බණ්ඩාර ඇහැළියගොඩ දළපූට්ටුවාගේ ආත්ම කථනයට ඇරැයුම් කරයි

සැප්තැම්බර් 10, 2020

 

හතර පද කවියට

නව මානයක් එක්කොට

පොතක් එයි එළියට

මෙසේ ඇරයුම් කරම් උලෙළට

 

පන්හිඳට හුරු අත

ලියූ තුන්වැනි කවි පොත

පිරිනමමි ඔබ වෙත

කවිම මිස වෙන මුකුත් එහි නැත

 

ආ ගමන අභියස

වෙන අය නොමැති ඔබ මිස

පැමිණ සුපුරුදු ලෙස

අයැද හිඳිනෙමි ඔබේ සෙනෙහස

 

නිකිණි මස දාසය

පස්වරු තුන හමාරය

උලෙළ සරු සාරය

තැනයි මහජන පුස්තකාලය

 

සුව නීති අනු දැන

එක් විය යුතුය සැමදෙන

තැතක් නෑ ඔබ ගැන

තුනයි පහළොව වෙත්දි එනු මැන . . .

මේ කාව්‍යමය ආරාධනාව පසුගිය සතියේ ලැබුණේ ප්‍රවීණ කවියකු, ගීත රචක බණ්ඩාර ඇහැළියගාඩගෙන්. ඔහුගේ තෙවැනි කවි පොත එළි දැක්වීමේ මංගල්‍යයට සපැමිණෙන ලෙස කළ මේ ඇරියුම ද සතර පද කවියෙන්ම නිර්මාණය වූවක් වුණා. ‘දළ පූට්ටුවාගේ ආත්ම කථනය’ නම් වූ ඔහුගේ පද්‍ය සංග්‍රහයට ඇතුළත් වෙන්නේ කොළඹ යුගයට අදාළ හතර පද කවිම පමණයි. එළඹෙන 16 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේදී පස්වරු 3.30 ට පැවැත්වෙන කවි සන්ධ්‍යාවේදී එළි දැකීම වෙනුවෙන් පවත්වන උත්සවයේ මුලසුන හොබවනුයේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්ය. ප්‍රවීණ කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ මහාචාර්ය කෝලිත භානු දිසානායක එදින විශේෂ දෙසුම්වලට එක් වෙනවා. කොළඹ යුගයේ ප්‍රකට කවි කිවිඳියන් වන රත්න මුත්තෙට්ටුපොළ සහ පරකඩුවේ ශිරාණි ලේකම්ගේ ඉදිරිපත් කරන කවි සංවාදවලින් ද මෙම උත්සවය රස ගැන්වෙනවා.

සෙසු පද්‍ය ගායනා සඳහා එක් වෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ලෙනින් සමඟ නිලක්ෂි හැලපිටියයි. සන්ථව ප්‍රකාශනයක් ලෙසින් දොරට වඩින මෙම උලෙළ සංවිධානය කරනුයේ පහන් වැට නිර්මාණ කේන්ද්‍රයයි.

කවියට, ගීතයට බැඳි ප්‍රේමයෙන්ම පුරා දශක ගණනාවක් ලාංකේය කලා මාධ්‍යය තුළ බණ්ඩාර ඇහැළියගොඩගේ ගී, කවි මිහිර විඳි අපි යහපත් නිර්මාණකරණයන් උදෙසා පූර්වාදර්ශ සපයා ගත්තා. ගැමි දිවියක අසිරිය මැද වැඩුණු ඔහුගේ දිවිය තුළ කවියට බොහෝ ඉඩක් තිබුණා කියලයි ඔහු කිව්වේ.

‘කවිය මගේ ජීවිතයට හුඟාක් සමීපයි. මම ගමේ ජීවත්වන කාලේ අපේ ගම් පළාත්වලදී හරියට කවි ඇසුර ලැබුවා. කවි මඩු, සල්පිල්, තොරන් මෙකී නොකී බොහෝ තැන්වලදී අපි ඕනෑ තරම් කවි ඇහුවා. ඒ හින්දා පුංචි කාලෙ ඉඳලම මගේ ‘සිතේ’ කවියට ලොකු කැමැත්තක් ආසාවක් තියෙනවා. ඒ වගේම ඒ කාලේ ඉඳලම මට කවි ලිවීමේ හැකියාවකුත් තිබෙනවා. මීට කලින් මම කවි පොත් දෙකක් කළා. හැබැයි ඒ පොත්වල නිසඳැස් ආරේ කවිත් තිබුණා. නමුත් මේ පොතේ අඩංගු වෙන්නේ හතරපද කවි විතරයි. සම්පූර්ණයෙන්ම සඳැස් කවි, හෙළ කවියට මුල් තැන දීලා කටයුතු කළා. පොතේ පෙරවදන පසුවදන මෙන්ම උත්සවයට ආරාධනා කරන ඇරියුම් පත පවා කවියෙන්ම කළා. මේ පොතේ පසුවදන ලිව්වේ පී. එම්. අජිත්. ඒ කවිය ලියලා දවස් දෙක තුනකට පස්සේ ඔහු අප අතරින් සදහටම සමු ගත්තා. මේ පොතේ පසුවදනට ලියල ඇත්තේ සමහර විට ඔහු ලිව්ව අන්තිම කවිය වෙන්න ඇති. ඔහුගේ වියෝව මේ වෙලාවේ මගේ හිතට හරියට දැනෙන දෙයක්.’

කවි හිතකට ඒ වියෝව තවත් හද රිදුම් දෙන කවියක්. වියෝවීම තේමා කොටගෙන බණ්ඩාර ඇහැලියගොඩ විසින් ලියන ලද තවත් හද රිදවන ගීතයක් පසුගිය දිනක අහන්නට ලැබුණා. අමරසිරි පීරිස් සමඟ උමාරියා සිංහවංශ ගයන මේ ගීතය පසුපස තියෙන්නේ සැබෑ ආදර කතාවක්.

අ - මේ කිරුළ බර වැඩියි දේවී

ගිනි ගැනී ළය රිදුම් දේවී

ඔබම පැළඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුළ

තවම මා හිස රඳයි දේවී

එයම මට බර වැඩියි දේවී

 

උ - සඳ කිඳුරු බවේ සිට ආමී

දුක සතුට සමව ඉවසීමි

එදා සිට සපථ කළ - ප්‍රේමයෙන් ආතුරව

පැමිණි මඟ මෙයින් නිම වේවි

සමුගන්න අවසරයි ස්වාමී . . .

 

උ - මිතුරියක සොයුරියක සෙනෙහසම පිදූ මවක

මඟ නොමඟ කියා දුන් - ඇදුරුතුමියව වරෙක

 

අ - සංසාර සාගරෙන් පාවී - මවෙත ආ සඳ කිඳුරු දේවි

උ - ආ ගමන නිමා කර පේවී - නික්ම යයි සඳ කිඳුුරු දේවි

 

අ - රැයම නොනිදා රැඳී - මගේ නෙතු මට ඉඳී

මතක ගිලිහෙනු නොදී - ඔබ මසිත පිරිමදී

 

උ - දෙසිත් යා කර බැඳී - ප්‍රේමයට ඉඩ නොදී

යන මොහොත ඇත යෙදී - මේ භවය මට මදී

 

අ - සසර මඟ අත නොහැර පේවී - යළි එකට මුණ ගැහෙමු දේවී

උ - පෙර පුරුදු ස්නේහයම පාමී - අපි යළිඳු මුණ ගැහෙමු ස්වාමී . . .

සැමියෙක් සහ බිරිඳක් අතර වන සෙනෙහසේ බැම්ම කොයිතරම් ද කියලා ගීතයෙන් අපූරුවට කියවෙනවා. දෙතැනක, දෙවිදියක ඉපදිලා එක වහලක් යට එකට ගමනක් යන්න අරඹන විවාහ බැම්ම ප්‍රේමය, ආදරය, සෙනෙහස, රැකවරණය මෙන්ම ලේ බැඳීම් ද සමඟ ගොඩ නැඟෙන්නනක්. දෙසිත් යා වුණු එවන් බැඳීමකින් එකෙකු නික්ම ගිය විට දැනෙන වචනයෙන් විස්තර කළ නොහැකි සංවේදනාව මේ ගීතයෙන් මනාව ප්‍රකට වෙනවා. බණ්ඩාර ඇහැළියගොඩයන්ගේ පද රචනාව සේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ අති සංවේදී ස්වර රචනාවත්, විශාරද අමරසිරි පීරිස්ගේ හා උමාරියා සිංහවංශගේ හඬත් පති භක්තියේත් ස්වාමි භක්තියේත් ගෞරවය රැගෙන එනවා.

“මේ ගීතය ලියන්න මට එක්තරා සිද්ධියක් පසුබිම් වෙනවා. අප හිතවත් ජයන්ත ධර්මදාස මැතිතුමාගේ බිරිඳ “ශ්‍රීනි” මිය ගිහින් දැන් අවුරුදු හතර හමාරක් වෙනවා. දවසක් අපි කතා කර කර ඉන්නකොට ඔහු කිව්වා “ශ්‍රීනි” සමුගෙන ගියාට පස්සේ ඔහුට විශාල පාලුවක්, තනිකමක්, කාංසියක් දැනෙනවා කියලා. දෙනෝ දාහක් මැද්දේ ජීවත් වුණත් ඒ පාලුව, තනිකම ඔහුට දැනෙනවා කියලා ඔහු කිව්වා ඒ ගැන සිංදුවක් ලියන්න කියලා. මම මේ සින්දුව ලියලා ඔහුට යැව්වා. ඔහු ගීතය බලලා කිව්වා මේක ඉක්මනට රෙකෝඩ් කරමු කියලා. රෝහණ වීරසිංහයන් මියුසික් කරල විශාරද අමරසිරි පීරිස්ට ගායනා කරන්න කිව්වා. ඔහුත් ඒකට ඉතාම කැමැති වුණා. අපි සින්දුව රෙකෝඩ් කළා. ජයන්ත ධර්මදාස මහත්මයා නිතර නිතර සින්දුව අහන්න පටන් ගත්තා. ඔහොම ඉන්න අතරතුර භාතිය - සන්තුස්ලා මාව හම්බ වෙන්න ආව. ඔවුන් මේ ගීතය අහලා ඒක උමාරියාටත් අහන්න දීලා තිබුණා. උමාරියාත් කියලා තිබුණා ඇයත් මේ වගේ ගීතයක් කියන්න ආසයි කියලා. ජයන්ත ධර්මදාස මහත්තයා කියලා තිබුණා ඇයටත් මේ ගීතය කියන්න කියලා. නමුත් මම කිව්වා එයාට කියන්න මම අනිත් පාර්ශ්වයෙන් වෙනම ගීතයක් ලියන්නම් කියලා. ඒ ගීතයත් උමාරියා වොයිස් කළා. එකම මියුසික්වලට පාර්ශ්ව දෙකෙන් ගීත දෙකක් විදියට. මට හිතුණා මේ දෙකම එකතු කරලා යුග ගීතයක් විදියට එකක් හදන්න. ඒ ගීතය තමයි ඔය. තාම එළියට දාන්න බැරි වුණා මේ දිනවල උමාරියා ලංකාවේ නැති නිසා.

තව නොබෝ දිනකින්ම ඒ ගී මිහිරි අපට විඳින්නට හැකි වේවි. එතෙක් ඔබට අමරසිරි පීරිස් ගයන මේ ගීතයේ මුල් ගීතය ඇසිය හැකිය.