තරුණයන් චිත්‍රපට කරන්නේ සම්මාන ගන්න නොවේ

මාලක දේවපි‍්‍රයගෙන් ලක්සිරි වික්‍රමගේට පිළිතුරක්
ජූලි 30, 2020

තරුණයන් චිත්‍රපට හදන්නේ මිනිස්සුන්ට නෙවෙයි සම්මාන වලට යනුවෙන් පසුගිය සරසවිය කලාපයක පළවූ දෙරණ නාලිකාවේ විධායක  කළමනාකාර ලක්සිරි වික්‍රමගේ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස යොවුන් සිනමා අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් පිළිතුරක් අප වෙත යොමුකොට තිබිණ. මෙහි පළවන්නේ එයයි. මාලක, බහුචිතවාදියා සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. 2018 වසරේ සරසවිය සම්මාන උලෙළේ තරුණ සිනමාකරුට පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සම්මානය දිනා ගත්තේ මාලකයි.

සිනමා කෘතිවල ප්‍රභේද රාශියක් ලෝකය පුරා පවතිනවා. ඒවා ඩ්‍රාමා, හොරර්, ෆික්ෂන්,  කොමඩී, ඩොකියුමන්ටරි, සෙමිඩොකියුමන්ටරි, මියුසිකල්, කොමඩි,  රොමෑන්ස් විදිහට විවිධ  ආකෘතිවලින් හඳුනගන්න පුළුවන්.  මේවට කියන්නේ සිනමාවේ ශානර කියලා.  අයි එම් ඩී බී හෙවත් ජාත්‍යන්තර සිනමා දත්ත ගබඩාවට අනුව අවුරුද්දකට දෙදහස් පන්සියයක් පමණ සිනමා කෘති නිෂ්පාදනය වෙනවා. මේ සියලුම කෘති සරලව වර්ග දෙකකින් බෙදා නම් කරන්නත් පුළුවන්. ඒ තමයි කලාත්මක සිනමාව සහ වාණිජවාදී සිනමාව. 

අද අපට අන්තර්ජාලය හරහා මෙන්ම වෙනත් විකල්ප හෝ ප්‍රධාන ධාරාවේ ක්‍රමවේද හරහා   බහුතර සිනමා කෘති  ප්‍රමාණයක් නොමිලයේ හෝ මුදල් ගෙවා බලාගන්න පුළුවන්. ඒවායින් බොහොමයක් කෘති කුමන හෝ ඇගයීමකට ලක් වෙච්ච නිර්මාණ. එම ඇගයීම නිසා තමයි බොහොමයක් ප්‍රේක්ෂකයින්ට ඒවා බලන්න උත්තේජනයක් ඇති වන්නේ. ඒක යම් විට සිනමා උලෙළක සම්මානයට පාත්‍ර වීමක් හෝ සිනමා උළෙලක තරඟකාරී අංශයේ ප්‍රදර්ශනය වීමක් හෝ විචාරක ඇගයීමක්  හෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ආදී ඇගයීම්  ස්වභාවය විවිධ වෙන්න පුළුවන්. තවත් පැත්තකින් නිර්මාණකරුවකුට කලා කෘති ජනතාව අතරට සංසරණය කිරීම සඳහා ඇගයීම් හා සම්මාන කදිම ප්‍රවාහයක් වෙනවා.  තරුණයින් නිර්මාණය කරන නව කෘති  ලෝකයේ විවිධ උලෙළවල්වල සම්මානයට පාත්‍ර වෙනවා. මෙතෙක් කල්  පට්ට ගහපු සම්ප්‍රදායික අච්චු ආකෘති වෙනුවට නව තේමා, ආකෘති සහිත  අපූර්ව භාවිතා ඒවායේ බහුලයි. 

ප්‍රේක්ෂකයෝ එක් රටාවකම කෘති නරඹනවා කියලා සොයාගත්තු මූලධර්මයක් නැහැ. අලුත් ආකාරයේ නව කලා භාවිතාවන් හැමවිටම ජනතාව  වැලඳ ගන්න බව සමකාලීන  තහවුරු වෙච්ච යථාර්ථයක්. මම කැමතියි ටිකක් ලාංකේය අතීත තොරතුරු කීපයකින් පැහැදිලි කරන්න. ලෙස්ටර් ජේම්ස් පීරිස් තමන්ගේ මුල්ම සිනමා කෘතිය රේඛාව විදිහට කළේ එකල ලංකාවේ තිබුණු දකුණු ඉන්දීය අනුකාරකවාදී සිනමාවෙ ආර වෙනස් කරලා. සිරිසේන විමලවීරගේ සිනමා ආඛ්‍යානයවත් බී ඒ ඩබ්ලිව් ජයමාන්නලගෙ සිනමා ආඛ්‍යානයවත් ඔහු භාවිතා කළේ නැහැ. රේඛාව නිර්මාණය කළාට පස්සේ ඒක ඒ කාලෙ හිටපු කලාවේ ව්‍යාපාරික මතදාරී දෘෂ්ටිවාදයන් අද වගේම ප්‍රතිරෝධය දැක්වූවා. රේඛාව බලපු සල්ලි කපුටන්ට ආප්ප අරන් දෙනවා වගේ කතා අදටත් ජනප්‍රියයි. නමුත් රේඛාව කෑන්ස් චිත්‍රපට උලෙළ තරඟකාරී අංශයට පවා ප්‍රදර්ශනය වෙමින් පැසසුමට ලක්වුණා. ධර්මසේන පතිරාජ තමන්ගේ මුල් නිර්මාණය කළේ ලෙනින් මොරායස් හෝ එහෙම නැත්තං යසපාලිත නානායක්කාර හෝ ඇල් ඇම් පෙරේරා වගේ ජනප්‍රිය ආරවල් අනුකරණය කරලා නෙමෙයි. ඔහුගේ අහස් ගව්ව නරඹලා කියපු කතාවක් තමයි අඩෝ පතිරාජ උඹ ඉවරයි කියලා. දශක ගණනාවක් ගෙවලත් රේඛාව අහස් ගව්ව ලාංකීය සිනමාවේ කඩඉම්  විදිහට විදිහට අවිවාදයෙන් පිළිගන්නවා. ඒ කාලෙත් තරුණ ලෙස්ටර්ලා තරුණ පතිරාජලගෙ විකල්ප ධාරාවේ සිනමා කෘති බහුතරයක ව්‍යාපාරික දෘෂ්ටිවාදයේ නිලධාරීන්ට දිරෙව්වෙ නෑ. ඒවටත් කිව්වේ සම්මාන ගන්න කරන ව්‍යාපෘති කියලා.ඔවුන් කරන සිනමා කෘති ඇගයීමට සම්මානයට පාත්‍රවීම කියන එක උපහාසයට අපහාසයට තමයි ලක් කළේ. පසුකාලීනව ප්‍රසන්න, හඳගම, විමුක්ති, බූඩි, සංජීව, මලිත්, සමීර, විසාකේස වගේ සිනමාකරුවන්ටත් මෙවැනිම තර්ක අරගෙන එනවා. 

සිනමා උලෙළවල් කියන්නෙ අද දවසේ නිර්මාණ කරුවෙක්ට තමන්ගේ කෘතියට නව ප්‍රෙක්ෂක පිරිසක් වෙත සමීපවෙන්න තිබෙන එක් මාර්ගයක්. ඒ වගේම උලෙළවල් මගින් සිනමා අධ්‍යාපනය,   සිනමාකෘති සංවර්ධනය, සංරක්ෂණයේ සිට මූල්‍යමය වරප්‍රසාද දක්වා විශාල අවකාශයන් කොටසක් අත්පත් කර දෙනවා. මේවායේ විවිධ දේශපාලන අරමුණුද තිබිය  හැකියි. නමුත්   කෙනෙකු මෙම උලෙලවල්වලට ද්වේශයෙන් ප්‍රතිරෝධය දැක්වීම ඔහුගේ හෝ ඇයගේ දැනුම සම්බන්ධ ප්‍රශ්නයක්.

ජාත්‍යන්තර උලෙළක සිනමා ප්‍රදර්ශනය වගේම සිනමාශාලාවක  චිත්‍රපටයක් ප්‍රදර්ශනය එදා  මෙදා  සිටම අසීරු කටයුත්තක්. මේ අතීත අසීරුතා සම්බන්ධව තොරතුරු ගණනාවක් ආචාර්ය ධර්මසේන පතිරාජ අනාවරණය කරලා තියනවා. ඔහුගේ සියලු චිත්‍රපට දේශීය ප්‍රදර්ශන අත්දැකීම් ඉතාමත් කටුකයි. චිත්‍රපට ප්‍රදර්ශනය යනු   අරගලයක් බව ධර්මසේන පතිරාජගේ  ස්වරූප චිත්‍රපටය  පෙන්වීම සඳහා සහාය වීමෙන්  අනුභූතිකව තහවුරු කරගත්තා. ඒ වගේම සමීර නාඔටුන්න මලිත් හෑගොඩ වගේ තරුණ සිනමාකරුවන් සිනමා පෙන්වීම සඳහා කළ අරගල බලා සිටීමෙන් බොහෝ අත්දැකීම් පසක් වුණා. දෙරණ සිනමා උළෙලේ හෙට දවසේ සිනමා සම්මානයට පාත්‍රවූ පසුගිය අවුරුදු පහේ බහුතරයක් සිනමා කෘති තවම පෙන්වා නෑ. ඒ පෙන්වීමට ඇති උනන්දුව හෝ අකමැත්ත නිසා නෙමෙයි. මුල්ම වතාවට සිනමාවට එන තරුණයෙක් ප්‍රශ්න රැසක් එක්ක  හැප්පෙනවා කියලා මම හොඳාකාරවම දන්නවා. ඒ ප්‍රශ්න සංකීර්ණයි විවිධයි. බොහොමයක්ම ප්‍රාග්ධනය මුලික කරගත්ත ප්‍රශ්න. පෞද්ගලික අංශය මේවට අනුග්‍රහ හෝ සහාය දක්වන්නෙ නැහැ. අවශ්‍ය නම් දෙරණ සිනමා සම්මාන උලෙළේ සම්මාන ගන්න හොඳම චිත්‍රපටවලට දෙරණ නාලිකාවේ පමණක් ප්‍ර‍රචාරක අනුග්‍රහය ලබා දීමෙන් නොනැවතී ප්‍රදර්ශන මණ්ඩලයක මුදා හැරීම සඳහා සහයක් ලබා දෙන්න පුළුවන්. ඔවුන්ට ඇත්තටම සිනමාවට සේවයක් කරන්න පුළුවන් නම් පහුගිය අවුරුදු පහේ ප්‍රදර්ශනය කර ගන්න නොහැකි වූ  චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම සඳහා සහායක් දක්වලා ලාභයකුත් අත්පත් කරගන්න පුළුවන්. නමුත් එවැනි අසීරු ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය මැදිහත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි සිනමාව සංස්කෘතික හා අධ්‍යාපන ප්‍රතිපත්තියේ අංගයක් විදිහට සලකා රජය විසින් මැදිහත්වීමක් කිරිමට අවශ්‍ය වන්නේ. පෞද්ගලික අංශයේ ලාභ උත්පාදනය පමණක් අරමුණු කරන නිසා විකල්ප ධාරාවත් එක්ක නැතිනම් කලාත්මක සිනමාවත් එක්ක විශාල වෛරයකින් සිටින බව ලක්සිරි වික්‍රමගේ  වගේ නිලධාරීන්ගේ ප්‍රකාශ වලින් පේනවා. සිනමාවෙන්  තමන්ට පහසුවෙන් ව්‍යාපාරිකව මුදල් උපයන්න කලාත්මක ධාරාව බාධාවක් ලෙස ඔවුන් හිතින් ප්‍රබන්ධ කරගෙන ඉන්නවා. 

අද සිනමා ව්‍යාපාරිකයෝ කියන්නේ බලන්න පුළුවන් චිත්‍රපටි කරනවනම් සිනමාවේ අර්බුදයක් නැහැ කියලා. බලන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියන්නේ අතීතයේ තිබ්බ තුෂාරා, හතර දෙනාම සූරයෝ වගේ  පපඩම් ආකෘති. පහුගිය කාලයේ කාම සිනමාව, යුද වින්දන සිනමාව, තොරන් සිනමාව, රජකතා සිනමාව, ළමා වෙළඳාම් සිනමාව, ඉස්කෝල සිනමාව වගේ රැලි ගොඩක් ආවා. ඒවත් නිර්මාණය කිරීමේ ප්‍රදර්ශනය කිරීමේ නිදහස තිබිය යුතුයි කියලයි අපේ අදහස. මොකද කලාව කරන්න ඕන ආකාර එකම හෝ පරම විදියක් නෙමෙයි තියෙන්නේ. නමුත් සිනමාව හෝ කලාව කළ යුත්තේ කෙලෙසද යන්න රජයට හෝ  නාලිකා ප්‍රධානීන්ට හෝ ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලකයන්ට හෝ පොලිසියට හෝ ආගමික නායකයින්ට හෝ පරමාදර්ශ සැපයිය නොහැකියි. කලාව ප්‍රකාශනයක් ලෙස කිරීමේ නිදහස ඒ ඒ නිර්මාණකරුවා අනුව වෙනස් වෙනවා ඒ සඳහා  වාරණය හෝ ප්‍රදර්ශන අවකාශ සඳහා ප්‍රතිරෝධ 

වෙනුවට  සහාය ලබාදීමට අත්‍යවශ්‍යයි . රටක සිනමා වගේම සියලු කලාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ විවිධ ප්‍රභේදවල නිර්මාණ බිහිවන විට. නැත්නම් ප්‍රධාන නළුවා කටු ගාලක වාඩිවෙලා ඉන්නකොට කූඹි කාලා එයාගේ කලිසම ගලවනවා වගේ  හාස්‍ය හෝ විකුණන්න පුළුවන් භාණ්ඩ කරන්න කියන යෝජනාවෙන් නෙමෙයි.

සිනමාව ප්‍රධාන වශයෙන් කලා මාධ්‍යයක්. තවත්  පැත්තකින් කර්මාන්තයක් බව සත්‍යයක්. අපි කියන්නෙත් නැහැ සිනමාව කියලා විකල්ප ධාරාවේ එහෙමත් නැත්තං කලාත්මක ධාරාවේ චිත්‍රපට  පමණක් නිර්මාණය කළ යුතුයි හෝ ප්‍රදර්ශනය කළ යුතුයි කියලා. අපේ යෝජනාව තමයි චිත්‍රපට ප්‍රදර්ශනයේදී චිත්‍රපට වර්ගීකරණයකට ලක් කරන්න. ඒවා කලාත්මක හා වාණිජ සිනමාව ලෙස වර්ගීකරණය කර කලාත්මක චිත්‍රපට පෙන්වීම සඳහාද සාධාරණ දර්ශනවාර කෝටාවක් ලබා දෙන්න. දර්ශනවාර නියාමනය කිරීමක් කරන්න. අද ලංකාවේ පෞද්ගලික බස් සේවාව කොහෙන්වත් නියාමනය වෙන්නෑ. පෞද්ගලීකරණය වීම හරහා වෙච්ච නරකම ආදර්ශයක් ඒක. නමුත් මහ බැංකුව යටතේ ලංකාවේ සියලුම බැංකු නියාමනය වෙනවා. එක බැංකුවකින් ණයක් අරගෙන පොල්ල තිබ්බොත් කිසිම බැංකුවකින් ණයක් ගන්න බෑ. ඒ වගේම හිතූ හිතූ පොලී අනුපාත විවිධ බැංකුවලට දෙන්න බෑ. යම්කිසි නීතිමය හා ප්‍රතිපත්ති රාමුවකයි බැංකු කටයුතු කරන්නෙ.  අද ජනමාධ්‍ය ආයතනවලට කිසිම නියාමනයක් නෑ. පබ්ලික්  බ්‍රෝඩ්කාස්ටින්  සම්බන්ධ  ආචාරධර්ම නෑ. ඒවායේ ඉන්න ප්‍රධානීන්ගේ අරමුණ තමයි පුළුවන් තරම් සල්ලි ඉපයීම සඳහා  භාණ්ඩ වෙළඳාම. ඒ සඳහා අවශ්‍ය විවිධ ව්‍යාපෘති ඒගොල්ලො හදනවා. මාළු වෙළෙන්දෝ මාළුවෙක් අල්ල ගත්තම එක පැත්තකින් මාළු ලෑල්ලේ දාලා විකුණනවා, කරවල කරනවා, ජාඩි දානවා, සැමන් හදනවා, සමහර මාළු ඇති කරනවා. ඒවගේම මාළුවන්ගේ ඔලූ, ඇස්, බොකු,පීකුදු පවා වෙනම විකුනනවා වගේ අද සියලුම  මාධ්‍ය ආයතන වෙළදාම මුල් කරගත්තු න්‍යාය පත්‍රයක තමයි වැඩ කරන්නේ.  ජනමාධ්‍ය සම්බන්ධ ජාත්‍යන්තරයේ දකින්න පුළුවන් ප්‍රතිපත්ති නෑ. කලාව අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහන් ඉතාම සීමිතයි. නිකමුන් සමහරුන් බවට පත්කරන හෙවත් තාරකා බවට අන්දන වැඩසටහන් හරහා වෙළඳාම් න්‍යායපත්‍රය තමයි බහුලව ක්‍රියාත්මක වන්නේ. මේ තරු බවට පත්වෙන අය ගායනා කිරිම තුළින් පටන් අරගෙන නිවේදනය හරහා රංගනයට ගිහිල්ලා මාධ්‍යආයතන ප්‍රධානීන් බවටවෙලා තවත් සමහරු පාර්ලිමේන්තු ගිහිල්ලා තමයි නවතින්නේ. මේ සඳහා උදාහරණ බොහොමයක් පහුගිය කාලේ හොයාගන්න පුළුවන්. ඇමරිකාවේ ඔස්ට්‍රේලියාවේ  උපාධි ඩිප්ලෝමා සහතික විදේශීය පුහුණු ආදිය තියෙනවා කියලා පුරසාරම් කිව්වත් ඔවුන් කරන ප්‍රකාශවලින් පේනවා  තමන්ගෙ දිළිඳු දෘෂ්ටිවාදය. සිනමා ශාලාවට ප්‍රේක්ෂකයින් එන්නැත්තෙ ඇයි ? කර්මාන්තයක් විදිහට  අර්බුදයට  පත්වෙලා  තියෙන්නේ  ඇයි   කියනඑක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකට කළ යුතු වන්නේ ගෝනි එළුවා වැනි මිනිස්සු අන්දන  වාණිජසංකල්ප යෝජනා කිරීම නෙමෙයි. සිනමාව කර්මාන්තයක් විදිහට හා කලාවක් විදිහට සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව විධිමත්ව හිතන එක. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම අනිවාර්ය වෙනවා. 

වේදිකා නාට්‍ය කලාව පැවතුණු යුගයක සිනමාව ආවා කියලා  වේදිකා  නාට්‍ය කලාව නැති වුණේ නැහැ. ඒ වගේම සිනමාව තිබිච්ච කාලෙක ටෙලිවිෂනය ආවා කියලා සිනමාව නැති වුණෙත් නැහැ. පත්තරය, පොත පරිගණකය නිසා නැති වෙලා නෑ. සිනමාව  අන්තර්ජාල හෝ ඔන්ලයින් මාදිලි නිසා නැති වෙන්නේ නැහැ. සිනමාවේ සම්පූර්ණ ආශ්චර්යය පවතින්නේ සිනමා ශාලාවක අඳුරේ ඉඳගෙන හුදකලාව සිනමා කෘතියක් නරඹන කොට බව ඇත්තක්.  විකල්ප ක්‍රමවේදවලිනුත් රූපවාහිනිය ඉන්ටනෙට් එක වගේ නරඹන විට ලැබෙන්නේ වෙනම අත්දැකීමක්. සිනමාව එහෙමත් නරඹන්න බැහැ කියලා මම කියන්නේ නැහැ. සිනමා ප්‍රදර්ශකයන් සිනමා මෙන්ම සිනමා ශාලා පවත්වාගැනීම ආරක්ෂා කර ගැනීම සඳහා රජයක්  මැදිහත් වන්න අවශ්‍යමයි. මොකද සිනමාව අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රතිපත්තියේ පවතින නිසා. ඒ වගේම සිනමා ප්‍රදර්ශනයේ නියාමනය සඳහාද රජයේ මැදිහත්වීම අවශ්‍යයි. කලාව රස විඳීමත් කලාව කිරිම වගේම අධ්‍යාපනය ලැබිය යුතු දෙයක්. ඒක උදේ හවහා කෑමෙන් බීමෙන් සංසර්ගය කිරීමෙන් ශරීරයට ලැබෙන දෙයක් නෙමෙයි. රසවින්දනය මිනිස්සුන්ට පහළ වෙන්නේ නැහැ. ඒ වගේම දැනුමක් පහළ වෙන්නේ නැහැ. සමහර ආයතනික ප්‍රධානීන්  හිතනවා සියලු දැනුම තමන්ට පහළ වෙලා තියෙනවා ඒ චින්තනයට අනුව තමයි ලෝකය කැරකෙන ඕන කියලා. එහෙම හිතලා පවත්වාගෙන යන මාධ්‍ය ආයතන න්‍යාය පත්‍ර වර්තමානයේ අපිට හොඳටම පේනවා. රටක අධ්‍යාපනය නීතිය සෞඛ්‍යය වගේම සංස්කෘතික ප්‍රතිපත්තිය ගොඩනැඟීම සඳහා රජය මැදිහත්විය යුතුයි. ඒ සඳහා සබුද්ධික අදහස් සහිත යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතුයි. සිනමාව සඳහා  එහෙම ප්‍රබල යාන්ත්‍රණයක් නෑ. ඒ නිසා තමයි මේ වගේ  සේරිවාණිජ පරමාදර්ශ සපයන්නේ.

මම කැමතියි  සුගතපාල ද සිල්වා දක්වපු කතාවකින් අවසන් කරන්න. 1962 ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය විදිහට සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ සම්මාන ලැබීමෙන් පස්සේ නාට්‍යකරුවෙකු ලෙස සුගත්ට විශාල කීර්තියක් ලැබුනා. මේ ජනප්‍රියතාවය කොතරම්ද කිව්වොත් සමස්ත ලංකා මැජික් සංගමය මැජික් තරගයක් විනිශ්චය කිරීම සඳහා සුගතපාල ද සිල්වාට ආරාධනා කරලා තියෙනවා. සුගතපාල ද සිල්වා එකහෙළාම  ආරාධනය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ තමාට මැජික් ගැන කිසිම දැනුමක් නැති නිසා එම විනිශ්චය සඳහා නුසුදුසු බව දක්වමින්. එතකොට මැජික් තරගයේ සංවිධායකයෝ කියලා තියෙනවා මැජික් ගැන කිසිම දෙයක් නොදැනීම තමයි මැජික් කරඟක් විනිශ්චය කරන්න තිබිය යුතු හොඳම සුදුසුකම කියලා. මොකද මැජික්  දැනගත්තොත් ඒකෙ තියෙන විජ්ජාවල බොරුව පේන නිසා නිවැරදි විනිශ්චය දීගන්න බැරි වෙන බව.

නමුත් සුගතපාල ද සිල්වා කියනවා මැජික් විනිශ්චය කරන්න මැජික් ගැන නොදැනීම සුදුසුකම  වුණාට කලාව විනිශ්චය කිරීම සඳහා කලාව සම්බන්ධව දැනුම අවශ්‍ය බව. කලාව ගැන විධිමත් දැනුමකින් තොරව   දෙන විනිශ්චයන් අර මැජික් තරගයක් විනිශ්චය කරල දෙන විනිශ්චයන් වගේ කියලා තමයි සුගතපාල ද සිල්වා කියන්නේ.

ඔහුගේ තර්කනය එදාට වගේම අදටත් ලාංකික ජූරිවල ආයතනවල සිටින නිලධාරීන්ගේ කලාව සම්බන්ධ විනිශ්චයන්,තීරණයන්, දැක්මවල් ගැන බොහොම යථාර්ථ තර්කනයක්. සමකාලීන  කලාව හා සංස්කෘතිය සම්බන්ධව ‍ප්‍රතිපත්ති සැකසීමේ සිට වාරණය, ප්‍රදර්ශනය  දක්වා අදහස් දක්වන ප්‍රධානින් අලෙවිකරණ න්‍යායන් තුළින් යෝජනා කරන්නේ සිය රුචිකත්වය අනුව තියෙන කලාව පමණක් කලාව වන අතර ඔවුන්ට ගෝචර නොවන දේවල් කලාව නොවන බවයි. කලාව කළ යුත්තේ එක ආකාරයකට පමණක් බවයි ඔවුන් සිතන්නේ. කොකිස් අච්චුවෙන් කොකිස් හදනවා වගේ එකම විදිහේ නිෂ්පාදන ටිකක් හදලා විකුණන්න පුළුවන් වෙළඳපළක් ලෙසයි කලාව ගැන හිතන්නේ. ප්‍රශ්නවලින් මිදෙන්න නැත්නම් ප්‍රශ්න අමතක කරන්න මැජීක් බලයක්  කලාවට තියෙනවා කියලා ඒගොල්ලො ඔළුවෙන් මවාගෙන ඉන්නවා.