කවුද මේ හොලම්ස්

ජූලි 23, 2020

ප්‍රවීණතම සිනමා කැමරා ශිල්පියකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ විලියම් හොලම්ස් මහතා දිවි සිනමාවෙන් සමුගෙන දින කිහිපයක් ගත වී තිබේ. කලක් රෝගාතුරව සිටි එතුමාගේ අභාවය සවන් වැකෙත්ම ඔහු සිංහල සිනමාවට සිදු කර තිබෙන සේවය දැන සිටි බොහෝ සිනමා ලෝලීහු කම්පාවට පත් වූහ. ඒ හොලම්ස් සිංහල සිනමාවේ මුල් යුගයේ පටන් රැඳී සිටිමින් කැමරාවෙන්ද ස්වකීය ප්‍රවීණ බව මුල් කරගත්  චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ද ඉමහත් සේවයක් සිදු කර තිබූ නිසාය.

හොලම්ස් කවුද? ඔහු කළේ කුමක්ද? යන්න දත් අය වහ වහා යුහුසුලු වූ අතර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට ද ඔහුගේ මරණය පිළිබඳව දැනුම් දුන්හ. ඒ සඳහා හොලම්ස් කවුදැයි යන්න විස්තර කර දෙන්නට බොහෝ වෙහෙස වන්නට වීම  පුදුමාකාරය. ඒ තරමටම සිංහල සිනමාව වෙනුවෙන් ඇරුණු චිත්‍රපට සංස්ථාවේ මේ ක්‍රියාකාරිකයන් නොදැනුම්වත්වීම කනගාටුදායකය.

ඇත්තටම හොලම්ස් කවුද? හොලම්ස් පාසල් කාලය නිම කරත්ම චිත්‍රපට පිළිබඳ දැඩි උනන්දුවකින් සිටි සිසුවකු වූ නිසා ඔහුගේ පියාට සිදු වූයේ එවක චිත්‍රපට සමාගම්හි බලවතකු වූ එස්. පී. මුත්තයියාට කතා කර ඔහුගේ එස්. පී. එම්. චිත්‍රාගාරයට යවා සිනමා ශිල්පියකු ලෙස ඔහුව පුහුණු කරවන්නටය.

එස්. පී එම්. චිත්‍රාගාරයේදී හොලම්ස් චිත්‍රපටකරණයෙහි අයන්නෙන් පටන් ගෙන උගත්තේය. ඔහුගේ බලවත් ආශාව තිබුණේ කැමරාකරණයටය. අංග සම්පූර්ණ ශිල්පියකු වූ හොලම්ස් එවක ඉන්දියාවෙන් පැමිණ එම චිත්‍රාගාරයේ සේවය කළ ප්‍රවීණතම දමිළ කැමරා ශිල්පීන් යටතේ පුහුණුව ලද්දේය. එය ඒ තරමටම කැපවීමෙන් ලද පුහුණුවක්ම විය.

1958 තිරගත වූ එස්. එම්. නායගම් නිපද වූ එල්. එස්. රාමචන්ද්‍රන්  අධ්‍යක්ෂණය කළ ක්ලැරිස් ද සිල්වා, අරුණ ශාන්ති හා රවීන්ද්‍ර රූපසේන රඟපෑ ‘සොහොයුරෝ’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් හොලම්ස් කැමරා ශිල්පියකු ලෙස මතු විය. 1966 තිරගත වූ ‘සම්පත, උතුම් ස්ත්‍රිය’ ද හොලම්ස්ගේ කැමරාවෙන් පරිපූර්ණ වූ  චිත්‍රපට විය.

1966 තිරගත වූ ප්‍රේම්නාත් මොරායස් සහ බන්දු ගුණසේකර අධ්‍යක්ෂණය කළ ගාමිණී, හෙන්රි ජයසේන, ශේන් ගුණරත්න රඟපෑ ‘සීගිරි කාශ්‍යප’ චිත්‍රපටය හොලම්ස්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන්නේය. එහි බොහෝ පසුතල චිත්‍රාගාරවලට වඩා ඉන් පරිබාහිරව සීගිරිය අවට රූ ගැන්වීම සුවිශේෂිත්වයක් විය.

කේ. වෙන්කට් නමින් ප්‍රකට කේ. වෙන්කඩාසලම් නමැති දෙමළ සිනමා අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, සන්ධ්‍යා කුමාරි රඟපෑ සිංහල සිනමාවේ 130 වැනි චිත්‍රපටය වූ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ද හොලම්ස්ය. එහි ‘සිහින ගඟේ පීනා පීනා කිමිදී රිදී දියේ’ නම් ගීතය පැරැණි  රසිකයන් අතර තවමත් ජනප්‍රියය. චිත්‍රපටයේ රූප රාමු සම්මතයෙන් පිටගිය නැවුම් බවක් ගත්තේය.

1969 තිරගත වූ කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කළ ජෝ, රෝයි, එඩී ජූනියර් රඟපෑ ‘උතුම් ස්ත්‍රිය’ ද සාර්ථක චිත්‍රපටයක් වූ අතර එය හොලම්ස්ගේ කැමරාවෙන් නිමැවිණි.

ටී. බාවානන්දන් අධ්‍යක්ෂණය කළ 1967 තිරගත වූ ටෝනි රණසිංහ, උදුලා දාබරේ රඟපෑ ‘මනමාලයෝ’ හි ඔහුගේ කැමරාව වෙනස් හැඩයක් පළ කළ බවක් පෙනිණි. සම්මත රටාවෙහි යම් පිට පැනීමක් විය.  එස්. පී. මුත්තයියා නිපද වූ පී. රත්නම් අධ්‍යක්ෂණය කළ 1967 තිරගත වූ ‘රන් රස’ තවත්  චිත්‍රපටයකි.

1968 තිරගත වූ ජෝ අබේවික්‍රම, සන්ධ්‍යා කුමාරි රඟපෑ වින්සන්ට් ඩේවිඩ් අධ්‍යක්ෂණය කළ ‘අක්කා නඟෝ’ චිත්‍රපටයේ කැමරාව මෙහෙය වූ විලියම් හොලම්ස්ගේ හැකියාවන් එම චිත්‍රපටයෙන් වඩාත් මතු වී පෙනිණි.

ජෝ,  ක්ලැරිස් ද සිල්වා රඟපෑ ඇන්ඩෲ මුත්තයියා නිපද වූ වින්සන්ට් ඩේවිඩ් අධ්‍යක්ෂණය කළ ‘පැංචා’හි ද කැමරාව ඔහුගේය.

හොලම්ස් සමඟ වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් නිම කළ කේ. වෙන්කට්ගේ වෙනත් ආරේ ගැමි පරිසරයක කතාවක් රැගත් චිත්‍රපටයක් වූයේ ‘ගොපලු  හඬ’ ය. ටෝනි සහ ජීවරානි රඟපෑ මෙම  චිත්‍රපටයේ හොලම්ස්ගේ කැමරාවෙන් හැඩ ගැන් වූ  ගැමි සුනදරත්වය ග්‍රහණය කරගත් කැමරා රූප රාමු රැසක් විය. එය ඇන්ඩෲ මුත්තයියාගේ නිෂ්පාදනයකි.

හොලම්ස්ගේ කැමරාකරණය කළ පළමු වර්ණ චිත්‍රපටය වූයේ ‘අලිබබා හා හොරු  හතළිහ’ චිත්‍රපටයයි. එය තිරගත වූයේ 1991 වසරේදීය.

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනය සැබෑ කරමින්  ඔහුම ලියා අධ්‍යක්ෂණය කරමින් කැමරාව ද මෙහෙය වූ ‘හරියට හරි’ නිමා වුයේ උදය චිත්‍රපට සමාගම වෙනුවෙනි. එවක ආධුනිකයකු වූ රවීන්ද්‍ර රන්දෙණිය ද යොදවා නීටා ප්‍රනාන්දු සමඟ නිමැ වූ එම චිත්‍රපටය සිංහල සිනමා ඉතිහාසය සැරසූ 338 වැනි චිත්‍රපටය විය. මෙහි සුජාතා අත්තනායක සිංහල සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය කරමින් හොලම්ස් සිංහල සිනමාවේ වාර්තාවක් තැබීය.   

හොලම්ස්ගේ හොඳම කැමරාකරණයේ රූප රාමු තිබුණේ තුෂාරා චිත්‍රපටයේය. තුෂාරා  කැමරාවත් එහි කාර්මික  අධ්‍යක්ෂණය පිටුපස බර ඇද්දේ හොලම්ස්ය. එය අති සාර්ථක විය. විජය - මාලිනී  සුන්දරම යුගය ඇරැඹුණේ ‘තුෂාරා’ චිත්‍රපටයෙනි. 

විජයත් - මාලිනිත් - ජෝතිපාලත් යන සංයෝගය ඇතුළත්ව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට  දැඩි වුවමනාවක් තිබුණු නිසා හොලම්ස් ‘සකුන්තලා’ අධ්‍යක්ෂණය කරමින් කැමරාව මෙහෙයවා ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් තිළිණ කළේය. එහි සාර්ථකත්වය මත විජය - මාලිනී - ටෝනි සංයෝගයෙන් කෝකිලා ද අධ්‍යක්ෂණය කළේය.

චිත්‍රපට රැසක දැවැන්ත කාර්යයක් උසුලමින් අධ්‍යක්ෂවරුන් හැදූ විලියම් හොලම්ස් දක්ෂතම හා  මෙතෙක් ජීවත්ව සිටි ප්‍රවීණතම සිනමා කැමරා ශිල්පීන් අතළොස්සගෙන් ප්‍රමුඛතම අයෙකි.

ඔහු අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය වූයේ ‘සමු නොගන්න සුගන්ධිකා’ය. 70 දශකයේ මුල් භාගයේ ලස්සන මුහුණු තරගයෙන් තේරුණු රුවැත්තියක වූ පර්ල් විජේසිංහට හිත බැන්ද හොලම්ස්  ‘ඇස් ඉදිරිපිට‘ චිත්‍රපටයේ තිස්ස විජේසුරේන්ද්‍ර හා ප්‍රධාන නිළි චරිතය රඟපාන්නට පර්ල්ට ඉඩහසර සැපැයීය. හොලම්ස්ගේ ඇස් ඉදිරිපිට හමු වූ පර්ල් ඔහුගේ ආදරණීය බිරිය බවට පත් විය.

ටෝනි සහ පර්ල් විජේසිංහ යොදාගෙන ‘සුදු අක්කා’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ ද එය හොලම්ස් සම්පූර්ණ කර ගත නොහැකි විය.

ඔහු මිය යන්නට සති දෙකකට පෙර දිවියෙන් සමුගත් පර්ල් විජේසිංහගේ නිසල දේහය තැන්පත් කළ ස්ථානයේම ඊට යාබදව විලියම් හොලම්ස්ගේ දේහය ද භූමදානය කළේ ළබැඳියන්ගේ  සෝ සුසුම් මැදය. ඔහු අත දුන්, ඔහුට හිතවත්  සහෘදයන් රැසකගේ සහභාගිත්වයෙන් දිවි සිනමාවෙන් ඔහු සදහටම සමු ගත්තේ සිංහල සිනමාවට බොහෝ වටිනාකම් රැසක් දායාද කරමිනි.