හිරු දෙවියන්ගේ නෑයන් වූ නාට්‍යකරුවන්

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්
ජූලි 16, 2020

අපරදිග නාට්‍ය ප්‍රභවයේ දෙවියන්ගේ බලපෑම පෙරදිග සංස්කෘත, නෝ මෙන් ග්‍රීක නාට්‍යයේ ද තාර්කික උත්පත්තියක් මෙන්ම දිව්‍යමය උත්පත්ති ප්‍රභවයක්ද පවති. 12 වැනි ශතවර්ෂයේ දි පමණ ඩිතරම්බි නම් දේව ස්තෝත්‍ර හා තෙස්පිස්ගේ මැදිහත්වීමෙන් ග්‍රීක හෙවත් බටහිර නාට්‍ය උපත සිදුවන්නට ඇත. එහෙත් අපරදිග ග්‍රීක නාට්‍ය උත්පත්තිය “ඩයනීසස්” ඇදහිල්ල හා සම්බන්ධ වේ. ග්‍රීක යුගයටත් පෙර ඓතිහාසික යුගයේ ඔසිරිස් [osiris]  නම් දෙවියාගේ ජීවිතය ද අපරදිග නාට්‍ය කලාවේ උප්පත්තියට සම්බන්ධ වේ. ඔසිරිස් පිළිබඳ පුරාවෘත්තය දෙවියන් සම්බන්ද පුරාවෘත්තයකි.

අපරදිග ලෝකයේ නාට්‍ය කලාව පහළවීම

පෙරදිග මෙන්ම අපරදිග ශිෂ්ඨාචාරයේ ද නාට්‍ය කලාවේ උපත සිදුවී ඇත්තේ ජන ආගම, ඇදහිලි විශ්වාස හා අභිචාර විධින් ඇසුරෙනි. සාමාන්‍යයෙන් අප විශ්වාස කරන්නේ හා දන්නේ අපරදිග නාට්‍ය කලාවේ උපත ග්‍රීසියේ සිදුවු බවයි. නමුත් අපරදිග ශිෂ්ටාචාරයේ ආරම්භය ග්‍රීක ශිෂ්ටාචාරයට එහා දුර ඈත අතීතය කරා දිව යයි. එබැවින් නාට්‍ය කලාවේ උත්පත්තිය පිළිබඳ කතාන්දරය ද ඒ ඉතිහාසය තරම් පැරැණි විය යුතුය. ගෘහනිර්මාණ, චිත්‍ර හා මූර්ති වැනි කලාවන්ගේ අතීත මූලාශ්‍ර මේ ශිෂ්ටාචාරවල දී හමුවන මුත්, නාට්‍ය කලාවේ එම අතීත ශිෂ්ටාචාරවල සම්බන්ධය දැක්වීමට අතීත මූලාශ්‍ර හමුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. දැනට නාට්‍ය කලාවේ උපත පිළිබඳ පැරණිතම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපට හමුවන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයේ ක්‍රි.පූ.12 ශතවර්ෂය වැනි කාලයේ සිටය. ග්‍රීසියේ පැවති විශිෂ්ට නාට්‍ය කලාවක් පිළිබඳ නාට්‍ය පිටපත්, රංග මණ්ඩල, ලිඛිත සාක්ෂි බොහෝමයක් ග්‍රීසියෙන් හමුවේ.

එසේ වුවත් ග්‍රීක ශිෂ්ටාචාරයට ඈතින් වූ මිසර ශිෂ්ඨාචාරය තුළ යම් දියුණු රංග කලාවක් පැවති බව යම් යම් සාක්ෂි ලැබුණත් එහි ස්වභාවය පිළිබඳ අවබෝධයට ඇති ලිඛිත හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි අල්ප වේ. එහෙත් ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිරමීඩ නාටක, කොරනේෂන් උත්සවය (coranation play jubilees)  හෙබ් සෙඩ් උත්සවය  (The heb sed), The medcinal play, The abydos Passion play හෙවත් දුක්ඛ:ප්‍රාප්ති යනුවෙන් නාට්‍ය වර්ග පහක් ගැන සඳහන් වේ. අවම වශයෙන් ක්‍රි.පූ. 2000 ට ඒහා කාලයේ පමණ මෙම නාට්‍ය ඇතිවන්නට ඇතැයි සැලකේ. එසේ Ra plays (sungod) නමින් නාට්‍ය විශේෂයක් පැවති බවටද ඓතිහාසික සාක්ෂි හමුවේ. අච යනු සූර්යයා හැඳීන්වෙන නාමයකි. එහි අදහස හිරු දෙවියන් යන්නය. හිරු දෙවියන් Nocturaal දෙවියන් සමඟ ඇපොෆිස්  [Apophis] සහ සර්ප දෙවියන්(SNAKE GOD)  සමඟ පාතාල ලෝකයේ දි කළ සටන සහ ඉන් හිරු දෙවියන් ලද ජයග්‍රහණය මෙම රංගයේ දී (Ra plays)  වස්තු විෂය විය. ක්‍රි.පූ. 14 වන සියවස හෝ ඊට පෙර මිසරයේ පැවති නාට්‍ය කලාවක් පිළිබඳ සාක්ෂි හමුවී ඇත. එම නාට්‍ය උත්සවය හා ග්‍රීක නාට්‍ය උත්සවයද පසුකාලීනව නාට්‍යමය ලක්ෂණ සහිත ක්‍රිස්තියානි පූජෝත්සවයට සමාන ලක්ෂණ මිසරයේ පැවති නාට්‍ය කලාවේද තිබු බව පෙනේ.

ක්‍රි. පූ. 14 සියවසට පෙර පැවති ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ නාට්‍ය කලාවක් පැවති බවට තොරතුරු ආනාවරණය වී ඇත. එහි මුලාශ්‍රය නම් ඊජිප්තු දෙවියෙක් වූ ඔසිරිස් (osiris) නම් දෙවියාගේ පුරාවෘත්තයි. එය ග්‍රීක ඩයනීසියස් දේව පුරාවෘත්තයට බෝහෝ සමානය. දෙදෙනාගේම ජීවිතය ස්වභාවධර්මයේ සෘතූන්ට සම්බන්ධය. එසේම මනුෂ්‍යයාගේ උපත පැවැත්ම, මරණය , නැවත ඉපදීමට සම්බන්ධය. මනුෂ්‍යයා මෙන්ම ස්වභාවධර්මයද උපදියි, පවතියි, මියයයි, නැවත උපදියි. දෙකටම ඇත්තේ සමාන ජීවන චක්‍රයකි.

මිසරයේ පැවති නාට්‍ය කලාවේ උප්පත්තිය සිදුවන්නේ ඔසිරිස් ගේ ජීවන චක්‍රය හේතුවෙනි. සෙට්  (set)  නම් ඔහුගේ සහෝදරයා විසින් උපක්‍රමයකින් ඔසිරිස් රවටා ඔහුගේ අඟ පසඟ ඉරා කැබලිකොට මරණයට පත්කරයි. කැබලිකරන ලද ඔහුගේ සිරුරේ කුඩා කොටස් 14 කින් යුක්ත බඳුනකට (පෙට්ටියකට) දමා මුද්‍රා තැබූ එම බඳුන “නයිල්“ (ඊජිප්තුවේ පිහිටි ගංගාවක්) විසිකර දමයි. මෙම කාලයේදී ඔසිරිස්ගේ බිරිඳ සිටිනුයේ දරු ප්‍රසූතියට ආසන්නවයි. ඇය ඔසිරිස් සොයා යන්නට පටන් ගනී . මෙම සොයා යාම අතරදී ඔසිරිස්ගේ බිරිඳ අයිසිස්  (ISIS)  දරුවකු ලබයි. ඊජිප්තු වැසියන් පසුකලකදී එම දරුවා සලකන්නේ ඔසිරිස්ගේ පුනරාගමනයක් ලෙසයි. නැතහොත් ඔසිරිස්ගේ ආධිපත්‍යයේ නව ආරම්භයක් ලෙසයි. ඔහු නමින් හෝ රස් (Horus)  අවසනදී මුළු රටම පීරායන අයිසිස් නයිල් නදියේ ඉවුරකදී ඔසිරිස්ගේ සිරුරු කොටස් සහිත භාජනය සොයාගනී. ඇය ඔසිරිස්ගේ සිරුරු කොටස් නැවත එක්කොට ඔහුට පුනරුප්පත්තිය හෙවත් නැවත ඉපදීමක් ලබාදෙයි. මෙම සිදුවීම් මාලාව පදනම් කොටගෙන ඊජිප්තු වැසියන් පූජා රංගයක් ආරම්භ කරයි. මිසරයේ පැවැති නාට්‍ය කලාවේ උත්පත්තියට මූලාශ්‍ර වූයේ ඔසිරිස් පිළිබඳ මේ උත්පත්ති කතාවයි.

 

මෙම මිසර නාට්‍ය හෝ පුරාවෘත්තය පිළිබඳ තොරතුරු බොහෝමයක් ඉතිහාසය තුළ හෙළිඳරව් වී නොමැත. ඔසිරිස් මිසරයේ මෙන්ම ඊජිප්තුවේද දෙවියෙක් ලෙස  (God of Egypt)  සලකනු ලබන අතර ඔහු මරණයේ දෙවියා ලෙස ගරුබුහුමන් ලබන්නෙකි. (මරණය පරාජය කළ දෙවියා) ඔසිරිස්ගේ සහෝදරයා වන සෙට් (set)  විසින් ඔහුව මරාදැමීමට හේතුව ඔසිරිස්ගේ කිරුළ පහැර ගැනීමය. ඊජිප්තුවේ විවිධ ප්‍රදේශවල වාර්ෂික ආගමික උත්සවයේ වැදගත්ම අංගයක් ලෙස සලකන්නේ ඔසිරිස්ගේ දුක්ඛ:ප්‍රාප්ති රංගයයි. එහි අරමුණ සංකේතිය ලෙස ඔහුට ගෞරවය දැක්වීමය. ජලය හා මහපොළවට ගෞරවය දක්වමින් ඔසිරිස් දේවස්ථානවල ඔසිරිස් පිළිබඳ නාටකීය රංගය රඟ දක්වනු ලැබීය. මෙහිදි තිරිඟු හා ජලය මිශ්‍ර කරගත් තලපයකින් ඔසිරිස්ගේ ජීවමාන රුවක් සකසන අතර දින කිහිපයක් පුරා එය ජලයෙන් තෙත්කොට (අපේ බලි ශාන්තිකර්මවල එන බලි ඇඹුම මීට සමාන වේ) රතු පැහැති ගසක ලීයෙන්ම සකසන ලද පෙට්ටියක් සකස්කොට එහි ඇතුළත ඇති කොටස් දහ හතරකට (කුටීරය) ඔසිරිස්ගේ පිටි ඇඹුම තැන්පත් කරනු ලබයි. කැබලි කරන ලද ඔසිරිස්ගේ ශරීර කොටස් සංකේතවත් කරන මෙම කොටස් දිව්‍යමය පූප ලෙස සැලකේ. (ක්‍රිස්තියානි දේවස්තානවලදී ජේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහයේදී “ මේ මාගේ ශරීර කොටස් “ ලෙස දිව තබන පූප සිහිකරගන්න.) දින පහක් පුරා ඔසිරිස් පිළිබඳ නාට්‍යමය රඟදැක්වීම පූජකයින් විසින් බැතිමතුන්ද සම්බන්ධ කොටගෙන රඟ දක්වනු ලබයි. පෙරහැර පවත්වනු ලබයි.

 

පළමු දිනය- ඔසිරිස්ගේ සතුරන්ට අවඥා කරමින් දෙස් දෙවොල් තබමින් පවත්වන පෙරහැරකි.

 

දෙවන දිනය- ඔසිරිස්ගේ සිරුර දෙව් මැදුරේ ඔහුගේ සොහොන වෙත ගෙන යන පෙරහැර (ක්‍රිස්තියානි දේවස්ථානවල මංගල්‍යයේදි කරන ප්‍රතිමා වැඩමවීම සිහිපත්කරගන්න) එය ගෙන යන්නේ බෝට්ටුවකිනි. එය නයිල් නදියේ පාවී ගිය ඔහුගේ සිරුර සහිත බහාලුම සංකේතවත් කරයි. මෙම ගමනේදි පූජකයින්ද බැතිමතුන්ද (ප්‍රේක්ෂකයින්) ප්‍රතිවාදින්ට විරුද්ධව ස්තෝත්‍ර ගයයි.

 

තෙවන දිනය- මෙම පෙරහැර ඔසිරිස්ගේ ශෝකය ගැයීමත්, සතුරන්ගේ භුමිය විනාශ කරීමත් අනුකරණය කරයි.

 

සතරවන දිනය- අන්ධකාරයේ නිදිමරමින්, යැදුම් සජ්ජායනය කරමින් ඔසිරිස් පිළිබඳ අවමඟුල් චාරිත්‍ර දක්වයි.

 

පස්වන දිනය- ඔසිරිස්ගේ පුනරුත්පත්තිය සහ ඔසිරිස්ට කිරුළ පැලඳවීම අනුරූපණය කරයි. උදෑසන දක්වා කෙරෙන ගායනාවන් සහිත ඔටුනු පැලඳීම මාට  (Maat)  යන පැරණි ඊජිප්තියානු සංකල්පයකි. ඒය සත්‍ය, යුක්තිය, නීතිය, තුලනය,  (balance) සුසංයෝගය (harmony)  ප්‍රසංවාදය, සදාචාරය යන සංකල්පවල මුසුවකි. සියල්ලට අධිපති දෙවඟන මාට් (Maat)වේ. මේ සියල්ල කැටි කොටගත් සෘතු තාරකා මණ්ඩලය, සදාචාරාත්මක ප්‍රතික්‍රියා වෙත ඔසිරිස් එකතු කරයි. ඔසිරිස්ගේ ප්‍රතිමාව දේවස්ථානය වෙත වැඩම කරවයි.

 

මෙම උත්සවයට සමාන පෙරහැර උත්සව සෑම ආගමික පුජා උත්සවයකම දක්නට ලැබෙන අතර දැනට අපට හමුවෙන අපරදිග රංඟ කලාවේ පැරැණිතම රංගෝත්සවය ලෙස “ඔසිරිස්ගේ දුක්ඛ:ප්‍රාප්ති නාටකය” දැක්විය හැක.

 

The Heb sed

කොරනේෂන් ජුබිලි රංගයට සමාන රංගයකි. පාරාවෝ රජවරුන්ගේ තිස්වැනි කිරුළ පැලඳීමේ සංවත්සරය පදනම් කරගෙන මෙම රංඟය පවත්වනු ලැබේ. මෙම උත්සවය ඊජිප්තුවේ සෙඩ් ෆෙස්ටිවල් [sed festival]  ලෙසද හැඳීන්වේ. තිස් අවුරුදු සැමරුවෙන් පසු වසර තුනකට වරක් මෙම උත්සවය රංඟගත කරනු ලැබීය. පිරමීඩ සංකීර්ණවල හෙබ් සෙඩ් අංගනවල මෙම උත්සව අවස්ථා පිළිබඳ චිත්‍ර හා මූර්ති සරසා ඇති අතර ඒවාට අනුව මෙම උත්සවයේදී රජු සියලු දෙවියන්ට පුද පූජා පවත්වන අතර ඉන්පසු කිරුළ පලඳයි. පළමුව සුදු පැහැති කිරුළින් සැරසෙන අතර ඉන් ඉහළ ඊජිප්තුව සංකේතවත් කරයි. දෙවැනුව රතු පැහැති කිරුළකින් සැරසෙන අතර ඉන් පහළ ඊජිප්තුව සංකේතවත් කරයි. අවසන රජු කෙට් ගඬඪතබඝ සහ සත්ව වලිගයකින් සැරසී සතර වතාවක් යාතිකා පවත්වා පහළ හා ඉහළ ඊජිප්තුවේ දේවස්ථාන වෙත පෙරහැරෙන් ගමන් ගනී.

 

The coronation festival play

අලුත් පාරාවෝ රජුන්ගේ ඔටුනු පැලඳීමේ මංගල්‍යය සමරනු වස් කෙරෙන රංගයකි. මෙම රංගෝත්සවය පූර්ව හා පැරැණි ඊජිප්තු ඉතිහාසයේ අතිශයින්ම වැදගත් පූජාවක් වේ. බලය මාරු කිරීම හෙවත් නායකත්වය එක් පාරාවෝ කෙනෙකුගෙන් තවත් පාරාවො රජෙකුට පැවරීම සැමරීම මෙම රංගෝත්සවයේ අරමුණ වේ. මෙය එක්තරා ලෙසකින් හමුදාමය සැමරුම් උත්සවයකි. මේ සැමරුම එක් උත්සවයක් නොව උත්සව සමූහයක එකතුවකි. ක්‍රි.පූ. 3000 දී පමණ මේ රංගෝත්සවය අරඹන්නට ඇතැයි සඳහන් වේ.

 

The Abydos passion plays

ඇබිඩෝස් පිළිබඳ දුක්ඛ:ප්‍රාප්ති නාට්‍ය ඔසිරිස් (Osiris) සෙට් දෙවියාගේ (set) (ඔරිසිස් පිළිබඳ රංගයේ එන) පුරාවෘත්තය රඟ දැක්වෙන විශේෂ රංගෝත්සවයකි. යක්ෂයා හෙවත් නපුරට අධිපති දෙවියා ඔහුවේ. ඔහු තම නපුරු සිතින් තම සහෝදරයාවන ඔසිරස් මරා දමයි. ඔහු මරණයේ දෙවියා ලෙස සැලකේ. මෙම නාට්‍ය රඟදක්වනු ලබන්නේ ඊජිප්තුවේ නයිල් නදියේ බෝට්ටුවලින් තැනූ වේදිකා මතය. වසන්ත  (spring)  සමයේදී මෙම රංගය රඟ දක්වනු ලැබීය. මෙම රංගය ක්‍රි.පූ 2000 වසරවලදී රඟදක්වනු ලැබීය. ඉක්නෙරනොෆ්‍රෙට් (Iknernofret) නම් රජුගේ සේවකයෙකු විසින් මුල්ම දුක්ඛ:ප්‍රාප්ති නාට්‍ය ලියා රඟදැක්වූ බව වාර්තාගත ඉතිහාසයේ සඳහන් වේ.

 

The medicinal play

මායාකාරී නැතහොත් ඉන්ද්‍රජාලක සුවපත්කිරිමේ උත්සවයක් ලෙස සැලකෙන මෙම රංගෝත්සවය ඔසිරිස් දෙවියන් උදෙසා කරන වන්දනීය රංගොත්සවයකි. මෙය එක්තරා ලෙසකින් සෙත් ශාන්ති පුජෝත්සව රංගයකි. අතීත ඊජිප්තු වැසියෝ එනම් ක්‍රි.පූ 3000 සිට 500 දක්වා ශරීර සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානයක් දැක්වූහ. අතීත හැදෑරීම්වලට අනුව වෛද්‍ය ශාස්ත්‍රයේ මූලාරම්භය පැරණි ඊජිප්තුවයි. ඔවුන්ගේ විශ්වාසය වූයේ දෙවියන් (god), යක්ෂයා (demons)  සහ අද්භූත බලවේග (sprits) වසංගතවලට ප්‍රධාන බලපෑමක් කරන බවයි. මෙම භූතාත්ම මනුෂ්‍ය ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හසුරුවන බවත්, ඔවුන් විසින් ඒවායේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන බවත් වෛද්‍යවරු විශ්වාස කළහ. අතීත යුගයේ සුවපත් කිරීම භාරවූයේ ආගමික පූජකයන්ට වුවත් මෙම විශ්වාසයන් ව්‍යාප්ත වීමත් සමඟම වෛද්‍යවරයා හෙවත් ‘‘doctor of medicine”  ආගමනය සිදුවිය. මිනිස් ශරීරයේ හදවත සම්බන්ධයෙන්, මානසික රෝග, පවුල් සැලසුම මෙන්ම, චර්ම රෝග, දත්, ඇස් පිළිබඳ මෙන්ම, ශල්‍යකර්ම පිළිබඳවද ඊජිප්තු ශිෂ්ටාචාරය උනන්දුවක් දැක්විය. දිනපතා ජීවිතය පිළිබඳ ඊජිප්තු වැසියන්ගේ විශ්වාසය වූයේ ඉන්ද්‍රජාලික බව, දෙවියන්, යක්ෂයා, භූතාත්ම ආදිය විසින් හසුරවන බවයි. දෙවියන් විසින් මිනිසා නිර්මිත බවත්, හසුරවන බවත් ඔවුන් ඇදහූහ. හෙකා(heka) දෙවඟන ඉන්ද්‍රජාලයට (magic) හා වෙදකමට (medicine)  අයත්විය. බෙස් [Bes] නම් දෙවියා කාන්තාවන්ගේ ගර්භ ප්‍රසූතියට ආරක්ෂක දෙවියා විය. ගෝ ණුසු විස සඳහා සෙර්කෙට් (serket) ගේ උදව් ලබාගත්තේය. කෝප වූ දෙවියන් හා යක්ෂයා මනුෂ්‍යා වෙත නපුරු (Bad luck) හා වසංගත ගෙන එන්නේය. මනුෂ්‍යයා ඉන්ද්‍රජාලය හා ආගම මෙම බලවේග සමඟ ගනුදෙනුවකට භාවිත කළෝය. පූජකයා හා වෙදැදුරු මේ කාර්යයට මුල් විය. බොහෝ සුවපත් කරන පූජකයින් හැඳීන්වූයේ සෙක්මෙට් පූජකවරුන්(Sekhmet) ලෙසිනි. යුද දෙවඟනද සුවපත් කිරීමේ දෙවඟනද  (goddess of warrior and goddess of healing)  මෙම කාර්ය සඳහා උදව් විය. මෙඩිසිනල් රංගය යනු මෙම ආගමික හා ඉන්ද්‍රජාලමය පූජා රංගයක් වේ. එහි අරමුණ වූයේ සුවපත් කිරීමයි.

 

පිරමීඩ නාටක

(Pyramid Plays)

ආගමික පූජාකර්ම සහ පිරමීඩ් සභ්‍යත්වය සමඟ බැඳුණු නාට්‍ය විශේෂයකි. ඉන් රඟදැක්වුනේ මිය ගිය රජුන්ගේ ආත්මය තාරකාවක් බවට පත්වීමේ පුරා වෘත්තයයි. මෙම රංගය රඟ දැක්වුනේ විශේෂිත ස්මාරක (tombs) හෝ පූජනීය ස්ථාන (Temples)  අභියසදීය. මරණින් මතු ජීවිතය වන්දනය හා එම ජීවිතය දෙවියන් සමඟ සම්බන්ධවීම මෙම රංගයන්ගෙන් විස්තර වේ. මෙම රංගය ස්මාරක බිත්තිවල ලියා තැබෙන අතර පූජකයින් විසින් රඟ දක්වනු ලබයි. පිරමීඩ නාටකවල වස්තු විෂයක්  (plot), චරිත (characters) හා මූලික වේදිකා විධාන දක්වනු ලැබේ. (Basic stage directions)  රජවරුන්ගේ ආත්මය තාරකාවක් බවට පත්කිරීම හා ඔවුන්ගේ උට්ඨානය පිළිබඳ පුරාවෘත්ත එකක් හෝ දෙකම පිළිබඳ පුරාවෘත්ත රංගයේ වස්තු විෂයය විය.

මෙහිදීද මූලික පුරාවෘත්තය වූයේ ඔසිරිස් (osiris)  හා හෝරස් (Horus)  හෙවත් ඔසිරිස්ගේ පුත්‍රයා පිළිබඳ වෘතාත්තයයි. ඔසිරිස් පුරාවෘත්තය මිය ගිය රජුගේ ප්‍රතිප්‍රකාශනය වේ. හෝරස් ඔහුගේ ජීවත්වන ආත්මය වේ. එසේම නව රජු හා රාජ්‍යත්වය සංකේතය විය. මිය ගිය රජුගේ පුනර්භවය රංග පුරාවෘත්තයේ වැදගත්ම අංගය වේ. සම්පූර්ණ ක්‍රියාව එනම් ගුහාවෙක ඔහුගේ ශරීර කොටස් තැන්පත් කිරීමේ සිට ඔහු ගේ නැවත ඉපදීම හෙවත් උට්ඨානය දක්වා කොටස් කායිකව රඟ දක්වන ලදී. (Physical represnt) පූජකයෙක් විසින් මෙම විස්තර සංවාද මඟින් කථනය කෙරේ. පූජකයෙක් ඔස්රිස්ගේ සොහොන්ගෙය ඇතුළට විත් “දේවයාණනි, ඔබේ රැඳවුම් ගැබේ ගඩොලින් වැලිවලින් ඔතා ඇත. ඔබද එසේ කොට ඇත“ යනුවෙන් ප්‍රකාශ කරයි. එහිදි ශරීරය මහ හඬින් ශබ්ද නගමින් ඉහළට එසවෙයි. එය දිස්වන්නේ අවතාරයක් ලෙසිනි. සෑම විටම ඔසිරිස්ගේ මෙම උට්ඨානය ජ්‍යෙෂ්ඨතම පූජකයෙක් විසින් රඟදක්වන ලදී. ඊජිප්තු පුරාවස්තු කැණීමකදී සොයාගත් පැපිරස් පත්‍ර පිටපතක මෙම අවස්ථාව පිළිබඳ ලිඛිත සාක්ෂි හමුවී ඇත. සබාකා (Sabaka) නම් පාරාවො විසින් ලියන ලද  (pharaoh)  මේ කොටස් හමු වී ඇති අතර මේ ලිඛිත කොටස් ක්‍රි.පූ. 800 පමණ අයත් යැයි සැලකේ. ගල්පුවරුවක ලියා ඇති මෙම කොටස සබාකා නම් තැනැත්තා ලියා ඇත්තේ තම පියා වෙනුවෙනි.මෙම මනු පිටපත ආශ්‍රයෙන් එකල පැවති ඊජිප්තු රංග භූමිය පිළිබඳවද විස්තර හමුවී ඇත. පාරු හෙවත් බෝට්ටු (ලී වලින් තනන ලද) එකතුවක් වේදිකාව ලෙස යොදාගෙන ඇත. ඊජිප්තුවේ බොහෝ රංගෝත්සව පවත්වා ඇත්තේ නයිල් නදී ඉවුරේදීය. එයට හේතුව ඊජිප්තු ශිෂ්ටාචාරය නයිල් නදි ඉවුර කේන්ද්‍රගත වීමයි. බොහෝ ඊජිප්තු දේවස්ථාන නයිල් නදී ඉවුරේ පිහිටා ඇත. නයිල් නදිය ප්‍රවාහනයේද ප්‍රධාන සාධකයක් වේ. පාරු හෙවත් බෝට්ටු ඔසිරස් හා හෝරස් ගේ පුරා වෘත්තය සමඟ සම්බන්ධ වේ. පූජකයන් විසින් රංගයේ චරිත නිර්මාණයේදි වෙස් මුහුණ භාවිත කළ බවත් විශේෂයෙන්ම ඔසිරස් හා හෝරස් සහය චරිත හා කෝරසයෙන් වෙන්කොට දැක්වීමට වෙස්මුහුණ වැදගත් වූ බවක් පෙනේ. මිනිස් චරිත මෙන්ම සත්ව චරිතද රංගයේ වූ අතර එම වෙනස දැක්වීමට ද වෙස්මුහුණු ඉවහල් විය.

ඊජිප්තුව වූ කළ ලෝකයේ පරතෙරටම දියුණු වූ ශිෂ්ටාචාරය වේ. රංගෝත්සව හා රංගය පිළිබඳ පැරැණිතම භාවිතය හමුවන්නේ ඊජිප්තුවෙනි. මෙම පැරණි රංගෝත්සව නූතන ඊජිප්තුවේ පූජා උත්සවවලද ශේෂ වී පවතින අතර ඊජිප්තු චිත්‍ර, දේවස්ථාන බිත්ති, සොහොන්කොත් බිත්තිවල දක්නට ලැබෙන ඊජිප්තුවේ පැවැති විවිධ උත්සව පිළිබඳ විස්තර අතරේ රංග උත්සවවලද සාක්ෂි හමුවේ. නාට්‍ය පිළිබඳ හමුවී ඇති පැරණිතම පුරා විද්‍යාත්මක සාධක ක්‍රි.පූ. 2000 වේ. ඒ ඔසිරස් ගේ දුක්ඛ:ප්‍රාප්ති රංගයයි. එනම් අදට වසර 4000ක වඩා පැරැණි මූලාශ්‍ර වේ. එහෙත් සම්පූර්ණ නාට්‍යයක්, නාට්‍ය පිළිබඳ මූලාශ්‍ර ග්‍රන්ථයක් හෝ ඊජිප්තුවෙන් හමුවන්නේ නැත. මෙම රංග උත්සව වාර්ෂික දේවස්ථාන පූජා උත්සවවලදී රඟ දැක්වූ අතර ඒවා පූර්ණ ආගමික නාට්‍ය උත්සව වේ. සියලු ඊජිප්තු නාට්‍ය අවධානය යොමුකළේ මනුෂ්‍යයාගේ මරණෙන් මතු ජීවිතය පිළිබඳවත් ඒ වෙනුවෙන් යාඥා කිරීමත්, පාරාවො රජවරුන්ගේ කිරුළ පැලදීමේ මංගල්‍යයන් සැමරීමටත් (පාරාවෝ රජවරුන්ටද දේවත්වයෙන් ගරු බුහුමන් කිරීම හා දේවත්වයෙන් ඇදහීමට ඊජිප්තු වැසියෝ පුරුදු වී සිටියහ) එසේම දෙවියන්ට වන්දනා මාන කිරීමත්ය. එසේ බලන විට මෙම රංගෝත්සව අභිචාර විසින් ශාන්තිකර්ම, යාතුකම් ලෙසින් සැලකිය හැකිය. පෙරදිග මෙන්ම දෙවියන්, යක්ෂයින්, ග්‍රහයින් හා මියගියවුන්ගේ ආත්ම (දේවත්වයෙන් හා යක්ෂයින් ලෙස ඇදහීම) ආදී පෙරදිග රංග කලාවේ ප්‍රභවයටද හේතු වී ඇත.