳා පිය භාරි සේ

රාජ්ජේ....... සඟ ශ්‍රී සැපා ....”

දෑවැද්ද නිසා එක්වීමට නොහැකි වූ තරුණයෙකු ගේ සහ තරුණියකගේ කතා පුවතක් ඛේදාන්තයකින් අවසන් වන ආකාරය මෙම සමාජ නාටකයෙන් පෙන්වා දෙයි. මෙම නාටකයේ විල්බට් පෙරේරා (දයානන්ද) සහ සෝමකාන්තා (ලීලා) ගායනා කරන යුග ගීතය පහත අයුරු වේ.

ලීලා : කාරේ අපේ ඇයි ස්වාමි පරමාදේ //

දයා : රන්කඳ වන ප්‍රේමි මගේ ආදරී වූ //

ලීලා : කාරේ අපේ ඇයි ස්වාමි පරමාදේ

ප්‍රේමා ලෝකේ පැතිරෙයි හර්දේ //

දයා : කාරේ ළං වේ නැතේ සංකා ඉන්

දෙදෙනා : චන්ද්‍ර ලප සේ ඉන්ට වාසේ //

මේ කුසුම් දාමා ප්‍රේමේ සාදා වූ //

ප්‍රීති සැපා විදින්ට මේ ලෝකේ හි //

එසේම ප්‍රේමයේ විරහවෙන් මුකුලිත වූ තරුණියක ලෙස ලීලා විසින් ගායනා කරන විරහ ගීතය සෝමකාන්තා මෙසේ ගැයුවාය. මෙම ගීතය එවකට (1938) භාරතයේ අතිශයින් ජනප්‍රිය වූ ඕඒට්ඩ්ඕඒව් හින්දි චිත්‍රපටය වෙනුවෙන් අෂ්රෆ් ඛාන් ගායකයා විසින් ගැයූ ගීතයක තනුව ඇසුරින් නිම වූවකි.

“ප්‍රේම වඩන ස්වාමි ලැබේ දෝ -

කාරේ බඳීන් ටා

විඳීනට ප්‍රීති සැපා පුල පුලා - සිටිමි මග බලා

 

ආලේ ප්‍රබෝධේ හර්දේ පැතිරේ

සරණේ කවදා ඉරණම වෙයිදෝ

 

රම්‍ය ම’ස්වාමි පැමිණේ දෝ විඳීන්ටා-

ප්‍රීති සැපා මා

ප්‍රේම වඩන ස්වාමි ලැබේ දෝ -

කාරේ බඳීන් ටා...”

මෙම ගීත නාටක බොහොමයකම ප්‍රධාන චරිත නිරූපණය කළ සොමකාන්තා මහත්මිය එවකට ටවර්හෝල්හි ද අතිදක්ෂ නිළියක සහ ගායිකාවක වූවා ය. ඉතා උච්ච ස්වරයෙන් ගී ගැයීමට සමත් ගායිකාවක ලෙස එතුමිය ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටියා ය.

වර්ෂ 1917 කොළොඹ කොචිචිකඩේ දී උපත ලද ඇල්. කේ. සෝමාවතී නම් වූ මෙතුමියගේ නැන්දණිය එවකට චිර ප්‍රසිද්ධ නාඩගම් සහ නුර්ති නිළියක වූ තොටළඟ “මහජේන් නෝනා” (ජේන් පෙරේරා) වූවාය. එවකට ප්‍රසිද්ධ නාඩගම් නළුවෙක් වූ පෑලිස් අප්පුහාමි (පෙරේරා) මාස්ටර් විසින් දසවස් සපිරුණු සෝමා නුවර “මධ්‍යම ලංකා නාට්‍ය සමාජයට” සම්බන්ධ කරවුයේ 1927 වසරේදී ය. පළමුව ඇනී බොතේජු ප්‍රධාන චරිත නිරූපණය කළ උක්ත සමාගම විසින් නිෂ්පාදිත “පංචරති”නාටකයෙහි ළමා චරිතයක් සෝමා විසින් නිරූපණය කළා ය.

අනතුරුව, 1930 මීගමුවේ සි. බෙන්ජමින් ප්‍රනාන්දු ගේ “ ශ්‍රී ලංකා නාට්‍ය සභාව” ට බැඳී 1937 දක්වා විවධ චරිත නිරූපණය කළ සෝමා ගේ දක්ෂන්තාවයන් දුටු යු. ඩී. ඇම් අබේසේකර මහතා විසින් සෝමකන්තා ශිල්පිනිය ටවර්හෝල් වේදිකාවට හදුන්වා දුන්නේ ය . ඒ 1937 වසරයි. භාරතයේ අතිශය ජනප්‍රිය සිනමා සිත්තමක් වූ “චින්තාමණී” චිත්‍රපටය ඇසුරින් ටවර්හෝල් නෘත්‍ය ශිල්පීන් විසින් “චින්තාමණි” නුර්තිය නිපදවූ කාල වකවානුවයි.

 

 

එවකට “ලංකා චින්තාමණි” ලෙස විරාජමාන වූයේ ටවර්හෝල් හි ශ්‍රේෂ්ටතම නිළි රාජිණිය වූ ලක්ෂ්මී බායි ය. කෙසේවෙතත්, චින්තාමණි නුර්තියෙහි උපප්‍රධාන චරිතයක් කළ සෝමා ගේ රංගනයට සහ ගායනයට ද ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු බැවින් ඇතැම් දර්ශන වාර වලදී, චින්තාමණි ලෙස ප්‍රධාන භූමිකාවෙහි රංගනහි යෙදීමට සෝමාටද, අවස්ථාව නොබෝ දිනකින් ම උදා විය. ගායනය සහ සංගීත ඥානය ටවර්හෝල් හිදී එතුමිය වෙත ලබා දුන්නේ එවකට චිරප්‍රසිද්ධ මහා සංගීතඥ එච් .ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. මෙසේ ගීත ගායනයෙන් ද ලද ජනප්‍රියතාවය නිසාම එවකට ප්‍රසිද්ධ බොහෝ ටවර්හෝල් නුර්ති වල ප්‍රධාන සහ උප ප්‍රධාන චරිත සෝමකාන්තා ඉදිරිපත් කළා ය. රාමායණයෙහි වරෙක “සුපර්ණකා” වූ ඇය තවත් වරෙක “සීතා” වූවාය. ශ්‍රී වික්‍රම හි ඇහැලේපොළ කුමාරිහාමි ද, විධුර ජාතකයෙහි එරන්දතියද, සිරිසඟබෝ හි සඟබෝ දේවිය ද, සාලිය අසෝකා හි අසෝකමාලා ද, රොඩී කල්ල හි රොඩී කෙල්ල ලෙසද ටවර්හෝල් නාට්‍ය සිය ගණනක එතුමිය චරිත නිරූපණය කළා ය. “ශ්‍රී වික්‍රම” හි ඇහැලේපොළ කුමාරිහාමි චරිතය ඇයගේ රංගන දිවියෙහි කූට ප්‍රාප්තිය සනිටුහන් කළ චරිතයකි. දරුවන් වංගෙඩියෙහි ලා කෙටීමේ දර්ශනය, ඇහැලේපොළ කුමාරිහාමිගේ වැලපිල්ල සහ වඩුග රජාට කරන සාපය ඉතා විශිෂ්ට අන්දමින් කළ සෝමා ගේ රංගනයෙන් සමස්ත ප්‍රේක්ෂාගාරයම හැඬවීමට තරම් තාත්වික රංගනයක් වූ බව එවකට පළ වූ ලිපිලේඛන සහ ප්‍රචාරක මුද්‍රිත පත්‍රිකා වල සඳහන් වේ.

එවකට ටවර් හෝල් හි “රඩොල්ෆ් වැලන්ටිනෝ” ලෙස විරුදාවලි ලබා සිටි දක්ෂතම එමෙන්ම ඉතාම කඩවසම් වූ නළුවා නොහොත් “රූප රජා” නම් අන්වර්ථ නාමයෙන් හැඳීන් වූ ටි. විල්බට් පෙරේරා මතතා සෝමකාන්තා මහත්මිය විසින් ගැයූ බොහෝ ග්‍රැමොෆෝන් ගීත නාටක වල එතුමියගේ සහකරු වූ වා පමණක් නොව සැබෑ ජීවිතයේ ද, එතුමියගේ ජීවන සහකරු වූයේ ය. සෝමා - විල්බට් කුටුම්භයෙහි දුවා දරුවන් ද කලා ලොව දස්කම් පෑවෝ වෙත්. දෙටු පුත් ටි.ෂෙල්ටන් පෙරේරා මහතා ඔබ අප කවුරුත් දන්නා මෙරට සිටි අතිවිශිෂ්ට සංගීතඥයෙකි, ගායකයෙකි. වැඩිමහල් දියණිය සූරියරාණි පෙරේරා (ලක්මා පෙරේරා) ද ටවර්හෝල් සහ චිත්‍රපට නිළියකි. බාල දියණිය, කුමාරි පෙරේරා දක්ෂ නිවේදිකාවක් මෙන්ම වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකි. පි.ආතර් පෙරේරා, ග්‍රේෂන් පෙරේරා, ඩෙවිසන් පෙරේරා (තබ්ලා වාදක), ඩන්ස්ටන් පෙරේරා (ගායක -වාදක) ආදී සියලු දෙනාම කලාලොවෙහි විවිධ අංශ තුළ දස්කම් පෑවෝ වෙත්. එලෙසම තෙවන පරපුර නියෝජනය කරමින් ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුත් නැසී ගිය සතිෂ් පෙරේරා සහ දියණිය අනුරාධා පෙරේරාද, සූරියරාණි පෙරේරා මහත්මියගේ දියණිය වන කුසුම් පෙරේරා මහත්මියද කලාවට සම්බන්ධ වුවෝ වෙත්.

වර්ෂ 1980 නොවැම්බර් මස 23 දින මෙම අද්විතීය කලාකාරිය සිය ජීවන රඟමඩලින් සමුගත්තා ය. කාලයේ වැලිතලාවෙන් වැසි ගිය මෙරට සිටි ජනකාන්ත නිළියක සහ ගායිකාවක වූ සෝමකාන්තා මහත්මියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා!

 

සෝමකාන්තාගේ සේයාරුව රැගත් “පද්මා ගේ මංගල්‍යය” නාටකය රැගත් ගීත තැටිය (1939)

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂකවරු වන, ජයරත්න ප්‍රනාන්දු, එච්.එම්. ගුණතිලක සහ ටී.ඇන්. විජේසිංහ මහත්මාවරු, සෝමකාන්තා මහත්මියගේ දියණිය වන සූරියරාණි පෙරේරා මහත්මිය සහ එතුමියගේ දියණියන් වන ටෙලිනාට්‍ය නිළි කුසුම් පෙරේරා මහත්මිය සහ සමුද්‍රා පෙරේරා මහත්මිය.

මූලාශ්‍ර : “ජනසතිය” පුත්පත, 1968 ඔක්තෝබර් 06, පිටුව 12 ; තිස්ස කාරියවසම්- විසි වසරක සිංහල නාට්‍ය හා රංග කලාව (1912-31) ; ඩ්ර්ඍ රැකෝඩ් ලැයිස්තුව (1943) , කාගීල්ස් සමාගම.