“සදා කාලෙම ලොව පහළ වන කුවේණියමයි එකම ගැහැනිය”

ජූලි 16, 2020

ලාංකේය වේදිකාවේ ස්ත්‍රී භූමිකා පිළිබඳ විමර්ශනයේදී ගුණසේන ගලප්පත්තිගේ “දෑස නිසා” නාට්‍යය (1964) සුවිශේෂ වේ. විරූපි යැයි සම්මත අහිංසක, කාරුණික නිරුදක හා අන්ධ තරුණියක වූ සුරූපි සුන්දරී අතර දිවෙන අනුවේදනීය පුවත මීට අන්තර්ගත විය. ගුණසේන ගලප්පත්ති සූරීන් සද්ධර්ම රත්නාවලියෙහි එන චක්ඛුපාල වස්තුව කියවා ලැබූ ආස්වාදය හා කම්පනය ඔස්සේ මේ නාට්‍යය නිර්මාණය කළේය. පසුව ඔහු විසින්ම ලියන ලද තිර රචනය ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් “දෑස නිසා” (1975) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. “දෑස නිසා” නාට්‍යයට එතරම් පේ‍්‍රක්ෂක ප්‍රතිචාර නොලැබිණ. ප්‍රබල කතා වස්තුවක් මීට අන්තර්ගත වූ අතර එහි කාව්‍යාත්මක බස් වහරද, ගීත පදමාලා සේම සංගීතය ද කැපී පෙනිණ.

නිරුදක විරූපියකු ලෙස සම්මත වීම හේතු කොට ඔහුට විවාහයක් සිදු කර ගැනීමට පහසු වූයේ නැත. එහෙත් ඔහුගේ මව පුතාට බිරියක සොයා දීමේ උත්සාහය අත් නොහරින්නීය. අවසන නිරුදක සුරූපී අන්ධ මාලාකාරියක විවාහ කොට ගනී. ඇගේ ඇස් සුවපත් කිරීමට උත්සුක වන්නී නිරුදකගේ මවය. ඇය නිරුදකගේ විරෝධය නොතකා වනයෙහි වෙසෙන මාධව නමැති තවුසකු වෙත සුන්දරී රැගෙන යයි. නිරුදක මෙහිදී මුහුණපාන මානසික ගැටුම නම් ඇයට පෙනීම ලැබුණහොත් තම විරූපීභාවය දැකීම නිසා ඇය නිසැකවම තමා අත්හැර යනු ඇතැයි සිතීමය.

මවට මේ බැව් පෙනෙන්නේ නැත. දක්ෂ අක්ෂි වෛද්‍යවරයකු වන මාධව තවුසා මෙලෙස වනගත වී සිටිනුුයේ එක් අමිහිරි අත්දැකීමක් නිසාය. එනම් මෙබඳු අන්ධ සුරූපී කාන්තාවකගේ ඇස් සුවපත් කොට ඇය වසඟ කර ගැනීමට දැරූ තැත අසාර්ථකවීමෙන් ඔහු යළිත් ඇය අන්ධභාවයට පත් කළේය. මේ අතීත සිදුවීම සිහිපත් වීමෙන් මාධව තවුසා සුන්දරීට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරයි. එහෙත් අවසන මවගේ බලවත් ඉල්ලීම නිසා ඇගේ දෙනෙත් සුවපත් කරයි. ඒ සමඟම සුන්දරී වසඟ කර ගැනීමට ද ඔහු උත්සුක වේ. සුන්දරී මාධව තවුසාගේ කඩවසම් රුව දකී. තම සැමියා වූ නිරුදකගේ සම්මත විරූපී බව ද ඇයට දැන් පෙනේ. එහෙත් අවසන ඇය තෝරා ගන්නේ නිරුදකය. මක්නිසාද යත් මසැසට පෙර මනසින් ඇය නිරුදකගේ කාරුණික සුන්දර හදවත විනිවිද දුටු බැවිනි. මාධව පෙර සේ ද්වේශයෙන් ඇය අන්ධභාවයට පත් නොකරයි. ඔහු ජීවිත යථාර්ථය වටහා ගනුයේ එතැන් සිටය. ජීවිතය ගැඹුරින් විනිවිද දැකිය හැකි කාමය නොව සැබෑ ප්‍රේමය හඳුනා ගත හැකි ස්ත්‍රීත්වය “දෑස නිසා” නාට්‍යය ඔස්සේ නිරූපිතය. දිය රහිත බව (නිරුදක), කාමය (මාධව) හා සුන්දරත්වය (සුන්දරී) අතර ගැටුම මෙහි සංකේතවත් කෙරේ. “දෑස නිසා” නාට්‍යය හා චිත්‍රපටය අවසානයේ මා හට චාලි චැප්ලින්ගේ “ඛ්ධ්ඊක ඹ්ධ්ට්ඩ්ඊඉ” (1931) නමැති ප්‍රශස්ත සිනමා කෘතිය සිහිපත් විය. එහි චැප්ලින් නිරූපිත සුපුරුදු පාදඩයා මල් විකුණන අන්ධ සුරූපි තරුණියට පෙම් බඳී. ධනවත් මිනිසකුගේ උපකාරයෙන් ඇගේ ඇස් සුවපත් කිරීමට ඔහු උත්සුක වේ.

අවසන ඇයට දෑස් පෙනීම ලැබේ. ප්‍රේක්ෂකයා මෙහි අවසානය බලා සිටින්නේ ආරම්භයේ සිට එතෙක් දැනුණු හාස්‍යය රසය යටපත් කොට ගෙනය. තරුණිය පාදඩයා දුටු විට කෙබඳු ප්‍රතිචාරයක් දක්වාවිද? තරුණිය තමාට උපකාර කරන්නා වූ මේ කාරුණික පාදඩයාගේ උසස් හදවත මනැසින් හඳුනාගෙන සිටින්නීය. තරුණියගේ හඳුනා ගැනීමෙන් පාදඩයා ද යම් ආකාරයක විමතියකට පත් වේ. සිනා සැලූ ප්‍රේ්ක්ෂක නෙත්වලට කඳුළු නැඟේ. සැබෑ හාස්‍යයේ අවසන ශෝකයක් බැව් ඔවුහුු වටහා ගනිත්. “දෑස නිසා” හි දක්නා ලැබෙන සුන්දරී වැනි කාන්තාවන් මෙකල දුර්ලභ බැව් සැබවි. එහෙත් එබඳු කාන්තාවෝ විරලව හෝ අදත් සිටිති. පුරුෂයන්ගෙන් ස්ත්‍රීන්ට එල්ල වන අතවර බහුල වන නමුදු සෑමවිටකම එය එසේ නොවන බවත් ඇතැම් විට ස්ත්‍රීන්ගේ අතවරයට පුරුෂයන් ද ලක් විය හැකි බවත් පසුගිය ලිපියේ ප්‍රශස්ත ගණයේ නාට්‍ය කිහිපයක් නිදසුන් කොට මම පෙන්වා දුන්නෙමි. “ඇසු පිරූ තැන්” ලිපි පෙළ සතිපතාම කියවා මුහුණු පොත (ජ්චජඥඡධධඬ) ඔස්සේ ප්‍රතිචාර පළ කරන නදීෂා සඳමාලි පතිරාජ සහෘදිකාව මට මෑතකාලීන නාට්‍යයක් සිහිපත් කොට දුන්නාය. එනම් කපිල රත්නායකගේ “පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්” නමැති නාට්‍යයයි.

කෘතහස්ත නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය රාශියක වෙසෙස් ස්ත්‍රී භූමිකා අපට හඳුනා ගත හැකිය. සෑම ගැහැනියක් තුළම එක්තරා කුවේණියක ජීවත්වන බව වරක් හෙන්රි ජයසේනයෝ පැවසූහ. තම මවුන් තුළ ද ඒ ලක්ෂණය පැවති බව මා සමඟ පැවැත් වූ පුවත්පත් සංලාපයකදී ඔහු කීවේය. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “කුවේණි” (1963) නාට්‍යය ඉතිහාසයෙන් ඇය වෙත හෙළන ඇතැම් සාවද්‍ය දෘෂ්ටිවලින් බැහැර වී ඇය දෝෂ දර්ශනයට ලක් කළවුන්ට ඇයගේ යහපත් ගුණාංග පෙන්වා දීමට දැරූ ප්‍රයත්නයකි. ග්‍රීක නාට්‍යවල ආභාසය ද මෙහි දැක්ක හැකිය. කුවේණිය එවක මුහුණ පෑ කටුක අත්දැකීම්, මානසික පීඩන, සමාජ අපහාස, ගැරහුම් මෙකලද බහුතරයක් ස්ත්‍රීන්ට පොදු වන බැව් නාට්‍යවේදියා මේ නිර්මාණය හරහා පෙන්වා දේ.

“අන්ධකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් තව පන්සියක් කල්
වසා සැඟ වූ මුත් කුවේණිය

 

අදත් ඇය අප දෙස බලන්නී
හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්ධකාරය
මැදින් සිට එබිකම් කරන්නී

 

සදා ඇය අප හා සිටින්නී
දොරින් දොර හැම තැන වෙසෙන්නී
එදා හෙළූ කඳුළුත් රුහිරු බිඳු
සදා අප වෙනුවෙන් හෙළන්නී

 

සදා කාලෙම ලොව පහළ වූ
සදා කාලෙම ලොව පහළ වන
කුවේණියමයි එකම ගැහැනිය
එදා උපනත් අද උපන්නත්

 

ඇයයි දුක් පීඩා විඳින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිනි නම් ලබන්නේ

නාට්‍යයෙහි කුවේණිය ඇගේ සැමියාම පතන නමුදු අධිකරණය ද ඒ පැතුම ඉටු කරදීමට අපොහොසත් වේ. කුවේණිය ප්‍රමුඛ වූ සකල ස්ත්‍රී වර්ගයා කෙරෙහි කලාකරුවා හෙළන සානුකම්පිත මානව භක්තිය “කුවේණි” නාට්‍යයෙන් ඉස්මතු වේ. ෙමි කුවේණිය ලෙස ශූර ලෙස රඟමින් ලාංකේය වේදිකාවට “සත්සියක් කපු මල් රැගෙන” ආ මානෙල් ජයසේන රංග ශිල්පිනිය 60, 70 දශකවල රැඟුමෙන් හා ගැයුමෙන් තත් ක්ෂේත්‍රය එකලු කළාය.