සුදු ජාතික රෝස් සහ කළු ජාතික ක්විනි

ජනවාරි 28, 2021

ආචාර්ය ජයලත් මනෝරත්නයන් හැරැණුකොට මෑත කාලයේ ස්වතන්ත්‍ර නාට්‍ය බහුලව නිර්මාණය කළ නාට්‍යවේදියකු ලෙස කේ.බී.හේරත් වෙසෙසින් කැපී පෙනේ. 2008 වසරේ ඔහු නිර්මාණය කළ “ජගන් මා” මිනිසා බිලිගනිමින් තිබෙන නොමිනිස්, අධම, පාරිභෝගිකවාදී, දෘෂ්ටිවාදී සමාජ සන්දර්භයක සංකීර්ණ මානුෂික සබඳතා අරභයා සංකථනය කෙරෙන නාට්‍යයකි. තම නිර්මාණය අරභයා කේ.බී.වරක් මෙසේ විවරණය කළේය. 

"ජගන්මා යන්න විශ්ව මෑණි, මහා විශ්වය, විශ්වය නමැති මා, වැනි අරුත් දෙයි. මිනිසා විශ්වයේ නියතියකි. එහෙත් ඔහුගේ අනිසි මැදිහත්වීමෙන් ලෝකාස්ථිතිය විනාශවෙමින් නොතිබේද? ප්‍රකෘතිය නැසීමෙන් මිනිසා තම අවසානය කරා ළඟා වෙමින් නොසිටීද? අනෙක් අතින් ප්‍රකෘතියේ අපූර්ව නිර්මාණයක් වන ස්ත්‍රියගේ ස්වයං පැවැත්ම කොල්ලකනු ලැබ නොතිබේද? ස්ත්‍රියගේ විශ්මය ජනක ස්වයං ප්‍රභූත්වය කවදානම් ඇයට හිමිවනු ඇත්ද ? "

"ජගන් මා"නාට්‍යයට පසුබිම් වනුයේ ඉංග්‍රීසි පාලන සමයයි. එක්නැලිගොඩ දිසාවේ (සම්පත් තෙන්නකෝන් ) ඉංග්‍රීසි පාලනය යටතේ සිටින ප්‍රභූවරයෙකි. ස්වකීය පරපුර ඉදිරියට ගෙන යෑමට තම කුලුඳුල් දරුවා පුතකු විය යුතු බව ඔහු තරයේ විශ්වාස කරයි. එහෙත් ඔහුට දාව බිරිඳ සුභද්‍රාට (රත්නා ලාලනී ) ලැබෙනුයේ දියණියකි. මින් අපේක්ෂා භංගත්වයට පත්වන එක්නැලිගොඩ දිසාවේ වියරු වැටී, තම භාර්යාව නිවසෙන් පලවා හරියි. ඉක්බිති තම දියණිය (මාදනී මල්වත්තගේ භද්‍ර සහ භද්‍රා ලෙස) පුතකු ලෙසින් වෙස්ගන්වා හදා වඩා ගැනීමට තීරණය කරයි. වැඩිවියට පත් මේ පුතා (දියණිය) එක් පිරිමි ඇසුරකින් තමා විකෘතියක් බව අවබෝධ කොට ගනී. තම අස්වාභාවිකත්වය පිළිබඳ ඇය පියා සමඟ සිදුකරන අරගලයේදී එක්නැලිගොඩගේ දාරක ප්‍රේමයේ සංවේදීතාව ඉස්මතු වී විකෘතියට පත් කරන ලද තම පුතා යළිත් ස්ත්‍රියක් බවට පත්කරයි. එහෙත් සැබෑ ස්ත්‍රීත්වය සමාජයෙන් නොලබන ඇය අවසන පරිපීඩක වේදනාවෙන් දිවිනසා ගනී. මේ නාට්‍යයේ එක්නැලිගොඩ 19 වැනි සියවසේ භූමිකාවක් වූවත් ඔහු ඓතිහාසික චරිතයක් නොවේ.එක්නැලිගොඩ වූ කලී අධිරාජ්‍යවාදයේ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩවසම් මතිමතාන්තරවලට ගොදුරකි. සම්පත් තෙන්නකෝන් (එක්නැලිගොඩ), රත්නා ලාලනී (සුභද්‍රා), මාදිනි මල්වත්තගේ (භද්‍ර/ භද්‍රා), ඉන්දික ෆර්ඩිනැන්ඩු (උඩුරාවන/අයිරාවන), ලංකා බණ්ඩාරනායක(කොරනේලියා)යනාදීහු මෙයට රංගනයෙන් දායක වූහ. 

කේ.බී.හේරත්ගේ "වාසුදේව නොහොත් මරණාදේශය"(1999) නාට්‍යයේ ජයලත් මනෝරත්න වාසුදේව ලෙසත් රත්නා ලාලනී උත්තරා ලෙසත් ප්‍රධාන චරිත රඟපෑහ. මෙහි උත්තරා වූ කලී යුද්ධයට ගිය තම සැමියා වාසුදේවත්, ඔවුන්ගේ පුත්‍රයාත් (ඉන්දික ෆර්ඩිනැන්ඩු) අහිමි වූ කාන්තාවකි. මේ නාට්‍යයේ තේමාව ලෙස කේ.බී.හේරත් හැඳීන්වූයේ "සොබාදහමේ අපරිමිත පාරිශුද්ධත්වයකින් බිහිකළ මනුෂ්‍යයාගෙන් ඝෝර මෘගයකු නිර්මාණය කළ මිනිසුන්ගේ කතාව" යනුවෙනි.

රත්නා ලාලනී මෙතෙක් නිරූපිත භූමිකා අතර තවත් සුවිශේෂ නාට්‍ය ද්වයක් පිළිබඳ සඳහන් කළ යුතුමය. එනම් ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ "සුදු සහ කළු හෙවත් වර්ණ" සහ අනුර ඒකනායකගේ "ක්විනි"ය. ප්‍රවීණ රූපණවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් නිර්මාණය කළ "සුදු සහ කළු හෙවත් වර්ණ" (1990) සයිමන් නවගත්තේගමයන්ගේ පිටපතක් ඇසුරෙන් බිහි වූ නාට්‍යයකි. සයිමන් නවගත්තේගම විසින් "සුදු සහ කළු" නමින් 1980 දී නිර්මාණය කරන ලදුව කලක් මේ නට්‍යය වේදිකාගත නොවී පැවතිණ. මෙහි කාලීන අගය වටහා ගත් ශ්‍රියන්ත මෙන්ඩිස් රූපණවේදියාණන් යළිත් එය "සුදු සහ කළු හෙවත් වර්ණ" මැයෙන් නිර්මාණය කළේය. මෙහි රත්නා රඟපෑවේ රෝස් වෝස්ටර් නමැති සුදු ජාතික විශ්වවිද්‍යාල සිසුවියගේ භූමිකාවය. පවතින පාලන තන්ත්‍රයට හා සමාජ විරෝධතාවන්ට එරෙහිව නැඟී සිටින විප්ලවීය කණ්ඩායමක ක්‍රියාකාරී සාමාජිකයකු වන ලෝරන්ස් නමැති (සම්පත් තෙන්නකෝන්) තම පෙම්වතාගේ ආදරයත් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉතා රළු පිළිවෙතක් අනුගමනය කරන වෝස්ටර් නමැති (එච්.ඒ.පෙරේරා) සිය පියාගේ සෙනෙහසක් අතර ඇය අතරමං වේ. ඇගේ පියාගේ මරණයට හේතු වන්නේ ද තම පෙම්වතාය. මෙහි රත්නා රඟපෑ රෝස් යනු අභ්‍යන්තරික මනෝභාවයන් සේම සිරුරේ අංග, ප්‍රත්‍යංග, උපාංගද වාචික අභිනය සමඟ මැනවින් හැසිරවිය යුතු සංකීර්ණ ගැඹුරු චරිතයකි. එච්. ඒ. පෙරේරා (වෝස්ටර්), ශ්‍රියන්ත මෙන්ඩිස්(සිවම්බා), ලලිත් රාජපක්ෂ (සාජන්ට් කයිරේරා), රත්නා ලාලනී (රෝස් වෝස්ටර්), සම්පත් තෙන්නකෝන් (ලෝරන්ස්), නෙළුම් පෙරේරා (වෝස්ටර් මහත්මිය), රෙජිනෝල්ඩ් ජයමාන්න, උදිත ගුණරත්න, ජයලාල් රෝහණ, රත්න ඩී. නම්බුගේ, සේනක පෙරේරා, උපුල් සම්පත්, කුමාර් ලියනගේ ආදීහු මෙහි රඟපෑහ. 1991 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය (ශ්‍රියන්ත මෙන්ඩිස්), හොඳම සහය නළුවා

(ලලිත් රාජපක්ෂ 'සාජන්ට් කයිරේරා' ලෙස කළ රංගනය වෙනුවෙන්) ඇතුළු සම්මාන කිහිපයක් මේ නාට්‍යයට හිමි විය. 

අනුර ඒකනායකගේ "ක්විනි"(Qභඥඥද) (2002) නාට්‍යය උදෙසා සමාජ විරෝධී ඛේදාන්තයක ගැහැනියකගේ කතාවක් වස්තු විෂය විය. සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී, අනුර ඒකනායක, සුනිල් පතිරණ ආදීහු මෙහි රංගනයෙන් දායක වූහ. මේ වූ කලී සුප්‍රකට දකුණු අප්‍රිකානු නාට්‍යවේදී අතොල් ෆුගාඩ්ගේ "ව්ධදඨධඨධ"(1959) නමැති නාට්‍යයෙහි පරිවර්තනයකි. සංගීත අධ්‍යක්ෂණය තරුපති මුණසිංහගෙනි.රන් ආකාරවල දිවි ගෙවන කළු ජාතික ක්විනි නම් වූ අබිසරුලිය (රත්නා ලාලනී) මෙහි කේන්ද්‍රීය භූමිකාව වේ. තැබෑරුමක් පවත්වා ගෙන යන කාල් (සම්පත් තෙන්නකෝන්) තම අනුග්‍රාහකයන්ට ඇය අලෙවි කිරීමට ප්‍රයත්න දරයි. මේ අතර පීටර් (අනුර ඒකනායක) නම් වූ රෙදි වෙළෙන්දා ඇයට ව්චිත්‍ර ලෝකයක් මවා පායි. ප්‍රේමය, හුදෙකලාව,ආතතිය අතර දෝලනය වූ ක්විනි, රත්නා ලාලනීගේ රංගන ජීවිතයේ වඩාත් අභියෝගාත්මක චරිතය වු බැව් පෙනේ. ඊට හේතු ද්වයකි. එකක් නම් ක්විනි නම් අබිසරුලිය මානසික ආතතියක් දැනුණු කල්හී දුම්පානය කරන්නීය. එහෙයින් මේ චරිතය රූපණයේදී රත්නාට වේදිකාවේ දුම්පානය (සිගරට් 5 ක්) කිරීමට සිදු විය. එතෙක් වේදිකාවේ රත්නා නොසැරසුණු සංකර ඇඳුම්වලින් මෙහිදී සැරසීමට සිදුවීම අනෙක වේ. එදා රුක්මණී දේවි "නළඟන"(1960) චිත්‍රපටයේ මුල්වරට "ජීන්ස්" එකකින් සැරසුණු විට පරමාදර්ශී කාන්තාවක ලෙස ඇයට සැලකූ බෝහෝ ප්‍රේක්ෂකයෝ චරිතය ගැන නොසිතා දොස් නැඟූහ. එබඳුම ප්‍රතිචාරයක් "ක්විනි" රඟපෑම නිසා රත්නාට ලැබිණි. බොහෝ ප්‍රේක්ෂකයන්, සමහර විචාරකයන් මතු නොව ඇතැම් නාට්‍ය උත්සව විනිසුරුවන්ද මේ චරිතය රත්නා රඟනොපෑවා නම් හොඳය යන මතය දැරූ බැව් පෙනිණ. අනෙක් අතට රත්නා වෘත්තියෙන් ගුරුවරියක වූ හෙයින් මේ චරිතය මතභේදවලට තුඩු දුන් බව ඇය මා සමඟ පැවසුවාය. එවක සම්පත්, රත්නා යුවළගේ පුත් මංජිත 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය. ඔහුගේ ගුරුවරිය මේ නාට්‍යය නරඹා තිබුණි.ඇගේ ප්‍රතිචාරය මෙබඳු විය.

"නාට්‍යය හොඳයි, ඒත් පව් නේද මංජිත? ගුරුවරියක් නිසා ඒ චරිතය නොකර ඉන්න තිබුණා. සිගරට් බොන එක හොඳ නැහැනේ".

මේ සිදුවීම ම විසින් මෙහි දක්වන ලද්දේ

නිළියකට තම වෘත්තීය ජීවිතයෙහිත් සැබෑ ජීවිතයෙහිත් පවතින අභියෝග පිළිබඳ පෙන්වා දෙන සනිදර්ශනයක් ලෙසිනි.

"සුදු සහ කළු හෙවත් වර්ණ"නාට්‍යයේ සුදු ජාතික රෝස් සහ "ක්විනි" නාට්‍යයේ කළු ජාතික ක්විනි යන භූමිකා යුගල නිළියකට ස්වකීය රංගන ප්‍රතිභාව විදහා පෑමට ලැබන වෙසෙස් අවස්ථා ද්වයකි. අනෙක් අතට එකිනෙකට වෙනස් මේ චරිත ද්වයට රත්නා සාධරණය ඉටු කළ ආකාරය තුලනය කිරීම නාට්‍ය කලාව හදාරන ව්ද්‍යාර්ථීන්ට වැදගත් වේ.

සම්පත් - රත්නා නාට්‍ය යුගයක් බිහි වූ බව මින් ඉහත මම සඳහන් කළෙමි.2013 දී ඔවුන් එක්ව පැවැත්වූ "අභිනයන: සම්පත් - රත්නා රංග භූමිකා" නාට්‍ය උලෙළ මීට නිදර්ශන වේ."දශක තුනක්, නාට්‍ය 50 ක්, මතකයේ රැඳෙන භූමිකා 7 ක්" ලෙස එදා මේ නාට්‍ය උලෙළ හැඳීන්වූ බැව් මට මතකය.