Feedback

Week of අගෝස්තු 8, 2019

සමදරාට ශෝකය
අගෝස්තු 8, 2019 ~ මැල්කම් පී. රොඩ්රිගෝ කඩවත ~

ප්‍රවීණ ගීත රචකයෙකු හා දක්ෂ නිවේදකයකු වූ කේ. ඩී. කේ. ධර්මවර්ධනගේ දයාබර බිරිය වූ සමදරා කෝට්ටගේ ද දක්ෂ නිවේදිකාවක් වශයෙන් ජාතික ගුවන් විදුලියේ සේවය කළ අතර ඇය එදා ‘අම්බිගා ගීතයෙන් ගීතය’ වැඩසටහනේ සහාය නිවේදිකාව වශයෙන් කටයුතු කළ අතර මැද පෙරදිග සේවයේ වැඩසටහන් ගෙන ආ දක්ෂ නිවේදිකාවකි. ඇගේ අභාවය පිළිබඳව අපගේ ශෝකය . ඇයට නිවන් සුව පතමු.

................................................................................................................................

 

සුභ ප්‍රාර්ථනා සංවේදී කතාවක්

 

මේ දිනවල සියත තුළ විකාශය වන ලස්සන සංවේදී වූ කතාවකි සුභ ප්‍රාර්ථනා. ගාමිණී හෙට්ටිආරච්චි, චතුරිකා, රොෂාන්, කාංචනගේ දක්ෂ රඟපෑමෙන් ඔපවත් වූ එහි තේමා ගීතය ගැන කතා කළ යුතුමයි. අමල් පෙරේරාත් උරේෂා රවිහාරිත් ගායනා කරන ප්‍රාර්ථනා ගීතය ඉතාමත් සුමිහිරිය. ලස්සන තනුවකින් ලස්සන පද මාලාවකින් යුත් එම ගීතය නාට්‍යයට අලුත් බවක් ගෙන එයි. නිෂ්පාදක ජයන්ත පීරීස්ටත්, අධ්‍යක්ෂක නිහාල්ටත් තුති පුදන අතර සියත නාළිකාවට ද සුබ ප්‍රාර්ථනා ගෙන එමි.

 

රංජනී අමරසිංහ

වල්පොල

 

 

 

වීරයා ගෙදර ඇවිත් අවසානය සාර්ථකයි
අගෝස්තු 8, 2019 ~ යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය ~

 ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ අවසන් කොටස සාර්ථකව නිමා වුණා. මෙහි රඟපෑ සියලුම නළු නිළියන්ට මම සුබ පතන අතර රොෂාන් රවීන්ද්‍ර සහ ජයනි සේනානායකගේ රංගනය විශිෂ්ටයි.

  

ලේබල්ගත රංගනයෙන් ඔබ්බට
අගෝස්තු 8, 2019 ~ කෙනත් පෙරේරා ජාඇල ~

රොෂාන් රණවන මෙතෙක් ලේබල් වූයේ සිහින කුමරා අංශයටය. ඒ ඔහු රඟපෑ ‘හිරිපොද වැස්ස’, ‘ආසයි මං පියාඹන්න’, ‘සුවඳ දැනුණා ජීවිතේ’ චිත්‍රපට නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ඔහු මෑතකදී රඟපෑ ‘උලත් එකයි පිලත් එකයි’, ‘ගෝරි’ යන චිත්‍රපට තුළින් තවත් වෙනස්ම ආකාරයේ චණ්ඩි චරිතයන් රඟපා තම වෘත්තීය රංග ජීවිතයේ තවත් ඉසව්වක් කරා යෑමට ඔහු ගත් උත්සාහය පැසසිය යුතුය.

තිසුරි යුවනිකාට
අගෝස්තු 8, 2019 ~ චන්දිම වන්නිආරච්චි දෙහිඅත්තකණ්ඩිය ~

 සුසන්තා චන්ද්‍රමාලි යනු අපේ කාලයේ ටෙලි නාට්‍ය කලාව එකලු කළ ජනප්‍රියතම රංගන ශිල්පිනියකි. පිය පුතු පදනම මෙන්ම මවක් සහ දුවෙක් අතර ද ගොඩ නැඟී ඇති සහ සම්බන්ධතාව මතු පරපුර වෙනුවෙන් දායාද කරමින් තිසුරි යුවනිකා ද තම මවගේ අඩි පාරේ යමින් කලාකෙත අස්වද්දමින් සිටී.

මුල් කාලයේ තිසුරි යුවනිකා නමැති රංගන ශිල්පිනියගෙන් අප දැක්කේ සරල බොළඳ පෙම්වතියකගේ චරිතවලට සීමා වන අවස්ථාවන් පමණි. එහෙත් මෑතක සිට ඇය උසස් ගුණාත්මක නිර්මාණ තුළින් තම ප්‍රතිභාව දක්වන බව දැනට විකාශය වන හුස්ම වැටෙන මල් ටෙලි නාට්‍ය හරහා ප්‍රකට කර තිබේ.

  

උපේක්ෂා ස්වර්ණමාලිට
අගෝස්තු 8, 2019 ~ ඩබ්. කේ. මොහාන් මහවැලි සී කලාපය ~

 පුංචි තිරයේ කඳුළු බිංදුව ලෙස අප හැඳින ගත්තේ උපේක්ෂා ස්වර්ණමාලිය. ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය වූ ‘පබා’ ටෙලි නාට්‍ය හරහා ඇයට අසීමිත ජනප්‍රියත්වයක් ලබා දුන්නේය.

විකාශය වූ ටෙලි නාට්‍ය රැසකටම දායකත්වය ලබා දුන් ඇයගේ සිනමා ආගමනය මන්දගාමී වූවාදැයි සැක සිතේ. කෙසේ වෙතත් ඉදිරියේදී තිරගත වන මානය චිත්‍රපටය හරහා ඇයගේ රඟපෑම් නැවතත් අපිට දැක ගත හැකි වනු ඇත. ඔබට ජය.

තිස්ස ඔබටයි මේ
අගෝස්තු 8, 2019 ~ පාලක සමන් පෙරේරා හැඳල ~

  

සිනමා ක්ෂේත්‍රයේ බිහි වූ ඉතාමත් පැරැණි චිත්‍රපට සංරක්ෂණය කර රැක ගැනීමට ගත් අමිල මෙහෙවර අප සැමගේ පැසසුමට ලක් වේ. අප මෙතෙක් නොදුටු චිත්‍රපට රාශියක් ඇති බැවින් කඩවුණු පෙරොන්දුව, සුජාතා, බිනරමලී, ඔන්න මාමේ කෙල්ල පැනපි, සංඛපාලි, අප්සරා, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හොඳයි නරකයි, ආත්ම පූජා, චිං චිං නෝනා, කොටි වලිගය, වරදට දඬුවම්, හොඳම වේලාව, ඔබ දුටු දා, ධීවරයෝ, උන්නත් දාහයි මළත් දාහයි, ආදරේ මං ආදරේ යන චිත්‍රපට ද වේ. නම් කිරීමට නොහැකි චිත්‍රපට රාශියක් ඇති බැවින් එය අපට රස විඳීමට ඩී. වී. ඩී. තැටි මඟින් අවස්ථාව උදා කර දෙන මෙන් තිස්ස නාගොඩවිතාන මහතාගෙන් අප සැම කාරුණිකව ඉල්ලා සිටිමි.

ලියෝනිගේ රඟපෑම් කදිමයි
අගෝස්තු 8, 2019 ~ සෝමා එච්. පතිරණ,කහවත්ත ~

  

‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ ආච්චි අම්මාගේ චරිතයට පණ පොවන ලියෝනි කොතලාවලගේ රඟපෑම් හරිම තාත්විකයි. ඇයට ලැබී තිබෙන දෙබස් ද ඉතාම ලස්සනයි. ඇයගේ රඟපෑම් නිසාම ඒ නාට්‍යය බලන්න හරිම ආසා හිතෙනවා. ඇයට මගේ සුභපැතුම්.

කුසුම් පීරිස්ට නිවන් සුව
අගෝස්තු 8, 2019 ~ ඉඹුල්ගොඩ අබේසිංහ ශ්‍රියානි ජයසිංහ, අලව්ව ~

  

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ කුසුම් පීරිස් මහත්මිය අපගෙන් සදහටම සමු ගත්තත් එදා ඇය ලියූ සිතුවිලි සිර වී හදවත පතුලේ - නිසංසලේ ඔබ තනි වී – හිත ගාව දඟ කළා නෙතු ගාව හිනැහුණා - සිහිනයකි ඔබ මැදියම් රෑ වැනි ගීත සදාකාලිකව අපගේ මතකයේ තියේවි. ඔබතුමියට නිවන් සුව.

එදා ඩොමී අද ක්ලීටස්
අගෝස්තු 8, 2019 ~ දයානන්ද ද සිල්වා, හික්කඩුව ~

  

‘මනමේ’ නාට්‍ය තුළින් වේදිකාවෙන් සිනමාවට පැමිණි ඔබ එදා සිනමාවේ කිරුළ පලන් ඩොමී ජයවර්ධනගේ ප්‍රතිභාවය ඔබ සතුව පිහිටීම අධ්‍යක්ෂකතුමන්ලාට ඔබ නැතුවම බැරි විය. කදිම නිදසුන් ‘පුර සක්මන’ ශ්‍රීයානි අමරසේනගේ ‘යාත්‍රා’, ‘ඇලකණ්ඩියේ මාකස්’හොඳම රංගනයක යෙදේ. මගේ මතය සිනමාවේ ඔබයි දුෂ්ඨයා.

 

විජය නන්දසිරි සමරමු
අගෝස්තු 8, 2019 ~ ඩඩ්ලි ගෝමස් මොරටුව ~

නාඩගම්, ශෛලිගත, තාත්වික යන ත්‍රිවිධ සම්ප්‍රදායන්හිම කුසලතා එක සේ ප්‍රකට කළ නළුවෙකු වූවා නම් ඒ විජය නන්දසිරිය. 1973 – 2000 දක්වාම අවුරුදු 27 ක් වේදිකාවේ මනමේ කුමරු විය. සිනමාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, වේදිකාව යන ත්‍රිත්වයම ජය ගනිමින් මෑත භාගයේදී සුහද කොකා චිත්‍රපටය තුළින් තමන් ප්‍රහසනය තුළ අග්‍රගණ්‍යයෙකු බව පසක් කළේය. සිරස හි කඥඵ ඕධඵඵ නෝනාවරුනි මහත්වරුනි හි ප්‍රේමචන්ද්‍ර තුළින් අපූර්ව ප්‍රහසන ටෙලි නාට්‍ය කථාවක් ද, තරු සංකල්පයක් ද හඳුන්වා දුන්නා. බල්ලොත් එක්ක බෑ, රූකඩ රාජ්ජේ, දෙයියොත් දන්නේ නැහැ, අලුත් හොරෙක් යන භූමිකා 4 ම රඟපාමින් සිටියදී 2016 අගෝස්තු 08 අප සැම හැර ගියා. එතුමාට නිවන් සුව. 

ජයලත් මනෝරත්නයන්ට
අගෝස්තු 8, 2019 ~ ආර්. ඒ. සෝමා රණසිංහ ~

 

 

‘තලමල පිපිලා’ දස දෙසටම විහිදෙයි

කලාකරුවො උපදින්නේ පෙර පිනටයි

‘ලොවින් එකෙක් එක් දෙයකට සමතයි’

අපේ ‘මනෝ’ සැම දෙයකටමත් දස්සයි

 

‘මහැදුරු සරච්චන්ද්‍රගෙ’ සිසුවකු වීමෙන්

ලැබුවා පන්නරය එතුමාගේ සුරතින්

නැටුම් ගැයුම් ලේඛනය ද ඒ සමඟින්

අධ්‍යක්ෂක නිෂ්පාදකය ද වෙමින්

 

උගත්කමින් පරිපාලකයකු වුවා

වේදිකාව, පුංචි තිරය සිනමාව ද ජය ලැබුවා

නිරහංකාර මිනිසකු බව පෙන්වූවා

තෙරුවන් සරණ ලැබ රෝ බිය දුරුවේවා

Week of අගෝස්තු 8, 2019