Feedback

Week of සැප්තැම්බර් 24, 2020

දිග්ගස්සන වැඩසටහන් එපා
සැප්තැම්බර් 24, 2020 ~ ක්‍රිෂා ~ දළුවකොටුව

දෙරණ නාළිකාවේ විකාශය වන සියලු කතා ඉවර නොවී දිග් ගැස්සෙන බවක් පෙනෙන්නට ඇත. මේ තුළින් සිදු වනුයේ ප්‍රේක්ෂක ආකර්ෂණය ගිලිහී යාමකි. තිරයේ දිග හැරෙන කතා තවදුරටත් දිග් නොකර අලුත් තේමාවක කතා පෙන්වන්න පටන් ගන්නවා නම් තවත් හොඳ බවයි මගේ අදහස. තවද දෙරණ වැඩසටහන් මෙහෙය වන විශ්ව ලංකාගේ ඉදිරිපත් කිරීම ආදර්ශමත්ය. ඔහුට මගේ සුබාශිංසන. 

 

උදයගේ ඉදිරි ගමනට

මැද මාවතේ සිනමාකරුවෙකු වූ උදයකාන්ත වර්ණසූරිය නිපදවූ සෑම නිර්මාණයක්ම සාර්ථක වීම අපට රහසක් නොවේ. මහමෙර උසට චිත්‍රපටයෙන් ආරම්භ කළ සිනමා දිවිය තුළින් ආදර්ශමත් සිනමා නිර්මාණ ප්‍රේ්ක්ෂකයාට තිළිණ කළ උදයකාන්තගේ ඉදිරි ගමනට මාගේ උණුසුම් සුබපැතුම්. ඔහුගේ ප්‍රදර්ශනය වීමට නියමිත  නිර්මාණයන් වූ ගින්දරී - 3, ගිනි අවි සහ ගිනි කෙළි 2, සාජන් පුඤ්ඤසෝම චිත්‍රපට අතිසාර්ථක වේවා.

පාලක සමන් පෙරේරා

හැඳල 

ද නිවුස්පේපර් ප්‍රශංසනීයයි

බොහෝ ගැහැට විඳිමින්, දැඩි උත්සාහයෙන් යුතුව ද නිවුස් පේපර් චිත්‍රපටය අපට ලබා දුන් නවක අධ්‍යක්ෂ දෙපළට හිස නමා ආචාර කරමි. කුමාර, නෙතලි, සරත් රඟපෑම් අතිවිශිෂ්ටයි. සිංහල  සිනමාවේ දියුණුවට මෙවැනි චිත්‍රපට ඉවහල් වන බව කිව යුතුය.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

වගකිව යුතු ඇස් ඇරේවා  

වීදි  නාට්‍ය, වේදිකා  නාට්‍ය හා ටෙලි  නාට්‍ය යන ත්‍රිවිධ නාට්‍ය අංගයම අපට හුරු පුරුදු දෙයකි. එහෙත් ටෙලි නාට්‍ය, වීදි නාට්‍ය හා වේදිකා නාට්‍ය පසු කර ගෙන හැල්මේ දුවන බවක්  දැකිය හැකිය. ටෙලි නාට්‍ය ගැන නම් අපට සෑහීමට පත් විය නොහැකිය. හේතුව අප රටේ සිටින ප්‍රබුද්ධ ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අබිබවා පිටරටින් අඩු මුදලට තොග පිටින් ගෙනෙන ටෙලි නාට්‍ය සමඟ රූපවාහිනී නාළිකා අරක්ගෙන සිටින බැවිනි. වාණිජ පරමාර්ථ පෙරදැරි කරගෙන සිංහල දෙබස් කවා විකාශය කරන මෙම ටෙලි නාට්‍ය තුළින් අපගේ සංස්කෘතිය හා සදාචාරය බිංදුවට බැස ඇත. අපට අවශ්‍ය වන්නේ සදාචාරාත්මක අපගේම නිර්මාණවලින් ටෙලි නාට්‍ය කලාව ස්වයංපෝෂිත වීම දැකීමයි. මෙම අර්බුදයට මුහුණ පා සිටින අපව මෙම විනාශයෙන් බේරාදීමට වගකිය යුත්තන්ගේ  නෙත් යොමු වේවා. 

හේමාල් දේශප්‍රිය

බටුවිට 

සම්මානයෙන් පුද ලද නිශ්ශංක දිද්දෙණිය

ප්‍රතිභාපූර්ණ රංගනවේදියෙක් වන නිශ්ශංක දිද්දෙනිය විශේෂයෙන් දශක ගණනාවක් විවිධ දැවැන්ත චරිත හරහා වේදිකාවේ දක්වා ඇති ප්‍රාතිහාර්ය වෙනුවෙන් නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබීම ගැන සතුටු වන අතර ඔහුට මගෙත් ගෞරවය සමඟ සුභපැතුම් එක් කරමි. රංගනවේදියකු ලෙස මෙතුමාට ඇති හැකියාව මෙතැකැයි කීමට නොහැකිය. විවිධ ක්ෂේත්‍ර තුළිනුත් ප්‍රවීණ නිර්මාණකරුවන්ට මෙතුමාගේ දක්ෂතාවයන් තවදුරටත් ලබා ගන්නට හැකි වේවා.

නිමල් කුලසේකර

අඟුලාන 

කලාවට යමක් කරන්න හැකි වේවා

පියල් නිශාන්තයන්  සැබවින්ම කලාකරුවෙකි. දීර්ඝ කාලයක සිට කලාකරුවෙකු ලෙස ක්ෂේත්‍රයේ බොහෝ අංගයන් ඔහු තරණය කර තිබේ. 2020 මහ මැතිවරණයට තරඟ කළ කලාකරුවන් අතර  ඔහු ද සිටී. එම මැතිවරණයේ ඔබ ජයග්‍රහණය කළා පමණක් නොව රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද ලබා ගැනීමට සමත් විය. දේශපාලනයට එහා ගිය කලාකාමී රසවතෙකු ලෙස කලාවට රටට යමක් කිරීමට ඔබට හැකි වේවා.

ඩබ්ලිව්. කේ. මොහාන්

මහවැලි සී කලාපය

 

උචිත රංගනයක්

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පුළිගු ටෙලි නාට්‍යයෙහි වෙද මහතාගේ රංගනයේ යෙදෙන සරත් ඒකනායකගේ රඟපෑම ඉතා උසස් අන්දමෙන් තිබේ. ඔහුගේ ඉදිරි ගමනට අපගේ සුබපැතුම්.

සරත් රණසිංහ

මාළිද

සංගීතවේදී එම්.එම්.ඒ.හක්ට

ඔබගේ හරවත් ගී තනු නිර්මාණය වූ ‘ගීතා’ ‘සුජීවා’ ‘සුනේත්‍රා’ ‘සූකිරි කෙල්ල’ සහ ‘ඔබයි මමයි’ යන චිත්‍රපටවල ගීත හරිම රසවත්. ‘චන්දන ඇල්ලෙන්’, ‘දකින දසුනේ’, ‘පැන පැන එන සඳේ’, නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ’, ‘ආදරණීය බබෝ’, ‘හද සන්තානේ’, ‘මගේ හද  මෙන් පිරිමැදලා’, සුකිරි කෙල්ලේ’, ‘පායයි මේ රෑ සඳවතී’ සහ ‘අලුත් කලාවක්  සොයා’ ඉන් කීපයකි. ඔබගේ ගී තනුවලට  සංගීතවේදී ටී. එෆ්. ලතීෆ්ගෙන් ලැබුණු දායකත්වය ද මෙහිදී සඳහන් කළ යුතුය. හරවත් රසවත් මතකයේ රැඳුණු ගීත රැසක් අප මතකයේ නිදන් කළ ඔබ දෙපලට සුභාශිංසන පුද කරමු.

ජයන්ත අමරතුංග 

පොළොන්නරුව

 

ඩිනක්ෂි රංගනය හොඳයි

ඩිනක්ෂි ප්‍රියසාද් අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුතුමියගේ රංගනය හොඳින් කරනවා. ඔයාට මගෙන් සුබපැතුම්. 

බුවනෙකබාහු පරමානන්ද

කඩුගන්නාව

රයිනි චාරුකාට

ප්‍රසංග වේදිකාවේ ඉතාමත් සුමියුරු  හඬින් ගී ගයමින් රසික ප්‍රතිචාරය තමන් වෙත රඳවා ගැනීමේ ගායනා විලාසය නිසාම තව කාලයක්  මේ ක්ෂේත්‍රයේ රැඳී  සිටීමට  හැකි අතර ඔබගේ මේ සංගීත දිවියට ඔබේ ස්වාමියා වන අකිල ධර්මසේන කලා ශිල්පියාගෙන් ලැබෙන සහයෝගය ද අගේ කළ යුතුමයි. ඒ වගේම නවක ගේය පද රචකයන්ටත් නවතම ගී නිර්මාණය කරන ඒ ශිල්පි ශිල්පීන්ගේ නව පද රචනාවන්ට ද හැකි හැම විටම අවස්ථාව ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මිල්ටන් ප්‍රනාන්දු

මූදුකටුව

මහ විරු පණ්ඩු අලංකාරයි

හිරු ටෙලිවිෂන් නාළිකාවෙන් ලංකා ඉතිහාසයේ  සිදු වූ ඓතිහාසික සත්‍ය කතාව මහ විරු පණ්ඩු දැවැන්ත ටෙලි වෘත්තාන්තය ඉතාමත් අලංකාරව සැකසී ඇත. එහි හඳුන්වා දෙන දෙනෙත් ආකර්ෂ හා අකිල ධනුද්දර, පාලිත සිල්වා, නයනා කුමාරි, ක්ලීටස් මෙන්ඩිස්, කුමාරි මුණසිංහ, රොෂාන් පිලපිටිය ඇතුළු නළු නිළියන් රැසකගේ රඟපෑම විශිෂ්ටය. ගායනය උදෙසා දීපිකා ප්‍රියදර්ශනීගේ හඬ එයටම ගැළපෙනවා කිව යුතුයි. අධ්‍යක්ෂණය සනත් අබේසේකර විශිෂ්ට ලෙස කර ඇත.

සරත් සේනාධීර

ජාඇල

මෑත කාලයේ නොදුටු හෂිනි

ක්ෂේත්‍රයට නවක මුහුණු එක්වීම තුළ වෙනසක් දක්නට ලැබේ. කලා කෙතටද එය එසේමය. අලුත් මුහුණු දිනපතා අපට දැක ගත හැකිය.  හෂිනි ගෝනගල මෑත කාලයේ ක්ෂේත්‍රයට එක් වූ තාරකාවකි. ඩාන්සින් ස්ටාර්, උත්තරා ඇතුළු චිත්‍රපට කීපයකම ඇය ප්‍රධාන භූමිකාව නිරූපණය කළාය. එහෙත් මෑත කාලයේ සිනමාව තුළත් වෙනත් කලා ක්ෂේත්‍රය තුළත් ඇයගේ ප්‍රතිභාව අප දුටුවේ නැත. නිහඬ නොවී ඔබගේ දක්ෂතාවය තුළින් රටට යමක් දායාද කරන්න.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

Week of සැප්තැම්බර් 24, 2020