“කේමදාස ගැන නොලියා ලෞජි සොයන මහා සංගීත පින්කම”

සැප්තැම්බර් 17, 2020

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ගාන්ධර්ව අපදාන” ග්‍රන්ථ මාලාව ඔහු විසින් හඳුන්වනු ලබන්නේ මහා සංගීත පින්කමක් ලෙසටය. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ග්‍රන්ථ 11 ක් මේ වන විට සිරිසුමන ගොඩගේ මහතාගේ දායකත්වයෙන් එළි දැක තිබේ. මෙරට සංගීතයට විශිෂ්ට දායකත්වයක් සැලසූ සංගීතඥයින් රාශියක් පිළිබඳ තතු මෙම ග්‍රන්ථ පෙළෙහි වේ. “ගාන්ධර්ව අපදාන” ග්‍රන්ථ පෙළ මඟින් මෙරට සංගීත විෂයෙහි එහි යටගියාවෙහි මෙන්ම එහි ශාස්ත්‍රීය දැනුමාවලෝකනයෙහි ද මෙතෙක් නොවිසඳුණු ගැටලු රැසකට පිළිතුරු ලැබෙයි. මෙකී පොත් පෙළ යනු අර්ථවත් පර්යේෂණමය මූලාරම්භයක් ලෙස හැඟෙයි. මෙතැනින් ඔබ්බට කෙබඳුද. පළමුවැන්න නම් මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, මුත්තුසාමි, රොක්සාමි, එඩ්වින් සමරදිවාකර, ආර්. ඒ. චන්ද්‍රසේන වැනි ගාන්ධර්වයින් ගැන අප අසා ඇතුවා පමණි. ඔවුන් කවුදැයි දැන හැඳින ගැනීමට ප්‍රමාණවත් තොරතුරු මෙලෙස සම්පාදන කිරීම බරපතළ විසඳුමකි. මෙම ගාන්ධර්වයින් අතරට එකතු වන සෝමදාස ඇල්විටිගල, පී. ඩන්ස්ටන් ද සිල්වා, පී. ඇල්. ඒ. සෝමපාල, මොහොමඩ් සාලි, වැන්නවුන්ගෙන් පෝෂණය වූ මෙරට සංගීතය කෙතරම් සශ්‍රීක ද යන ගැටලුව නිරාකරණය කර ගන්නට තරම් සාක්ෂි මින් මතුවීම වැදගත්ය. සංගීත නිර්මාණයක සර්වකාලීනව අගය යනු කුමක්ද? එය සාක්ෂාත් වන කාරණා මොනවාද: යන විමසුමට සාදිරිස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, ඇම්. ජී. පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්ලිව්. බී මකුලොලුව, සී. ද ඇස්. කුලතිලක වැනි ගාන්ධර්වයින් විසින් එකතු කරනු ලැබූ අගයන් මෙම ග්‍රන්ථ රාශියෙහි සම්මිශ්‍රව ඇත. ගීත නිර්මාණයක විශ්වීය බව යුග සංගීතයේ නාද මාධුර්ය අගය අපගේ මෙබිමෙහි සමාරම්භ කළ විශ්වනාත් ලෞජි යනු සැබැවින්ම කවුරුන්දැයි මෙම පුණ්‍ය පුස්තක ඇසුරු කරන්නෝ දැන් දනිති.

සිංහල සංගීතයට භාරතයේ සිට මෙහි පැමිණ දායක වූ ඉන්දීය ගාන්ධර්වයන්ගේ නිර්මාණ ඇසුරට මෙම ග්‍රන්ථ සපයන පහසුව ඉමහත්ය. භාරතීය ගාන්ධර්වයන් සිංහල කතා කරන සහ සිංහලෙන් හිතන පතන අපේ රසවින්දනය ගැන කෙසේ දැන සිටියේද? පිළිතුර විස්මිත බව ‘විශ්වනාත් ලෞජි සහ සිංහල සංගීතයට දායක වූ භාරතීය ගාන්ධර්වයෝ’ නමැති ග්‍රන්ථය හෙළි කරන පෞරාණික සාක්ෂි කියාපායි. සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම සහ ඔස්ටින් මුණසිංහ වැනි ගාන්ධර්වයින් ද මෙම සංගීත විශාරද සම්මානිත මහාචාර්යතුමාගේ අවධානයට ලක් වෙයි. තවමත් මෙම දැනුවත් සංගීත ගවේෂකයාගේ අවධානයට ලක්ව නැති දැවැන්ත ප්‍රතිරූපයෝ ද වෙත්. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි යනු උස්තාද් පදවිය ලද එකම සිංහලයාය. ශාන්ති නිකේතනයේදී සංගීතය, හැදෑරූ එතුමා ඔස්ට්‍රේලියාවෙන් ලද ආචාර්ය උපාධිය පවා පසෙකලූ නිහඬ දැවැන්තයෙකු බව අප අසා ඇතුවා පමණි. ලයනල් රන්වල, පී. වී. නන්දසිරි, බී. වික්ටර් පෙරේරා, ජයන්ත අරවින්ද, දේවාර් සූරියසේන, නිමල් මෙන්ඩිස්, සරත් බාලසූරිය, ඩී. ආර්. පීරිස් වැන්නෝ ද විවිධ තරමින් හෙළ සංගීතයට දායක වූහ. තවත් වෙති.

අඩුම තරමින් ‘ඒ-ෆෝ’ කාලක් තරම්වත් පමණින් ලියැවී නැති ‘ලංකාවේ භාත්ඛණ්ඩ පඬිතුමා’ ලෙස සුනිල් ශාන්තයන් පවා හඳුන්වන ඇම්. ජී. පෙරේරා පිළිබඳව පළමු වරට මෙබඳු පොතක් ලියන්නේ මහාචාර්ය ආරියරත්නයි. ඡායාරූපයක්වත් සොයා ගත නොහැකි සිංහල සංගීත ඉතිහාසයේ ආදිතමයකු ලෙස ගැනෙන විශ්වනාත් ලෞජි ගැන මෙබඳු තොරතුරු ඒකරාශියක් ග්‍රන්ථාරූඪ වන්නේ ද පළමු වතාවටය. ලංකාවේ අපට අමතක නොවන ගී පෙළක් දායාද කළ ඉන්දියාවේ සිට පැමිණි ගාන්ධර්වයන් කිහිප දෙනෙකු ගැනම මෙම විද්වතා පර්යේෂණය කරයි. ඊට කෘතවේදී වෙමින් අප අවධාරණය කරන්නේ ප්‍රමාණික අවධානයකට පාත්‍ර නුවූ ඉහත කී සංගීතඥයින් ගැන ද මෙබඳු අධ්‍යයන කළ යුතු බවයි. ජීව දත්ත හෝ ඡායාරූපයක්වත් නැති ලෞජිව සොයා 1900 ගණන් මුලට යා හැකි මෙම පර්යේෂකයාට මෑත ඉතිහාසයේ ඉහත කී සංගීතඥයින් කිහිප දෙනා මඟහැරී යා නොහැකිය.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ගාන්ධර්ව අපදාන’ ලැයිස්තුවේ කේමදාසයන් නැත්තේ මන්දැයි ප්‍රශ්න කරන ජැක්සන් ඇන්තනි මෙම සංගීතඥයා ගැන මෙම විද්වතාගේ දැනුම බොහෝ අඩු යැයි පවසයි. අන් සංගීතඥයන් සමඟ එක්ව වැඩ කර ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න කේමදාස සමඟ එකට වැඩ කර නැතැයි ජැක්සන් පවසයි. හේතුව එයමද? කේමදාස ගැන තවමත් නොලියූ මහාචාර්ය ආරියරත්න ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක, ලයනල් අල්ගම, ඔස්ටින් මුණසිංහ ගැන පොත් ලියයි. මහාචාර්ය සුනිල් ආරියරත්න කේමදාසයන් ගැන දන්නේ බොහෝ අඩුවෙන් බව ජැක්සන් ඇන්තනීගේ ප්‍රසිද්ධ ප්‍රකාශය සාහසික වන්නේ මෙම ග්‍රන්ථකරණ පින්කම තවමත් අවසන් නැති නිසාය. තවද මෙම පර්යේෂකයා ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්ත ගැන වෙනම ගැඹුරු අධ්‍යයන කොට පොත් පළ කර ඇත. එම ග්‍රන්ථ මෙම ගාන්ධර්ව අපදාන ග්‍රන්ථ මාලාවට ඇතුළත් නොවේ. සුනිල් ශාන්ත පවා ‘භාත්ඛණ්ඩයේ ලාංකික පඬිතුමා ‘ ලෙස සැලකූ ඇම්. ජී. පෙරේරා කෙතරම් වීදැයි විමසුමට ලක් කිරීම සංසන්දනාත්මක අවලෝකනයකට මඟ පාදයි. ගීත නිර්මාණයට පමණක් නොව සංගීත අධ්‍යාපනයට හා සංගීත පර්යේෂණ යොමුවට කැප වූ ගාන්ධර්වයන් ගැන ද මෙම පොත් පෙළෙහි ලියැ වී ඇත. සංගීතය නිර්මාණය නොකළ නිර්මාණශීලී සංගීඥයකු නොවන ලයනල් එදිරිසිංහ සුවිශේෂ වන්නේ කවර විෂයකටදැයි මෙම විමර්ශිකයා කරුණු ගෙනෙයි. සිංහල සංගීත සංකල්පය මේ රටේ ස්ථාපිත කළ සංගීතඥයා ලෙස මහාචාර්ය සුනිලුන් හඳුන් වන්නේ මකුලොලුවයි. අනෙක් අතින් මේ රටේ සංගීත පර්යේෂකයකු ලෙස මොහු ඉහළින්ම තබන්නේ සී. ද. එස්. කුලතිලකයි. මෙම ග්‍රන්ථ ආශ්‍රයේදී අප හඳුනා ගන්නේ මෙතෙක් අප දැක අසා නැති තොරතුරු ගෙනහැර පෑම අතින් මෙම ගවේෂකයා නොමඳ මෙහෙවරක් කර ඇති බවයි. සංගීතය පිළිබඳ පර්යේෂකයින්ට දැන් පැවරෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ඒකරාශි කොට ඇති මෙම තොරතුරු ආශ්‍රයෙන් විවරණාත්මක පර්යේෂණ හා ශාස්ත්‍රීය ගවේෂණ කිරීමේ ඊළඟ පියවරයි.

විශ්වනාත් ලෞජි සහ ජෝන් ද සිල්වාගේ සම්බන්ධයෙන් ඉන් මෙරට සංගීතය හා නාට්‍යයට මුසු වූ රග තාල නිමැවුම් පිළිබඳව මහාචාර්ය ආරියරත්න තොරතුරු ඒකරාශි කරයි. ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ, රාමායනය, ශාකුන්තලා, උත්තර රාම චරිතය, ශ්‍රී වික්‍රම, රත්නාවලී යන නාට්‍යවලට ලෞජි රාග තාල සාදයි. ජෝන් ද සිල්වාගේ නාට්‍යවලට විශ්වනාත් ලෞජි විසින් සම්පාදනය කෙරුණු ගීත 280 කි. ජෝන් ද සිල්වා සංගීතය හැදෑරුවකු නොවන අතර ලෞජි දුන් තනුවලට ගීත රචනා කළ සංගීතලීලියෙකි. එනම් ලෞජිගේ රාග තාල විලාස තවදුරටත් විමර්ශනයට ලක් කළ යුතු ඉඟි මෙම ග්‍රන්ථයෙන් සැපයෙන බවකි. ලෞජිගේ එම තනු සියල්ල ඔහුගේම ස්වතන්ත්‍ර තනුද? ඒවා එකල ඉන්දියාවේ ප්‍රචලිතව පැවති තනු ද? මෙම විමසුමට පාදක කර ගත හැකි ලෞජි හා ජෝන් ද සිල්වා සුසංයෝගයේ අග්‍ර ඵලයක් වනුයේ ‘දන්නෝ බුදුන්ගේ’ නමැති ගීතයයි. මෙම ගීතය රැගත් ‘සිරිසඟබෝ’ නාට්‍යය රඟ දැක් වෙන්නේ 1903 දීය. වසර 117 ක් ඉපැරැණි එම ගීතය පිළිබඳ යටගියාව හා ස්වීය බව පිළිබඳ බොහෝ කරුණු මෙම ග්‍රන්ථයට ඇතුළත්ය. ලෞජිගේ ගීත අමරදේව හා නන්දා මාලනීගේ සිට භාතිය සන්තුෂ්ලා ද ගයන බැවින් මෙරට සංගීත ඉතිහාසය තුළ ඔහු බොහෝ සුවිශේෂ භූමිකාවකි.

ලෞජිගෙන් පසුව මෙරටට ආ භාරතීය සංගීතඥයෝ සිංහල නාට්‍ය සංගීතය පෝෂණය කළ අතර 1947 සිට ඉන්දියාවට ගොස් එරට සංගීතඥයින් 13 දෙනෙකු පමණ සිංහල චිත්‍රපට සංගීතයට දායක කර ගන්නට මෙරට සිනමාකරුවෝ යොමු වූහ. 1. ආර්. නාරායන් අයියර් (කඩවුණු පොරොන්දුව, බණ්ඩා නගරයට පැමිණීම) 2. සී. එන්. පාණ්ඩු රංගන් (කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, අම්මා, සිහිනය, දේව සුන්දරී 3. ඇස්. ඇස්. වේදා (උමතු විශ්වාසය, කැලෑහඳ, අයිරාංගනී, ඩිංගිරි මැණිකා, ජීවිත සටන), 4. ඇස්. දක්ෂිණ මූර්ති (සුජාතා, වරද කාගෙද, රදළ පිළිරුව, සැඩ සුළං, දුප්පතාගේ දුක, සූරයා, සරදම, වනමෝහිණී) 5. එච්. ආර්. පද්මනාභ ශාස්ත්‍රී (දිව්‍යමය ප්‍රේමය) 6. ආර් සුදර්ශනම් (දොස්තර) 7. එස්. එම්. සුබ්බයියා පිල්ලේ නායිදු (සූරසේන) 8. පී. ඇස්. දිවාකර් (සුකුමලී, සල්ලි මල්ලි, සල්ලි) 9. වී. ක්‍රිෂ්ණමූර්ති (සේපාලි, සිරිමලී) 10. රාජන් හා නාගේන්ද්‍ර සොයුරන් (වීර විජය) 11. ටී. ආර්. පාපා )සුරඟනී, සුරතලී, සුනීතා, සුබදා, සුන්දර බිරිඳ, සුජාගේ රහස) යනු එම භාරතීය සංගීතඥයෝය.

‘සුජාතාගේ රහස’ ගීත පටිගත කිරීම සඳහා ටී. ආර්. පාපා ලංකාවට පැමිණියේය. ‘සිරියාමෙ සාරා’ ගීතයෙන් (සුරතලී) එච්. ආර්. ජෝතිපාලව සිනමාවට හඳුන්වා දෙන්නේ ද පාපාය. සිංහල සිනමාවට දායක වූ විශිෂ්ටතම භාරතීය සංගීතඥයා සජාද් හුසේන්ය. ‘දෛවයෝගය’ චිත්‍රපටයට ඔහු තැනූ ස්වතන්ත්‍ර තනු මෙරට චිත්‍රපට සංගීත පුරාණයෙහි සුවිශේෂ අවස්ථාවකි.

නාට්‍යශාලා සිනමාශාලා බවට පත් වූ 1922 වකවානුවේ ප්‍රකට සංගීතඥයකුව සිටි සාද්‍රිස් සිල්වා හෙවත් සාදිරිස් මාස්ටර් නිහඬ චිත්‍රපටවලට සජීවී සංගීතය සැපයූ වාදක මණ්ඩවලද සිටි අයෙකි. අනතුරුව ඔහු ග්‍රැමෆෝන් තැටිවලට ගී ගැයීය. ඔහු නළුවකු ද විය. ගමන් බිමන් යෑම සඳහා ඔහු මිලදී ගත් රික්ෂෝව ඇදගෙන ගියේ ඉන්දියානු ජාතිකයෙකි. සම්භාව්‍ය සංගීතය වෙනුවෙන් එකල පිහිටුවා ගැනුණු ලංකා ගාන්ධර්ව සභාවේ ද සාමාජිකයකු වූ ඔහු ජාතික සංගීතය වෙනුවෙන් කැප වූවෙකි. භාරතීය සංගීතඥයින්ට ප්‍රමුඛස්ථානය ලැබුණු එකල දේශිය සංගීතඥයකු මාස්ටර් යනුවෙන් ගෞරවය ලැබීම විශේෂත්වයකි. මෙම ගාන්ධර්ව අපදාන ග්‍රන්ථවාදියෙහි විමසා බැලෙන අනෙක් මාස්ටර් වන්නේ එච්. ඩබ්ලිව්. රූපසිංහය. රුක්මණී දේවී නමැති ගායිකාව සපුරාම රූපසිංහ මාස්ටර්ගේ නිර්මාණයක් බව මහාචාර්ය සුනිල් මේ ග්‍රන්ථ පෙළෙහි තැනක සඳහන් කරයි. ඇය ප්‍රචලිත වූ සිය දෛවයේ ගීතය වූ ‘සිරි බුද්ධගයා විහාරේ’ නම් ගීය ගයන්නට මුලින් තෝරා ගෙන සිටියේ කෝකිල දේවිය වුවත් ඇයට වඩා හොඳින් රුක්මණී දේවිය එය ගයන බව රූපසිංහ මාස්ටර්ට හැඟී ගියේය.

ඇම්. ජී. පෙරේරා, ලයනල් එදිරිසිංහ, ඩබ්ලිව්. බී. මකුලොලුව, සී. ද ඇස් කුලතිලක, ලයනල් අල්ගම, ඔස්්ටින් මුණසිංහ, සරත් දසනායක හා ස්ටැන්ලි පීරිස් යන සංගීතඥයෝ ද මෙම ගාන්ධර්ව ග්‍රන්ථ මාලාව තුළ සුදීප්ත වෙති. ඔවුන් සහ සිය සංගීත මෙහෙවර පිළිබඳ අපූර්ව තතු රැසක් මෙහි පිටු අතර ගොනු වී තිබේ. පින් රැස් කරන කොට මෙම ග්‍රන්ථ රැස එකතු කළ හැක. ඒ පින් අනුමෝදන් කරවමින් මෙම ගාන්ධර්වයන්ව කියැවිය යුතුය.

 

නිශ්ශංක විජේරත්න