පාර්ලිමේන්තුවටත් ගිය ආන්දෝලනාත්මක රන්තෝඩු

අගෝස්තු 13, 2020

 

ලාංකේය වේදිකාවේ ස්ත්‍රී භූමිකා නිරූපණය අරභයා මවිසින් ලියනු ලබන මේ ලිපි පෙළට තත් ක්ෂේත්‍රයේ ප්‍රවීණ, නවක  නාට්‍යවේදීන්ගෙන් හා රංග ශිල්පි ශිල්පිනීන්ගෙන් ලැබෙන ඇගැයීම්, ප්‍රතිචාර මම ඉතා අගය කොට සලකමි. පසුගිය ලිපියක ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “අපට පුතේ මඟක්  නැතේ” නාට්‍යය අරභයා ද මම සඳහන් කළෙමි. ඊට ප්‍රතිචාර දක්වමින් හෙන්රි මහතාගේ නාට්‍ය කණ්ඩායමේ ඉපැරැණි සාමාජිකයකු වූ අඩ සිය වසකට වැඩි කාලයක් පුරා නාට්‍ය, ටෙලි නාට්‍ය රාශියකට රංගනයෙන්, විවිධ අංශවලින් දායකත්වය ලබා දුන් ප්‍රවීණ රංගන ශිල්පි නිමල් ජයසිංහ මහතා මා ඇමැතුවේය. මා පූර්වයෙහි දැන නොසිටි අතීත සිදුවිමක්  ඔහු පැවසුවේය. “අපට පුතේ මඟක් නැතේ” නාට්‍යය මුල් යුගයේ විශ්වවිද්‍යාලයක වේදිකා ගත කොට නිම වූ පසුව සරසවි සිසුහු කැලක් හෙන්රි ජයසේනයන් සොයා ආහ.

 “අපට ඔබතුමා සමඟ මේ නාට්‍යය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනෑ” ඔවුහු ආවේගශීලීව පැවසූහ. “ඔව් පුතා අහන්න ඒ ගැන ඕනෑම ප්‍රශ්නයක්” හෙන්රි මහතා මෘදු ස්වරයෙන් කීවේය.

 “ඔබතුමා කියන්නේ අපට මේ ප්‍රශ්නවලට එරෙහිව සටන් කරන්නේ නැතිව දිවි නසා ගන්න කියලද?”

 “නැහැ පුතා, අපට මඟක්, අනාගතයක් නැද්ද? කියලා පුතාලා අහන ප්‍රශ්නයම තමයි මමත් මේ සමාජයෙන් අහන්නේ. මං මේ නාට්‍යයේ නාමය සඳහන් කරන හැම තැනකදීම (අපට පුතේ මඟක් නැතේ?) අවසානයේ ප්‍රශ්නාර්ථයක් යෙදුවේ මේ නිසා. පුතාලා හොඳ අවධානයෙන් නාට්‍යය නැරඹුවාද? නාට්‍යයට සවන් දුන්නාද?” යනුවෙන් හෙන්රි මහතා විමසත්ම සරසවි සිසුවෝ එකිනෙකාගේ මුහුණු බලා ගත්හ.

 “මතකද මෙහි අවසානයේ සුමනදාසගේ අම්මා පුතාගේ සොහොන ළඟට ඇවිත් පවසන දෙබස් ඛණ්ඩය”

සරසවි සිසුන්ට මෙය මැනවින් ග්‍රහණය වී නොතිබිණ.  “මෙන්න මෙහෙමයි ඇය පවසන්නේ” හෙන්රි ජයසේනයෝ පිටපත රැගෙන අදාළ දෙබස් ඛණ්ඩය ඔවුන් ඉදිරියේ මෙසේ පැවසූහ.

 

“සුදු ඇඳගත්ත  සුද්දවන්තයෝ ආවා ඔබේ මළගමට . . .

උඹ ඉන්න තිබුණේ බලන්න . . .

වැරදි  කිව්වා හැමෝටම

මම වැරදි කියන් නෑ ඒ කාටවත් පුතේ, මට සමාවෙයන්.

මම වැරදි කියන්නෙ උඹට විතරයි. උඹට වැරදි කිව්වට මා එක්ක තරහ වෙන්න එපා මගෙ පුතා.

වෙන කාට වැරදි කියන්නද මම. ඇයි පුතේ උඹ බය වුණේ ඩිංගක් දුක් හිරිහැර විඳින්න.

 

ඒකවත් උඹ ඉගෙන ගත්තේ නැහැ මගෙන්.

මට මේවා වෙනස් කරන්න බැහැ මගේ පුතා.

ඒත් මම ජීවත් වෙනවා. මගේ මාළිගාව බිඳ වැටුණා. ඒත් මම ජීවත් වෙනවා.

උඹත් එක්ක මං තරහ නැහැ පුතා. උඹ වගේ තවත් පැටියෝ තව ලෝකයේ ඉන්නවා කියාපන් උන්ට. මොනවා හරි කියන්න මට කියලා දෙන්න මගේ පුතා. මොනවද මම උන්ට කියන්නේ. උඹ කළ දේ මං වැරදියි කියන්නද මගෙ පුතා. සමාවෙයන් මට දෙවියනේ වෙන මොනවා කියන්නද මම”   

ඉහත  දෙබස් ඛණ්ඩය කියා හමාර කළ හෙන්රි මහතා ඉක්බිතිව සරසවි සිසුන් දෙසට හැරී “දැන් පුතාලට තියෙන ප්‍රශ්න අහන්න” යැයි කීවේය. කිසිවක් නොදොඩා සිටි සිසුහු කැල නිහඬවම නික්ම ගියහ.

නිමල් ජයසිංහ මහතා මා හට පැවසූ පරිදි එදා “අපට පුතේ මඟක් නැතේ?” නාට්‍යය තහනමට ලක් වූයේ මෙහි අවසානයේ සුමනදාස දිවි නසා ගත් නිසා නොව එවක සංස්කෘතික ඇමැති අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා මෙහි සරසවි සිසුන් උදෙසා ව්‍යවහාර කළ ඇතැම් වදන්වලට විරුද්ධ වූ බැවිනි. ඒවා ඉවත් කොට නාට්‍යය පෙන්වීමට පසුව ඔහු අනුමැතිය ලබා දී ඇත. මේ  නාට්‍යයෙහි නාමය මින් ඉදිරියට ලියන සෑම අවස්ථාවකදීම “අපට පුතේ මඟක් නැතේ?” යනුවෙන් ප්‍රශ්නාර්ථයක් සහිතව ලිවීමට අප වග බලා ගත යුත්තේ ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ ඊප්සිතාර්ථය ගෞරවයෙන් රැක ගනු පිණිසය.

ධර්මසිරි වික්‍රමරත්නගේ “රන්තෝඩු”  (1963) අපගේ ප්‍රස්තුතයට අදාළව ආන්දෝලනාත්මක නාට්‍යයකි. යුරෝපීය භවසත්තාවාදී (EXISTENTIALISM) මතවාදවල ආභාසය  ලැබූ ප්‍රමුඛ ලාංකේය  නාට්‍යවේදියකු ලෙස ධර්මසිරි වික්‍රමරත්න කැපී පෙනිණ. ශාන් පෝල් සාත්‍රේ, ඇල්බෙයා කැමූ, ශාන් ජෙනේ, ජේකෝබ් බොහෙමි, රෙනේ ඩෙකාර්ට්, ටෙනිසි විලියම්ස්, එඩ්වඩ් ඇල්බී වැනි දාර්ශනිකයන්, ලේඛකයන්, නාට්‍යවේදීන් කියවා අනුප්‍රාණය ලත් ධර්මසිරි නාට්‍යවේදියකු ලෙස  දොරට වැඩියේ “රන්තෝඩු” නාට්‍යයෙනි.

මෙහි ප්‍රධාන ස්ත්‍රී භූමිකාව වූ දේවිකා ලෙස රඟපෑවේ එවක ගැටවරියක වූ අනුලා කරුණාතිලකය. මෙහි ප්‍රධාන නළු චරිතය ටෝනි රණසිංහ රඟපෑවේය. ධර්මසිරි වික්‍රමරත්න “අපේ කට්ටිය” සමඟ ද සමීප වූ නාට්‍යවේදියෙකි. ධර්මසිරි,  සුගතපාල ද සිල්වාගේ “බෝඩිංකාරයෝ” නාට්‍යයේ පෙරේරා මහතාගේ චරිතය රඟපෑ අතර  සුගත්, ධර්මසිරිගේ “රන්තෝඩු” හි රණසිංහ මහතාගේ චරිතය රඟපෑවේය. “රන්තෝඩු” කතා  තේමාව වඩාත් උචිත වූයේ වේදිකාවට නොව සිනමාවටය.

ලිංගික සබඳතා පදනම් කොට ගත් බටහිර සමාජයේ නිර්මාණවල ආභාසය උචිතානුචිත භාවයෙන් තොරව එලෙසින්ම මෙහි භාවිතයට ගැනීම එකල විවිධ මතභේදයන්ට තුඩු දුන්නේය. “රන්තෝඩු” නාට්‍යය අරභයා එකල පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා කෙරිණ. විචාරකයෝ බහුතරය ධර්මසිරි වික්‍රමරත්නයන්ට බැට දුන්හ. ඔහු වෙනුවෙන් කතා කළ එකම පුද්ගලයා වූයේ සෙනට් සභික රෙජී පෙරේරා මහතා පමණකි. රෙජී පෙරේරා පසුකලක “සැඩොල් කඳුළු” (1967) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බව සහෘද ඔබට මතත ඇති.

සිංහල නාට්‍යයක් මේ තරම් දරුණු  ප්‍රහාරවලට ලක් වූ ප්‍රථම අවස්ථාව, ඇතැම් විට එකම අවස්ථාව “රන්තෝඩු” විය හැකි බව වරක් ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සඳහන් කළේ්ය. විවාහ සංස්ථාවට ඇතුළත් වූ පසුව තම සහකාරිය වන තරුණියගේ කන්‍යාභාවය අපේක්ෂා කිරීම පිරිමියා සතු අයිතිවාසිකමක්ද යන්න ප්‍රශ්න කිරීම “රන්තෝඩු” හි තේමාව විය. විචාර, මතවාද, ආන්දෝලන කොතෙක් සිදු වුවත් මෙහි දේවිකාගේ චරිතය මැනවින් රඟපෑ අනුලා කරුණාතිලක වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානනීය වූවාය.

කවදත් චරිත තෝරා බේරා ගෙන ඉතා සංයමයෙන්, තම ප්‍රතිරූපය ගැන සිතා රඟපෑ අනුලා සිනමා ජීවිතේදීවත් දේවිකා බඳු ආන්දෝලනාත්මක  චරිතයක් රඟපා නොතිබිණ. විවාහ සංස්ථාවට ඇතුළත් වන යුවතියකගේ කන්‍යාභාවය  ප්‍රශ්න කිරීම ප්‍රස්තුත කොට ගත් චිත්‍රපටයක් බිහි වූයේ 80 දශකයේදීය. ඒ එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ “දෙවැනි ගමන” (1984) ය. ආසියානු කලාපයේ විශේෂයෙන් ඉන්දියාවේ හා ලංකාවේ ස්ත්‍රීත්වය හා බැඳුණු ප්‍රබල සම්මතයක් වූ මෙය පසුකාලීනව අපරදිග සංස්කෘතියේ බලපෑම හේතු කොට ලිහිල් වී ඇති අයුරු මෙකල දක්නට ලැබේ. ඉන්දියාවේ හෝ ලංකාවේ අද්‍යතනයේ කලා නිර්මාණවලට මෙබඳු තේමා වස්තු විෂය නොවන්නේ මේ නිසා විය හැකිය.

ඉතිරි කොටස ලබන සතියේ