මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී

ජූලි 9, 2020

යුග ජීවිතේ හතළිස් හය වසරක් සපුරනවා කියන්නේ එක්තරා අන්දමක සුවිශේෂී කාර්යයක්. මේ හතළිස් හය වසර පුරාම ඔවුන් දෙදෙනා ජීවත් වූයේ දෙදෙනෙකු වශයෙන් නොවේ. දෙදෙනාටම තිබුණේ එක හා සමාන සිතුවිලි. දෙදෙනාගේම බලාපොරොත්තු, අපේක්ෂාවන් එක හා සමානයි. ඔවුන් දෙදෙනාම දශක හතර හමාරකට වැඩි කාලයක් ජීවිතේ වින්දා. දුක සැප සමව බෙදා හදා ගත්තා.

පසුගිය සතියේ එක්තරා දවසක සැන්දෑ යාමය ගෙවුණේ තවත් ආදරබර සැඳෑවක් දෙදෙනා තේ පානය කරමින් ගත කරමින්. මෙවන් සැඳෑවන් ගෙවුණු කාල වකවානුව පුරා ඔවුන් දෙදෙනා ඕනෑ තරම් විඳින්නට ඇති. සතුටු කතා මැද හදිසියේම ඇති වූ අතක වේදනාවක් නිසා ඇය වහ වහා රෝහල් ගත කළා. සතුටු කතා පිය තෙපුල් නවතා ඇය යන්නම යන්න ගියා. ඇය මාලි නෙල්සන්. අපේ සංගීත ක්ෂේත්‍රයේ ආදරණීය ගායක නිහාල් නෙල්සන්ගේ දයාබර බිරිය. දශක හතර හමාරක ආදරණීය යුග දිවි සිහිවටන සියල්ල නිහාල් අයියා වෙතට තිළිණ කරමින් පසුගිය සන්ධ්‍යා භාගයේ ඇය නොඑන ගමන් ගියා. නිහාල් - මාලි යුග දිවි ගමන පිළිබඳව සරසවිය පුවත්පත නොයෙක් වර ආදරණීය සටහන් රාශියක් ඉතිහාසය පුරා තබා තිබෙනවා. නිහාල් අයියාගේ ආදරය ඇය වෙත යා වී ඇත්තේත් හදිසි මුණ ගැසීමකින්. ප්‍රිය බිරියගේ වියෝ වීම දරාගත නොහැකිව ශෝකයෙන් වැලපෙමින් වුවද ඒ අතීත ස්මරණයන් ඔහු සැමරුවේ ඇය කෙරෙහි උපන් අසීමිත වූ භක්තියකින් හා ගෞරවාදරයකින්.

“මාලි මට මුණ ගැසුණේ හරිම හදිසියෙන්. මම දවසක් මගේ මිතුරෙක් එක්ක ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා. එතැනදි තමයි මුලින්ම මම මාලිව දැක්කේ. එතකොට මගේ මිතුරා මාලිගේ නැගණියට ප්‍රේම කරමින් හිටියා. මාලිගේ මුහුණේ තිබුණ සුන්දරකමට, අවිහිංසක බවට, තැන්පත්කමට මගේ හිත බැඳුණා. ඒ වෙනකොට මම ගායකයෙක් වශයෙන් ජනප්‍රිය වෙමින් ආපු කාලයේ. මම කෙළින්ම මාලිගේ ගෙදරට ගිහින් එයාගේ තාත්තගෙන් ඇහුවා. මම අහපු විදියට මාලිගේ තාත්තටත් මගේ යෝජනාවට බෑ කියන්න බැරි වුණා.

නිහාල් අයියා අතීතය ස්මරණය කරනුයේ කඳුළු අතරින්. ගෙවුණු ප්‍රේමණීය දිවි මඟ තුළ සිය දහසක් මතක සැමරුම් ඔහුට මේ මොහොතේත් මැවෙනවා ඇති.

නිහාල් අයියාගේ ආදරය දිනා ගත් මාලි අක්කා එවකට පදිංචිව සිට ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේයි. සතර දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නිය වූ ඇයට සොයුරියන් දෙදෙනෙකු හා වැඩිමල් සොයුරෙකු විය. නිහාල් අයියාගේ යෝජනාවෙන් පසු 1974 මැයි 16 වැනි දින නිහාල් අයියාගේ පතිනිය වී පැමිණෙන ඇය එතැන් සිට නිහාල් නෙල්සන් නම් වූ ගායකයා ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක්ව වැඩෙන තුරු ඔහුගේ සෙවණැල්ල සේම පසුපසින් සිටියා. නිහාල් අයියා තම හැකියාවෙන් දක්ෂතාවයෙන් රටක් නළවද්දි ඒ සඳහා ඔහුට අවැසි මානසික නිදහස ලබා දෙන්නී මාලි අක්කා වුණා. වෘත්තීය ජීවිතය තුළ නිහාල් අයියා අතිශයින්ම කාර්ය බහුල පුද්ගලයෙකි. එදා මෙන්ම අදටත් ඔහු ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි පුද්ගලයෙක්. මෙකී අති ධාවනකාරී කාර්ය බහුල ජීවිතය තුළ නිහාල් අයියාගේ පෞද්ගලික ජීවිතය සාමකාමී කර වූ සිරිලිය වූයේ මාලි අක්කායි. ඇගේ ඒ අපූර්ව ගුණාංගය ගැන මේ මොහොතේත් නිහාල් අයියා සිය මතකයට නඟා ගත්තා.

“මගේ ජීවිතේට කවදාවත් මාලි මට නීති දාලා තිබුණේ නෑ. අපි දෙන්නට දෙන්නා පුදුම තරම් අවබෝධයකින්, ආදරයකින්, ගෞරවයකින් තමයි ජීවත් වුණේ. මට කවදාවත්ම අරක කරන්න එපා. මේක කරන්න එපා කියලා කියලා නෑ. එහෙම කියන්න තරම් දෙයක් මගේ අතින් සිද්ධ වෙලත් නෑ. සිද්ධ වෙන්නෙත් නෑ. මාලි කෙරෙහි මට තිබුණේ පුදුම තරමේ ගෞරවයක්. ඒ ගෞරවය එදා වගේම අදත් හෙටටත් වෙනස් වෙන්නේ නෑ. මගේ ජීවිතේ කෙළවර වෙනතුරු මම ඇයට කරපු ආදරේ ගෞරවය වෙනස් වෙන්නේ නෑ.

දශක හතරකටත් වැඩි කාලයක් එකම ගෙදරක ජීවිතේ බෙදා හදා ගත්තු ප්‍රියාවිය හදිසියේම තමන් හැරදා යාම දයාබර සැමියෙකුට සත්‍ය වශයෙන්ම හද දවන වේදනාවක්. අද නිහාල් අයියා විඳින්නේත් ඒ වේදනාවම තමයි. ඔහුට මුළු ගේ පුරාම පේන්නේ මාලි අක්කගේ රූපේ. ගේ පුරාම ඇහෙන්නේ අගේ කටහඬ. නිහාල් අයියා ඒ කාලේ මේ සින්දුව කිව්වෙත් මාලි අක්කට.

“ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න

මාලි ...

බොරු කරන්නෙ නෑනේ ඔබට ඇත්තයි

මම මාලි ...”

මාලි අක්කා අසනීප වූ සැණෙකින් රැගෙන ගොස් ඇත්තේ කළුබෝවිල රෝහල වෙතය. දොස්තරවරුන් ඇගේ ජීවිතය බේරා ගන්නට උත්සාහ කරද්දී කාමරයේ දොරකඩ අබියස සිට නිහාල් අයියා සියලු දෙවියන් යැද්දේ තම ප්‍රියාදර බිරිය රැක දෙන ලෙසිනි.

“කළුබෝවිල රෝහලේ දොස්තරවරු ලොකු වෙහෙසක් ගත්තා මාලිගේ ජීවිතේ බේර ගන්න. පැයකට විතර පස්සේ දොස්තර කාමරයෙන් එළියට ඇවිල්ලා සොරි නිහාල් කියලා මාලිගේ අතේ තිබුණු අපේ මංගල මුද්ද මගේ ඇඟිල්ලට ඔහුම දැම්මා. ඇත්තටම ඒ මොහොත නම් මගේ ජීවිතේ කිසිම මොහොතක සිහිිපත් කිරීමට නොහැකි වේදනාකාරී මොහොතක්”.

පුරා වසර 46 ක් නිහාල් අයියා ආදරයෙන් බලා කියා ගත්තේ මාලි අක්කායි. එසේම සිය ජීවිතේ සියලු දේ පවසමින් ඔහුගේ හොඳම යෙහෙළිය වූයේ ද මාලි අක්කාය. ඒ අනුව මාලි අක්කා නිහාල් අයියාට මාතු භාර්යාවක් මෙන්ම සඛී භාර්යාවක් ද වූවාය. මේ දෙදෙනාගේ ජීවන ගමනේ ප්‍රේමනීය සංයෝජනය වූයේ පුත් තරංගය. ලොකු මිනිසෙකු කරන්නට නොව සමාජයට වැඩදායි ගුණ යහපත් මිනිසෙකු කරන්නට මාලි අක්කා කළ කැප කිරීම් දන්නේ ඇයමය. ඇය මිය යන මොහොත දක්වාමත් සතුටින් දිවි ගෙව්වේ ඇගේ අභිප්‍රායන් ඇය ඉෂ්ට කරගත් නිසාවෙනි. ඈ ගුණ යහපත් දරුවකු මෙලොවට තිළිණ කළා සේම රටක් නළවන අපූර්වතම මිනිසෙකුගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූවා. බිරියක වශයෙන් ඈ ලබා ගත හැකි උපරිම ගෞරවය ලබා ගත්තා සේම ගෞරවනීය මාතාවක් සේ ලෝකයෙන් ප්‍රශංසා ලබනවා.

ලෝක ධර්මතාවයට අනුව සියලු බැඳීම් හැර දමා වේලාව පැමිණි විට අප යා යුතුයි. ඇය ගියේ ද ඒ කාටත් පොදු ගමනයි. එහෙත් මේ ගමන නිහාල් නෙල්සන් නම් වූ මාලිට අසීමිතව ආදරය කළ මිනිසාට නම් මහා හිස් බවක් රැගෙන එනු ඇති. එහෙත් ජීවත්ව සිටියදී ඇය දුන් ආදරය නිහාල් අයියාට ජීවත් වන්නට දිරියක් සපයනු ඇති.

 

නිශ්ශංක විජේරත්න