මස්ඉඹුල ඒ කතාව මෙහෙම ලියලා

අගෝස්තු 6, 2020

 

හ පොළොවේ පවතින්නා වූ ප්‍රහේලිකා ස්වභාවය මත ජය පරාජය පවතින බව, ජීවිතයේ තැනිතලා අවධියේ පරාජයත්, කඳුකර පෙදෙස්වල ජයත් ඇති අතර ජයග්‍රහණයේ කොඩි ලෙළ දෙන්නේ ඒ කඳුමුදුන්වල බව මෙන්ම ඒ කඳු මුදුන් ජය ගැනීමට ශක්තිමත් දෙපා පමණක් නොව, තමන්ගේ සිතුම් කල්පනාවන්ද අවශ්‍ය බව පවසන්නේ සෙංකොට්ටං වෙනුවෙන් ඒ ජයකඳු තරණය කරමින් රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ ජාතික සාහිත්‍ය මෙන්ම විද්‍යොදය සාහිත්‍ය සම්මාන දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'අපොයියාව' යි. මිනිසුන් වචන සේ නෙක අරුත් මවන බව පවසන ඔහුගෙන් ඒ වචන සාහිත්‍ය කෘතිවලට පෙරළෙන ආකාරය කෙබඳු ප්‍රහේලිකාවක් වන්නේදැයි විමසමු...

'අපොයියාව' යොවුන් නවකතාවක්?

යොවුන් නවකතා කලාව කියන්නේ ඉතාම ආකර්ෂණීය සාහිත්‍යාංගයක්. අපි කුඩා කල කියවූ ඒ කතා ජීවිත කාලය පුරාම අපේ මතකයේ තිබෙනවා. ජීවිතයේ වැදගත්ම කාලයක් වන යෞවන අවධියේ පොතපතින් හෝ සංස්කෘතික පරිසරයෙන් ලබන පෝෂණය මුළු ජීවිත කාලයටම බලපානවා. එනිසා දිගු කාලයක් පුරා මට තිබුණු ආසාවක් තමයි විවිධ සංස්කෘතීන්වලට අයත් ඊට පෙර පරපුරේ ඥාන සම්භාරය සමඟ වැඩෙන දරුවකු පිළිබඳ කතා කරන්න. එය විශ්වීය අදහසක් කියලා මට හිතුණා. මොකද පෙර පරපුරේ දැනුම් සම්භාරය උපාධි හෝ ශාස්ත්‍රාලීය දැනුමක් නෙවෙයි, බොහෝවිට පරිසරයෙන් ලබා ගත්තක්. අද වන විට මේ පාරිසරික දැනුම සමාජයෙන් බොහෝදුරට ගිලිහී තිබෙනවා. ඉතින් ඒකේ තිබෙන වැදගත්කමත් මට නිර්මාණයකින් කියන්න වුවමනාවත් තිබුණා.

මෙහි ආකෘතිය ප්‍රහේලිකා පිරවීමක් ඇසුරෙන් ගොඩනැඟෙන්නේ?

ඔව්. කලාකෘතියක් ඉදිරිපත් කිරීමේදී අන්තර්ගතය සාමාන්‍ය වුවත් ආකෘතිය ඕනෑම නිර්මාණයකට වැදගත් වනවා. ලෝක මට්ටමේ යොවුන් නවකතා ලියැවෙන්නේ බොහෝ නිදහස් අවකාශයක. ඒත් අපේ ආසියාතික සංස්කෘතිය තුළ යම් සීමාවන් තුළ තමයි නිර්මාණ ගොඩනැඟෙන්නේ. ඒවා කඩා බිඳ දමනවා නම් නිර්මාණකරුවාට උපක්‍රම භාවිත කරන්න සිදුවෙනවා. ඒත් මගේ කතාව බොහොම සාමාන්‍ය මාතෘකාවක් - මිත්තනියක් සමඟ වැඩෙන පිරිමි දරුවකු ගැන. එහිදී විශේෂයෙන්ම සිංහල භාෂාවේ තිබෙන වැදගත්කම පිළිබඳ වෙනත් ප්‍රවේශයක් ගන්න මම උත්සාහ කළා. සිංහල ඉතාම නිර්මාණශීලී භාෂාවක්. අද පාසලේ කාල පර්ච්ඡේදයකට සීමා වුණාට එය වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණශීලි ලෙස මිනිසා සමඟ ගමන් කර තිබෙනවා. පෙර පරම්පරාවලින් අකුරු ඉගෙන ගන්නා පරපුර‌ට ලැබෙන පෝෂණය, භාෂාවේ තිබෙන කාව්‍යාත්මක ස්වභාවය, සම්ප්‍රදායික ගති ලක්ෂණ සහ ජීවිතය ජය ගන්න භාෂාව තුළ තිබෙන යම් යම් උපක්‍රම, ඒ අය ඒවා ග්‍රහණය කරගන්නේ කොහොමද යන දේවල් දර්ශන විදිහට යොදාගන්න උත්සාහ කිරීමේදී මම ප්‍රහේලිකාවක ප්‍රශ්න නවයට පිළිතුරු සෙවීම ආකෘතිය ලෙස යොදාගත්තා. ඒ ප්‍රශ්නවලට සොයන උත්තර තුළ ඔවුන්ගේ ජීවිතය විවරණය කෙරෙනවා. පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන කෙනකු ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ නම් භාෂාව සහ සාහිත්‍යය කෙරෙහි ලොකු උනන්දුවක් හෝ නිර්මාණශීලීබවක් හෝ ප්‍රමුඛත්වයක් ලැබෙන බව පේන්න නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පසු යෞවන යෞවනියන් මුලින්ම අතහරින්නේ භාෂාව. ඒත් පාසල් දරුවන් තවම රැකගන්න හැකියාව තිබෙන බව පේනවා වගේම ඔවුන්ගෙන් මමත් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා.

යොවුන් නවකතාවකින් භාෂාව ගැන කතා කරද්දි ඒ භාෂාව ඉතා නිවැරැදි විය යුතුයි?

ඕනෑම ලේඛකයකු නිර්මාණ කාර්යයේදී අන්තර්ගතයට වඩාත් අවධානය යොමු කරන්නේ තමන්ගේ අදහස හොඳීන් කීමේ අරමුණින්. එහිදී භාෂාව සම්බන්ධව ප්‍රාමාණිකයකුගේ සහාය ලබාගන්න සිදුවෙනවා. ලෝකයේ බොහෝ රටවල ලේඛකයාට අමතරව වෘත්තීය මට්ටමින් භාෂා සංස්කාරකවරුන් යොදාගන්නවා. මමත් ඒ දේ කළා, මගෙන් ගිලිහී යන ව්‍යාකරණාදී දෝෂ නිවැරැදි කරගැනීමට. ඕනෑම ලේඛකයෙක් කෘතිය ජනගත කරන්න පෙර භාෂාවේ නිවැරැදිබව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හැබැයි මහාචාර්ය සිරී ගුණසිංහ, අජිත් තිලකසේන වැනි අය භාෂාවේ යම් යම් වෙනස්කම් කරන්නේ වැඩි දැනුමක් මත පිහිටා නිර්මාණයේදී එය බැහැර කරමින්. ඒත් අප භාෂාව නොදැන වැරැදි කරනවා නම් එය සාධාරණීකරණය කරන්න බැහැ. භාෂාවක් වෙනස් වන්න, තව භාෂාවල ඇසුර පෝෂණය ලබන්න පුළුවන්. ඒත් බස වැඩි වැඩියෙන් භාවිත වන ආකාරය ගැන අප සැලකිලිමත් විය යුතුයි. මගේ නිර්මාණවල භාෂා රිද්මය සොයා ගත්තේ අපට පෙර පරම්පරාවල ඇසුරෙන් ලත් ආභාසයෙන්. ඒ රිද්මය මීට වසර දහයකට පහළොවකට පෙර සිට ගිලිහී ගොසින් තිබෙනවා. සිංහල කියන්නේ සම්පූර්ණ කාව්‍යාත්මක භාෂාවක්. අද එය කෘත්‍රිම භාෂාවක් බවට පත්වෙලා. අප කාව්‍යාත්මකව යමක් කීවොත් නොතේරෙන තරමට ගිහින්. බොහෝ වෙළෙඳ දැන්වීම් සහ ගීතවලින් භාෂාව බෙහෙවින් සරල කර තිබෙනවා. මෙය වැඩියෙන්ම සිදුවන්නේ පෞද්ගලික මාධ්‍ය මඟින් බවයි මගේ හැඟීම. අප ජාතිකත්වය හෝ අනන්‍යතාවය කතා කරනවා නම් ප්‍රමුඛම කාරණය භාෂාවනේ... ඉතින් භාෂාව විනාශ කරමින් මේ ගමන කවදාවත් යන්න බැහැ.

සෙංකොට්ටං සහ මාණික්කාවත සසඳන්න බොහෝ පාඨකයන් උත්සාහ ගන්න වග පේනවා?

ඒක ස්වභාවිකයි. සෙංකොට්ටං රසිකයන් බොහෝ කුතුහලයෙන් වැලඳගත් නවකතාවක් නිසා එහි නැවුම්බව තවමත් ගිලිහී නැතිබව අලුත් පාඨකයන් බිහිවීම ඕස්සේ පේනවා. සෙංකොට්ටං හැම අතින්ම මාවත් ඔසවා තැබූ නවකතාවක්. ඒ නිසා පාඨකයන් නිරන්තර උත්සාහ කරන්නේ එය සමඟ අනෙක් නිර්මාණ සසඳමින් සෙංකොට්ටං තරම් නම් දැනෙන්නේ නැහැ කියන්න. ඒත් මට එය කරන්න බෑ. මම ඒ සියල්ලටම එක තරමට මහන්සි වුණ නිසා.

යෞවනයන් සඳහා කරන නිර්මාණ ධනාත්මක විය යුතුයැයි අදහසක් තිබෙනවා?

යොවුන් නවකතාවක ජීවිත ආශාව සමඟ ජයග්‍රහණය කියන කරුණ තමයි ලෝකේ කොහෙත් එකතු වෙන්නේ. හැරි පොටර් වුණත් ප්‍රමුඛත්වය දෙන්නේ ජයග්‍රහණයට. අපේ සමාජය තුළත් බොහෝ නිර්මාණ එහෙමයි. ඒත් එය හුදු ජයග්‍රහණයක් හෝ හුදු වීරත්වය බවට පත් නොවීමට හේතුව බොහෝ කාලයක් තිස්සේ ලිවීමේදී යම් සම්ප්‍රදායික ගතියක් පෙන්වීම. අනෙක බොහෝ දෙනා හිතුවා ළමා සහ යොවුන් සාහිත්‍යය බොහොම පහසු කටයුත්තක් කියලා. ජීවිතයේ ජයග්‍රහණය හෝ වීරත්වය කියන්නේ මතුපිටින් පෙනෙන දේම නොවන්න පුළුවන්. ඇතැම්විට එය ආධ්‍යාත්මික විය හැකියි. දරුවන් කියවීමට හුරුවන්නේ නැහැ කියන දේ අපි ඉස්කෝලෙ යන කාලෙත් තිබුණා. හැබැයි පොදුවේ ගත්තාම සමාජය පොත්පත් කියවන්නේ නැත්නම් ඒක විශාල අඩුවක්. එය පිටුපස වෙනත් කතන්දරයක් තිබෙනවා. එය ජයගන්නත් වෙහෙස මහන්සි වන්නේ ලේඛකයන් මිස වෙළෙඳ අරමුණු ඇති ප්‍රකාශකයන් නෙවෙයි.

මොකක්ද ඒ ලොකු කතාව?

රසඥතාවය කියන්නේ ඉතාම සියුම් ගැඹුරු දෙයක්නේ. එය මම අපොයියාව තුළත් ඉස්මතු කරනවා. ඉස්සර රසිකයා සංගීතයක්, ටීවී තිබෙන ගෙයක් වගේම සිනමා ශාලා සොයාගෙන යනවා. ඒත් අද ඒවා විසින් රසිකයන් සොයාගෙන එනු ලබනවා. ජංගම දුරකථනය එයින් එකක්. මේ නිදහස් පරිසරය උසස් රසිකයාගේ රසිකත්වයට යම් අභියෝගයක් කරනවා හැමදේම වෙළෙඳ පරමාර්ථයක් ඔස්සේ කෙරෙන නිසා. අද ගීතයක් යූටියුබයට දාළා මුදල් සොයාගන්නවා වගේ නෙවෙයි ඉස්සර. එදා ගීත රචනයක් ගීතයක් බවට පත් වීම කාලය ගත වන ලොකු ක්‍රියාදාමයක්. අද ක්‍රියාදාමය ඉක්මන් වුණාට ගුණාත්මකබවේ යම් යම් ගැටලු තිබෙනවා. හොඳ ඒවත් නැතුවා නොවෙයි. ඒත් පොදුවේ මිනිසුන් කියවීමෙන් ඈත් වීමට ජංගම දුරකථනය බලපාන බව පේනවා. අපේ රටට සාමාන්‍යයෙන් ඕනෙම දෙයක් පහසුවෙන් එනවා. සල්ලි තිබෙනවා නම් දේශපාලකයෙක් ළං කරගෙන ඕනෑම ජරා වැඩක් කරන්නත්, හම්බ කරන්නත් පුළුවන් රටක් බවට පත්වෙලා. ඒ නිසා රසවින්දනය වගේ සියුම් කලාවකට නැඟී සිටීම ක්‍රමයක් උදවුවක් නැහැ. දරුවන්ටත් සාහිත්‍යය කියන්නේ එක කාලපරිච්ඡේදයක විෂයයක් විතරයි. පවතින සමාජය හොඳ රසයක් තිබෙනවා නම් දරුවා සමාජානුයෝජනය වන්නේ ඊට අනුවයි. එහෙම නෑ කියලා අපිත් පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නෑ. තනි තනිවම හෝ මේ සටන කරගෙන යනවා.

නිර්මාණකරුවාගේ අත්දැකීම් නිර්මාණයට බොහෝ වැදගත්?

නිර්මාණය සමඟ තදබල ලෙසම බැඳුණු දේ තමයි අත්දැකීම්. නිර්මාණ විඳීමට සහ කිරීමට එය වැදගත්. උදාහරණයකට අනූව දශකය අපට බොහොම සංචාරක ස්වභාවයක් තිබුණා. පසුව එය වෙනස් වෙලා දරුවන් ගෙවල්වල කොටුවන ගතියක් එනවා වගේම ජංගම දුරකථනය එයට තවත් උදවු වෙනවා. ජංගම දුරකථනයෙනුත් හොඳ රසවින්දනයක් ලබන පිරිස් ඔය අතරත් ඉන්නවා. ඒ නිසා තාක්ෂණය කියන දේ ආශීර්වාදයක් කරගන්නවා මිස බැහැර කරන්න බැහැ. එය තමන් විසින් කළ යුතු දෙයක්. හැබැයි මම දුටු දේ තමයි හොඳ නිර්මාණ කෙරෙහි දරුවන් යොමු කරගන්න පුළුවන් කමක් තිබෙනවා තවමත්. එයට මුළුමහත් අධ්‍යාපන ධාරාවම උදවු කළ යුතුයි.

ඉදිරි කටයුතු මොනවාද?

මම සාමාන්‍යයෙන් අවුරුදු දෙකතුනකටවත් සැරයක් තමයි නිර්මාණයක් කරන්නේ. මාණික්කාවතට අවුරුදු පහකට පස්සේ අපොයියාව ලීවේ. ඒ නිසා තව කතාවක් ඔළුවෙ තිබිලා එය දැන් ලියන්න ඕනෙ කියන දේ කොයි වෙලාවේ හිතෙයිද කියන්න බැහැ. හැබැයි ඒ අතර කරන සියල්ල නිර්මාණය සඳහා අභ්‍යාස හැටියටයි කරන්නේ. මේ දිනවල පාසල් හා විශ්වවිද්‍යාලවල සාහිත්‍ය දේශන ආදිය නිසා කාර්යබහුලවයි ඉන්නේ. ඒ අතර චිත්‍රපටයක් කිරීමේ අදහසක මූලික අඩිතාලමක් යොදා තිබෙනවා.

 

 

මාලන් කරුණාරත්න