හෙලුව ගැන නොව ඔළුව ගැන හිතූ චරණ

චරණ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න
මාර්තු 4, 2021

- අපි ඇත්තටම රැඩිකල් වෙනසක් කළා.
- දේශීය සහ විදේශීය නාළිකා සම්බන්ධව හොඳ අධ්‍යයනයක් අපි පසුගිය කාලය පුරා කළා.
- අපට ඕනෙ වුණා තරුණ පරපුරට මේ අදහස් කිඳා බස්වන්න
- ඉංග්‍රීසි භාවිත කරන ළමයි ඉංග්‍රීසියෙනුත් සිංහල භාවිත කරන අය සිංහලෙනුත් නිදහසේ කතා කරනවා.
- වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රේක්ෂක සමූහයක් අපට ඉන්නවා.
- අපි දන්නවා හැම තිස්සෙම ටෙලිවිෂන් නාළිකාවක ප්‍රඥාව පමණක් දියුණු කරන්න බැහැ ආනන්දයත් ඕනෙ කියලා.

"අරුණි මම බැලුවා නියම මලයාලම් චිත්‍රපටයක් ටීවී එකේ..." 
අරුණ අය්යා (සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මහතා) එසේ කියන බොහෝ අවස්ථාවල අප කර්තෘ මණ්ඩලයේ බහුතරයක් දෙනා කරන්නේ ඒ කතා සාරාංශය අසනු රිසියෙන් මුව අයා සිටීමය. ඒ බයිස්කෝප් කාවෙකු වූ අරුණ අය්යා තරම් දිවි හිමියෙන් චිත්‍රපට නරඹන්නකු අප අතර නොවන බැවින් ඒ චිත්‍රපට බහුතරයක් අපට මඟහැරුණු ඒවා වීම නිසාය. එහෙත් මෙවර ඔහු එසේ කියද්දීම මගේ මුවින් පිට වූයේ "මායානාඩි ද? නේනු ලෝකල්ද? රංගන්තාලම් ද? සුනියුම් සුජාතයුම් ද? ලව් ඇක්ෂන් ඩ්‍රාමාද? චරන ටීවී එකේද?" කියාය. ඒ සමඟම විස්මය පිරි සතුටකින් ඔහු බලා සිටියේ තම පික්චර් පිස්සන්ගේ පිළට තවත් සාමාජිකාවක් එකතු වූවා වැනි හැඟීමකිනැයි මට සිතිනි. 

"චරණ එකේ වෙනස්ම වැඩසටහන් ටිකක් යනවා නේද?" ඔහුගේ පිළිතුර විය.

සරසවියේ මේ ඉඩ චරණ රූපවාහිනී නාළිකාව වෙනුවෙන් වෙන් වූයේ ඒ කතාබහේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව චරණ නාළිකාවේ නිරන්තර වැඩසටහන් මෙහෙයවමින් ඔබේ ආලින්දය ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන කුසලතා පූර්ණ සම්ප්‍රවේශකයකු මෙන්ම දිගු කලක් තිස්සේ මා දන්නා හඳුනන වජිර ජයවර්ධන අමතා ඔවුන්ගේ නාළිකාව පිළිබඳ තතු විමසන්නට අපි එහි ගියෙමු. ඔහුගේ පළමුවැනි වදන් පෙළ වූයේ 'මේ තමයි අපේ නාළිකාව ගැන පුවත්පතක පළවන පළමුවැනි ලිපිය. අපිත් හිටියේ කාටද අපේ නාළිකාවේ වෙනස මුලින්ම දැනෙන්නේ කියලා බලන්නයි. සරසවියටම මුලින්ම ඒ වෙනස දැනුණු එකට සතුටුයි' යන්නය.

විසිත්ත කාමරයට ගොඩ වූ අපට දැකගත හැකි වූයේ එහි තේමා පාඨය රැගත් නාම පුවරුවයි. 'නුවණැසින් සැරිසරන්න.' ඔවුන්ගේ දැක්ම කෙටියෙන් එහි සඳහන් බැව් නොකිවමනාය. අප සතු පොහොසත් එමෙන්ම බහුවිධ සංස්කෘතියේ අග්මුල් සොයා යන මෙහෙයුමක නිරත වෙමින් අපේ ජාතික විවිධත්වයට ගරුකරමින් පොදු ජනතාවගේ සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුවාලන්නට මහපොළොව, නිල් ගුවන, දියගැඹර සිසාරා කලාත්මක භාවිතයේ නිම්වළලු පුළුල් කරන්නට ඔවුන් වීරිය දරන බව එහි වැඩිදුරටත් කියැවෙයි.

ඒ පිළිබඳ තවත් දෑ පවසන්නට ඉතා සුහදව අප පිළිගත්තේ චරන නාළිකාව අයත් එස්එල්ටී විෂන් කොම් පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතාය. ඔහුගේ නම අපට වඩාත් හුරු වන්නේ 'දැක නුදුටු පෙර නිමිති', 'අකාල ප්‍රේම', 'රාහුලයෙක් උපන්නා', සිත මනස සහ නොමියෙන මම' වැනි බෞද්ධ දර්ශනය පදනම් කරගත් කෘති මෙන්ම, 'නොමියෙන සෙනෙහස', 'ඩිජිටල් පෙම්වතිය', 'පුත් පෙමෙන්', 'අපි අපිම', 'මම අවංකයි', 'දිවිමග දිනන මග' ආදි වශයෙන් විවිධ විෂයයන් ඇසුරින් කළ ගද්‍ය හා පද්‍ය කෘති රැසක කතුවරයා ලෙසය. පන්හිඳෙන් එසේ දස්කම් පෑවද ඔහු වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවරයෙකි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවයට බැඳී ඇත්තේ 1993 වසරේ සිටය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු උපාධිය මෙන්ම කර්මාන්ත ඉංජිනේරු පශ්චාත් උපාධි ඩිප්ලෝමාව විවෘත විශ්වවිද්‍යාලයෙන් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධියද ලැබූ සෙනෙවිරත්න මහතා දශක එකහමාරක් වැනි දිගු කාලයක් පුරා අලෙවිකරණය පිළිබඳවද මනා පළපුරුද්දක් ඇත්තෙකි.

චරණ වැනි නාළිකාවක් ආරම්භ කිරීමට හේතුව අපි ඔහුගෙන් පළමුව විමසීමු.

"පියෝ ටීවී කියන්නේ නාළිකා 145ක් පමණ තිබෙන වේදිකාවක්. ඒ අතර සිංහල නාළිකා 20ක් පමණ තිබෙනවා. ලාංකික නාළිකා සියල්ලම සැලකුවොත් තිහක් පමණ තිබෙනවා. මේ දේශීය සහ විදේශීය නාළිකා සම්බන්ධව හොඳ අධ්‍යයනයක් අපි පසුගිය කාලය පුරා කළා. කොපමණ විදේශ නාළිකා තිබුණත් තවමත් දේශීය නාළිකාවලට ප්‍රධාන ස්ථානයක් ලැබෙනවා. වැඩිපුර නරඹන්නේ ඒවා. හැබැයි ඒවා කොපමණ නැරඹුවත් ප්‍රේක්ෂකයන් හිත සතුටින් නෙවෙයි ඉන්නේ. මොකද බොහොමයක් වැඩසටහන්වලින් ඒ මොහොතට යම් ආස්වාදයක් ලැබුණත් පසුව ඇති වන්නේ එය නැරඹීම පිළිබඳ කලකිරීමක්. මෙවැනි පසුබිමක් යටතේ අපි කණ්ඩායමක් ලෙස කතා වුණා අපට කළ හැක්කේ කෙබඳු වෙනසක්ද කියලා. එහිදී අපි තීරණය කළා අනෙක් සියලුම නාළිකා ඉන්න තැනින් වෙනස්ම පිහිටුමක අපේ නාළිකාව ගොඩනඟන්න ඕනේ කියලා. ඒ සඳහා කළ යුතු වැඩසටහන් ආදිය ගැන සාකච්ඡා කරද්දි සම්ප්‍රදායික නාළිකාවල කොපමණ කතා කළත් ඒවායේ ප්‍රමුඛව ඉඩක් නොලැබෙන, කෙටියෙන් කතා කරන මාතෘකා බවට පත්ව ඇති සංස්කෘතිය සහ සාහිත්‍යය වැනි ක්ෂේත්‍ර අපට දක්නට ලැබුණා. ඒ නිසා ඒවාට පුළුල් ඉඩකඩක් ලබා දෙන අරමුණින් අපි වැඩසටහන් පෙළ ගැසුවා. ඒත් අපි දන්නවා හැම තිස්සෙම ටෙලිවිෂන් නාළිකාවක ප්‍රඥාව පමණක් දියුණු කරන්න බැහැ ආනන්දයත් ඕනෙ කියලා. ඒ නිසා අපි ඒ අංශද්වයම හොඳීන් මුහු වන අයුරින් වැඩසටහන් පෙළ ගස්වන්න කටයුතු කළා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රේක්ෂක සමූහයක් අපට ඉන්නවා. ඒ නිසා අපේ පර්යේෂණය සාර්ථකයි කියා වැටහෙනවා. ඒ නිසා අපේ මූලික පරමාර්ථයෙන් පිට පනින්නේ නැතිව පුළුල් දැක්මකින් වෙනත් නැඹුරුතාවන්ට යොමුවන්නත් කටයුතු කරගෙන යනවා." සෙනෙවිරත්න මහතා සතුටු සිනාවක් සමඟ පැහැදිලි කළේය. 

එහෙත් මට ඇත්තේ පැනයකි. එනම් අනෙක් සියලුම නාළිකා පාහේ වෙළෙඳ දැන්වීම්, රේටිංස් පිළිබඳ තරගයක පැටලී සිටියදී චරන පමණක් එයින් මිදෙන්නේ කෙසේද යන්නයි.

"අපි දැනට රේටිං තරගයට දැන්ම වැටෙන්නේ නැහැ. මොකද අපි පියෝ ටීවී වේදිකාවේ ඉන්නේ, නිදහස් නාළිකා ගණයට නෙවෙයි අයත් වන්නේ. හැබැයි මුලින් කීවා වගේම අපේ පරමාර්ථය වුණේම අනෙක් අයගේ මාර්ගයෙන් පිට ගමන් කරන්නනේ... බොහෝ දෙනා හිතුවේ පොදු මාවතේ ගියොත් තමයි රේටිංස් වුණත් ලැබෙන්නේ කියලා. ඒත් අපට මේ වසර දෙක තුළ දැනුණු දේ තමයි එහෙම දෙයක් නැතිබව සහ මේ වැනි දේ වැලඳගන්න වෙනමම පිරිසක් සිටිනා බව. අපේ තක්සේරුව අනුව නිදහස් නාළිකාවක් ලෙස යන්න වුණා නම් ඒත් අපට තරගවදින්න හැකියාවකුත් තිබෙනවා. ඒ විශ්වාසය අපට එන්නේ අපි හැමදාම තහවුරු කරන 'ප්‍රේක්ෂකයා බුද්ධිමත්ය' කියන ස්ථාවරය නිසා."

බුද්ධිමත් ග්‍රාහක පිරිසකට වැඩසටහන් ඉදිරිපත් කිරීම පහසු නොවේ. ඒ සඳහා මිනුම්දඬු පැහැදිලිව තෝරා ගත යුතුය. ඔවුන් ඒවා තෝරාගත්තේ කෙසේද? යන්නට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

"මුලින් අත ගහනකොට අපට ඕනෙ වුණාට සම්ප්‍රදායික ක්‍රමයෙන් මිදෙන්න, අපටත් හරියට මිනුම් දණ්ඩක් තිබුණේ නැහැ කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව. හැබැයි අපේ කතිකාව තුළ අපි දැනගෙන සිටියා එහෙම වෙනසක් ඇති විය යුතු තැන් මොනවාද කියලා. ඇත්තෙන්ම අවසාන වශයෙන් නාළිකාවක මිනුම් දණ්ඩ වන්නේ ප්‍රේක්ෂකයා කොහොමද නාළිකාව වැලඳගන්නේ කියන දෙයනේ. අන්තිමට අපි බලද්දි අපිත් එක්ක බැඳෙන්නේ විකල්ප කියන දේ අතහැරි පිරිසනේ. ඒ පිරිසම බැඳීලා ඒ අය විසින්ම නිර්මානයන්ට දායක වී ඉදිරිපත් කළ දේ තමයි ප්‍රේක්ෂකයා අතරට ගියේ. එවිට ප්‍රේක්ෂකයා කොහොමත් පියෝ ටීවී එක වැලඳ ගන්නවා. සමහර අපේ අනෙක් නාළිකාවල ප්‍රධානීන් පවා කතාබහ කරන වැඩසටහන් ඇතුළත් තරගයට බොහොම කෙටි කලක් තුළ එන්න පුළුවන් වුණා."

එවන් ගමනක් එන්නට ඔහු ගත් අවදානම පිළිබඳවද සිහිපත් කළේ මෙසේය.

"සමහරු හිතනවා යම් කටයුත්තක් සඳහා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟම වැඩ කළ යුතුයි කියලා. ඒත් අපි ඇත්තටම රැඩිකල් වෙනසක් කළා. අපේ නිෂ්පාදකවරුන් දෙදෙනාම රූපවාහිනී නාළිකාවල වැඩ කළ අය නෙවෙයි. ඒත් අපිට දැඩි විශ්වාසයක් තිබුණා. අපට වැරදිලා වැටෙන්න තැනක් නැහැ. අපි බින්දුවෙන් පටන්ගත්තේ. ඒ නිසා අත්හදා බැලීම් කරන්න අපට පහසුයි. බියක් නැහැ. හැබැයි දැන් අපට වැටෙන්න බැහැ. ප්‍රේක්ෂකයන්ට අපි බලාපොරොත්තුවක් දීලා තිබෙනවා. සමහර නාළිකා පුදුම වෙනවා අපේ කුඩා කණ්ඩායමෙන් කොහොමද මෙවැනි නාළිකාවක් පවත්වාගෙන යන්නේ කියලා."

ඉතින් කොහොමද එහෙම පවත්වාගෙන යන්නේ සැබෑවටම?

"මම හිතන්නේ හැම කෙනාම සිතේ සතුටින් වැඩ කරන්නේ. ඒ වගේම මේ හැමෝම හිතන්නේ මෙය තම තමන්ගේ නාළිකාව කියා මිස අරයාගෙ වැඩක් මෙයාගෙ වැඩක් කියා නෙවෙයි. සාමූහිකත්වය තමයි එහි රහස"

චරණ ටීවී ආරම්භයට මුල පිරූ අජන්ත සෙනෙවිරත්න මහතාගේ ඒ ප්‍රකාශය තහවුරු වන්නේ විටින් විට කඩිසර ගමනින් කොරිඩෝවේ එහෙට මෙහෙට යනු පෙනෙන නිෂ්පාදකවරුන්, නිවේදකය නිවේදිකාවන් ආදීන්ගේ සිනාමුසු මුහුණු දකින විටය. ඔහු සමඟ නාළිකාව ආරම්භයට මුල් වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත බණ්ඩාර බොහෝ නිශ්ශබ්ද වුවත් ඉතා පරීක්ෂාකාරී අයුරින් අපේ කතාබහේ ඌන පූරණය සඳහා කරුණු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. එහි තුන්වැනි සාමාජිකයා වන වැඩසටහන් හා නිර්මාණ කළමනාකරු වජිර ජයවර්ධනගේ අදහස් ද වරින්වර ඔහු එකතු කළේය.

2021 ආරම්භයත් සමඟම අපි වෙනස්කම් රැසකට ගියා. අපට ඕනෙ වුණා තරුණ පරපුරට මේ අදහස් කිඳා බස්වන්න. අනෙක අපට පෙනී ගියා තරුණ පරම්පරාවේ අදහස් හරි වෙනස් බව. ඒ අය නාළිකාවක ගෙනැවිත් නැටුමක් කළාට, ගීයක් ගැයුවාට ඉන් අදහස් වන්නේ නැහැ ඒ දරුවන්ගේ නියම ස්වභාවය එළියට ගන්න පුළුවන් වන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන් ප්‍රධාන වැඩසටහන් කීපයක් කරගෙන යනවා. ඒ වගේම අපි වාර්තා වැඩසටහන් වෙනස් ආරෙකින් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපේ විෂයය ක්ෂේත්‍රයන් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශීයත්වය කියන කාරණයේදී අපට බොහෝ දේ පිළිබඳ කතා කරන්න පුළුවන්. ඒත් දේශීයත්වය අපි හරියට කතා කරනවාද කියන ප්‍රශ්නය තිබෙනවානේ... ඒ නිසා යම් යම් අය දුටු දේවල් වුණත් වෙනත් මානයකින් අපට ඉදිරිපත් කරන්න පුළුවන් ද කියලා බලනවා. උදාහරණයක් ලෙස අප කරන බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැඩසටහනෙන් ඒ තැන්වල සැබෑ තතු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම අපේ තවත් පරමාර්ථයක් තමයි අපි කතා කරන ලාංකිකත්වය, සාහිත්‍යය, සංස්කෘතිය වගේ කරුණු රට තුළ සිටින අයට වඩා විදේශගතව සිටින ලාංකිකයන් අගය කරන නිසා ඔවුන් වෙත යොමු කිරීම සඳහා මුල් තැන දීම සඳහාත් කටයුතු කරනවා."

ඒ සඳහා ඔවුන් නව තාක්ෂණය භාවිත කරන ආකාරයද අජන්ත මහතා මෙසේ පැහැදිලි කළේය.

"දැනටමත් පියෝ ටීවී කෝ කියන ඇප් එක ලංකාව තුළ ක්‍රියාත්මකයි. එය මැයි මාසය පමණ වනවිට ලොව පුරා අපේ ප්‍රේක්ෂකයන් වෙත චරණ නාළිකාව ගෙන යෑම සඳහා අප ප්‍රයෝජනයට ගන්නවා. අපට ලොකු වික්‍රම කරන්න පුළුවන් වන්නේ මාධ්‍යය සහ තාක්ෂණය මුසු කරන නිසා. කොවිඩ්වල නරකම කාලේ ඉද්දි අපි තාක්ෂණය භාවිත කරමින් ලංකාවේ පළමුවරට අතථ්‍ය (ඍඪපබභචත) සාකච්ඡා පවත්වන්න පුළුවන් වුණා. එය ඉදිරිපත් කළේ වජිර. තැන් දෙකතුනක ඉන්න පිරිස ඇත්තටම අපේ මැදිරිය තුළ ඉඳගෙන ඉන්නවා වගේ පෙනෙමින් කතාබහ පැවැත්වෙනවා. එය සූම් ක්‍රමයට වඩා වෙනස්."

වජිර එය වැඩිදුර විස්තර කරයි.

"විදුලි සන්දේශ නියාමන කොමිසමේ සභාපතිතුමා හිටියේ ඒ කාර්යාලයේ, බන්දු වික්‍රම මහත්මයා හිටියේ හම්බන්තොට, මම හිටියේ මෙහෙ මැදිරියේ. හැබැයි ප්‍රේක්ෂකයාට කොයි වෙලාවකවත් අපි තුන්දෙනා ඉන්නේ තැන් තුනක කියලා හිතෙන්නේ නෑ. ඒ පසුතල සියල්ල වර්චුවල්. ලංකාවේ පළමුවැනි වතාවට තමයි මේ වර්චුවල් එම් ආර් කියන තාක්ෂණය භාවිත කළේ."

එහි අග්‍රඵලයක් වූ සංගීත සන්දර්ශනයක් කළ අපූරුවද අජන්ත මහතා සිහිපත් කළේය.

"පසුගිය සති අන්තයක ලෝකේ කණ්ඩායම්වලට අවශ්‍ය වුණා ලංකාවේ සංගීත සන්දර්ශනයක් කරන්න. අපට එහි යන්න බැරි නිසා එය ක්ලවුඩ් තාක්ෂණයෙන් පැවැත්වූයේ. යුරෝපියයන් එය නැරඹුවේ ටිකට්පත් මිල දී ගෙන. කලාකරුවන් ඔවුන්ගේ අංග ඉදිරිපත් කළේ අපේ කුඩා මැදිරියේ වුණත් එහි පසුතලය සම්පූර්ණ සංගීත සන්දර්ශනයක ස්වරූපය ගත්තා. සුනිල් පෙරේරා, උමාරා, පියල් පෙරේරා සහ ආත්මා ලියනගේ ගීත ගායනා කළා. මෙරට වේලාවෙන් රෑ 12.30ට පැවැත් වූ ප්‍රසංගය ඒ ඒ රටවල වේලාව අනුව රාත්‍රී 7, 8.30 වගේ වුණා. ඉතා හොඳ ප්‍රතිචාර එයට ලැබුණා. අලුත් අවුරුදු සමයේත් අපි මේ වගේ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා." 

එවැනි ප්‍රසංග කලාකරුවන් මේ කොවිඩ් ව්‍යසනය සමඟ පත්ව සිටින ආර්ථික අපහසුතාවට ද විශාල සහනයක් බව පැහැදිලිය. එසේම එය අනාගත ගමනක සුබ නිමිත්තකි.

"අපි මේ ඔස්සේ අනාගත ප්‍රේක්ෂකයා හඳුනා ගන්නවා. අපි මේ වෙලාවේ බලෙන් මෙන් මේ දේවල් කළත් තව අවුරුදු කීපයක් යද්දි මේ තාක්ෂණය සාමාන්‍යකරණය වෙයි." අජන්ත මහතාගේ දැක්ම එයයි.

වජිර එහි තවත් පියවරක් සිහිපත් කළේය.

"අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේත් ළමයින් පෙළපොතෙන් මුදවා ප්‍රායෝගික අධ්‍යාපනය සඳහා යොමු කරන්න දැන් කතා බහ වෙනවා. විශේෂයෙන් වෘත්තීය දක්ෂතා ඉහළ නංවන අදහසින්. අපේ නාළිකාව ආරම්භ කළ අවස්ථාවෙමත් එය කළා. විශේෂයෙන් යූත් ආර්ට් බීට් වගේ වැඩසටහන් ඔස්සේ සෞන්දර්ය විශ්වවිද්‍යාල ඒ හැකියවක් ඇති අය ගෙන්වා ඔවුන් ලොවට හඳුන්වා දුන්නා. උදාහරණයක් ලෙස පංචිකාවත්තේ යකඩ අශ්වයා තැනූ කෙනා කවුද කියා කවුරුත් දැන සිටියේ නෑනේ. ඒ වගේම චිත්‍ර ශිල්පීන් ගෙන්වා සාකච්ඡා මණ්ඩපයක් කළා. අනෙක දඩබ්බරයි හපන්නු කියන වෙනම ආකෘතියක අධ්‍යාපන වැඩසටහනක් කරනවා."

"කොහොමත් 2021 වෙනස්ම තැනකට දේවල් ගෙනයන වසරක් වෙයි. සීතල ඊතල වැඩසටහන අප කරන්නේ තරුණ පිරිස වෙනුවෙන්. අපි ප්‍රාඥයන් කියයි කියලා හිතන දේවල් මේ දරුවන් කියනවා. හැබැයි ඔවුන්ගේ බස හැසිරෙන්නේ අපි කතා කරනවාට වඩා වෙනස් ආකාරයකට. භාෂා විශාරදයන්ගේ මතය අනුවත් භාෂාව එකතැන පවතින දෙයක් නෙවෙයි. එය වෙනස් වනවා. ඒ සියල්ල සලකා අපි භාෂාව පෝෂණය කිරීම සඳහා සියයට අනූවක් වැඩසටහන් කරන අතර මේ දරුවන්ගේ ස්වාභාවික කතා ශෛලියට ඉඩ දෙමින් ඔවුන්ගේ නාළිකාවක් බවට මෙය පත් කර තිබෙනවා." අජන්තා මහතා හිරිමල් තාරුණ්‍යය චරණ වෙත ආකර්ෂණය කරගන්නා උපක්‍රමය හෙළි කළේ එලෙසිනි. එය වඩාත් විස්තර කළේ වජිර ජයවර්ධනයි.

"මෙය ළමයින්ගේ ප්‍රකාශනයට ඉඩ දීලා ඒ සමඟ අනෙකුත් වැඩසටහන් සඳහා ඔවුන් හුරු කරන ක්‍රමයක්. මෙය අච්චාරු භාෂාවක් නෙවෙයි. ඉංග්‍රීසි භාවිත කරන ළමයි ඉංග්‍රීසියෙනුත් සිංහල භාවිත කරන අය සිංහලෙනුත් නිදහසේ කතා කරනවා. තවත් දෙයක් අපි කාටූන් වැඩසටහන් පෙන්වන්නේ නෑ. රාජ්‍ය නාට්‍ය උලෙළේ ළමා නාට්‍ය පෙන්වනවා. හේතුව කාටූන්වල තිබෙන භාෂාව වගේම හඬකැවීම් කියන දේ අපි යොදා නොගන්න තීරණයක ඉන්නවා. මොකද දැන් තිබෙන්නේ වැඩිහිටියන් වැඩිහිටියන් වෙනුවෙන් කරන දේශපාලනය ආදිය මුසු වූ කාටූන් මිස දරුවන් වෙනුවෙන් ළමා මනසට ගැළපෙන අයුරින් කළ කාටූන් නෙවෙයි. අපි පර්යේෂණ කරමින් සිටිනවා ළමයින්ට ගැළපෙන කාටූන් වැඩසටහන් සම්පාදනය සඳහා" එසේ කියමින් ඔහු ඉදිරියේදී විකාශය වීමට නියමිත මෙරට නිර්මාණකරුවන් විසින් කරන ලද ළමා ගීත කාටූනයක දර්ශන කීපයක් අපට පෙන්වීය.

ගීතාලංකාරය, පොතයි හිතයි, කවිදහයට ගී දහයක්, කාලාත්‍රයේ කතාබහ, ලිවිසැරි ප්‍රේමය වැනි තවත් වැඩසටහන් රැසක් පිළිබඳ විස්තර ඔවුහු පැවසූහ. ඒ අතරින් පොතයි හිතයි විශේෂයෙන් සඳහන් කළේ තම කුලුඳුල් ග්‍රන්ථය පිළිබඳ කිසි දිනෙක කැමරාවක් ඉදිරියේ කතා බහ නොකළ නිර්මාණකරුවන්ට ඉඩක් ලබා දීමේ අරමුණින් කළ වැඩසටහනක් බැවිනි. මේ කතාවට මුල් වූ මලයාලම් චිත්‍රපට පෙළ තෝරද්දී ඒ සඳහා චරණ කණ්ඩායම චිත්‍රපට දෙසියයක් පමණ නරඹා වඩාත් සුදුසු චිත්‍රපට තෝරා ගැනීමට කටයුතු කළේ ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම නිසාය.

ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතාගේ කතාවේ එක් කරුණක් සමඟ රූපවාහිනී ක්ෂේත්‍රයේ අනාගත ගමන් මඟ පිළිබඳ දැල්වුණු සිහින් බලාපොරොත්තුවක් සිතැ'තිව අපි සමුගත්තෙමු.

"සමහර නිර්මාණ අපි කරද්දි සියලුම අංශවල අයගේ අදහස් සලකා බලනවා. ඇතැම් වැඩසටහන් පටන් ගත්තේ ඒ වගේ යෝජනා නිසා. එය අපේ සාර්ථකත්වයට බලපෑවා. කලාවෙන් සාහිත්‍යයෙන් ටෙලිවිෂනය ඈත්වෙද්දි අපි එයට අත ගැසුවා. අපේ වැඩසටහන්වලට නම් යෙදීමේදීත් අපි සෑහෙන හිතනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඔස්සේ රූපවාහිනී කලාවේ වෙනස් හැඩයක් නිර්මාණය වෙයි කියලා. මාධ්‍යයකට අතගහනවා නම් එහි ස්වායත්ත බව විනිවිද පෙනෙන්නට ඕනෙ. අපි මේ වෙද්දි එය තහවුරු කරලා තිබෙනවා. ඇත්තෙන්ම චරණ කියන්නෙ රූපවාහිනී නාළිකාවක් නෙවෙයි පර්යේෂණාගාරයක්."

තිලක් පෙරේරා