මෙහි සත්‍ය සිදුවීම් නැත්තෙම නැහැ

ආනන්ද එස්. විජයසිරි
අගෝස්තු 27, 2020

ආනන්ද එස්. විජයසිරි නමට ඉදිරියෙන් වන විශේෂණ පද බොහෝය. ගීත රචක, නාට්‍යවේදී, සිනමා පිටපත් රචක, ගත් කතුවර යන විවිධ වූ හැකියාවන් ඉස්මතු වන ඒ විශේෂණ අතරින් අද අප වඩාත් අවධානය යොමු කරන්නේ නවකතාකරු යන්නටය. ඒ ඔහුගේ නවතම කෘතිය 'තුන්යම සිහින' පිළිබඳ කතාබහක යෙදෙන බැවිනි.

 

'තුන්යම සිහින' දකින්නට වූ නිමිත්ත මුලින්ම කියමු?

මගේ ජීවිත කාලය පුරා අත්දැකීම්, අමතක නොවන සිදුවීම්, දේශපාලන පෙරළි, පාරිසරික, සමාජ, සංස්කෘතික වෙනස් වීම් ඉතා රසවත් කියා සිතුණා. අපෙන් පසු පරම්පරාවලටත් ඒ සුන්දර ඉතිහාසය මෙන්ම අසුන්දර අවස්ථා පිළිබඳ තොරතුරු දැනගැනීමට මඟක් ලෙසයි 1945 පමණ සිට 2005 ත් පසුවන තරම් පුළුල් කාල පරාසයක විහිදෙන නවකතාවක් ලෙස මෙය ගියැවුණේ.

 

මෙයට ඔබේ සත්‍ය ජීවිතයේ තොරතුරු බෙහෙවින් ඇතුළත්?

මෙහි වෙද මහත්මයා වන මගේ පියාණන්, රූපසිංහ මාස්ටර් වැනි සංගීතඥයන් ඇතුළු කලාකරුවන්, අපේ නිවෙසට ආ ගිය දේශපාලනඥයන් වැනි බොහෝ දෙනා නිසා තමයි මට පන්නරය ලැබුණේ, මමත් කලාවට නැඹුරු වුණේ. ඒ වගේම ශ්‍රී රාහුල හිමිගේ නාමේ, අඩුකලේ සෙලවීම නිසා වැනි ගීතවල සැබෑ අයිතිකරුවන් පිළිබඳ අනාගත පරපුරට සත්‍ය සාක්ෂියක් සපයන්න අවස්ථාව මට තිබෙනවා. මම පෞද්ගලිකව විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වුණත් මෙහි විරාජ් වෛද්‍ය විද්‍යාලය ඇතුළත් වන්නෙක්. ඔහු ආදරය කරන්නේ රූපත් දෙමළ වෛද්‍ය ශිෂ්‍යාවකට. ඒ ඇසුරින් මට අවශ්‍ය වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අපේ ජාතීන් අතර පැවතුණු සංහිඳීයාව කෙබඳුද, පසුව ඇති වූ ජාතිවාදී ප්‍රශ්න, වෙනත් භීෂණ, දේශපාලනඥයන් ඒ සමාජීය ප්‍රශ්නවලට විවිධ පාට තැවරූ පසු ඇති වූ තත්ත්වය, ඉතිහාසය කන්නද වැනි දේ විමසූ දේශපාලනඥයන් නිසා ජාතියක මූල පද්ධතියට සිදුවන හානිය වැනි මගේ සිතට වේදනා ගෙන දුන් අවස්ථා කතා කරන්න. ඒ සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන පරිකල්පනීය අවස්ථාත් එයට මිශ්‍ර කර නිර්මාණය වූවක් තමයි තුන්යම සිහින.

 

කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර?

මෙය කියැවූ බොහෝ දෙනා කීවේ ඉතා සරල භාෂාවකින් සුන්දර ලෙස ලියූවක් නිසා එක හුස්මට කියවන්න හැකියි කියායි. ඒ වගේම මෙහි පරිසර වර්ණනා ආදිය ඔවුන් කෙළින්ම ගමට ගියා වගේ හැඟීමක් ඇති කරන්න සමත් වුණා කීවා. අපේ පැවති බලි තොවිල් ශාන්ති කර්ම ක්‍රම, එදා ගම්වල තිබුණු වෙසක් නාට්‍ය, මඟුල් චාරිත්‍ර වාරිත්‍ර, ගමනාගමන ක්‍රම, ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිවෙසක පවතින විවිධ ක්‍රියාකාරකම් වගේම ක්‍රමවත් සමාජ පෙරළිය දකිමින් වැඩුණු මගේ වියට ආසන්න අයට මේ කතාව බෙහෙවින් සමාන අත්දැකීමක් එක් කරන බව කීවා. අපේ දරු මුනුපුරන්ගේ පරම්පරාවල අයට මෙය එදා පැවතුණු අපේ විවිධ සමාජ දේශපාලන සංස්කෘතික ලක්ෂණ එකට කැටි කළ රසවත් විවරණයක් බඳු බවයි කීවේ.

 

ඒ වගේම බොහෝ කවි ශ්ලෝක ආදිය වරින්වර ඇතුළත් කළා?

මගේ පියාණන්ගේ වෛද්‍ය ශාස්ත්‍ර ඥානය වගේම සාහිත්‍ය ඥානයේ ආභාසයත් පසුව විශ්වවිද්‍යාලයේ මා උගත් කලා විෂයයන්වල ඇසුරත් විවිධ පොත පතින් ලද පරිචතයත් ඒ සුදුසු තැන්වල යෙදීම සාමාන්‍යයෙන් ගත්කතුවරුන් කරන වැඩක්. විශේෂයෙන් වර්තමානය වන විට අපෙන් ගිලිහි යන දේ එසේ සඳහන් කළ යුතුයි කියා මට හිතුණා.

 

මෙහි විරාජ්ට ඇත්තේ ඔබේ කුඩා සහ තරුණ අවදියේ අත්දැකීම්?

ඇත්තෙන්ම මම කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට ගමට යන්නේ පුදුම ආසාවකින්, නිදහසකින්. එදා අපේ නිවෙසේ ඇසු දුටු කලා කටයුතු, ගමේ අත්දැකීම් නිසා තමයි මට පසුකාලීනව මගේ වේදිකා නාට්‍ය වන බැද්දේ ගෝරනාඩුව, දෙව්ලොව යනකල්, නෙත් අඳ බිසවු වැනි නිර්මාණ බිහි වුණේ. ඒවාට සංගීතඥයන් ලවා ජන සංගීත ඌරුවට සංගීතය කරගැනීමේදී මට ඒ අත්දැකීම් වැදගත් වුණා. මම පාසලේ ශිෂ්‍යයකු ලෙස තමයි සමන්මලී කියන මගේ පළමුවැනි කවි පොත ලීවේ. මගේ පියා රූපසිංහ මාස්ටර්ගේ සංගීතයට වචන යෙදුව ආකාරය මගේ ලේවලටම කා වැදී තිබුණු නිසා වන්න ඇති මටත් තනුවක් ඇසෙද්දීම වචන ලියා දීමට හැකියාව ලැබුණේ. අපේ ප්‍රවීණ ගායක මිල්ටන් පෙරේරාට 1963 ලියා දුන් හීන් මැණිකෙ ඔබ දැන් ලස්සන තරුණී සමඟයි මම ගීත රචනයට පිවිසෙන්නේ. ඔහුට හින්දි ගී තනුවලට වචන ලිවීමෙන් එය තවත් මුවහත් වුණා. ඉන් පස්සේ සුජාතා අත්තනායක වැනි ප්‍රවීණ ශිල්පී ශිල්පිනීන් වෙනුවෙන් මගේ සරුසාර පින්සාර ජයභූමි ලංකා වැනි ජාති වාත්‍සල්‍යයෙන් යුතු වගේම විවිධ තේමා ඔස්සේ වූ ගීත පන්සියයකට වඩා ලියා දී තිබෙනවා. තවත් විශේෂ දෙයක් තමයි ඒ යුගයේ වෙසක් තොරණ වෙනුවෙන් ගී ලිවීම. එහි බුද්ධ රූපයේ ගීය ගැයීම හා ලිවීම බොහොම උතුම් ලෙසයි සැලකෙන්නේ. මොහොමඩ් සාලි මාස්ටර්ගේ තනුවලට ගී ලිවීමේ එවැනි භාග්‍යවත් අවස්ථාත් මට ලැබී තිබෙනවා.

 

ඔබ කලා උපාධිධාරියෙකු ලෙස මුලින්ම පත්වීම ලැබූ බදුල්ල පිළිබඳ විස්තරත් මේ පොතට ඇතුළත්?

ඇත්ත. මම සංස්කෘතික නිලධාරියකු ලෙස තමයි බදුලු කච්චේරියට ගියේ. එහිදී කොළඹටත්, දකුණු පළාතටත් වඩා බදුල්ලේ භාෂා ශෛලිය එහෙම වෙනස් බව මට දැනුණා. ඒ නිසා තමයි ඒ ඒ පළාත්වලදි ලැබුණු දැනුම් සම්භාරය ඇසුරින් ඇතැම් දෙබස් යොදන්න මම උත්සාහ කළේ. පසුව කොළඹ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේ වේදිකා නාට්‍යකරුවන් වෙනුවෙන් මගේ උපරිම කැපවීමෙන් කටයුතු කළා. ඩී. බී. නිහාල්සිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන පළමු නිලධාරී පිරිසේ සංවර්ධන නිලධාරියකු ලෙසත් කටයුතු කළා. ඒ අතර පිටපත් ලිවීම, කැමරාකරණය පිළිබඳ හොඳම දේශකයන්ගේ කතාබහට සවන්දීමට අවස්ථාව ලැබුණා. ඒ පන්නරය නිසා තමයි මට සුදු පරෙවියෝ, මාල ගිරවි, චණ්ඩින්ගෙත් චණ්ඩියා, පුතුනි මට සමාවන්න, වන බඹරා, අංගුලිමාල, අම්මේ ඔබ නිසා වැනි චිත්‍රපට තිරනාටක පහළොවක් පමණ වගේම චිත්‍රපට ගීත රැසක් රචනා කරන්න අවස්ථාව ලැබුණේ. තිස්ස අබේසේකර මහත්මයාගේ කාලේ ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට තිරනාටක ශ්‍රේණිගත කරන මණ්ඩලයේ වසර ගණනාවක් කටයුතු කරන්න අවස්ථාව සැලසුණේ ඒ අත්දැකීම් සහ වසර විසිහතරක් සංස්ථාව වෙනුවෙන් කළ සේවය නිසයි. රූපවාහිනී මාධ්‍යයටත් මට දායක වන්න අවස්ථාව උදා වුණා. මගේ පළමුවන රූපවාහිනී රචනය, නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණය වුණේ 1995 වසරේ ජාතික රූපවාහිනියේ විකාශය වූ 'ගලබොඩ හස්තියා'. දැන් ස්වාධීන රූපවාහිනියේ නැවත විකාශය වන පිටගම්කාරයෝ නිර්මාණයට සම්බන්ධව කටයුතු කළ පසුවයි එය නිර්මාණය කළේ. ටෙලි නාට්‍ය සඳහා ගීත රැසකුත් මට ලියන්න අවස්ථාව ලැබුණා. මේ සේවාවන් නිසා රත්මලාන කලාභූෂණ, කොළොම්තොට භූෂණ, බස්නාහිර පළාත් විශ්වාභිනන්දන, සාහිත්‍ය ගීත රචනා ගෞරව සාහිත්‍ය සම්මානය ලැබුණා.

 

නුදුරේදි අපට ඔබෙන් දැකගත හැක්කේ කෙබඳු කලා නිර්මාණද?

සොක්කානෝ සක්විත්තානෝ නමින් දේශපාලන හාස්‍යෝත්පාදක කතාවක් නිර්මාණය කර තිබෙනවා. එය දරුවන්ටත් නැරඹිය හැකි ආකාරයෙන් සතුන්ගේ චරිත යොදාගෙන කරන්නක්. ඒ වගේම තවත් නවකතාවක් ලියා අවසන් කර තිබෙන්නේ. ඒ වගේම ළඟදීම ළමා පොතක් එළි දකිනවා 'පිංචි පැටික්කෝ' නමින්.

 

නිශ්ශංක විජේරත්න