සුරලොව සිට අත පා ඒ කඳුළැලි පිසිනා

“යස ඉසුරු”
අගෝස්තු 20, 2020

චිත්‍රපටයක, ජනප්‍රිය එමෙන්ම දක්ෂ නළු නිළි කැලක් රඟපෑ සැණින්, එය සාර්ථක වේ යැයි කිව නොහැකිය.  එය සාර්ථක කර ගැන්මට නම් එකී නළු නිළියන් හට, තම දක්ෂතා පෙන්වීමට හොඳ රංග පරාසයක් තිබිය යුතුය. 

ධර්මසිරි ගමගේගේ 'යස ඉසුරු' චිත්‍රපටයට ඔහු තෝරාගත් විජය කුමාරණතුංග ,මාලනී ⁣⁣ෆොන්සේකා, අමරසිරි කලංසූරිය ,ගෝතමි පතිරාජා ,විජය නන්දසිරි  වැනි නළු නිළියන් හට එකී පරාසයන් එයාකාරයෙන්ම ලැබිණි. එහෙයින්, ඔවුනට චිත්‍රපටය තුළ ප්‍රේක්ෂකයන් හට දනවන්නට, යමක් කිරීමේ හැකියාවක් තිබිණි.

පොලිස් සහකාර අධිකාරිවරයෙක්, අධිනීතිඥ වරියක්, කරාටේ ගුරුවරයෙක්,  ව්‍යාපාරිකයෙක්, චිත්‍රශිල්පිනියක් වැනි වෘත්තීයමය චරිත කීපයක් සම්බන්ධ කරගෙනය, ධර්මසිරි ගමගේ 'යස ඉසුරු' නිර්මාණය ක⁣ළේ. මේ මහපොළොවේ සිදු වන දේ මෙන්ම, අභාග්‍යසම්පන්න දෑ ද, සම්මිශ්‍රණය කර, එමෙන්ම බොහෝ විට තම උපකල්පනයට වැඩි බරක්දී නිර්මාණය වූ 'යස ඉසුරු' ධර්මසිරි ගමගේගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි.

ඔහු මුළු චිත්‍රපටයම ගෙන ගියේ සංවේදී වූ තේමාවක් මතය. ඔහු හැම රූප රාමුවකම වැඩි බර දුන්නේ මේ සංවේදීකමටය. අම්මා, දරුවන්, සහෝදර, සහෝදරියන්, පෙම්වතුන් පෙම්වතියන් බැඳී සිටියේ පුදුමාකර සංවේදීත්වයෙනි.  ගමගේට අවශ්‍ය වී තිබුණේ එකී සංවේදීත්වයෙන් ප්‍රේක්ෂකයන්ව රවටා ගෙන රඳවා තබා ගැන්මටය.  සුරම්‍යාගේ චරිතය හා ඇයගේ සොහොයුරා වූ සුරාජ්ගේ චරිතය, වුවමනාවටත් වඩා සංවේදී කර තිබුණේ ඒ නිසා වන්නට ඇත. එක් කලෙක, එක් පැරණි චිත්‍රපටයක ද ඔවැනි දරුණු සහෝදර බැඳීමක් තිබූ බවක් සිහියට නැඟේ. එහි එම සොහොයුරා හා සොහොයුරිය සිටියේ පුදුමාකාර බැඳීමකිනි. සහෝදරයා මිය ගොස් හොල්මනක් වී යළි සහෝදරීව බැලීමට එන්නේ ඇයවත් ඔහු සිටින තැනට රැගෙන යාමටය. එය දුටු ඇය 'යන්න එපා අයියා යන්න එපා, ඔබ මා කැඳවාගෙන යන්නේ ඔබ සිටිනා රාජ්‍යයට ද' යැයි කියමින් ගී ගයමින් ඔහු පසුපස යයි. මතක ලෙස එම චිත්‍රපටය 'කපටි ආරක්ෂකයා‘ ය.  

'සුහද සොහොයුරෝ' චිත්‍රපටයේ ද මෙවැනි දරුණු සහෝදර බැඳීමක් තිබිණි. ඒ අසෝකා පොන්නම්පෙරුම හා ක්ලැරිස් ද සිල්වා අතරය. ඒ සහෝදර බැඳීම මොන තරම් ගැටළුවක් වුණා දැයි කිවහොත්, එය එම සහෝදරයාගේ විවාහ ජීවිතයටත් බලපෑවේය. බිරිඳට සාරියක් ගෙනෙන විට, සොහොයුරියටත් සාරියක් ගෙනෙන්නට සිදු වේ. අවසානයේ තමාට ගෙනා සාරියට වඩා ඔහුගේ සොහොයුරියට ගෙන ආ සාරිය වටිනාකමින් හා අලංකාරයෙන් වැඩි යැයි කියා, දෙදෙනා අඩදබර ගනිති. 

ගමගේ නිර්මාණය කළ මේ සහෝදර, සහෝදරියන් දෙදෙනා ද, බොහෝ විට 50 ගණන්, 60 ගණන්වල පෙන්නූ චිත්‍රපටවල සිටි සොහොයුරන් හට සමානය. ඔවුන් ද අර 'සුහද සොහොයුරන්' මෙන් 'අතිශය බැදීමක්" සහිත සහෝදරයන් විය.

මෙහි පොලිස් සහකාර අධිකාරවරයා හා අධිනීතිඥවරිය පෙම්වතුන් පෙම්වතියන් වූවද, ඔවුන් රාජකාරි වේලාවන් හී, 'ෆුල් ඔෆිෂියල්' ය. ඔවුන් ආදරය කරනුයේ රාජකාරිවලින් බැහැර වූවාට පසුවය. වාසනාවකට ගමගේ ඔවුන්ව විවාහ කර දුන්නේ නැත. විවාහ වූවා නම් ඒ පවුලට දෙයියන්ගේම පිහිටය. එසේ වූවා නම් ඔවුන් දෙදෙනා ගේ ඇතුළේ පවුල් කෑවට, රාජකාරි වෙලාවේ දී, දෙදෙනා එකිනෙකාට ප්‍රතිවිරෝධය දැක්වීමට ඉඩ තිබිණි. 

ගීත රචකයකු, තිරනාටක රචකයකු ලෙස සිනමාවේ නමක් දිනූ ධර්මසිරි ගමගේ මාධ්‍යවේදියෙකු ලෙස ඉමහත් ගෞරවයට පාත්‍ර වූයේය. ඔහු විසින් අලුත් පරපුරක් යොවුන් ජනතා පුවත්පත හරහා හඳුන්වාදෙනු ලැබීය.

1982 නිර්මාණය වුණු 'යස ඉසුරු' ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ අතර, 1986දී ඔහු සිය දෙවැනි චිත්‍රපටය වූ 'පූජා' අධ්‍යක්ෂණය කළේ නිෂ්පාදක ගාමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු වෙනුවෙනි. මෙම චිත්‍රපට යුගලේම තිර නාටකය ලියුවේද ගමගේ විසිනි. හිරගෙදර අලුගෝසුවාගේ රාජකාරිය ඉටු කළ ලුවිස් සිංඤෝගේ චරිතය කේන්ද්‍රිය කරගෙනය, ඔහු 'පුජා' තිරනාටකය ලියා අධ්‍යක්ෂණය ක⁣ළේ. 'පුජා' ඔහුගේ අවසාන සිනමා අධ්‍යක්ෂණය විය. ඉන්පසු සිනමා නිර්මාණ කීපයකම අතගැසුවද, ඒවා, පල දැරුවේ නැත.

අධිනීතිඥ සරෝජිනි වික්‍රමසිංහ පෙමින් වෙලී සිටියේ සහකාර පොලිස් අධිකාරි මහේෂ් ගුණසේකර සමඟය. සරොජිනිගේ වැඩිමහල් සහෝදරයා අජිත් වික්‍රමසිංහය. ඔහුට බතික් සාප්පු හා බතික් නිර්මාණ ව්‍යාපාරයක් තිබිණි.  සුරාජ් වනිගසේකර වෘත්තියෙන් කරාතේ ගුරුවරයෙකි. ඔහුගේ එකම නැගණිය සූරම්‍යා වනිගසේකරය. ඇය බතික් හා අත්කම් චිත්‍ර ශිල්පිණියකි. මේ දෙගොල්ලන්ගේම ⁣අම්මලා තාත්තලා මියගොස්ය. ධර්මසිරි ගමගේ තම චිත්‍රපටයෙන් මාර්කට් කළේද මේ මියගිය  මාපියන් නිසා තනි වුණු දරුවන් ගැනය.

චිත්‍රපටයේ කතාව හරි හැටි ආරම්භ වනුයේ බතික් චිත්‍ර තරගයකිනි. මෙම තරඟයට සුරම්‍යා තම නිර්මාණ ඉදිරිපත් කළ අතර, එම තරඟ උත්සව දිනයේ ප්‍රධාන අමුත්තන් වූයේ අධිනීතිඥ සරෝජිනි වික්‍රමසිංහ හා බතික් ව්‍යාපාරික අජිත් වික්‍රමසිංහය. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන අන්දමටම මෙම තරගයෙන් සුරම්‍යා දිනන අතර, අජිත් විසින් එවේලේම ඇයට තම බතික් සාප්පුවේ 'ජොබ්' එකක් 'ඔෆර්' කරයි. එතැන් සිට සම්පූර්ණ කතාව හා සිද්ධ වෙන සිදුවීම් මොනවා දැයි ප්‍රේක්ෂකයාට ක්ෂණයකින් වැටහේ.

සහකාර පොලිස් අධිකාරි මහේෂ්ගේ පාසල් ගජ මිතුරෙකි කරාතේ ගුරු සුරාජ්. ඇතැම් දවස්වලට මහේෂ් ,සුරාජ්ව හමුවීමට සුරාජ්ගේ කරාටේ පංතියට පවා යයි. ඔවුන් ඒ තරම්ම 'මැන්ගෝ' යහළුවෝය. මේ යාළුකම මේ තරම් පෙන්වන්නේ පසුවට මේ දෙන්නා මොකකට හෝ පටලවන බවත් ප්‍රේක්ෂකයන්ට නොවැටහුණා නොව. ඒ සිංහල චිත්‍රපටවල සාමාන්‍යය ස්වභාවය බව එදා සිටම ප්‍රේක්ෂකයන් දන්නා නිසාය.

සරෝජිනීගේ ප්‍රධානතම ප්‍රශ්නය වී තිබුණේ, මහේෂ් ආදරය කරන විටදීත් පොලිස් පාට් දාන නිසාය. ආදරය කරන විට ඔයිට වඩා 'රොමැන්ටික්' වෙන ලෙස සරෝජිනි මහේෂ්ට අනේක වාරයක් කීවද, මහේෂ් කියන්නේ ඔහුට පොලිස් පුරුද්ද අත්හැරීමට තරමක් අපහසු බවය. මේවා නම් මාරම කන්සෙප්ට්ය. 

මේ අතර අජිත් තමා දන්නා උප්පරවැට්ටි සියල්ල දමා සුරම්‍යාව තම ග්‍රහණයට අසු කර ගනී. දැන් ඔවුන් දෙදෙනා ප්‍රේමවන්තයන්ය. ඉන්පසු ගීත ගයමින් ඔවුන් දෙදෙනා මල් ගස් වටේ දුවන්නට විය.

   “ පායා ආවා

    නිල් නෙළුම් තාරුකා

    නව හැඟුම් කාන්සියේ

    පායා ආවා ” 

ඒ, මල් ගස් වටේ දුවමින් ගී කියමින් රැඟු සුරම්‍යා සිය කැමැත්තෙන්ම තම පතිවත අජිත්ට පූජා කරනුයේ 'මං මට තිබෙන උතුම්ම දේ අජිත් වෙනුවෙන් පිදුවා' යැයි කියමිනි. එවිට එය බලා ඉන්න ප්‍රේක්ෂකයන් හට නම් සිතෙන්නේ 'අනේ හපෝ යි' කියාය.

දහසක් පොරොන්දු දුන් අජිත් ටිකෙන් ටික වෙනස් වන්නේ අජිත්ට තම ප්‍රභූ නෑදෑවරු මේ සම්බන්ධය දැනගෙන අවවාද කළ නිසාත් තම පවුල් නම්බුවට කැළලක් ඇති නොකරන ලෙසට කළ ඉල්ලීම නිසාත්ය. අවසානයේදී සුරම්‍යාට සිදුවනුයේ මාස 3ක වැටුප් රැගෙන නිවසේ නවතින්නටය. 

දැන් මේ සිදුවීම් සුරාජ්ද දැනගති. අම්මෙක් අප්පෙක් නොමැතිව තම ඇස මෙන් බලා ගත් නංගිට කළ මේ දෙයට අජිත් විසින් නිසි විසඳුමක් දිය යුතු යැයි සුරාජ් අවධාරණය කළේය. 

ගමගේ මේ 'තීම්' එක උලුප්පා පෙන්වීමට හරි අපූරූ ගීතයක් එකතු කළේය. ඔහු ඒ ගීතය, චිත්‍රපටයේ තැන් කීපයකටම යෙදවූයේ චිත්‍රපටය සංවේදී කිරීමටය. ඒ, තම කැමැත්තෙන්ම තම පාරිශුද්ධභාවය පූජා කළ සුරම්‍යාට ප්‍රේක්ෂකයන්ගෙන් අනුකම්පාව ලබාදීමටය. එලෙසම 'යස ඉසුරු' චිත්‍රපටයේ ජීවය වූයේ ද මෙම ගීතය ය.

  “ අම්මාවරුනේ, අම්මාවරුනේ

   සම්මා සම්බුදු අම්මාවරුනේ

   දරුවන්ගේ දුක් කඳුළු දකිනදා

    සුරලොව සිට අත පා

    ඒ කඳුලැලි පිසිනා ”

 එතෙක් ගලා ආ චිත්‍රපටයේ කතාව උච්චතම ස්වරූපයට පැමිණියේ සුරාජ් විසින් අජිත්ව මරා-දැමූ පසුවය. සුරාජ් කීපවතාවක්ම අජිත්ව හමුවීමට ගොස් මෙයට සාධාරණයක් ඉෂ්ට කරන්නට කීවේ, අජිත් නිසා, දැන් සුරම්‍යා ගැබ්බර වී ඇති නිසාය. එහෙත් අජිත් එම වරද තමා අතින්ම පමණක් සිදු වූවක් ලෙස පිළි නොගෙන දෙදෙනාම වරද භාර ගත යුතු බව කීවේය. සුරාජ්ගේ කේන්තියේ රතු කට්ට පැන්නේ, තමාගේ වරද වෙනුවෙන් සුරම්‍යාට මාස 3ක පඩි ගෙවා තම යුතුකම ඉෂ්ට කළ බව කී පසුවය. සුරාජ්ගෙන් බේරීමක් නැති බව දැනගත් අජිත් තුවක්කුව රැගෙන සුරාජ්ට වෙඩි  තබන්නට සැරසෙන විට, සුරාජ් එය වලක්වා, එම වෙඩිල්ල අජිත්  දෙසටම හැරවීය.

අජිත්ව මරා-දැමූ සුරාජ්⁣ කෙළින්ම ගියේ තම හිත මිත්‍ර පොලිස් සහකාර අධිකාරි වූ මහේෂ් ගුණසේක⁣ර ළඟටය. ඒ සුරාජ්ට අවශ්‍ය වූයේ තම හිත මිතුරා අතින්ම තමන්ගේ අතට මාංචු දැමීමටය.

මේ අතර තවත් දෙයක් සිදුවිය. ඒ සුරම්‍යා, අධිනීතිඥ සරෝජිනි ළඟට ගොස් තම සොහොයුරාව බේරා දෙන ලෙසත්, තමාගේ කුසේ අජිත් නිසා දරුවකු සිටින බවත් කියා සිටීමය. තම සොහොයුරාව මරා දැමූ සුරාජ් වෙනුවෙන් පෙනී සිටීමට සරෝජිනි තීරණය කරන්නේ සුරම්‍යා, සරෝජිනිගේ දෙපතුල ළඟ වැටී කන්නලව් ⁣කරන විට තම හිත උණු වූ නිසාය. ආයෙත් කියන්න තියෙන්නේ මේවා නම් මාර පිචැර් කියාය.

දැන් සරෝජිනි, තම මියගිය සොහොයුරාට පමණක් නොව, තම පෙම්වතා වූ සහකාර පොලිස්  අධිකාරි මහේෂ්ට විරුද්ධව නඩුව කතා කරනුයේ ඔහු සුරාජ්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිසාය. 

නඩුවේදී සරෝජිනි තර්ක කළේ, සෙනෙහස, ආදරය, ප්‍රේමය ගැනය. මේ මිනීමැරුම සිදූ වූයේ සහෝදරයකු, සහෝදරියකට තිබෙන අසීමාන්තික සෙනෙහස නිසා යැයි ඇය කළ තර්ක නිසා, මිනීමැරුමක් කළ සුරාජ්ව නිදහස් විය.

එහෙත් එහිදී සිදුවූ විශ්මිතම දෙය නම් සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සරෝජිනි නම් තම අධිනීතිඥ ප්‍රේමවන්තියට කරනු ලබන ප්‍රකාශයය. ඒ ඇයගේ තර්කවලින්  තමාට ආදරය, සෙනෙහස, මනුෂ්‍යකම යනු කුමක් දැයි වැටහුණු බවත්, සරෝජිනීගේ සහෝදරයා වූ අජිත් නිසා අමාරුවෙ වැටුණු සුරම්‍යාට පිහිට විය යුතු බවත්, ඒ නිසා තමා සුරම්‍යාව භාර ගෙන මුළු ජීවිත කාලයම පුරාවට ඇයව ආදරයෙන් බලා-ගන්නා බවත්ය. එසේ කියා ම⁣හේෂ් සුරම්‍යාගේ අතගෙන ඇයවත් රැගෙන එතැනින් පිට විය. සුරම්‍යාගේ ඉල්ලීමට සුරාජ් වෙනුවෙන් කතා කළ සරෝජිනීට තම පෙම්වතා අහිමි වූයේ එසේය. අප සිතුවේ ඒ සිදුවීමට ⁣සරෝජිනි හා සුරාජ් තුෂ්නිම්භූත වේ යයි කියාය. එහෙත් උතුර දකුණ මාරු වී, වොට් දහදාහක ශොක් එකක් වැදුණාක් මෙන් 'අංඤකොරොස්සං' වූයේ නම් එම චිත්‍රපටය බලා සිටි ප්‍රේක්ෂකයන්ය. 

මාලනී ⁣ ෆොන්සේකා අධිනීතිඥ සරෝජිනි වික්‍රමසිංහ ලෙස දක්ෂ රඟපෑමක නිරත වූ අතර, විජය කුමාරණතුංග  සහකාර පොලිස් අධිකාරිවරයා වූ මහේෂ් ගුණසේකර ලෙස චිත්‍රපටය තුළ එහාට මෙහාට පාවුණද, ඔහුගේ කඩවසමේ රූපකාය නම් ආකර්ෂණයක්ම විය. සුරාජ් ලෙස රඟපෑ අමරසිරි කලංසූරිය නම් ප්‍රබල රඟපෑමක නිරත වූ අතර, සුරම්‍යා වූ ගෝතමි පතිරාජාව ඕනෑවටත් වඩා සංවේදි කර තිබිණි.  අජිත් වූ විජය නන්දසිරි, ඔහු කළ යුතු චරිතය හොඳීන්  හඳුනාගෙන රඟපෑ අතර දොන් සිරිසේන සාලමන්ගේ චරිතය, සුපුරුදු විකට ස්වරූපයෙන් රඟපා තිබිණි.

මියුරි සමරසිංහ, පියරත්න එම්. සෙනරත්, ඩී.වී. සෙනවිරත්න, හේමචන්ද්‍ර සෙනරත්, සීතා ගමගේ, ටී.ජී. ඩබ්ලියු ඩි සිල්වා, එස්.බී.  හේරත්, සෙසු චරිත රඟපෑහ.

කේ.ඩී. දයානන්ද, කැමරාවෙන්, ප්‍රේමසිරි කේමදාස, සංගීතයෙන්, නන්දා මාලනී, ටී.එම්. ජයරත්න, හා නීලා වික්‍රමසිංහ ගායනයෙන් විශිෂ්ට හරඹයක් කර තිබිණි.

1983 සරසවිය සම්මාන උලෙළේ, මාලනී ෆොන්සේකා හොඳම නිළියට ද, අමරසිරි කලංසූරිය හොඳම සහාය නළුවාට ද, කේ.ඩී. දයානන්ද හොඳම කැමරා අධ්‍යක්ෂණයටද, නන්දා මාලනී හොඳම ගායිකාවට ද, ධර්මසිරි ගමගේ හොඳම ගී පද රචනයට ද සම්මාන ලබා ගත් අතර, එවර ලක්ස් නැඟී එන නිළිය සම්මානය ලැබුණේ සුරම්‍යාගේ චරිතය රඟපෑ ගෝතමි පතිරාජටය. 'යස ඉසුරු' එම වසරේ සරසවිය පාඨක ඡන්දයෙන් වැඩිම ප්‍රේක්ෂක මනාප ගෙන ජනප්‍රියම චිත්‍රපටය විය.

ධර්මසිරි ගමගේ තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ 'යස ඉසුරු' නිෂ්පාදනය කළේ නොයෙල් එදිරිසිංහය. එය 1982 මාර්තු 5 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කළේය.

 “ අම්මාවරු නැති දරුවන්නේ

   සංකා දුක් කව්දෝ දන්නේ

   ඒ දුක දන්නා අම්මාවරුමයි

   යම් මතු දිනයක බුදු වන්නේ

   සංසාරේ මතු බුදු වන්නේ ”