වෙඩි හඬින් නිහඬ කළ නිදහසේ  ගී තරුව හචලු හුන්ඩේසා

විරෝධතා මැද මරණ දෙසීයක්
ජූලි 16, 2020

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නගරයේ දැඩි කලබලකාරී වාතාවරණය හමුවේ නැඟෙන වෙඩි හඬකි. වාහනයක් ධාවනය කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කොට ගෙන එම ප්‍රහාරය එල්ල විය. වෙඩික්කරු ඇතුළු පිරිස සැණෙකින් පළා ගියහ. ඉතියෝපියාවේ ජනප්‍රිය ගායකයකු වන හචලු හුන්ඩේසා නාඳුනන ප්‍රහාරකයකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ මෙලෙසිනි. ගායකයකු මෙන්ම ගී පද රචකයකු වන හචලු හුන්ඩේසාගේ ගීත ඉතියෝපියාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන ඔරොමෝ ජනතාවගේ අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමු කළ ගීත විය. ඔහුගේ ඇතැම් ගීත හිටපු අගමැතිවරයාගේ ඇඳවැටීමට තුඩු දුන් විරෝධතා රැල්ලක ගීත බවට පත් වූ බවද කියවේ.

අඩිස් අබාබා නුවර දී රිය පදවාගෙන යාමේදී පසුගිය ජුනි 29 වැනිදා 34 හැවිරිදි හචලු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඔරොමියාවේ ඇති වූ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 200ට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එරට පුවත් වාර්තා කළේය. වෙඩි වැදීමෙන් අනතුරුව හචලු තිරුනේෂ් බීජිං මහරෝහල වෙත ගෙන එමින් සිටියදී මරණයට පත්වීමත් සමඟ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්, මිනිසුන් ටයර් ගිනි තැබීමත් නිසා දහස් ගණන් වැලපෙන්නන් රෝහලට රැස් වීමට පටන් ගෙන තිබේ. ඔහුගේ දේහය අඩිස් අබාබාහි තැන්පත් කළ යුතු යැයි විරෝධතාකරුවන් තරයේ කියා සිටියද, දේහය ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව ඔහු උපන් ප්‍රදේශය වන ඇම්බෝ වෙත ගෙන යන ලදී. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හචලු මරණයට පෙර සතියේ සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවක්දී තමන් වෙත මරණ තර්ජන එල්ල වූ බව ද පවසා ඇත.

ස්වයං පාලනයක් සඳහා දියත් කරන ලද ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටි  ඇම්බෝහි ශිෂ්‍යයෙකු ලෙස හචලු නිදහස ඉල්ලා ශිෂ්‍ය කණ්ඩායම් සමඟ එක්වී කටයුතු කළේය. වයස අවුරුදු 17 දී දේශපාලන කටයුතු හේතුවෙන් ඔහු වසර පහක් සිරගත කරන ලදී. ඔහුගේ පළමු ගීත ඇල්බමයේ ගේය පද බොහොමයක් රචනා වූයේ ඔහු සිරගෙදර සිටියදීය. හචලු සිය පළමු ඇල්බමය වන රේස් ඔෆ් ද කිං 2009 දී නිදහස ලබා වසරකට පසුව නිකුත් කළ අතර එය ඔහු සංගීත තරුවක් බවට පත් කරන්නට සමත් වූවා පමණක් නොව ඔරෝමෝ ජනතා අභිලාෂයන්ගේ දේශපාලන සංකේතයක් බවට ද පත් විය.  2013 දී ඔහු එක්සත් ජනපදයේ සංචාරය කළ අතර ඔහුගේ දෙවැනි ඇල්බමය වන වායි කීන්යා නිකුත් කළේය. එය ඇමසන් මියුසික්හි වැඩිම අලෙවියක් ඇති අප්‍රිකානු සංගීත ඇල්බමය විය. කෙසේ වෙතත්, ඔහු සිය දේශපාලන භූමිකාව පිළිබඳ විමසන සෑම අවස්ථාවකදීම පවසා ඇත්තේ, "මම දේශපාලන සංකේතයක් නොවෙමි. මම කලාකරුවෙක් වෙමි. මගේ ජනතාව අත්විඳීන දේ ගැන ගායනා කිරීමෙන් මා දේශපාලන සංකේතයක් නොවේ" යනුවෙනි.